ළපෙති මල් -28

රහල් සහ මිතුරා වෙනුවෙන් තේ පිළියෙළ කළ හිමංගි එය මන්දාරාට ලබා දුන්නා ය.අමුත්තා වෙත යන්නට ඇයට සිතක් නැත.ඔහු තමන්ට දුව ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන හිමංගිට දැනෙන්නේ සසැලෙන සිතිවිලි ය.තමන්ගේ මිතුරු මිතුරියන් හිඳින්නේ සැමියාට අංකල් යැයි අමතන වයසක ය.ඔහුගේ මිතුරන්ට තමා දියණියකි.

“මේ ඉන්නේ අපේ මන්දාරා..”

සුනෙත් හිනැහී තේ කෝප්පය අතට ගත්තා ය.අම්මාගේ මිතුරියන් මෙන් නොව තාත්තාගේ මිතුරන් කතාබහට වටිනා පුද්ගලයන් බව මන්දාරා දනියි.ඇය පෙරළා මුදු සිනාවක් හෙළී ය.

“මෙවන් දැන් ලොකු ඇති නේද?

සුනෙත් පොදු ප්‍රශ්නයක් නැගී ය.ඔහු උසස්පෙළ අවසන් කළ බව පැවසුවේ මන්දාරා ය.

“කෝ ලොකූ හිමා?”

රහල් දියණියගෙන් විමසී ය.හිමංගි මේ නිවසට ආවේ හිස කෙළින් තබාගෙන ජීවත් වන්නට බව රහල් විශ්වාස කළේ ය.ඇය අනියම් බිරියක් නොව නීත්‍යානුකූල බිරිඳකි.තමා සමඟ පෙනී හිඳින්නට හිමංගිට නොහැකියාවක් නැති බව ඇයට වටහා දිය යුතු බව රහල් සිතී ය.හිමංගි කැටුව එන්නට පිළිණ දුන් මන්දාරා ඇතුළු ගෙට වැදුණා ය.

“රහල් මැරි කළා කියලා ආරංචි වුණා.කතාව බොරු නෙවෙයිනෙ..”

සුනෙත් මිතුරාගෙන් ඇසුවේ ඕපාදූප හාරාවුස්සන හඬකින් නොවේ.රහල් සැහැල්ලු හඬකින් හිනැහී ය.

“කවුද ආරංචිය දුන්නේ ලංකාද? එයා හැමෝටම කෝල්ස් දීලා මගේ වයිෆ්ගෙ සම්පූර්ණ විස්තර කියනව කියල මට ආරංචියි.”

එවර හිනැහුණේ සුනෙත් ය.

“මං කතාබහ කරන්න අකමැති මිනිස්සු හරි අඩුයි රහල්.හැබැයි ඒ අඩු ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ ලංකා..”

ලංකා අත්පත් කරගෙන හිඳින්නේ එවැනි තත්ත්වයක් බව රහල් දනියි.අනියම් ඇසුරක් ගෙන ගිය ඇයට සමාව දී විවාහය පවත්වාගෙන යන්නට පවා ඔහු පැකිළුණේ ඈ ඇගේ මිතුරියන්ට ඕනෑ විදියට ජීවිතය ගෙන යන්නියක හන්දා ය.
තමන්ගේ පවුල ඇය තැබුවේ දෙවැනි තැනවත් නොවීම ඛේදවාචකයක් බව රහල් සිතී ය.

“ලංකාගේ බිස්නස් නම් සාර්ථකයි නේද? මොන අතින් ෆේල් වුණත් ලංකා ඒවා නම් හොඳටම කරන මනුස්සයෙක්.මගෙ නම් තැබිල්ල හින්දද මන්දා..”

නිසංසලේ තේ උගුරක් බොමින් සුනෙත් පවසයි.රහල්ගේ බිරිඳ වූ ලසන්තිකාට ව්‍යාපාරයක් අරඹන්නට පෙර එය “ලංකා” යන නමින් අරඹන උපදේශය ලැබුණේ සුනෙත්ගෙනි.එවකට ඉතා සාමාන්‍ය මිනිසෙකු වූ තමන්ගේ ඒ උපදෙස ලංකා පිළිගත්තේ ඇය ව්‍යාපාරික ලෝකයට අඩිය තියමින් හුන් කාලය නිසා බව සුනෙත්ට සිතේ.

“ලංකාට මං ඇරෙන්න ඕන කෙනෙක් කියන එකක් හරිනෙ.හැබැයි ඔය බිස්නස් කතාව ඇත්තක්.ලංකා කැපවීමෙන් ඒ දේවල් කරා.සෑහෙන තැනකටත් ඇවිත් ඉන්නව.ප්‍රසිඩන්ට්ගෙ වයිෆ්ගේ පවා ඩ්‍රෙස් මේකින් කරන්නේ ලංකා කියල තමා කියන්නේ..”

තම දරුවන්ගේ අම්මාට දිය යුතු ගරුත්වය දෙමින් රහල් එසේ පැවසී ය.ඇය සාර්ථකව කරගෙන යන ව්‍යාපාර ජාල ගැන ඔහුට පැහැදීමක් නැතිවා නොවේ.

“මේක හිතට වහල් වෙලා ගත්තු තීරණයක් නෙවෙයි සුනෙත්.එයාට මං ළඟ ආදරය ආරක්ෂාව දැනෙනව කියල හිතුණා.මටත් එයාගෙන් වයසට වඩා හොඳ පරිණතබවක් පෙනුණා..එච්චරයි.”

රහල් තමන්ගේ තීරණවලට හේතු දක්වන්නට කැමැත්තක් නැත.නමුත් බොහෝ කාලයකට පසු මවුබිමට ආ මිතුරාට තමන්ගේ තීරණය ගැන එසේ කියන්නට ඔහුට සිත් විණ.

“මටත් මැරි කරන්න හිතෙන කතා.”

සුනෙත් එසේ කීවේ උස් හඬින් හිනැහෙමිනි.

“මැරි කරත් නොකරත් ආපහු මෙහෙ ඉඳලා වැඩ පටන් ගත්තනම් නරකද?”

රහල් ඇසුවේ කැනඩාවට වී හිඳිමින් සුනෙත් ගත කරන්නේ ඔහු ප්‍රිය කරන ජීවිතය නොවන බව තේරුම් ගෙන ය.එතැනට හිමංගී ද මන්දාරා ද පැමිණි නිසා ඒ කතාවට තිත වැටිණ.

“හිමා..මේ මගෙ බොහොම කිට්ටු යාලුවෙක්.සුනෙත්.කැනඩාවේ ඉඳලා කාලෙකින් මෙහෙ ආවේ.ඉස්සර හොඳ නළුවෙක්.එක දිගට වැඩක් කරගෙන හිටියා නම් කමල් අද්දරආරච්චිලා එහෙම කැලේ..කොහෙද රට දාලා ගියානෙ”

හිමංගි ප්‍රසන්න පෙනුමැති මිනිසා සමඟ හිනැහුණා ය.ඔහු ගැන කුමක්දෝ හුරුවක් දැනෙන්නේ ඔහුගේ පරණ නිර්මාණයක් තමන් රස විඳ ඇති නිසා වන්නට ඇතැයි ඇය සිතුවා ය

“මේ හිමංගි.මගේ වයිෆ්..”

රහල් එසේ හඳුන්වා දෙනවිට හිමංගිට ඇති වූයේ ආත්මාභිමානයකි.නමුත් ඒ නම ඇසුණු සුනෙත් තිගැස්සී ගියේ ය.අතීතයේ ඒ නම ගැන සිහින දුටු අන්දම ඔහුට අමතකව නොයේ.ඒ නම ඇති යුවතියට ඔහු මිත්‍රශීලිව දෑත දිගු කළේ ද එනිසා ය.

“හිමංගි..හරි පුරුදු නමක්..”

ඔහුට එසේ නොකියා හිඳින්නට නොහැකි විය.තමන්ට ඇත්තේ බහුල නැති නමක් බවට පාරම් බාන්නට පුරුදුව සිටි හිමංගි ඒ අසා පුදුම වූවා ය.ඔහුට තමන්ගේ නම පුරුදු විය හැක්කේ කොහේදීදැයි ඇය සිතුවා ය.

“අංකල් ආයේ ෆිල්ම් එකක් එහෙම කරන්න අයිඩියා එකක් නෑ..”

මන්දාරා නිහඬතාවය බින්දා ය.සුනෙත් ඇය හා හිනැහුණේ ය.

“කරමු නේද දූ..අපිට ඔයාලාව දාන්න පුලුවන්නෙ මේන් කැරැක්ටර්ස් වලට..”

සුනෙත් එසේ කියද්දී රහල් ද මන්දාරා ද හඬ නඟා හිනැහුණ ද ඒ සිනාවට එක් වන්නට නොහැකි බවක් හිමංගිට දැනිණ.ඇය කුමක්දෝ හේතුවකට ඇතුළාන්තයෙන් කැළඹී ගොස් සිටියා ය.

“මම ඒ නිකමට කිව්වේ.ඔයාල ඇක්‍ට්‍රස්ල වෙන්න ඕන නෑ..”

සිනා සී අවසන සුනෙත් පැවසුවේ හිමංගි ට ය.ඇය මඳ සිනාවක් හෙළුවා ය.ඔහු සම්බන්ධයෙන් දැනෙන හුරුපුරුදු හැගීම අපහසුවක් වූ හන්දාම හිමංගි හිස් තේ භාජන ද රැගෙන මුළුතැන්ගෙයට වැදුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles