ඒකපාර්ශ්වික – 40

අහස්ව මුණ ගැසීමට මේඝා බලාපොරොත්තුවෙන් උන්නත් එය සිතූ තරම් පහසු වූයේ නැත. අහස් නිර්දේශ වී උන් සම්මාන උළෙලේ අංගයන් සඳහා පුහුණු කිරීම් යොදා ගෙන තිබුණු නිසා අහස් වෙනදාටත් වඩා බොහෝ කාර්ය බහුල විය.

” අම්මෝ උඹව අවෝඩ් එකකට නොමිනේට් වෙලා මෙහෙම නම් අවෝඩ් එකක් හම්බ උනොත් කොහොමට තියෙයිද ? “

අහස් ගේ පුහුණු වීම් කටයුතු පැවැත්වෙන තැනට විශ්මිත ආවේ වෙනදා මෙන් අහස්ට දිනපතා කාය වර්ධන මධ්‍යස්ථානයට යාම මඟ හැරෙන නිසාය.

” උඹ මට ඇයි දැන් මේ මට මෙතනට එන්න කිව්වේ ? උඹලා මේ කෙල්ලොත් එක්ක එහෙට මෙහෙට ඇඹරෙන ඒව බලන්නද ? උඹට බැරි වුනානේ තාමත් මෙයින් එකක්වත් මට සෙට් කරලා දෙන්න ” 

අහස් ගේ සම කාලීන නිරූපණ ශිල්පිනියන් පුහුණුවීම් සිදු කරන ආකාරය දෙස බලමින් විශ්මිත කීවේය. අහස් පසෙක තිබූ වතුර බෝතලය ගෙන විශ්මිත සමගින් බිම වාඩි වූයේය.

” මට මේඝා කතා කලා ” 

අහස් දිගු කතාවකට මුල පිරුවේ එලෙසිනි. 

” හප්පට සිරි ඉතින් ? ” 

” එයාට මාව අදම හම්බ වෙන්න ඕනි කිව්ව ” 

” ඉතින් උඹ හා කිව්වානේ ? ” 

” මම බෑ කිව්වා ” 

අහස් එසේ පිළිතුරු දුන් විට විශ්මිත නළලට අත ගසා ගත්තේය.

” උඹ නං මහ මෝඩයෙක් බං. අතට ආපු චාන්ස් එක මිස් කර ගත්තෙ ඇයි? ” 

” මම දන්නෙ නෑනේ එයාට මාව හම්බ වෙන්න ඕනේ කිව්වේ ඇයි කියලා ” 

” ඒක දැන ගන්න ඉතින් උඹ ඒකිව හම්බ වෙන්න යන්න එපැයි ” 

අහස් කිසිවක් කීවේ නැත. නමුත් මේ ඇයව මුණ ගැසිය යුතු වෙලාවක් නොවන බව ඔහු සිතුවේය. 

” මං ටික දවසකට එයා ගෙන් ඈත් වෙලා ඉන්න හිතුවා ” 

විශ්මිත අහස් දෙස බැලුවේ පුදුමයෙනි. ඒ, අහස් ආවාට ගියාට කිසිවක් නොකියන බව විශ්මිත හොඳින්ම දන්නා නිසාය.

” ඒ පාර මොනවද බං උඹ කියවන්නේ ? උඹ වෙලාවකට ඒකිට ආදරෙයි කියනවා , දැන් ඒ පාර ඈත් වෙනවලු. එකක් හරියට කියපන්කෝ බන් ” 

” නිම්නාදගේ ප්‍රශ්න අස්සේ මම මේඝා ගැන හොයලා බලන එක එයාගේ හිතට බරක් වෙන්න පුළුවන්. එයාට හීල් වෙන්න තව සෑහෙන කාලයක් යයි බං. මං එතකම් ඉන්නවා. එයාගේ කාලේ එයා ගත්ත දෙන් . කොහොමත් එයා ඉන්නේ තව රිලේෂන්ශිප් එකක් ගැන හිතන්න පුළුවන් සිටුවේෂන් එකක නෙමෙයි ” 

අහස් එවදන් පිට කළේ සන්සුන්වය. 

” එතකොට ඉතින් ඒකිට තව කොල්ලෙකුත් සෙට් වෙලා තියෙයි. උඹට වෙන්නේ ඔය බලන් හිටියා වගේම බලාගෙන ඉන්න තමයි ” 

” මේඝා එහෙම වෙනස් වෙන ජාතියේ කෙල්ලෙක් නෙමෙයි කියලා මම උඹට කලිනුත් කියල තියෙනවනේ ” 

ඉන්පසුව අහස් සහ විශ්මිත අතර තිබූයේ කෙටි නිහඬතාවයකි. මේඝා හට කුමක් හෝ හේතුවක් මත තමාව මුණ ගැසීමට උවමනා වුවත් තමා එය මග හැරියේ හිතාමතාමය.සමහර විට එයින් මේඝා තවත් වේදනාවට පත් වන්නට ඇත. නමුත් තමන් විසින් ඇය වෙත දක්වන ලෙන්ගතුකම ඇයට තව තවත් දැනීම ඇයව නොසන්සුන් කිරීමට ඉඩ ඇති විය හැකි නිසා තමා හැකි තාක් නිහඬව සිටීම හොඳ යැයි අහස් සිතුවේය. 

” ඒ උනාට උඹ ඔය කරන වැඩේ ගැන තව ටිකක් හිතපන් අහස්. ඕකෙන් ඒකි තව අවුල් වෙන්නත් බැරි නෑ ” 

විශ්මිත කීවේ කල්පනාකාරීවය. මේඝා ගේ සුභ සිද්ධිය උදෙසා අහස් මෙවැනි තීරණයක් ගෙන තිබුණත් එය ඕනෑම මොහොතක , ඕනෑම අතකට වෙනස් විය හැකිය. 

විශ්මිත පිටව ගියේ අහස් සමග තවත් බොහෝ වේලාවක් ගත කිරීමෙන් පසුවය. දින කිහිපයක් පුරාවට පැවැත්වෙන පෙර පුහුණු වීම් අවසන් වන විට රෑ බෝ වන නිසා අහස් ඊළඟ පුහුණුවීම් සැසිය අවසානයේ මඳක් විවේක ගැනීමට සිතුවේය. 

මුහුණු පොතට පිවිසී එහා මෙහා යමින් සිටි අහස් පුහුණු වීම් පැවැත්වෙන ශාලාවේ ප්‍රධාන දොර දෙස බැලුවේ අහම්බෙනි. ඒ මොහොතේ කිසි ලෙසකින් වත් එම ස්ථානයේ දකින්නට  බලාපොරොත්තු නොවුණු දෑසක් නිහඬවම තමා දෙස බලා සිටිනු අහස් දුටුවේ ඒ මොහොතේය.

” ඔයා කොහොමද දන්නේ මම මෙහේ කියලා ? ” 

ශාලාවේ ප්‍රධාන දොර අසල සිටගෙන සිටි මේඝා අසලට අහස් ගියේ අඩියට දෙකටය. මේ ඇගේ පැමිණීම බලාපොරොත්තු නොවුනු වෙලාවකි. 

” මම වැඩ කරන්නේ Rainbow Eye එකේ කියලා ඔයාට අමතක උනාද ? මට ඕන දෙයක් ඕන වෙලාවක හොයා ගන්න පුළුවන් ” 

මේඝා කීවේ ජයග්‍රාහී ලෙසය. අහස් තමාව මුණ ගැසීම පුහුණු වීම් පිට දමා හෝ මග හැරියත් කෙසේ හෝ ඔහුව මුණ ගැසීමට හැකි වීමේ සතුට මේඝා නිහඬවම භුක්ති විදිමින් උන්නාය.

” ඔයාට මං ආපු එක කරදරයක්ද අහස් ? ” 

මේඝා ඇසුවේ වට පිට බලමිනි. හිතුමනාපයට අහස් මුණ ගැසීමට පැමිණියත් එතනින් එහාට කුමක් සිදු විය හැකි දැයි මේඝා සිතා තිබුණේ නැත. අහස්ව මුණගැසීම සඳහා තරුණියක පැමිණීම පිළිබඳව ඒ වන විටත් කිහිප දෙනෙකුගේ ඇස ගැටී ඇති බව මේඝාට දැක ගත හැකි විය. 

” මට කිසිම කරදරයක් නෑ මේඝා . හැබැයි ඔයා මෙහෙම එන්න කරදර උන එක තමයි අවුල ” 

මේඝා එවදන් ගණන් ගත්තේ නැත. ඇය විමසිල්ලෙන් බැලුවේ අවට සිටින සුරූපී තරුණියන් දෙසය. නිතර නිතර මුණ ගැසෙන මෙවැනි තරුණියන් අතරේ අහස් එකදු තරුණියක් සමඟ හෝ හාදකමක් නොපැවැත්වීම පුදුමයකැයි මේඝා සිතුවාය. නිම්නාද සහ අහස් එකිනෙකාට වෙනස් වන්නේ අන්න එතැනදීය. 

” මේ ගෑණු ළමයි හරි ලස්සනයි නේද අහස් ? ” 

කෙල්ලන්ගේ ඉරිසියාව කොහෙන් හෝ පිට පනින බව ඇත්තක් බව ඇස් පනාපිටම පසක් වූ විට අහස්ට සිනා ගියේය. ඔහුගේ ඒ සිනාව නැගුනේ සමච්චලයට බව දුටු මේඝා අහස් දෙස රවා බැලුවේය.

” ඔයාට ත් ඉතින් මේ වගේ models ලා ඕන තරම් හම්බ වෙනවනේ මේඝා office එකේ වැඩ වලදී ” 

අහස් කීවේ මේඝා අමනාප වී සිටින්නේ බොරුවට බව දන්නා නිසාය. ඔහු සිටියේ මේඝා කෙසේ හෝ තමා සොයා ඒමේ සතුට හදවතින් භුක්ති විඳිමිනි. මේ හමුවීම දෑසින් දැක ගන්නට මෙතැන විශ්මිත සිටියා නම් මොන තරම් හොඳදැයි අහස්ට නොසිතුනාද නොවේ.

” ඔයාටත් ඉතින් එහෙමනේ. පේන්නෙ නැද්ද ඉතින් මෙතන කොල්ලන්ට වඩා ඉන්නේ කෙල්ලෝ ” 

” හරි ඉතින් එයාලා එයාලගේ පාඩුවේ ඉන්නේ ඔය. ඔයා නිකං බොරුවට ලේ පුච්ච ගන්නෙ නැතුව ඉන්න මේඝා ” 

අහස් එසේ කීවේ කටට ආවාට ය. නමුත් මේඝා ඔහු දෙස උනන්දුවෙන් හැරී බැලුවේ එවිටය.

” මම මොකටද ලේ පුච්ච ගන්නේ මෙතන ඔයත් එක්ක කවුරු හිටියත් ? මට වෙන වැඩ නැහැ නේ ” 

” කියන්න බෑනේ ඉතිං මොන මොනවට හරි ලේ පිච්චෙනවද කියලා . නෙහ් ? දෙතොළ නොකී දේ දෙනෙතේ ලියවෙනවා කියලා කපුගේ කිව්වේ කට කහනවට නෙමෙයි නේ ” 

අහස් හැසිරෙන්නේ සැහැල්ලුවෙන් ය. මේඝා සම්බන්ධයෙන් තමන් මොනවා තීරණය කර ගෙන සිටියත් මේඝා සිනාසී සිටිනු දැකීමම අහස් ගේ සිත වෙනස් කරවන්නට සමත් වී තිබුණි. 

” ඔයාට මාව මීට් වෙන්න බැරි තරම් බිසී කිව්වට මට නම් පේන්නෙ නෑ එච්චර බිසී කියලා ” 

මේඝා ආයෙමත් කීවේ බොරු අමනාපයක් මවා ගනිමිනි. ඇගේ මෙවැනි සුන්දර හැසිරීම් අහස් දුටුවේ අද ඊයෙක නොවේ. Rainbow Eye සමඟ සම්බන්ධ වූ මුල් කාලයේ සිටමය. ඒවා නිම්නාද නිසා නැත්තටම නැති වී ගොස් ඇතැයි සිතුවත් ඇත්තටම එසේ වී නැත. මේ නැවතත් මතු වීගෙන එන්නේ පැරණි මේඝා මය. 

” හරි දැන් ඔයා මේ තකහනියෙම මාව හොයාගෙන ආවේ ඇයි කියන්නකෝ ? “

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles