අහස් ගුවන්තොටුපළ වෙත යාමට සූදානම් වී බලා සිටියේ විශ්මිත පැමිණෙන තුරුය. විශ්මිත වාහනය ගෙමිදුලට ඇතුල් කරන විට අහස් ඉදිරියට ආවේය. විශ්මිත වාහනයෙන් බැස ගත්තේ අමාරුවෙන් මවා ගත් සිනහවකිනි.
” උඹ පරක්කුයි නේ බන්. කොහෙද ගියේ ? phone එක ආන්සර් කළෙත් නැහැ ”
අහස් කියන්නේ විශ්මිත ගේ ප්‍රමාදය ගැනය. එහෙත් ගුවන් තොටුපළ වෙත යාමට තව බොහෝ වේලා ඇත.
” හරි ඉතින් අපි කලින් යන්න කතා උනානේ. උඹට තව සෑහෙන්න වෙලා තියෙන නිසා බය නොවී ඉඳපන්. මම උඹව ඊලග ෆ්ලයිට් එකේ හරි සිංගප්පූරුවට යවනවා ”
විශ්මිත මේ කතා කරන්නේ වෙනදා තරම් සැහැල්ලුවෙන් නොවන බව අහස් නිරීක්ෂණය කළේය. සමහර විට ඒ තමා සති කිහිපයකට හෝ විදෙස්ගත වීම නිසා විය හැකි වුවත් සාමාන්‍යයෙන් විශ්මිත යනු එසේ ලේසියෙන් කම්පාවට පත් වන අයෙකු නොවේ.
” උඹට මම යන එකට දුකද? ”
අහස් එය ඇසූ තාලයට විශ්මිතට සිනහ ගියේය.
” ඊය යකෝ කැත කතා අහන්න එපා. එහාට වෙයන් මට මේ බෑග් දෙක දාන්න ”
විශ්මිත අහස්ගේ ගමන් බෑග් දෙක වාහනය අසලට රැගෙන ආවේය.
” කෝ දීපන් ඕක මම දාන්න ”
” නෑ නෑ උඹ ඔහෙට වෙලා ඉඳපන්. මේක මගේ වාහනේ. මට ඕන විදිහට තමයි වැඩ සිද්ධ වෙන්න ඕනේ ”
විශ්මිත ගමන් බෑග් දෙක වාහනයට දමන අතර අතරතුර අහස් ඉදිරිපස අසුනට ගොඩ වුණේය. වචනයෙන් විස්තර කළ නොහැකි අමුතුම ආකාරයේ හැඟීමක් තමාගේ සිතට දැනුනේ විදෙස් ගත වන නිසාද එසේත් නැත්නම් තමා බලාපොරොත්තු වූ ආදරය තමාට හිමි නොවීම නිසාද කියා අහස් කල්පනා කළේ ය.
” දැන් ඉතින් දෙයියනේ කියලා හොඳ හිතින් පිටත් වෙමු ”
අහස් වචනයක් වත් කීවේ නැත. සතුටින් යා යුතු ගමනක් වූවත් ඔහුට දැනෙමින් තිබුණේ හිස් හැඟීමකි. මේඝා ව මුණ ගැහෙන්නට තිබුණා නම් හොඳය. එහෙත් එය තමාට වඩාත් දුකක් ගෙන දෙනු ඇත. තමා පිටත් වන බව සඳහන් කරමින් මේඝා ට වට්සැප් ඔස්සේ පණිවිඩයක් යැව්වද මේ වන තුරුත් ඇය එය කියවා නැති බවට ලකුණු ඇත. අහස් වරින් වර දුරකථනය ගෙන මේඝාට යැවූ පණිවිඩය පරීක්ෂා කර බැලුවේය.
” උඹ මොනවද ඕකේ ඔච්චර බලන්නේ ? ”
විශ්මිත ඇසුවේ කීප වරක්ම අහස් දුරකථනය පරීක්ෂා කර බලනු දුටු නිසා ය.
” මං මේඝා ට මෙසේජ් එකක් දැම්මා “
අහස් ගේ හඬ වේදනාවෙන් පිරී ඇත.
” ඉතින් ?”
” එයා තාම ඒක බලලවත් නෑ ”
” බිසී ඇති ”
” මම ඔය මැසේජ් එක දැම්මේ උඹ මාව ගන්න එන්න පැය දෙක තුනකට කලින්. මෙසේජ් එකක් බලන්න බැරි තරම් බිසී වෙන්නේ නෑනේ බන් නේද ඔෆිස් ගියාම ?”
විශ්මිත පිළිතුරු දුන්නේ නැත. ඔහු වාහනය පාර අයිනට ගෙන නතර කළේය. අනතුරුව දුක් මුසු මුහුණකින් ඉදිරිය බලා ගෙන සිටින අහස් දෙස බැලුවේය. මේ ප්‍රශ්නය මෙතනදීම විසඳිය යුතුය.තම මිතුරාට හිත නොහොඳින් විදෙස් ගත වීමට ඉඩ දිය නොහැක.
” උඹට ඒකිව ඕනෙමද ?”
” ඒකනේ මම උඹට මේ දවස් ගාණක් තිස්සේ කියන්නේ. සිරාවටම දැන් නම් මගේ හිතට හරි නෑ . එක්කෝ මට එකපාරක් හරි එයාව බලන්න යන්න තිබුනා ”
” හරි එහෙනම් බැහැපන් ”
විශ්මිත ඔහුගේ පස දොර විවෘත කිරීමට සූදානම් වූයේ ය. අහස් බලා උන්නේ පුදුමයෙනි.
” මෙතන ? ”
” නැත්තම් ඉතින් ? බැහැපන්. ඊට පස්සේ කියන්න එපා උඹට පරක්කු වුණා කියලා ”
අහස් රථයෙන් බැස ගත් අතර විශ්මිත ද රථයෙන් බැස අහස් සිටි තැනට ආවේ ය. ඔහු සිටියේ විස්මයට පත් වීය. විශ්මිත වාහනයේ පසුපස අසුනේ දොර හැරියේ ය.
ඉන් බැස ගත්තේ මේඝා ය.
” මේඝා ”
අහස් පුදුමයෙන් පුදුමයට පත් වූයේ මේඝා ව දුටු විටය. ඇය මේ තරම් වේලාවක් පුරාවටම සිට ඇත්තේ තමාට පසු පස අසුනේ ය. වාහනයට නගින විට වත් ඇයව නොදැකීම ගැන අහස් පුදුම වූයේය.
” දැන් වත් උඹේ මූසල මුනට හිනාවක් ගනින්කෝ. අපෝ. බලපන් හැටි. මෙලෝ රහක් නෑ. International competition එකකට යන මොඩ්ල් කෙනෙක් නේද උඹ ”
අහස් මේඝා දෙසම බලා සිටින බව දුටු විට විශ්මිත කීවේ සිනාසෙමින්ය.
” යකෝ වාහනයකට නගින කොට පොඩ්ඩක් පිටිපස්සත් බලපන්. උඹට වෙඩි තියන්න බලා ගෙන මොකෙක් හරි ඕකට නැගලා හිටියත් උඹ දන්නෙ නෑ නේ ”
මේඝා උන්නේ සිනා මුසුවය. මේ සිනහව තමාගේ මුහුණට නැවත ගෙන ඒමට අහස් මොන තරම් දේවල් කර ඇති දැයි මේඝා දැන ගත්තේ මීට පැය කිහිපයකට පෙරය. එවන් උතුම් හදවතක් ඇති අහස් ව හිස් අතින් ජාත්‍යන්තර තරගයක් කරා යැවීමට මේඝා ට සිත දුන්නේම නැත. මේ සියල්ලටම ස්තූති කළ යුත්තේ විශ්මිතට ය. ඔහු වැනි කල්‍යාණ මිත්‍රයෙක් අහස්ට නොඉන්නට සියල්ල වෙනස් ආකාරයෙන් සිදු වන්නට තිබුණි.
” මට සමාවෙන්න ”
මේඝා අහස් ලඟට ආවේය. ඔහුගෙ දෑස් වල ලියවී ඇති සතුට මේඝා පැහැදිලිවම දැක ගත්තේ එවිටය.
” මොනවටද ? ”
” සමහර දේවල් තේරුම් ගන්න මෙච්චර කල් ගත්තට ”
අහස් මේඝාව වැළඳ ගන්නට තවත් මොහොතක් වත් ප්‍රමාද වූයේ නැත. විශ්මිත ආපසු ගොස් වාහනයට නැග්ගේ ගුවන් තොටුපළට යාමට පෙර හෝ ඔවුන්ට ඔවුන් වෙනුවෙන් කාලයක් ලබා දිය යුතු බැවිනි.
” දන්නවද මේඝා මට කොච්චර සතුටුයිද කියල? මෙහෙම දවසක් මට ආපහු එයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ “
” මම ඔයාව නොදන්නවා නෙමෙයි . මට නොතේරෙනවාත් නෙමෙයි. ඒත් මම බයයි අහස්. ඒ ඇයි කියලා හැමෝටම වඩා හොඳට ඔයා දන්නවා ”
” ඔයාට මම කවදාවත් එහෙම කරන්නේ නෑ කියලත් ඔයා හොඳටම දන්නවා . නේද ? ”
මේඝා කිසිවක් කීවේ නැත. කීප වරකදීම තමාගේ ජීවිතය ගලවා ගත් අහස් මෙතැන් පටන් ඒ පොරොන්දුව ඒ ආකාරයටම ඉටු කරනු ඇතැයි මේඝා විශ්වාස කළාය.
” මං එයි කියලා හිතුවේ නෑ නේද ? ”
මේඝා ආයෙමත් බැලුවේ අහස් දෙසය. ඒ දෑස් වල ආදරය සටහන් වී ඇත. දැන් තමාට එය නිවි සැනසිල්ලේ කියවා ගත හැක. තමාගේ ජීවිතයේ දැන් කුමක් සිදු වුවත් අහස් තමා වටා පවුරක් සේ නැගී සිටිනු ඇත. එය උදෑසන නැගෙන හිරු කිරණ මෙන් විශ්වාසය.
” අහස්… උඹ එනකම් ෆ්ලයිට් එක නවත්තගෙන ඉන්නේ නෑ. දැන් නැගපන් ”
විශ්මිත වාහනයේ වීදුරුව පහත් කර කෑගැසුවේය. අහස් වාහනයේ පසුපස දොර විවෘත කර මේඝා ගේ අතින් අල්ලා ඇයව එයට නංවා අනතුරුව ඔහු ද එයට ගොඩ වූයේය. මේඝා අනවසරයෙන්ම අහස් ගේ උරහිසට වාරු වී ඔහුගේ දකුණත දෑතින්ම බදා ගත්තේ මෙතෙක් කාලයකට නොවිඳි ඒ උණුසුම්ම ආදරය විඳ ගැනීමට උපන් ලෝභ කමිනි.
කාලයක් තිස්සේ හිමි කර ගැනීමට බලා හිඳි , ඒකපාර්ශ්වික ආදරයක්ව හිත ඇතුලේම මිහිදන් වන්නට තිබූ ආදරය අවසානයේදී කෙසේ හෝ හිමි වීමේ සතුට අහස් හිත පුරා විඳිනින් උන්නේය.