අමු හාල්මැස්සන් ව්‍යාංජනයක් හදමු

හාල්මැස්සො කියන්නේ මොළයේ සහ හදවතේ නීරෝගී බව පවත්වා ගෙන යන්න උදව් වෙන Omega 3 මේද අම්ල වලින් පරිපූර්ණ වගේම දිගුකාලීනව ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්න හේතු වෙන සෙලිනියම් සහ විටමින් A, B12, පොටෑසියම් වගේ අපේ ශරීර සෞඛ්‍යයට ඉතාම වටිනා පෝෂ්‍ය පදාර්ථ රාශියක් කැටිවූ මාළු වර්ගයක්නෙ. 

සාමාන්‍යයෙන් වේලපු හාල්මැස්සන් වලින් හදන අල හාල්මැස්සො කලවම් හොද්ද වගේම හාල්මැස්සන් තෙම්පරාදුවත් ලංකාවේ අපි අතරේ හරිම ජනප්‍රියයි. 

සමහර දවස් වලට අමු හාල්මැස්සන් මාළු ලෑල්ලෙ දකින්න ලැබුණත් බොහෝ දෙනෙක් අමු හාල්මැස්සන් ගන්න පෙළඹෙන්නෙ නැත්තේ උයද්දි අමු හාල්මැස්සෙ කෑලි වලට කැඩෙන්න පුළුවන් නිසයි. 

ඒත් පෝෂණ ගුණය ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙන අමු හාල්මැස්සො ආහාරයට ගැනීම ඉතාම වටින නිසා ඔන්න අමු හාල්මැස්සන් මාළුවක් හදාගන්නෙ කොහොමද කියල ඔබට අද කියල දෙන්නයි smart lady අපි මේ සූදානම් වෙන්නෙ. 

මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

සෝදා පිරිසිදු කරගත් අමු හාල්මැස්සන් 500 g ක් 

සිහින්ව ලියාගත් රතුලූණු ගෙඩි 06 ක් 08 ක් 

සිහින්ව ලියාගත් සුදුළූණු බික් 04 ක් 

සිහින්ව ලියාගත් ඉඟුරු කැබැල්ලක් 

කොටු කපාගත් තක්කාලි ගෙඩියක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක් 

කරපිංචා ඉත්තක කොළ 

සියඹලා කැබැල්ලක් 

මිරිස් කුඩු මේස හැඳි ½ ක් 

කහ කුඩු තේ හැඳි ½ ක් 

ලුණු කුඩු

සූදුරු තේ හැන්ඳක්

අබ තේ හැන්ඳක් 

උළුහාල් තේ හැඳි ½ ක් 

තෙල් 

වතුර 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර තෙල් රත්වන විට එයට අබ එකතු කරගන්න. 

අබ පුපුරන විට කපාගත් ලූණු, සුදුළූණු, ඉඟුරු සහ සූදුරු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ලූණු ටික මැලවී ගෙන එන විට කුඩාවට කපාගත් තක්කාලි එකතු කර හොඳින් කලවම් කරමින් තක්කාලි මෘදු වන තුරු තබගන්න. 

ඊළඟට මිරිස් කුඩු සහ කහ කුඩු එකතු කර නැවත හොඳින් කලවම් කර විනාඩි දෙක තුනක් තබාගන්න. 

දැන් මේ තක්කාලි මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගෙන ඇඹරුම් ගලක්, වංගෙඩියක් හෝ බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳින් අඹරා ගන්න. 

නැවත භාජනයක් ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට උළුහාල්, අමු මිරිස් සහ කරපිංචා එකතු කර මඳ වේලාවක් බැඳීමට තබන්න. 

දැන් කලින් අඹරාගත් තක්කාලි මිශ්‍රණය දමා හොඳින් කලවම් කරගන්න. 

විනාඩියක් දෙකක් පමණ තබා මිශ්‍රණය වැසෙන ප්‍රමාණයට ටිකක් වැඩියෙන් වතුර සහ සියඹලා කැබැල්ල එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න. 

රස අනුව ලුණු සහ අවශ්‍ය නම් මිරිස් කුඩු එකතු කර හොඳින් කලවම් කර භාජනයේ පියන වසා විනාඩි 04 ක් 05 ක් පමණ තබාගන්න. 

විනාඩි 05 කට පසු භාජනයේ පියන විවෘත කර අමු හාල්මැස්සන් ටික එයට එකතු කර ප්‍රවේශමෙන් කලවම් කරගන්න. 

නැවත භාජනයේ පියන වඩා අමු හාල්මැස්සන් ටික හොඳින් ඉදෙන තුරු තබාගන්න. 

හාල්මැස්සන් හොඳින් පිසුණු පසු නැවත හොද්ද හොඳින් කලවම් කර ලිපෙන් ඉවත් කරගන්න. 

බත්, පාන්, ඉඳි ආප්ප මේ ඕනැම දෙයක් සමඟ රස බලන්න රසම රස කටට සැර අමු හාල්මැස්සන් හොද්ද ඔන්න දැන් සූදානම්. 

ඔබ කැමති නම් හොඳට පැසුණු අමු අඹ කෑලි දෙක තුනක් මේ හොද්දට එකතු කරගෙන රස තවත් වැඩිකරගන්න පුළුවන්. 

එහෙනම් මේ වගේම රස පිරුණු තවත් කෑමක් අරන් නැවත ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද සමුගන්නව. 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles