ඒකපාර්ශ්වික – 45

වසරේ නිරූපණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ අහස්ට ජාත්‍යන්තර නිරූපණ තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබුණි. සිංගප්පූරුවේ පැවැත්වීමට සූදානම් කර තිබෙන එම තරගයට සහභාගී වීම සඳහා සති කිහිපයක් විදෙස් ගත වීමට තමන්ට සිදුවන බව අහස් පැවසුවේ ධනුක, නිකිනි සහ මේඝා සමඟ සූදානම් කරගත් රාත්‍රී ආහාර වේල භුක්ති විඳින  අතරතුරදීය.

එය ඇසූ විට මේඝාගේ හදවත කම්පා නොවූවා යැයි කිව නොහැක. සති කිහිපයකට හෝ අහස් එසේ දුරස් වීම සහ ඔහු විදේශ ගත වීම ගැන කුමක්දෝ කනස්සල්ලක් මේඝා ගේ හදවතට එබිකම් කරමින් තිබුණි.

හෝරාවන් කිහිපයක් සුන්දරව ගලා ගිය අතර අන් අය සමග මොන තරම් සිනහවෙන් කාලය ගත කරත් මේඝා ගේ යටි සිතට දැනෙමින් තිබුනේ අහස් ගේ වෙන්ව යාම පිළිබඳව දුක මුසු අමුතුම ආකාරයේ හැඟීමකි.

” මං මේඝා ව ඩ්‍රොප් කරන්නද ? ධනුක ඔයා නිකිනිව ඩ්‍රොප් කර ගෙන යන්න ” 

අහස් ඇසුවේ වාහන අංගනයට පැමිණි මොහොතේ ය. පැය ගණනාවක් මේඝා ඇසුරේ ගත කළ ද අහස් උන්නේ තවත් ඕනෑ තරම් වේලාවක් මේඝා සමග ගත කිරීමට තිබුණා නම් යැයි සිතමිනි.

” ආ.. එහෙම කමක් නැද්ද මචං ? උඹට අවුලක් නැහැනේ ? ” 

” මට මොන අවුලක්ද ? යන ගමන් මෙයාව දාගෙන යන එකනේ ? ” 

මේඝා කිසිවක්ම නොකියා ධනුකව සහ නිකිනිව වැළඳගෙන ඔවුන්ට සමුදී අහසේ රථයට නැග්ගාය. 

මේඝා බොහෝ දුරක් යනතුරු නිහඬව සිටියත් ඇය උන්නේ ඒ නිහඬ බව දරා ගත නොහැකිවය. අහස් පාර අයිනට කර වාහනය නතර කළේ  එවන් මොහොතකය.

” ඇයි අහස් ?  “

මේඝා හිස හරවා අහස් දෙස බැලුවාය. ඔහු උන්නේ ඉදිරිය බලාගෙනය. නමුත් ඔහුට කියන්නට කුමක් හෝ දෙයක් තිබෙන බව මේඝා ඒ ඉරියව්වෙන්ම හඳුනා ගත්තාය.

” කතා කරන්න ඕනේ මේඝා ” 

” මං අහගෙන ඉන්නේ අහස් ? ” 

මේඝා කීවේ සෙමිනි. අහස් කියන්නට යන්නේ කුමක් දැයි ඉවෙන් මෙන් හඳුනා ගත්තත් ඔහුට එය කියන්නට ඉඩ හැර ඇය නිහඬව බලා සිටියාය.

” ඔයාට නොදැනෙනවා වෙන්න බෑ ” 

අනතුරුව අහස් මිමිණුවේය. හදවතට දැනුණු දේවල් මොන තරම් නම් අවස්ථා වලදී  වැරදි වූවා දැයි ඔහුට කෙසේ නම් කියන්නද ? 

” මුකුත් කියන්නේ නැත්තේ ඇයි මේඝා ? ” 

අහස් ආයෙම ඇසුවේය. කොතනින් පටන් ගන්න දැයි කියා සිතා ගත නොහැකිව මේඝා  තැවුනාය.

” මම ඔයා කියන එක අහගෙන ඉන්නං ” 

අහස් හෙළුවේ සුසුමකි. තමාගේ සිතැඟි ඇය ඉදිරියේ දිගහල හැකිය. එහෙත් ඇය එකවරම තමාව ප්‍රතික්ෂේප කළහොත් ? නැත්නම් මේ තිබෙන මිතුදම පවා අහිමිව ගියහොත් ? අහස් මොහොතක් නතර වී සිටියේය. තමන් ඉක්මන් වනවා වැඩි දැයි ඔහු නැවතත් කල්පනා කළේය.

” ඉතින් කියන්න ? ” 

” මේඝා.. මං.. මං මේක හොඳට හිතලා බලලා ගත්ත තීරණයක්. ආවට ගියාට ගත්ත තීරණයක් නෙමෙයි ” 

අහස් නැවතුනේය.

” ඔයා මොකක් ගැනද කියන්නේ අහස් ? ” 

” මං ඔයාව මැරි කරන්න කැමතියි මේඝා ” 

අහස් තමාගේ සිතිවිල්ල මුදා හැරියේය. ඔහුට දැනුනේ සැනසීමකි. ඔහු හෙළුවේද සැනසුම් සුසුමකි. නමුත් මේඝා නිහඬය. අහස් බිය වූයේ එවිටය.

” මේඝා මං ගැන වැරදියට හිතන්න එපා ප්ලීස්. මං ආවට ගියාට තීරණ ගන්න මිනිහෙක් නෙමෙයි කියලා ඔයා සමහර විට දන්නවා ඇති.  මං මේක කියන්න හිටියේ ඔයා සම්පූර්ණයෙන්ම recover උනාට පස්සේ. ඒත් , කවදා කිව්වත් මේක කියන්න වෙන නිසා ඒක කියන්න හොඳම දවස අද කියලා මට හිතුනා ” 

අහස් කියා ගෙන ගියේය. තමා බලාපොරොත්තුවෙන් සිටියේ මේ වචන අසන්නටය. ” මං ඔයාට ආදරෙයි මේඝා ” කියනු වෙනුවට ” මං ඔයාව මැරි කරන්න කැමතියි මේඝා ” කීමෙන් අදහස් වන්නේ අහස් හට ඇත්තටම තමාව මුළු ජීවිත කාලයටම හිමි කර ගැනීමට ඇති උවමනාව නොවේද ? 

” මේඝා ” 

අහස් මේඝා ගේ උරහිසට යන්තමින් අත තිබ්බේය. එහෙත් මේඝා සෙලවුනේ හෝ නැත.

” මුකුත් නොකියා ඉන්න එපා . මාත් එක්ක තරහෙන්ද ඉන්නේ ? ” 

” මං මොකටද අහස් තරහ වෙන්නේ ? ඒත්.. ” 

” ඇයි ? “

” මුකුත් නෑ ” 

මේඝා කෙටි උත්තරයක් දුන්නා ය. නමුත් එයින් සෑහීමකට පත් විය හැකි නොවේ. 

” එච්චරයිද කියන්න තියෙන්නේ ? හ්ම් ? ” 

” අහස් මං.. ආයෙමත් ආදරේ කරන්න පුළුවන් තත්වෙක ඉන්නවා කියලා ඔයාට හිතෙනවද ? “

” මම දන්නවා මේඝා. මම ඒක නොදන්නවා නෙමෙයි. ඒකයි මම තවත් ටිකක් කල් ගන්න හිතුවේ. ඒත් මොකක් හරි හේතුවක් නිසා මට මේක ඔයාට කියන්නම හිතුනා . සමහර විට ඔයාට හීල් වෙන්න උදව් කරන්න මට පුළුවන් වෙයි ” 

අහස් දයාබරව කීවේය.ආදරය නිසා ඔත්පල වූ ඇයව ඇත්තටම සුවපත් කළ යුත්තේ ද ආදරයෙනි. එය තමාට කළ හැකි බව විශ්වාසය. අවශ්‍ය වන්නේ ඇගේ අවසරය පමණි.

” ඔයා හිතනවද ? ඔයා හිතනවද නිම්නාද මට කළේ පොඩි දෙයක් කියලා ? ” 

මේඝා ගේ දෑස් වල කඳුළු නලියන ආකාරය අහස් ඒ මොහොතේ දුටුවේය.

” පොඩි දෙයක් උනත් ලොකු දෙයක් උනත් ඔයා දැන් ඒකෙන් එලියට එන්න ඕනේ නේද? ඔයා විඳෙව්වා ඇති මේඝා ” 

” මම ඒක දන්නවා. ඒත් සම්පූර්ණයෙන්ම හිත හදා ගන්නේ නැතුව තව කෙනෙකුට වචනෙකින් හරි ලං වෙන්න මට පුළුවන්කමක් නෑ අහස්. විශේෂයෙන්ම ඔයා වගේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙකුට ” 

මේඝා දෝතින්ම මුහුණ වසා ගත්තාය. නිම්නාද බිඳ දැමූ හදවත තවත් ආදරයකින් සුවපත් කළ හැකිද ? මේඝා සිතුවේ එපමණකි. අහස් යනු කෙල්ලකට ලැබිය යුතු බෝසත් ගති ඇති තරුණයෙකි. එවැනි තරුණයෙකුට තමා වැනි බිඳුනු හදවතක් ඇති අයෙකුට ආදරය කල හැකිද ?

” මේඝා මේ අහන්න ? ” 

අහස් මේඝා ගේ හිස අත ගෑවේය. එතරම් කාරුණික හදවතක් ඇත්තෙකුගේ ආදරය තමාට බර වැඩි යැයි මේඝා ට සිතුනි.

” මං ඔයාට ආදරේ කරන්න පටන් ගත්තෙ ඔයා ගැන හැමදේම දැනගෙන. ඔයා ඉන්න තත්වෙන් උඩට එන්න මට ඔයාට උදව් කරන්න පුළුවන්. ඔයා කියනවා වගේ ඔයා මුළු ජීවිත කාලෙම හොයපු ආදරේ මට ඔයාට දෙන්න පුළුවන්. සමහර මිනිස්සු අපේ ජීවිත හැඩි කරලා ගියාට ඒවා හැඩ කරන්න පුළුවන් මිනිස්සුත් අපේ ජීවිතවලට එනවා මේඝා ” 

මේඝා නිහඬව අසා උන්නාය. හදවතේ තුවාල තවමත් සුව නැත. එවැනි තුවාල සහිතව තවත් හදවතකට ආදරය කිරීමද කළ  නොහැක. එහෙත් අහස් ඉල්ලන්නේ එවැනි දේකට අවසරයකි. 

” මට උත්තරයක් දෙන්න පුළුවන්ද මේඝා ? ” 

අහස් බලා උන්නේ මේඝා වචනයක් හෝ පිට කරන තුරුය. එහෙත් මේඝා බොහෝ වේලාවක් යනතුරු වචනයක්වත් කීවේ නැත. අහස් ගේ හදවත නොසන්සුන් වූයේ ඒ නිහඬ බව නිසාමය. 

” මං කැමති නෑ අහස් ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles