නුඹ තරම් ප්‍රේමයක් – 1

පලමු නෙත් සේයාව….

අතුකෝරල නිවස තුළ සවස හය පසු වන විට ඇත්තේ නිස්කලංක වාතාවරණයකි. අතුකෝරළ, හිටපු මහ ඇමතිවරයා ඔහුගේ විශාල පුස්තකාලය තුළට වී කියවීම අරඹන්නේය. අතුකෝරල මහත්මිය, සන්ධ්‍යා  දෙවන මහලේ බුදු කුටිය තුළ ආගමික කටයුතු වල යෙදෙන්නීය. සිහිනි අතුකෝරල, අතුකෝරල පවුලේ බාල දියණිය, අයියාගේ පෞද්ගලික ව්‍යායාම කාමරයට රිංගාගෙ පැය භාගයකවත් ව්‍යායාම සැසියක් වෙනුවෙන් උත්සාහ දරන්නීය. එහෙත් ව්‍යායාම කරනවාට වඩා ඕ කරන්නේ සීතල පලතුරු බීම පානය කිරීම සහ ජංගම දුරකතනයෙන් මුහුණු පොතෙහි සැරිසැරීමය. 

කුස්සියේ සේවයට උන් දෙදෙනා සහ වත්තේ සේවයට සිටින සිරිපාල තම තමන්ගේ පෞද්ගලික කාරණා වෙනුවෙන් හෝ නිම කරගන්නට නොහැකි වූ රාජකාරි වෙනුවෙන් යොදන්නේ මේ වෙලාවය. නිවසේ සාමාජිකයන් තරමටම තැනක් ඇති ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා අතුකෝරල මහතාගේ පුස්තකාලය තුළ සකසා ඇති කුෂන් අතුරණුව මත වැතිරී සිටින්නේය. 

 එහෙම දවස් වල නිවෙසට අඩු අතුකෝරළ පවුලේ ලොකු පුතා පමණක් ය. ඒ පළාත් සභා ඇමතිවරයෙකු ලෙසින් කටයුතු කරන චත්‍ර මන්ජිත් අතුකෝරළ පමණි. චත්‍ර බොහෝ දවස් වල නිවෙසට පැමිණෙන්නේ රාත්‍රී අට පසුවීගෙනය. එහෙමත් දවසක ඔහු වේලාසන නිවෙසට පැමිණියේ නම්, යළි  සූදානම් වී නිවෙසින් පිටත්ට ගොස් යළි රාත්‍රියේ පැමිණීම පුරුද්දක් කරගෙන තිබුණි.

එහෙත් අද තත්වය වෙනස් ය. අතුකෝරළ මහතා පහත මාලයේ විශාල සාලයේ ඒ මේ අත ඇවිදිමින් සිටින්නේය. සන්ධ්‍යා  තම ස්වාමි පුරුෂයාගේ කෝපය නිවන්නට කල යුතු දෙයක් සිතා ගන්නට නොහැකිව සාලයේ මැදින්ම වූ විශාල සෙටියේ හිඳ සිටින්නේය.

 සිහිනි අම්මාට දුර අසුනක යන්තම් හිඳගෙන අයියාට සහ ඔහුගේ රියැදුරු ලෙසින් සිටින කපිලට  එක දිගටම ඇමතුම් ගනිමින් සිටින්නීය. කුස්සියේ සේවයට සිටින මාලා සහ අමිතා සිටින්නේ කුස්සියෙන් සාලයට එන තැන දොර අසල සිටගෙනය. වත්තේ  සේවයට සිටින සිරිපාල ඉදිරිපස ගේට්ටුව අසල බලා සිටින්නේ චත්‍රගේ කැබ් රිය මතු වන තුරුය. නිවසේ සාමාජික සගයන්ගේ කලබලය මොනවට වටහාගෙන ඇති ලැබ්‍රඩෝ වර්ගයේ සුනඛයා වන බිංගෝ මිදුලේද, නිවෙස තුලද ඇවිදිමින් යළි වැතිරෙමින් කල් ගෙවමින් ඉන්නේය.

අතුකෝරල මහතා නාද වන ජංගම දුරකතනය දෙස බලන්නේ හෝ නැතිවම එය අසල තිබූ පසෙකට කර දැම්මේය. එය යළි යළි නාද විය.

“ඔය කවුද බලනන්කෝ මහත්තයා …”

සන්ධ්‍යා  අසුනෙන් නැගිටින්නේ නැතිවම කීවාය. ඇයට  ඇවැසි වූයේ නිහැඩියාව බිඳී යන්නටය.

“කැමති නම් ආන්සවර් කරගන්න ..”

කෙතරම් අපහසු මොහොතක් වුවත් ඒ මොහොතේ කෝපය සන්ධ්‍යා පිටින් නොයවා සිටීම අතුකෝරල කාලයක සිට පුහුණු කර තිබුණි.  ඇතැම් විට සන්ධ්‍යාද , දරු දෙදෙනාද ඉන් ප්‍රයෝජන ගන්නටද අමතක නොකලහ.

“ඔයාට මේ …. ජගත් අයියා …”

සන්ධ්‍යා  ජංගම දුරකතනය අතුකෝරල මහතා වෙත පෑවේත්, අතුකෝරල මහතා එය උදුරාගෙන පොලවේ වැදී කුඩු පට්ටම්ව යන ලෙසින්  විසි කර දැම්මේත්, චත්‍ර මන්ජිත් නිවසේ ප්‍රධාන දොරෙන් ඇතුල් වූයේත් එකම මොහොතේය.

සිහිනි චත්‍රගේ අතෙහි ඇති ජංගම දුරකතනය දෙස බලා ඔහුට එරෙව්වාය. අනතුරුව පියා දෙස බලා චත්‍රට යමක් අඟවන්නට උත්සාහ කලාය. එහෙත් චත්‍ර ඒ කිසිවක් ගනනකට ගත්තේ හෝ වටහා ගත්තේ නැත.

“මොකද මේ අද සෙට් එක සාලේ එකතු වෙලා … ?.”

ඔහු එලෙස විමසුවේය. සන්ධ්‍යා ඊළඟ මොහොත වටහාගෙන මෙන් නළල රැලි ගන්වාගෙන හිස දෙපසට සලමින් සන්සුන් වන්නට උත්සාහ කලේය.

කිසිවෙකුගෙන් පිළිතුරු නොලැබුනත් අම්මාගේ සහ නංගීගේ හැසිරීම් සහ පියාගේ නොහඬ වීම පසුපස රැඳී ඇත්තේ තමා මත පුපුරා යන බෝම්බයක් වග අතීතයෙන් උගත් පාඩම් ඇසුරෙන් සිහි කරගත් චත්‍ර වහා උඩුමහල වෙත යන්නට ආපසු හැරුණේය. එහෙත් යන්නට ලැබුණේ අඩි කිහිපයකි.

“ඔහොම ඉන්නවා චත්‍ර … මට කතා කරන්න ඕනි ..”

” මහන්සියි අප්පච්චී … මම වොශ් එකක් දාගෙන එන්නද?..”

“උඹට දැන් මහන්සි ඕ අයි සී මහත්තයාට සත්තම දාලා වෙන්නැති නේ ?…”

චත්‍ර දෙතොල් එකිනෙක විකාගෙන ආපසු හැරුණේය. එසේනම් පියාට ඒ  සිදුවීමද මඟ හැරී නැත. එක් අතකට පියාගේ සමීප මිතුරන් බොහෝ දෙනෙක් ඒ පොලිස් ස්ථානයේ සිටින නිසා මේ පණිවිඩය සජීවිව නරඹන්නට පවා පියාට ඉඩ ලැබෙන්නට ඇතැයි චත්‍ර සිතුවේය.

චත්‍ර ආපසු හැරී විත් අසුනකට වැටුණේය. පියා පවසන්නේ කුමක් වුවද නිහඬව අසා සිටින්නට ඔහු ඒ සමඟම තීරණය කලේය. හදිසි අනතුරකට වරදකරුවකු වූ මිතුරෙකු නිදහස් කරන්නයැයි චත්‍ර ස්ථානාධිපතිවරයාට යොමු කලේ හිතවත් ඇමතුමකි. ඒ අතුකෝරල මහතාගේ නමද යම් තරමකට ඈඳා ගනිමිනි. එහෙත් එයට යහපත් පිළිතුරු නොලැබුණි. අනතුරින් තුවාල ලබා සිටින්නේ පොලිස් නිළධාරියෙකු වීම තුළ ස්ථානාධිපතිවරයා වෙත  චත්‍ර ට කල හැකි බලපෑමේ ප්‍රමාණය සෑහෙන්නම අඩු වී තිබුණි.

එහෙත් මිතුරා වෙනුවෙන් යමක් නොකරම බැරි වූ නිසා චත්‍ර දිනයේ වැඩ කටයුතුද කල් දමමින් පොලිස් ස්ථානය වෙත ගියේය.එහිදී චත්‍ර හා ස්ථානාධිපතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වූ අතර, චත්‍ර පොලිස් ස්ථානය තුල කෑ ගසමින් ස්ථානාධිපතිවරයාට බැන වැදුණේය. ස්ථානාධිපතිවරයා ඉවසීමෙන් චත්‍ර පොලිස් ස්ථානයෙන් බැහැර කරවීමට දැරූ උත්සායද ව්‍යර්තව ගියේ චත්‍ර පොලිස් ස්ථානාධිපතිවරයේගේ කමිසයේ කොලරයෙන්ද අල්ලා  කල තර්ජනයක්ද සිදුවෙමිනි. 

ඉන් පසුව කපිල වහා පැමිණ චත්‍රව යළි පළාත් සභාව කරා රැගෙන ගිය අතර, මිතුරා නිදහස් කර ගැනීමේ සටන තාවකාලිකව නවතන්නට චත්‍රට සිදු විය.

දැන් ඒ සිදුවීමේ නඩු විභාගය නිවසේ ඇරඹෙන මොහොතය.

“දවල් පොලිස් ස්ටේශන් එකට ගියාද?..”

අතුකෝරල මහතා චත්‍ර දෙස නොබලාම විමසුවේය.

“අහ් ඔව්.. මම පොඩ්ඩක්  ගියා…”

“ඒ මොකටද ?..”

“පොඩි වැඩකට අප්පච්චී .. යාලුවෙකුගේ වැඩකට ….”

චත්‍ර නොරිස්සුමක්ද තවරා, එහෙත් වැඩි ගණනකට නැති ලෙසින් කීවේය. එහෙත් සමාජය තුළ ඇති තරමට තෙම්පරාදුව උන් අතුකෝරල මහතාගෙන් සැඟවෙන්නට චත්‍ර අතුකෝරළට ඉඩ ලබුනේ නැත.

“වැඩේ කරගත්තාද ඉතින්…?”

” අහ් ඔව්..  ශේප් .. ඒක  මේ එච්චර දෙයක් නෙවෙයි … ශේප් ..”

” එච්චර දෙයක් නෙවෙයි හින්දාද මිනිහෝ ඕ අයි සී මහත්තයාගේ කොලර් එකෙන් අල්ලගෙන එතන පිස්සුවක් නැටුවේ… ඒ මදිවට පුටුවකුත් කුඩු කරලා…. “

චත්‍ර අම්මා දෙස බැලුවේය. අම්මා උන්නේ කිසිවක් කල නොහැකි වන බවට වන ඉඟිය මුහුණේ දරාගෙනමය.

අතුකෝරල මහතා චත්‍රට ඉදිරියෙන් වූ අසුනේ හිඳ ගත්තේය.

” තමුන්ගේ තරම දැනගෙන හැසිරෙන්න ඔය මොළේට කවදාද තේරෙන්නේ චත්‍ර ..?”

” ඒක එහෙම ලොකු කේස් එකක් නෙවෙයි අප්පච්චී … අර රවීන්ගේ පොඩි කේස් එකක් .. ඌ නෙක්ස්ට් මන්ත් ඕස්ට්‍රේලියා යන්න නේ ඉන්නේ අප්පච්චී … ඉතින් ඔය පොලිස් කේස් උනහම වාතයි නේ.. අනෙක් උන් පොඩ්ඩක් ගිහින් බලන්න කියලා කිව්වා… ඒකයි මම  ගියේ ඉතින්….  එච්චරයි ..”

චත්‍ර වරදක් නැති බව වටහා දෙන්නට උත්සාහ කලේය.

” මෝඩයෝ .. උඹ එහෙම එතන ගිහිල්ලා හැසිරුනම එතන ඉන්න උන් පද හදන්නේ මටත් එක්ක කියලා තේරෙන්නේ නැද්ද ? .. ඒ ඔක්කොමත් හරි දිස්ත්‍රික් නායකතුමාගේ කනට ඕක ගියාම, මේ පාර නොමිනේශන් ගන්නවා බොරු …”

“එහෙම අවුලක් නෑ අප්පච්චී ….”

අතුකෝරල මහතා නොනවත්වාම චත්‍රට බැණ වැදුනේය. චත්‍රට දේශපාලනය කල නොහැකි නම් වහා ඉවත් වී පසෙකට වන්නටයැයිද කීවේය.

“අප්පච්චීට පුදුම උවමනාවක්නේ තියෙන්නේ මාව පොලිටික්ස් වලින් අයින් කරගන්න .. මම දන්නවා මොකාගේ ඇජෙන්ඩා එකද අප්පච්චී අතේ එන්නේ ඔය කියලා..”

චත්‍ර අවසානයේ කැත්තට පොල්ල වී සිට ගත්තේය. අතුකෝරල මහතා බලා උන්නේ චත්‍රගේ ඊළඟ වචනය දෙඅය.

“මං දන්නවා ලොකු අප්පච්චී මං මේ යන ගමනට ඉරිසියයි කියලා…  කල්පන අයියා ඇපත් නැතුව ලොස් වුන දුක එයාට තියෙනේ.. මගේ ටිකට් කපලා ඒ නොමිනේශන් එක කල්පන අයියාට අරන් දෙන්නයි ඒ නාකියාගේ කල්පනාව …. අප්පච්චීටත් ඉතින් අපිට වඩා ලොකු උන් නේ…..”

චත්‍රගේ වම් කම්මුල පුපුරු ගැසුවේය. සන්ධ්‍යා  වහා විත් තම සැමියාගේ දෑතේම එල්ලුණාය. ඕ  කෑ ගසමින් හැඬුවාය. සිහිනි නම් උන්නේ කල යුත්තේ කුමක්දැයි සිතා ගත නොහැකිවය.

” කලගුණයක් නොදන්න ගුණමකුවා….. මගේ අයියා උඹ වෙනුවෙන් කරපුවා උඹ තාම දන්නේවත් නෑ.. දැනගත්ත දවසක උඹට කොන්ද කෙලින් තියන් ඉන්න වෙන්නේත් නෑ ලොකු පුතේ .. ඒක මතක තියාගනින් ..”

“ඔව් ඔව් .. දන්නවා… අපි දුප්පත් වෙලා උන්න කාලේ ගේ හදාගන්න මේ ඉඩම දුන්න කතාවනේ ඔයා ඔය හෝද හෝද මඩේ දාන්නේ අප්පච්චි ..ඇති වෙලා ඕක අහලා….. ඒකමයි මම කියන්නේ මෙහෙන් ගිහින් ඉමු කියලා…”

අතුකෝරල මහතා සමච්චල් සිනහවක් නැඟුවේය. සන්ධ්‍යා  වහා ඔහු සාලයෙන් පිටතට කැටුව යන්නට උත්සාහ කලාය. 

| අපේක්ෂා ගුණරත්න | 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles