අනෝරා මල් වැහි 08

තාරා උදෑසනම ආයුර් ස්පා වෙත ආවේ හෙඩ් මසාජ් එකකටය. හිස තිබුනේ පුපුරන්නට ආසන්නවය. සුපුරුදු පරිදි තමා වෙනදාට එන තෙරපිස්ට් වරිය අරගන්නටවත් ආයුර් ස්පා එකට දුරකතන ඇමතුමක් දෙන්නට සිහියක් තාරාට තිබුනේ නැත.

තාරා ආයුර් ස්පා එක වෙත ගියේ කුලී රියකිනි. වාහනය පදවාගෙන යන්නටවත් හැකියාවක් නොමැති අන්දමට හිතත් ගතත් තිබුනේ අඩපණවය. 

“හෙලෝ මැඩම්, අද හදිසියෙම?”

ලොබියේ උන් තරුණිය ඇසුවේ සිනාසෙමිනි. තාරා මේ ස්තානයට අමුත්තෙකු නොවේ. දැන් බොහෝ කාලයක පටන් එන යන අයෙක් නිසාවෙන් ලොබියේ හිඳින්නියට තාරා හොඳින් පුරුදුය. ඇය හැඳ සිටින්නේ ආයුර් ස්පා එකේ වර්ණ සංකලයන මුසු කර තැනූ කලුත් දුඹුරු පැහැයත් මිශ්‍ර ඇඳුමකි. හිසකෙස් උඩට කර ගෙඩියක් ලෙස ගැටගසා මනහරව හිඳින්නීය.

“ඔව් අද එන්න හිතුනා” තාරා පැවසුවේ සිනහවකින් සිතත් හිසත් පෙලන වේදනාව වසා ගෙනය. ඒ වේදනාවන් වනාහී සමාජය ඉදිරියේ නිරාවරණය කරන්නට හැකියාවක් ඇත්තක් නොවේ. 

“මැඩම් අදත් ගන්නෙ පෙඩිකියු එකක් ද?”

“නෑ මට අද හෙඩ් මසාජ් එක ගන්න පුලුවන් වෙයිද?”

“පුලුවන් මැඩම්, හැබැයි මැඩම් යූශුවලි එන තෙරපිස්ට් මාධවී නම් මේ වෙලාවෙ අකම්පනීඩ් මැඩම්. අපි වෙන තෙරපිස්ට් කෙනෙක්ව ඇරෙන්න්ජ් කරාට කමක් නැද්ද?” 

“ම්ම්ම් මාධවී තව ගොඩක් වෙලා යනකම් බිසී වෙයිද?” 

මාධවී තමාව හොඳින් දන්නා කෙනාය. ඇය සිටියානම් අපූරුය. එහෙත් ලොබියේ උන් තරුණිය පැවසූ පරිදි මාධවී ෆුල් බොඩි ට්‍රීට්මන්ට් එකක් සමග කාර්‍යබහුල වී ඇති බැවින් තව පැයකට පමණවත් ඇය නිදහස් නොවේ. කෙමෙන් නැගී එන මේ හිස කැක්කුම සමග තව බොහෝ වෙලාවක් මෙහි රැඳී සිටීමේ හැකියාව නැත. තාරාට උවමනාව තිබෙන්නෙ ශාකසාර සුවඳින් පිරුණු ආයුර් ස්පා එකේ අඳුර් කාමරයක සුවපහසු පුටුවක සැතපී යමෙකු හිස පිරිමදින තුරු පැයක් පමණ වේලා ගෙන නිදියන්නය.

“ම්ම්ම් කමක් නෑ, ඇවේලබල් තෙරපිස්ට් කෙනෙක්ව දෙන්න” තාරා පැවසුවේ ඒ නිසාය.

ඒ මොහොතේ කාර්‍යබහුල නොවූ තෙරපිස්ට් කෙනෙකුව තමා වෙනුවෙ අනුයුක්ත කල පසු තාරා ලොබියේ උන් තරුණිය පසුගමනින් අදාල කාමරය වෙත ගියාය. ඒ තබන පියවරක් පාසා හිස කැක්කුම වැඩිවන බවක් දැනුනද තව පැයකින් පමණ ඒ හිස කැක්කුම බොහෝ දුරට මග හැරී යන බව මතක් වෙද්දී තාරා සතුටු වුවාය.

තරුණිය කියු පරිදි අදාල අසුනේ හිඳගෙන තාරා දුරකතනය පිරික්සුවාය. ඒ චිරායුගෙන් පණිවිඩයක් ආවේදැයි කියා බලන්නටය.

චිරායු කාර්‍යාලයේ රාජකාරියකට තවත් කාර්‍යාල සඟයන් කිහිප දෙනෙකු සමග මැලේසියාව බලා පිටත් වුයේ අද උදෑසනය. ඔහු එන්නේ දින 14ක පමණ දවසකින් බව තාරා දැනගත්තේද චිරායු ඔහුගෙ අම්මා සමග දුරකතනය ඔස්සේ ඒ ගැන කතා බහ කරද්දිය.

“ඔයා අම්ම එක්ක ඔෆිස් එකේ හැම දෙයක්ම කතා කරනව. මොන වැඩේ තිබුනත් ඔයා ඒක මගාරින්නෙ නැනෙ. ඇයි මාත් එක්ක ඔයාට එක වචන දහයක්වත් කතා කරන්න බැරි?”

චිරායු දුරකතනය තබා ආපසු හැරෙද්දි තාරා එසේ ඇසුවාය. ඒ සුපුරුදු පරිදි චිරායු රාත්‍රියට බොන්නට ප්‍රිය කරන මින්ට් මුසු වූ තේ කෝප්පය ඔහු වෙත පාමිනි. තමා පැවසූ ස්වරයෙහිහෝ තමන්ගෙ බැල්මෙහි කිසිත් සමච්චලයක් නොවු බව තාරාට ස්තිරය. එහෙත් චිරායු එය භාරගත්තේ සම්ච්චලයක්.ලෙසිනි තමන්ගේ පිරිමිකම සහ තම තීරණ පිරික්සා බැලීමක් ලෙසිනි.

“ඔයා එක්ක වචන දහයක් තියා එක වචනයක්වත් කතා කරන්නෙ කොහොමද තාරා? ඔයා පිස්සුනෙ කියවන්නෙ. මං මැසේජ් එකකට රිප්ලයි නොකරත් ඔයා නිකන් කතකරන්නෙ මං ඔයාව ඩිවෝස් කරන්න හදපු ගාණටනෙ. ඔයා කවද්ද තේරුම් ගත්තෙ මම කරන ජොබ් එකේ ස්ට්‍රෙස් එක?”

චිරායු තේ කෝප්පය අතට ගෙන නික්ම ගියේ එපවසමිනි. 

“මම ඔයාව කවදාවත් තේරුම් ගත්තෙ නැත්තම් ඇයි චිරායු ඔයා මාව මැරි කරේ?”

තාරා එය ඇසුවා නොවේ ඇසුණාය. 

එහෙත් චිරායු එයට පිලිතුරු දෙන්නවත් එතැන නතර වී උන්නේ නැත. ඔහු කාර්‍යාල කාමරයවෙත ගොසින් දොර වසා ගන්නා හඬ තාරාට ඇසුනාය. නාන කාමරය වෙත ගිය තාරා ශවරය ඇර තබා හඬා වැටී රතු වූ දෙනෙත් සමගින් නිදන කාමරයට එද්දිත් චිරායු උන්නේ කාර්‍යාල කාමරයේය.

ඒ කුමකින් හිත රිදුණද තාරා උදයේම අවදි වී චිරායුට ගුවන් තොටුපලට යාමට පෙර කෑම සඳහා ආහාර සකසන්නත් ඔහු පසුගමන් යන්නත් අමතක කලේ නෑ. තමා ඒ කලේ හුදෙක්ම පතිනියක ලෙස කල යුතු නිසාවෙන්ද නොඑසේනම් තවමත් තම සිත තුල ඔහු ගැන ආදරයක් පැලපදියම්ව තිබෙන නිසාද කියාත් තාරා සිතුවාය.

“හෙලෝ මැඩම් ගුඩ් මෝනින්” 

දැස් පියාගෙන පුටුව මත ඇලවී උන් තාරා ඒ කල්පනාවෙන් මිදුණේ ඒ හඬටය. ඒ හඬෙහි වූ සුපුරුදු බවටය.තමාගේ තෙරපිස්ට් වරයා ලෙස මොහු ආවේ ඇයි ද කියා උඩු සිත අසද්දි ඔහු ඒම පිලිබඳ රහසිගතව සතුටු වූ යටි සිත නිසාය.

“ගුඩ් මෝනින්” අපහසුතාවය මගහරවා ගනු පිණිස තාරා එසේ පවසා නැවත දෙනෙත් පියාගත්තාය. එහෙත් හිත තිබුනේ සසැලෙමිනි. මේ නන්නාදුනන තෙරපිස්ට්වරයාව නොසිතු ලෙස කැෆේ එකෙදි හමු විමත් අනතුරුව දෙවතාවක්ම මෙහිදී මුණ ගැහීමත් ගැනය. තමා මේ ස්පා එක වෙත එන්නට අරඹා දැන් බොහෝ කාලයකි. එහෙත් තමාගෙ සුපුරුදු තෙරපිස්ට්වරිය වන මාධවීවත් තමාට කිසිම දිනයක ආයුර් ස්පා එකෙන් පිටතදී දකින්නට ලැබී නැති බැවින්ම තාරාට එය නිරවුල් සිතකින් භාරගන්නට හැකියාවක් තිබුනේ නැත.

තමා මේ ගැනත් මොහු ගැනත් මෙපමණකට කලබල විය යුතුද කියා සිත අසද්දි ඔහුගේ දෑතෙහි ඇඟිලි සෙමෙන් තම නලල මත රැඳවෙන අයුරුත් කුමක් හෝ අපූරු සුවඳක් සහිත ආලේපයක් සීතලට තම නලල මත තැවරෙන අයුරුත් තාරාට දැනුනාය. ඒ වචනයෙන් කියන්නට නොහැකිඅන්දමේ අපූර්වතම හැඟීමකි. 

ඔහුගේ අතැඟිලි ඔස්සේ තමාගේ හිස වෙතට සංසරණය වෙන කුම්ක් හෝ සංවේදනයක් සම පසා කරගෙන ගොසින් හිස ඇතුලේ පොරබදින වේදනාවේ අංකුර මුලිනුපුටා දමන බවක් තාරාට දැනුනි. දෙනෙත් පියවී ගියේ ඒ අපූර්ව සංවේදනයන් නිසාවෙනි. මෙතෙක් වේලා නොතිබූ නිදිබර බවක් තමා සොයා එන බව දැනෙද්දී තාරා දෙනෙත් තදින් පියාගත්තාය.

පියාගත් දෙනෙත් අස්සෙන් තාරා චිරායුව මෙනෙහි කලාය. ඔහු මේ මොහොතේ කුමක් කරනවාද කියා නොදත් හෙයිනුත්, තමාම ඔහුව ඇමතුවහොත් මිසක ඔහු විසින් තමාව අමතනු ඇතැයි බලාපොරොත්තු තබාගත නොහැකි බව සිතා තැවුණාය.

ඒ හා සමගාමීව තෙරපිස්ට්වරයා විසින් හිස මත සියුම් සංවේදන සමගින් තබන මිහිරියාව අත්වින්දාය.

“මැඩම්ට හොඳටම නින්ද ගියා නේද?”

පැයක් පමණ වේලා ඔහු විසින් හිස මසාජ් කරද්දි නින්ද ගිය තාරා ඇහැරුණේ ගැස්සීය. තමා කුමනකාරයෙන් නිදා හුන්නාදැයි කියා සිතාගන්නට නොහැකි වූ තැන තාරා ලැජ්ජා වූවාය. එහෙත් ඔහු උන්නේ සුපුරුදු සිනාවෙනි. එය නිවි සැනසුනකි.

ඔව් කියා වචනයෙන් කියන්නට අපහසු වූ තැන තාර ලැජ්ජාව මුසු සිනහව මුවඟට නංවා ගත්තාය.

“මැඩම්ට මම හර්බල් ටී එකක් එක්ක ස්නැක් එකක් එවන්නම්”  කියා ඔහු නික්මුනේ තාරාගේ සිනහවත් සමගිනි. කොන්ද කෙලින් කර මෙතෙක් වෙලා ඇලවී උන් පුටුවේ ඉඳගත් තාරා කොන්ඩ පටිය ලෙහා අවුල් වී ගිය කෙහෙ රැලි මුදා හැරියාය. නැවත කොන්ඩ පටියෙන් ඒ තද ඔට බැඳගත්තාය. දුරකතනය අතට ගෙන චිරායු පණිවිඩයක් එවා තිබේදැයි බැලුවාය. නැති තැන “වෙයාර් ආර් යූ නව්?” යනුවෙන් ඔහු වෙත පණිවිඩියක් තැබුවාය. ඉක්මනින් ඔහු පසින් පිලිතුරක් එතැයි බලා උන්නාය.

හර්බල් ටී කෝප්පයත්, මුං කැවුමකුත් සහිත බන්දේසිය තාරා පසෙක වූ මේසය මත තැබූ තෙරපිස්ට්වරයා මද සිනහවක් සමග ක්‍රීම්, සීරම් වර්ග සහිත ආලේපන පුවරුව ගෙන එතනින් නික්මෙද්දිත් තාරා උන්නේ චිරායුගේ රුව සහිත ඔහුගේ වට්සැප් ගිණුම මත දෙනෙත් හොවාගෙනය.

එහෙත් සැනසීම අපි හිතන තරම් ඉක්මනින් නොඑන්නකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles