මියුරු පෙම් වසන්තේ – 26

“මෙතනට එන්න වුණ හේතුව ඉතින් මම හිතන්නෙ ඔයාලා තුන්දෙනාම හොඳටම දන්නවා ඇතිනෙ නේද?” කියා බාසුර ඇහුවේ මානව සම්පත් කළමනාකරණ අංශයේ තමන්ගේ කාර්‍යාල කාමරයට සනුකිටත්, ලිඩියාටත්, තේමියටත් එන්න වුණයින් පස්සෙය.

මෙහෙම මීටින් එකකට එන්න වෙච්ච එක ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ තමන්ගේ සම්පූර්න කරියර් එකටම ප්‍රශ්නයක් වෙන බව දන්න හින්දාම හිත තිබුනේ බයේ ගැහෙමිනි. ඒ උනාට සනුකිටත් ලිඩියාත් තේමියත් ඒ බයක් මූණෙන් පෙන්වන්නෙ නැතුව ඉන්නට උත්සහ කලේ “අපි මෙහෙම දෙයක් කලේ නෑ’ කියල තවමත් ඔප්පු කරන්නට හිතමිනි.

“දැන් මට කියන්න ඔයාලා එදා අපේ ඇනිවසරි පාටි එක දවසෙදි එහෙම දෙයක් කරන්න හිතුවෙ ඇයි කියල?

ඔයාලා දන්නවනෙ මේක හරිනම් ඔයාලා තුන්දෙනාවම මේ ඔෆිස් එකෙන් අයින් කරන්න වගේම ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන් විදියෙ ඔෆෙන්ස් එකක්. ඒක මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ”  බාසුර ඇහුවේ පුටුවට හේත්තු වී තීක්ෂණ බැල්මකින් තුන්දෙනා දිහාම බලමිනි. මේ ප්‍රශ්නයට මූණ දීල ඉන්න කෙල්ල කවුරු උනත්, ඇය ගැන යම් විශේෂත්වයක් තමන්ගේ මිතුරා වන මියුරු පෙන්වන බව දන්නවා උනත් බාසුර මේ තුන්දෙනාව මෙතනට ගෙන්වුවේ රාජකාරි පරමාර්තයකින්ම විතරය. මේ කාර්‍යාලයේම රාජකාරියේ නිරත වන සේවකයකු කාර්‍යාලයේම තව කෙනෙකු නිසා යම් ප්‍රශ්නයකට මුහුණ දෙනවානම් එය විසඳාලීම ආයතනයේ සහ විශේෂයෙන්ම මානව සම්පත් කලමණාකරණ අංශයේ වගකීමකි. යුතුකමකි. එය පැහැර හැරීම රාජකාරිය පැහැර හැරීමකි.

 සනුකිත්, තේමියත්, ලිඩියාත් උන්නේ දැන් කිව යුත්තේ කුමක්ද කියා හිතාගන්න බැරුවය.

“ඇත්තටම අපි දන්නෙ නෑ සර් කියන්න හදන්නෙ මොකද්ද කියල” සනුකි අහිංසක මූණක් දාගෙන රඟපාන්න හැදුවේ බබා පාට් එකක් කියල නොතේරෙන්න තරම් බාසුර මොට්ටයෙක් නොවේ. ඒ උනාට ඉතින් මේක ආයතනයකි. “අනේ මේ මට බබා පාට් නොදා ඉන්නව හලෝ” කියන්න ආයතනයක, රාජකාරිමය බැඳීමකට යටත් වී පුලුවන් කමක් නැත.

“ඇයි එහෙම කියන්නෙ?” බාසුර ඇහුවේ හරි අපි බලමුකො මොකද්ද ඔයාලා කියන්න හදන්නෙ කියා හිතෙන් හිතන ගමන් ය.

“ඇත්තටම අපි දන්නෙ නෑ සර් අපිට එහෙම වෝනින් ලෙටර් එකක් එව්වෙ ඇයි කියලවත් කියල” කියා මැද්දට පැන්නේ තේමියයි. ඒ සනුකි මේ වෙන පිරිමියෙක් ඉස්සරහ ප්‍රශ්නයකට මූණ දෙනවාට තියෙන අකමැත්තකටය.

“මං කියන්නෙ ඔයාලා අපේ ඇනිවසරි පාටි එක වෙලාවෙදි අපේ වෙන එම්ප්ලොයී කෙනෙක්ගෙ ඩ්‍රින්ක් එකකට ඇල්කොහොල් මික්ස් කරපු එක ගැන. මම ඒක දැනගත්තෙ කොහොමද කියන එකවත් මට ඒක කිව්වෙ කවුද කියනවත් මම හිතන්නෙ නෑ මම ඔයාලට එක්ස්ප්ලේන් කරන්න ඕන කියල.

ඒ නිසා බොරුවට මෙතන අපි හැමෝගෙම කාලෙ නාස්ති කරන්නෙ නැතුව ඉමු. මම ගිහින් ඒ අදාල පුද්ගලයට සොරි කියන්න කියලවත්, පබ්ලික්ලි ඇපොලොජයිස් කරන්න කියලවත් කියන්නෙ නෑ මේක සිරියස් දෙයක් උනත් මීට කලින් මෙහෙම දෙයක් ඔයාලා අතින් වෙලා නැති හන්දා. 

හැබැයි ආයෙමත් ඒ එම්ප්ලොයිට හෝ වෙන එම්ප්ලොයි කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් හෝ ඔෆිස් එකේදි හරි ඔෆිස් එකට රිලේටඩ් වෙන ඉවෙන්ට් එකකදි හරි මේ වගේ ප්‍රශ්නයකට මූණ දෙන්න උනොත් පලවෙනියටම ප්‍රශ්න කරන්නෙ ඔයාලගෙන් කියල මතක තියාගන්න.

හරි දැන් යන්න පුලුවන්. තෑන්ක්ස් ෆොර් කමින්” කියා බාසුර හිඳගෙන උන් පුටුවේ හරිබරි ගැහී වාඩි වී ඕෆ් වී තිබුන පරිගණකය ස්විච් ඔන් කරගත්තේය.

සකුණිත්, ලිඩියාත් යන්න සැරසුණත් තේමිය නම් උන්නේ පාටියෙදී වීරයා වෙන්න බැරිවෙච්ච එකේ මෙතනදි හරි සකුණි වෙනුවෙන් කතා කර වීරයා වෙනවා කියා මානසිකත්වයකය.

“ඒ උනාට සර් නොකරපු වරදකට අපිට එහෙම වෝනින් ලෙටර් එකක් දෙන එක වැරදි නේද? අපි එහෙම දෙයක් කලේ නැති එකේ මම හිතන්නෙ අපිට මෙහෙම බ්ලේම් කරන එක අන් රීසනබල් නේද?”

“එච් ආර් එක එහෙම දෙයක් හොඳට හොයල බලන්නෙ නැතුව කරන්නෙ නෑ කියල මම හිතන්නෙ තේමිය හොඳටම දන්නව නේද?” බාසුර ඇහුවේ සුපුරුදු මන්දහාසය දෙතොල මත ඇඳගෙන පොඩ්ඩක්වත් කලබල වෙන්නේවත් තරහ ගන්නේවත් නැතුවය.

“මම ඒක නෑ කියන්නෙ නෑ සර්. හැබැයි සර් අපි කියන දේ විශ්වාස කරන්නෙ නැතුව සර් නදී විතරක් කියන කතාව විශ්වාස කරන එක වැරදියි නේද?” තේමිය එහෙම ඇහුවේ පොඩ්ඩක් විතර ලොකු සීන් එකෙන් බාසුර දෙස ගැම්මට බලන ගමන් ය.

බාසුර ඒ කලේත් හිනාවෙන එක විතරය. 

“මං අහන්නෙත් නැතුව මං කිය කිය ඉඳපු පොයින්ට් එක පෲව් කරාට තෑන්ක්ස් තේමිය”

“සොරි මට තේරුණේ නෑ සර්”

“තේමිය කිව්වනෙ දැන්  නදී කියන දේ විශ්වාස කරන්න එපා කියල, හැබැයි මට නම් මතක නෑ මම මේ ඩිස්කශන් එකේ කිසිම තැනක නදීගෙ නම මෙන්ශන් කරා කියල. දෙයක් උනා නම් උනේ කාටද කියල ඔයාලා හරියටම දන්නෙ ඉතින් ඒක පිටිපස්සෙ ඔයාලා ඉන්න නිසා නේද තේමිය?” කියා බාසුර අහද්දී තමන් තරම් ගොං වහන්සේ කෙනෙක් මේ මුලු ලෝකයේම ඉන්න හැටියක් නැති බව තේමියට තේරුණේය. සනුකිත් ලිඩියාත් උන්නේ තේමියව මරන්න තරම් තරහකිනි.

“කට පියං එලියට යන්නෙ නැතුව මෙතන ගියා දෙන්න” කියා සනුකි යන ගමන් ලිඩියා එක්ක තේමියට බැන්නේත් ආන්න ඒ හන්දාය. එදා ඒ කතාව අහවර වෙලා එච් ආර් එකෙන් එලියට ආවයින් පස්සෙ සනුකිත් ලිඩියාත් තේමියත් උන්නේ නදී එක්ක පුදුමාකාර තරහකින් උන්න නමුත් නදී ආයෙම වරක් එච් ආර් එකට ගොස් කම්ප්ලේන් කරාවිය යන බය හින්දා කට වහගෙන උන්න නමුත් මූණට හම්බෙන තැන්වලදී ගස්සන පුප්පන එකෙනුත්, පෙනෙන්නටම එකතු වී කුටු කුටු ගාන එකෙනුත් ඒ අමනාපය සහ කෝපය ඕනවටත් වඩා පෙන්වීය.

ඒ උනාට නදී නම් උන්නේ තඹ සතේකට ඕවා මායිම් කරන්නේ නැතුවය. නදීට ඊට වඩා විසඳගන්න ලොකු ප්‍රශ්න තිබේ. ඒ මේ මියුරුගේ දරාගන්නට අමාරු ආදර කතාවය.

“අනේ මන්දා මට නම් තේරෙන්නෙ නෑ බං මොකද්ද කරන්න ඕන කියල”  නදී කිව්වේ කාවින්දිටය. කාවින්දිට හොරෙන් මේ කිසිවක් කරන්න බැරි බව දන්න හන්දා කිව්වාට මේව මේ කාටවත් කියන්නවත් හිතෙන්නෙ නැති පිස්සු කතාය.

“මොකද්ද කරන්න ඕන කියල තේරෙන්නෙ නෑ කියන්නෙ යාලුවෙයන්කො, මං උනානම් මෙලහට කැමතියි කියල. එල කොල්ලෙක්නෙ බං මොක උනත්” කියා කාවින්දි කියන්නේ ඇඳේ හාන්සිවෙලා ඉන්න ගමන්‍ ය.

“අනේ මේ වෙන්නෙ නැති දේවල් කියන්නෙ නැතුව ඉඳපන් බං. අපිට මේ පෑහෙන්න පුලුවන් ද ඒ වගේ කොල්ලො එක්ක”

“අනේ බං හිත් පෑහෙනවනං එච්චරයි අනිත් ඒව පාස්සගන්න ඇහැක් පස්සෙ”

“එව් එව් පුලුවන් පුලුවන්, අපේ අම්මත් ඔය පාස්ස ගත්ත හන්දා වෙන්නැති අන්තිමේ රටෙනුත් ඉන්නෙ නැතුව අන්තිමේ ගියේ. අනේ බං මට බෑ බං ඔය කොල්ලො ට්‍රයල් කර කර ඉන්න. මම කවදහරි යාලුවෙනවනම් යාලුවෙන්නෙ අපිට ගැලපෙන, මට ගැලපෙන කෙනෙක් එක්ක. ලොකු අතු අල්ලන්න ගිහින් අන්තිමේ පස්ස බිම වද්දගෙන හිත රිද්දගන්න තමා වෙන්නෙ”

“කොහොමද එහෙම වෙන්නෙ?”

“මොකද්ද?”

“පස්ස බිම වැදුණම හිත රිදෙන්නෙ කොහොමද? පස්සනෙ රිදෙන්න ඕන” කාවින්දි කියන්නේ කිණ්ඩි හිනාවක් එක්කය.

“අනේ මේ” නදීට ඉතින් ඕවට මල පනින එක අහන්නත් දෙයක්ද?

“එහෙම උනත් බය වෙන්න එපා බං, මියුරු අතගායි”

“මොකද්ද?”

“උඹේ වැදිලා රිදිච්ච පස්ස”

“මං කිව්ව කියල හිතාගනිං” කියා දිය රෙද්දත් අරන් නදී ගස්සගෙන යද්දී කාවින්දි කලේ ඇඳේ හාන්සි වී බඩ අල්ලන් හිනාවෙච්ච එකය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles