ඒකපාර්ශ්වික – 48

මේඝා සිර මැදිරිය වෙත දෙපා එසවූයේ බොහෝ වරක් සිතීමෙන් පසුව ය. යකඩ කූරු අතරින් පෙනෙන නිම්නාදගේ පසුතැවිලි සහගත මුහුණ මේඝා ගේ හිත කම්පාවට පත් කළත් ඉන් නොසැලී ඉන්නට මේඝා අදිටන් කර ගෙන සිටියාය. 

” මට සමාවෙන්න මේඝා ” 

නිම්නාද වචන පිට කළේ ඇහෙන නෑහෙන ගානටය. දිය යුතු පිළිතුර කුමක්දැයි මේඝා කල්පනා කළ අතර කෙසේ වුවත් මෙය නිම්නාද සමග වෙන් වීම සනිටුහන් කළ යුතු මොහොත යැයි මේඝා අවසන සිතුවාය.

” මම ඔයාට සමාව දෙනවා නිම්නාද. ඔයාව හම්බ උන දවසේ ඉඳලා සිද්ධ වෙච්ච හැම දේකටම මම ඔයාට සමාව දෙනවා . හැබැයි ආපහු ජීවිතේ කවදාවත් ඔයාට ආදරේ කරන කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න හිතන්නවත් එපා “

මේඝා එසේ කියද්දී නිම්නාද නිරුත්තර වූයේ ය. සියල්ල සිදු වූයේ තමාගේ වරදිනි. මේඝා කලේ තමාට පණ සේ ආදරය කිරීමය. එහෙත් තමාගේ අවාසනාව හෝ වෙනත් හේතුවක් නිසා හෝ එය පිළි නොගෙන සිටීම අද තමාට මෙවැනි තත්ත්වයක් ඇති කර ඇතැයි නිම්නාද සිතුවේය.

” අහස් ඔයාට ආදරේ කරනවද මේඝා ? “

නිම්නාද ඇසුවේ නොඅසා බැරි කමටය. මේඝාව ආරක්ෂා කිරීම පිණිස ඔහු ඉදිරියට පැමිණි පළවෙනි වතාව මෙය නොවේ. මේඝා ට අවශ්‍ය එවැනි ශක්තිමත් පිරිමියෙකුගේ ආදරය සහ රැකවරණය ය. එයට සුදුසුම පුද්ගලයා අහස් බව ඔහු දෙවරක්ම ඔප්පු කර හමාරය. මේඝා තමා ඉදිරියේ පිළි නොගත්තත් අහස් ඇයට ආදරය කරන බව දැන් නොරහසකි.

” ඒක ඇත්තටම ඔයාට අදාල දෙයක් නෙමෙයි නිම්නාද ” 

මේඝා දුන් ඒ පිළිතුර නිසා ඇය දැන් තමා වෙතින් කොතරම් දුරස් වී ඇති දැයි නිම්නාද තේරුම් ගත්තේ ය. ඒ වගේම තමා විසින් ඇයට සිදු කළ වැරදි නැවත නිවැරදි කර ගත නොහැකි බවත්  මේඝාව නැවතත් කෙසේ වත් තමා වෙත නම්මා ගත නොහැකි බවත් නිම්නාදට පිළිගැනීමට සිදු විය.

” මං හැමදේම කලේ ඔයාට තියෙන ආදරේ නිසා මේඝා ” 

නිම්නාද තමාට ආදරය කරන බව ඇසීමට තමා බලා සිටියේ මීට බොහෝ කාලයකට පෙරය. ඊටත් පෙර තමා සිතා සිටියේ ඔහු තමන්ට ආදරය කරන බවය. තමන් ජීවිතය වරද්දා ගත් පළමු තැන එය බව මේඝා සිහිපත් කළේ වේදනාවෙනි. ඇත්තක් වුවද නොවූවද නිම්නාද  ආදරය ප්‍රකාශ කිරීමට දැන් බොහෝ සේ ප්‍රමාද බව මේඝා වචන වලින් නොකියා සිටියා ය. 

” ඔයත් මාව දාලා යනවද මේඝා ? ” 

නිම්නාද ගේ හඬෙහි වූ අසරණ බව මේඝා ට හඳුනා ගැනීමට අපහසු වූයේ නැත. එහෙත් දැන් තමාට ඔහු වෙනුවෙන් කිරීමට කිසිවක් ඉතිරිව නැත. තමාව පැහැර ගෙන ගොස් බිය වද්දා නිම්නාද බලාපොරොත්තු වූයේ තමාගේ ආදරය නොව වර්ෂා අහිමි වූ අඩුව මකා ගැනීමට බව මේඝා ඒ වන විටත් පසක් කරගෙන සිටියාය.

” දාලා යන්න මම කවදාවත් ඔයාගේ ජීවිතේ කොටසක් වෙලා හිටියේ නැහැනේ නිම්නාද. හැබැයි මම එහෙමයි කියලා හිතාගෙන හිටියා.  මම දන්නෙ නෑ මෙතනින් එහාට මොනා වෙයිද කියලා.මොකද ඔයා කළේ කවදාවත් කරන්න ඕනෙ නැති විදිහේ වැරැද්දක්. ඔයා කරපු මොන වැරැද්දට මම ඔයාට සමාව දුන්නත් ඔයා මහ පාරක් මැද්දේ මාව බලෙන් වාහනේක දාගෙන ගිහින් මේ කරපු වැරැද්දට මම සමාව දෙන්නේ නෑ ” 

” මේඝා මං එහෙම කළේ ඔයාට රිද්දන්න හිතා ගෙන නෙමෙයි. ඔයා ගෙන් පලි ගන්නත් නෙමෙයි “

නිම්නාද පිළිතුරු දුන්නේ බැගෑපත්ව ය. එහෙත් දැන් සිදු වූ කිසිවක් වෙනස් කළ නොහැක. 

” ඔයා රිද්දන්න හිතුවෙ නැතුව කරපු හුඟක් දේවල් වලින් මට ඇත්තටම හුඟාක් රිදුනා නිම්නාද ” 

මේඝා කිවේ වේදනාවෙනි. මේ සිර මැදිරියක්  තුළ සිටින්නේ කලකට ඉහතදී තමා උමතුවෙන් මෙන් ආදරය කළ පිරිමියාය. සෑම මොහොතකදීම තමාගේ ජීවිතයේ සිටිය යුතු යැයි තමා බලාපොරොත්තු වූ පිරිමියා ය. තමාගේ ජීවිතයේ බොහෝ තැන් බෙදාගත් පිරිමියා ය. එහෙත් ඒ පිරිමියා විසින්ම සියලු දේ සුළු විසුණු කර දමා ඇත.

” මට දැන් ඒ හැමදේම තේරෙනවා මේඝා ” 

” ඔයා තේරුම් ගන්නකොට හුඟක් පරක්කු වැඩියි නිම්නාද . දැන් මට කරන්නේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔයාට මේ හැමදේම හිතන්න තිබුණේ මේවා කරන්න කලින් ” 

” මම මෙහෙම ඉන්නකොට ඔයාට සැනසිල්ල නිදා ගන්න පුළුවන්ද මේඝා ? පුළුවන් ද ? ”  

” මට එහෙම කරලා ඔයාට සැනසිල්ලේ නින්ද ගියාද නිම්නාද ? “

මේඝා එවර ඒ ප්‍රශ්නය ඇසුවේ එක එල්ලේම නිම්නාද  දෙස බලාය. මේඝා මේ අසන ප්‍රශ්නයට දෙන්නට පිළිතුරු තමා සතුව නැත. කීමට ඇත්තේ ඇත්ත වශයෙන්ම තමා ආත්මාර්ථකාමී වූ බව පමණි. එහෙත් මේඝා බලා සිටියේම නිම්නාද පිළිතුරක් දෙන තුරුය. අනෙක් අතට මේ ප්‍රශ්නය තමාගෙන්ම අසා ගත් වාර ගණනවත් මේඝා ට මතක නැත. 

” ඔයාට මේ දැනෙන්නේ දුකක් නම් , ඊට වඩා සිය දහස් ගුණයක දුකක් මං ඔයා නිසා වින්දා නිම්නාද. ඒක මොන වගේද කියල ඔයාට අඩුම ගානෙ හිතා ගන්නවත් බැහැ. ඒත් අන්තිමට ඔයා වර්ෂා එක්ක සතුටින් ඉන්නවනේ කියලා මම හිත හදා ගත්තා ” 

” මම එයා එක්ක සතුටින් හිටියේ නෑ මේඝා ” 

නිම්නාද ගේ දෑස් වලට උනා එමින් තිබුණු කඳුළු දුටුවත් මේඝා ඒවා නොදැක්කා සේ සිටියාය. මේ මොහොතේ වෙන කළ හැක්කක් නොමැත.

” එයා කරපු සමහර දේවල් නිසා හුඟක් වෙලාවට මට ඔයාව මතක් උනා. ඒත් මට තිබුණේ හැරෙන්න බැරි කමක්. මගේ ජීවිතය ගැන හරි තීරණයක් ගන්න බැරි කමක් .  ඒත් අන්තිමට හැමදේම මේ විදිහට සිද්ධ වෙයි කියලා මං කීයටවත් හිතුවේ නැහැ ” 

මේඝා මොහොතක් නිහඬව උන්නාය. ධනුක , නිකිනි සහ අහස් පොලිසියට ඇතුළු වන තැන සිට තමා එනතුරු බලා සිටින බව මේඝා දුටුවාය. දැන් වත් නිම්නාදට සමු දිය යුතුය. 

” මම යන්න ඕනේ නිම්නාද . ඔයා මට කරපු දේ පොලිසියෙන්ම ඇස් දෙකට දැක්කට පස්සේ මට මෙතනින් එහාට මුකුත්ම කරන්න බැහැ.මම ආවෙ ඔයාට කියලා යන්න. ආයේ ජීවිතේ කවදාවත් ඔයාට දවසක් හරි ආදරේ කරපු මනුස්සයෙකුට අහිතක් කරන්න හිතන්න වත් එපා. ඒව අපිට ආපස්සටම කැරකිලා ඉන්නේ අපි හිතන්නෙවත් නැති විදිහට ” 

මේඝා බොහෝ සේ පරිණත වී උන්නාය.එසේත් නැති නම් හැඟීම් විරහිත සේ උන්නාය. මේ මොහොතේ නිම්නාද කොතරම් පසුතැවුනත් නීතිය ඉදිරියේ තමාට කළ හැකි කිසිවක් නැත . තමාට එසේ කිරීමට වුවමනා වුවත් ධනුක සහ නිකිනි මෙන්ම අහස් වුවද කිසිසේත්ම නිම්නාදට ගැලවීමට ඉඩ තබන්නේද නැත. 

” මේඝා යන් ” 

අහස් මේඝා අසලට ආවේය. අහස් මේඝා ව ආරක්ෂා කරන්නට දරන වෑයම නිම්නාදට බලා සිටින්නට නොහැකි විය. බලා සිටීමට වඩා ඇත්තටම ඔහුට නොහැකි වූයේ එය දරා සිටීමයි. 

” අහස් ” 

මේඝාව කැටුව අහස් යන්නට සැරසෙන විට නිම්නාද තම හඬ අවදි කළේය. අහස් හැරුනේ එවිටය. නිම්නාද අපහසුවෙන් වුවත් කෙලින්ම බලා උන්නේ අහස් දෙසය.

” මගෙ මේඝා ව බලා ගන්න අහස් ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles