ප්‍රේමයේ අභිමන් – 01

ඉන්ධන පිරවුම් හලෙහි රිය නවතා ඉන්ධන පුරවන අතරේ, අපරාජිතා රත්මල්ගොඩ වේගවත් අතැඟිලි වලින් කෙටි පණිවිඩයක් ටයිප් කළා ය. 

‘මං ඇනෙක්ස් එක ගන්නවා. කී මනී හෙට වුණත් පේ කරන්න පුළුවන්’

ඇය ඒ පණිවිඩය, මීට ටික වෙලාවකට පෙර බලන්නට ගිය මතු මහලේ හිමිකාරයා ගේ වට්සැප් අංකයට යොමු කළා ය. ඒත් එක්ක ම පිටුපසින් ඉන්ධන පෝලිමේ උන් රියදුරා සිය නලාව හඬවන්නට පටන් ගත්තේ ය.

“මොන හදිස්සියක්ද මූට තියෙන්නෙ…”

අපරාජිතා රවා ගෙන පැති කණ්ණාඩියෙන් බලමින් රිය ඉදිරියට ගත්තේ හිතා මතා ම තවත් පමා වෙමිනි. යාබද අසුනේ උන් දේශිකා පිටුපස ද යළි සිය මිතුරිය දෙස ද මාරුවෙන් මාරුවට බැලුවා ය.

“දැන් මෙතන කාර් කාරයෙක් එක්ක ගහගන්න හේතු හොයන්නැතුව යමං”

අපරාජිතා යනු කවුරුන් දැයි දේශිකා තරම් දන්නා වෙන කෙනෙක් නැති තරම ය. අසාධාරණයක් දුටු විට නිහඬ ව බිම බලා ගන්නට දැන් ඇය දන්නේ ම නැති තරම ය. නමුත් දේශිකා ට මුලින් ඈ හමු වුණ යුගයේ දී ඈ කිසිවෙකු ගේ මූණ දෙස කෙලින් බලා කතා කරන්නට බිය වූ තරම් අහිංසක යුවතියකි.

“ට්‍රැෆික් එකක් හැදුවොත් ඒ ගෑනියෙක් ම තමයි”

තනිව එසේ මුමුණමින් සසංක විදානගමගේ සිය පැරණි වොක්ස්වැගන් බීට්ල් රිය පෙර ට ගත්තේ ය. ඉන්ධන පිරවුම්කරු වෙත පන්දහසේ නෝට්ටුව දිගු කරමින් ම ඔහු දුරකතනය අතට ගත්තේ වට්සැප් පණිවිඩයක හඬ ඇසුණ නිසා ය. මඳ වෙලාවකට පෙර සිය දෙමහල් නිවසේ කුළියට දීමට නියමිත උඩු මහල බලන්නට පැමිණ දුරකතන ඇමතුමක් දුන් අංකයෙන් ඒ පණිවිඩය පැමිණ තිබුණේ ය.

‘මං ඇනෙක්ස් එක ගන්නවා.  කී මනී හෙට වුණත් පේ කරන්න පුළුවන්’

සසංක ට සැනසුම් සුසුමක් හෙළිණ. ඇමතුම දුන් තැනැත්තිය ගේ බලන්නට පැමිණි වේලේ ඔහු එහි සිටියේ නැත. වෙබ් අඩවියක පල කළ දැන්වීමකට අනුව ගැනුම් කරුවන් කිහිප දෙනෙකු ම දැනට ගේ බලන්නට පැමිණි අතර, ඉන් වැඩි දෙනෙකුට ඔහු කීවේ අපරාජිතා ට සේ ම, ලියුම් පෙට්ටියේ ඇති යතුර ගෙන උඩු මහලේ දොර හැර ගෙන එය පරීක්ෂා කොට බලන ලෙසයි. මේ තරම් ඉක්මන් පිළිතුරක් ලැබුණේ අපරාජිතා ගෙනි. එසේ ම අනිත් හැම කෙනෙක් ම කුමක් හෝ අඬෝවැඩියාවක් කළහ. එක්කෝ කී මනී වැඩි ය. නැත්නම් මාස් කුළිය අඩු කරන ලෙස ඉල්ලූහ. එක්කෝ ඔවුන් ව හිත් ගත්තේ නැත්තේ සසංකට ය. 

 මේ දෙමහල් නිවස තැනවූයේ සසංක ගේ දෙමව්පියන් ය. සැබවින් ඔවුන් නිම කොට තිබුණේ පහළ මාලය පමණකි. සසංක මුදල් උපයන්නට පටන් ගත් ඉක්බිති ඔහු ගෙයි ඉතිරි වැඩ කරවන්නට ඔවුන් අතට මුදල් දුන්නේ ය. ඒ වෙත්දීත් ඔහු ගේ සොයුරිය විවාපත් ව සිටියෙන්,මේ නිවස සසංක නමින් ලියා තබන්නට පියා ඉක්මන් වූයේ අම්මා ලෙඩ ගානේ සිටි නිසා ය. සසංක විසින් බොහෝ මුදල් වියපැහැදම් කරනු ලැබුණ ද දෙවසරකට පස්සේ මව් මිය ගිය අතර, ඒ ශෝකය හා තනිකම නිසා ම පියාගේ වියෝව හත්  අට මසකට පසු සිදු විය. සසංක ගෙදර තනි වූයේ එසේ ය.

ඔහු මේ උඩු මහල කුළියට දෙන්නේ මුදල් අවැසි නිසා ම නොව නැත්නම් ගේ පාළුවට යන නිසා ය. නිදහස අගයන තනිකඩයෙකු වන හෙතෙම මුල දී සේවකයෙකු තබා ගෙන ගේ නඩත්තු කරගෙන ගිය අතර ඉක්මනින් ඔහු ඒ ඒකාකාරීත්වයෙන් වෙහෙසට පත් වූයේ ය. උඩු මහල පිරිසිදුව පවත්වා ගනු වස් එය කුළියට දෙන්නට සිතුවේ එබැවිනි. සසංකට තනි ව ජීවත් වන්නට පහල මාලය වුව වැඩි තරම් විය. 

ප්‍රශ්නය ආවේ කුළියට දෙන්නට මිනිසුන් සොයත්දී ය. ඔහුත් එක්ක ඉහ ගහන එක පහසු නැති බව කියා ඔහු පෙම්වතියන් ලෙස ඇසුරු කළ ස්ත්‍රීන් තුන් හතර දෙනා ම අතරමගින් හැරී ගොස් තිබිණ. කුළියට පැමිණි මිනිසුන් ගේ ද සසංක දුටුවේ ම දොසකි. නමුත් ප්‍රශ්නය ඇත්තේ බාහිර පුද්ගලයන් තුළ නොව තමන් තුළ යයි හිතන්නට ටික ටික ඔහු උත්සාහ කළේ ය. තවත් පමා නොකොට මේ තැනැත්තියට ගේ භාර දීම නිදහසක් බව ක්ෂණික ව තීරණය කළ හෙතෙම, අතර මගක අයින් කොට රිය නවතා පිළිතුරක් ටයිප් කළේ ය.

‘මං පස්සෙ අකවුන්ට් නම්බර් එක දාන්නං. ඒකට සල්ලි දාල ස්ලිප් එකේ ෆොටෝ එකක් එවල ඕන වෙලාවක පදිංචි වෙන්න. යතුර ලියුම් පෙට්ටියෙ තියනව’

“වාව්. නියමයිනෙ”

රිය පදවන ගමන් ම එය කියවූ අපරාජිතා සතුටු සිනහවක් නගා ගත්තා ය.

“කුළියට ඇනෙක්ස් එකක් හොයනව කියන එක මෙච්චර ඉක්මනට ඉවර කරන්න පුළුවන්  වැඩක් වෙයි කියල මං හිතුවෙ නෑ”

“මාත් හිතුවෙ නෑ තමුසෙ තව හය හත් මාසෙකටවත් ගේකට කැමැත්ත දෙයි කියල. ඇයි දෙයියනේ මේ ටිකට ගෙවල් හොයන්න යන්න මේ කාර් කට්ටට පොවපු තෙල් මුහුද ගැන කාර් එකට කතා කරන්න පුළුවන්නං කියයි” 

අපරාජිතා මන්දස්මිතයක් නගා ගත්තා ය. 

“කුළියට වුණත් ගෙයක් ගන්න ඕනෙ සැනසිල්ලෙ ඉන්න පුළුවන් කියල හිතෙන තැනක. කුළියට නිසා අතෑරල යන්න පුළුවන් තමයි. ඒත් තැන් තැන් වලට බඩු අදින එකේ වදේ විඳින්න බෑ”

ඇය බාහිර පෙනුම හොඳ සේ පෙනෙනා නුගේගොඩ නගරයේ පිහිටි බොජුන් හලක රිය නතර කළා ය. කුළී නිවස වන්නේ උඩහමුල්ලේ ජය පාරේ ය. එතැන නගරයේ ඕනෑ ම තැනකට ඉක්මනින් ළඟා විය හැකි කේන්ද්‍රස්ථානයක් වන නිසා වඩාත් පහසු සේ අපරාජිතා ට දැනෙයි. නාගරික වී ද එතැන වන්නේ නිස්කලංක බවකි. නිවෙස් වලින් ගහන වී ද මිනිස් හඬක් වුව ඇසෙන්නේ නැති තරමට හාත්පස පරිසරය නිහඬ ය. ඈ සොයනා නිදහස් ජීවිතය ගෙවන්නට එතැන කිසිදු බාධාවක් නැත. 

“ඒ වුණාට අපූ…මන්නං කියන්නෙ අර සාගරයක් වගේ ගේ වහල දාල රෙන්ට් එකට යන එක අපරාදෙ”

අපරාජිතා දිගු සුසුමක් හෙළා කෑම ඇනවුම් කළා ය. දේශිකාට චිකන් ෆ්‍රයිඩ් රයිස් හා ඇය ට සී ෆුඩ් රයිස්. ජින්ජර් බියර් එකක් ද ශීතකරණය හැර ගෙන ඉන් ටිකක් උගුරට හලා ගත්තේ දැනුණ වියළි බව නිසා ම ය. 

“ඒ ගේ කියන්නෙ අවුරුදු දහඅටක මතක ගොඩක්. එතන ඉන්න ඉන්න පරණ මතක අලුත් වෙන එක නතර කරන්න බෑ දේශි. මේක සරලයි වගේ දැනුණට හරි අමාරුයි. ලොකූ නොගැලපීම් තියාගෙනත් අපි අවුරුදු දහ අටක් එක ගෙදරක එකට ජීවත් වුණානෙ. ගහ මරා ගත්ත ඒව වුණත් මතකනෙ. ඩිවෝස් එකක් කියන්නෙ සැනසිල්ලක්ද කියලත් තාම මං දන්නෙ නෑ. දැන් මට ඕනෙ ඒ හැම දේකින් ම නිදහස් වෙන්න. කෙල්ලව යූකේ වල යුනි එකකට යවාගත්ත එක තමයි ලොකුම සැනසීම. දැන් එයා එයාගෙ පාර හොයාගනී. මට තියෙන්නෙ ඉතුරු වෙලා තියන අවුරුදු කීය හරි මං ආස විදිහට ජීවත් වෙලා මැරිල යන්නයි”

“හ්ම්..”

දේශිකා සුසුමක් හෙළුවා ය. මේ මාතෘකාවට එළඹි කල කතා කරන්නට හෝ කියන්නට දේවල් නැති වී යනවා සේ දේශිකා ට දැනෙයි. එකක් ඇය ට යුග දිවියක වන සංකීර්ණතා ගැන අවබෝධයක් නැති වීමයි. ඇය වූ කලී විවාහය කියන කාරණය මගහැර ගත් තරුණියකි. එක් පෙම් කතාවක පැටලී සිය යොවුන් විය කළඹා ගත් ඇයට ඉන් පසු කවදාවත් ප්‍රේමයක් හෝ විවාහයක් ඕනේ කියා සිතුණේ නැත.

“අනිත් එක මේ තනි මට එච්චර ලොකු ගෙයක් මොකටද…කොහොමත් අරවින්ද ඒ ගේ ඩිවෝස් එකේදි දුන්නෙ කෙල්ලට. එයා එයාට ඕන දවසක ඕන දෙයක් ඒ ගැන කරගනී. අවුරුදු දහ අටක කසාදෙකින් නීතියෙන් වෙන් වුණ..අවුරුදු දාහතක දුවෙක්ගෙන් ශාරීරිකව ඈත් වුණ.. හිතෙන් වයසට නොගිය ගෑනියෙක් ගැන අලුතෙන් හිතන්න මේක වෙලාව දේශි. අවුරුදු විසි තුනක් වෙනකොට කසාදයක් කියන්නෙ මොකද්ද කියලවත් හරියට නොදැන කසාදයක් බැඳල…හැදිච්ච නිසා දරුවෙකුත් හදා වඩා ගෙන ආපු අමුතු ගමනක් මේක. මට දැන් ටිකක් නතර වෙලා ජීවිතේ දිහා බලන් ඉන්න ඕනෙ. මට මිස් වුණ ජීවිතේ විඳින්න ඕනෙ. ඒ ගෙදර මට හිර ගෙයක් වෙයි දේශි. එහෙම වෙන්න දෙන්න බෑ. මට ටිකක් සතුටෙන් හුස්ම ගන්න ඕනෙ”

අපරාජිතා මඳහසක් නගා ගත්තා ය. නමුත් ඒ යට වූයේ තැළුම්, සීරුම්, ඉදිමුම්, තුවාල සහිත ස්ත්‍රී ආත්මයකි. ලෝකයට කඳුළු නො පෙන්වා සිනහ වෙන්නට ගත් වසර ගණනාවක වෙහෙසකර උත්සාහයෙන් පසු මේ මොහොතේ ඇස් වල තෙතමනයක් වන බව ඇය ට දැනිණ. අපරාජිතා කිසිත් හිතා මතා පාලනය කරන්නට තව දුරටත් නො වෙහෙසී මුළු ආත්මයට ම නිදහස දුන්නා ය. 

“කමු නේ…”

උණුවෙන් ම කෑම ටික මේසය මතට ආවේ ය. ජින්ජර් බියර් උගුරක් නැවත ට උගුරට හලාගෙන ඔවුහු  හැඳි අතට ගත්හ.

සසංක විදානගමගේ ද ඒ බොජුන් හලට ගොඩ ව කෑම ඇනවුම් කළේ ය. කෙළවර මේසයක හුදෙකලාව හිඳ ගත් හෙතෙම සිය ජංගම දුරකතනයෙන් අපරාජිතා ට ඔහු ගේ බැංකු ගිනුම් අංකය වට්සැප් කළේ ය. අපරාජිතා දුරකතන තිරය විවර කොට බැලුවා ය.

“මෙහෙමම බෑන්ක් එකට ගිහින් කී මනී ඩිපොසිට් කරමු”

“එතකොට දැං මොනාද ඒ ගෙදරට ගෙනියන බඩු…උයාගෙනද කන්නෙ…”

“හිතෙන වෙලාවට උයං කනව…උයන්න කම්මැලි හිතෙන වෙලාවට කඩෙං කනව…ඒ දෙකටම කම්මැළි හිතෙන වෙලාවට නොකාම ඉන්නව. ඒව තමයි කසාද බැඳීමක් නැති ජීවිතේක වරප්‍රසාද”

අපරාජිතා මඳක් හඬ නැගෙන සේ සිනහ වූවා ය. එක වරකට පමණක් සසංක ගේ ඇස් තරුණියන් උන් මේසය දෙසට හැරිණ. ඊළඟට ඔහු ඉයර් ෆෝන් ගසා ගෙන යූ ටියුබ් එකෙන් සින්දුවක් හෙව්වේ ය.

අපරාජිතා බැංකු පරිශ්‍රයෙහි මුදල් තැන්පත් කරනා යන්ත්‍රයෙන් සසංක ගේ ගිනුම් අංකයට මුදල් තැන්පත් කොට, එහෙමම ම රිසිට් පතෙහි ඡායාරූපයක් ගෙන එය සසංකට යැව්වා ය. 

“ඒ වැඩෙත් හරි”

ඇය ට එහෙම කියැවී තිබිණ. 

පසු ගිය සති කිහිපය තුළ අපරාජිතා ජීවත් වූයේ ඔවුන් ගේ වෛවාහක නිවසේ ම ය. තනිය මත මහ ගෙදරට ගියේ වී නම් ඒ හිර කූඩුවෙන් පිට වී ගැනීම වඩාත් අපහසු වන බව දැන උන් ඕ, කුළියට තැනක් හෙව්වේ ඒ බව හෝ මහ ගෙදරට ආරංචි වන්නට ඉඩ නොතබා ය. අලුත් ගෙදරට ගෙන යනු පිණිස ඇය තෝරා ගත්තේ සිය ඇඳුම් හා පොත් ටික හැරුණ විට යුගල සෝෆාවක් හා දික්කසාදයට ටික කලකට පෙර සිට අරවින්දගෙන් වෙන් ව වෙනත් කාමරයක නිදා ගත් යුගල යහන පමණි. ගෑස් උඳුනක් ද කුඩා රයිස් කුකරයක් හා කේතලයක් ද කුඩා මැටි වළන් තුනක් හා කරමූඩි තුනක් ද ඇය අලුතෙන් ම මිල දී ගත්තා ය.

“ජීවිතේ කියන්නෙ කොච්චර සරල ගමනක්ද…අපි මේ ඕන නැති බර පටෝගෙන දැඟළුවට…”

සෙල්ලං ඇතිලි බඳු ඒ කුඩා මැටි වළං අතට ගන්නා ගමන් අපරාජිතා ට එසේ කියවිණ. තවත් පමා නොකොට පසු දා උදයෙන් ම දෙහිවල වෛද්‍ය පාරේ සිය සැමියා විසින් තනවන ලද නිවසෙන් පිටත් ව යන්නට ඇය තීරණය කොට තිබුණා ය. 

‘අද ගෙට පදිංචි වෙනව’

යනුවෙන් කෙටි පණිවිඩයක් ඇය සසංක ට යොමු කළා ය. ඔහු පුරුදු පරිදි උඩු මහලේ යතුර ලියුම් පෙට්ටියේ තබා පිටත් ව ගියේ ය. 

සසංක සේවය කළේ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙකු ලෙස දැන්වීම් ප්‍රචාරක ආයතනයක ය. ඔහු ට රැකියාවට යන්නට වෙලාවක් කලාවක් තිබුණේ නැත. ප්‍රචාරක ආයතනයක් යනු එවන් නිදහස් පරිසරයක් ඇති තැනකි. සසංක ගේ මනස නිතර ම පිරී තිබුණේ සිය නිර්මාණ සඳහා හේතුභූත වන්නා වූ අංශු මාත්‍ර වලිනි. ඒ අවුල් ජාලය තුළ අපැහැදිලි ලෙස එහෙ මෙහෙ වන එක් තැනැත්තියක ගේ කවි කැබලි තිබිණ. කඳුළු වල පෙඟුණ වචන පේළි තිබිණ. හිත කිතිකවන දඟකාර අකුරු මල් පිපී හිනැහිණ. 

ඇය ‘නිර්ණාමික ලියන්නී’ ය. විවාහ වන වයස ඉක්මවමින් සිටිය ද ස්ත්‍රීන් දෙතුන් දෙනෙකු සමග පෙම් කතා කිහිපයක් හමාර කොට තිබිණි ද අලුතෙන් ප්‍රේමයක බැඳෙන්නට ඔහු ට තිබූ බාධාව ඇගේ අකුරු ය. ඔහුත් නොදැනී ඔහු ඒ අකුරු සමග පෙමින් වෙළුණේ ය. සරාගේ බැඳුණේ ය. දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ දී හමු වන ලිංගික ඇසුර ගැන විවෘත මත දරන්නා වූ ගැහැනුන් සමග කෙටි සබඳතා අනන්තවත් ඇති වී ද ඒ කිසිත් ප්‍රේමය යන කුළකයෙහි ලන්නට තරම් පටු සිතිවිල්ලක් කවදාවත් සසංකට වූයේ නැත. ඒ තැන බදා වැළඳ සිටියේ ඇය ය.

ඇය ‘නිර්ණාමික ලියන්නී’ ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content