මියුරු පෙම් වසන්තේ – 34

මියුරු උන්නේ සතුටෙනි. නදී ආදරෙයි කියා වචනයෙන් නොකිව්වාට, ඇය හිනාවෙන විදියත්, තමන් දිහා බලන විදියත්, තමන් ඇය දිහා බලද්දී ලැජ්ජාවෙන් බිමට නැඹුරු වෙන ඇස් බැල්මත් කියන්නේ වෙනම කතාවකි. ඉතින් ඒ සතුටු වෙන්නට මියුරුට ඕනවටත් වඩා ඇතිය. 

ඒ නිසාම මියුරු බොහෝ දිනවල හවසට වැඩ ඇරී ගෙදර යන්නට කලියෙන් නදී එක්ක තේකක් බොන්නට හෝ මොනවා හෝ දේකට එලියට ගියේය. නදීට ඇඳුම් පැලඳුම් ඒවට ගැලපෙන සපත්තු සෙරෙප්පු ආදිය අරගෙන දෙන්න මියුරු කැපවුනේය. 

“ඒකි දැන් වෙනදට වඩා හොඳට අඳිනව නේද?” කියා සනුකි ලිඩියාට කිව්වේ ඔන්න ඕව දැකය. සනුකි එදා එච් ආර් එකේ වෙච්ච දෙයින් පස්සේ තේමිය එක්ක කතා කරන්න තියා හිනාවෙන්නවත් ගියේ නැත්තේ “ඒ වගේ මොට්ටයෙක් ආස්‍රය කරන එකෙන් වෙන්නෙ මිනිස්සු මාත් මොට්ටයෙක් කියල හිතන එක” කියා හිත කිව්ව හන්දාත් ලිඩියාට ඒක කිව්වම ඇයත් ඔලුව හොල්ලා ඒක පිලිගත්ත හන්දාත් ය.

“ඔව් එක්කො බර අත්තක් සෙට් වෙලා එහෙම නැත්තම් ඕකි මුලු පඩියම ඇඳුම් ගන්න වියදම් කරනවා ඇති.”

“මේ මං අහන්න හිටියේ ඒකි කොහෙද ඉන්නෙ? ගෙවල් එහෙම කොහෙද? අපි එහෙම දන්නෙ නෑනෙ වැඩිය”

“අනේ මන්ද අර නිලන්තල එක්කනෙ ලන්ච් ගන්නෙ, සමහරවිට එයාලා දන්නවා ඇති. අහල බලන්නද?”

“එපා එපා, අන්තිමේ එයාලා හිතාවි අපි මේකි ගැන හොයනව කියල, නිකන් චා වෙන්න ඕන නෑනෙ. බලමුකො අපිට පුලුවන් වෙයි හොයාගන්න. මට නම් හිතෙන්නෙම එයා මොනවහරි හංගන් ඉන්නව කියලමයි. අනේ මන්ද ඇයිද කියල මට එහෙමමයි හිතෙන්නෙ”

ල්

සනුකි සහ ලිඩියා ඔය කතාව කර කර උන්නු දවසෙ නදී ඇඳගෙන ඇවිත් උන්නේ ඊට කලින් දවසක මියුරු කෙලී ෆෙල්ඩර් එකෙන් අරන් දුන්න ලස්සන බිස්නස් වෙයා ඇඳුමක් ය. තමන් මෙච්චර දවසක් “ඔෆිස් අඳින ඇඳුම්” කියලා හිතාගෙන ඇඳන් ඇවිත් තිබ්බේ මොන හම්පඩ කෑලිද කියා නදීට හිතුනේ කෙලි ෆෙල්ඩර් එකේ බොස් ලේඩි කලෙක්ශන් ඇඳුම් ටික දැක්කයින් පස්සේය.

“ඔයාගෙ ඇඟට ලස්සන මේ වගෙ කලස්, ඔයා ගොඩක්ම අඳින්නෙ බ්ලැක් නෙ ඒ උනාට” කියා මියුරු කිව්වේ ලස්සන කෙහෙල් දල්ලේ පාට ශිෆ්ට් ගවුමක් හැඟර් එකෙන් ඔසවා නදීට පෙන්වන අතරේය. ඒ ඇඳුම ලස්සන බව ඇත්තය, ගාණ හැබැයි ඊටත් වඩා ලස්සනය. වේල් තුනක් හතරක් කන්න පුලුවන් ගාණක් ඇඳුමට දෙන එක මියුරුට මහ දෙයක් නොඋනාට “අනේ මට ඇඳුම් එපා ඔය සල්ලි ටික මට දෙන්න” කියා කියන්න තිබුනානම් හොඳ බව නදීට හිතුන එක ඇත්තය.

“මේ දැන් ගත්ත එක ඇති. ආයෙ පස්සෙ ගන්න පුලුවන් නෙ” කියා නදී මියුරුට බැගැපත් උනේ කාගෙ උනත් සල්ලි ඔහොම නාස්ති කරන එක අපරාදෙ හන්දාය.

“පිස්සු ද ළමයො, මේ ටික අරන් මොනව කරන්නද? අපි තව බලමුකො. මං ආසයි ඔයා ලස්සනට ඉන්නවට”

“අනේ ඒඋනාට ඔයා සල්ලි නාස්ති කරගන්න එපා මං නිසා මෙහෙම ප්ලීස්” නදී එහෙම කියද්දී මියුරු මොහොතකට පැත්තට හැරී වටපිටේ ඉන්න කවුද කියා බලා නදිගේ කම්මුලක් මත සියුම් සිප ගැනීමක් රඳවමිනි. නදී රතු උනාය. පොඩ්ඩක් විතර තිගැස්සුණාය. ඒ උනාට මේව හිත අස්සේ මල් පුබුදුවන අන්දමේ ප්‍රේමණීය හැසිරීම් නිසාම දෙතොල මතට හිනාවක් එන එක නවත්තගන්න බැරි උනාය.

“මං වියදම් කරන එක අපරාදෙ නෑ බබා, මං වියදම් කරන්නෙ ඔයාට. ඒ මං ආදරේ කරන හන්දා. ඒ නිසා ඒක බොරු වියදමක් කියල හිතන්න නම් එපා” කියා මියුරු ආයෙ වතාවක් ඇඳුම් පැලඳුම් හොයද්දී නදී බලාගෙන උන්නේ වෙන කරන්න දෙයක් නැති හන්දාය.

එදා නදී අතින් කටින් උස්සගෙන ගෙදර එද්දී ඒ විත්තිය දුටුවේ චන්ද්‍රකාන්ති පමණක් නොවේ. මිලින්දගේ ඇහැටත් ඕන් ඕක පෙනුනේය. නදී එදා කියල තියෙන්නෙ බොරුවක් වෙන්න බැරි බව මිලින්ද උනත් තේරුම් ගත්තේ ඒක දැක්කයින් පස්සේය.

“මෙච්චර දවසක් ඒකි රස්සාවට ගියා ඔහොම අතෙන් කටෙන් ඇඳුම් එහෙම උස්සන් ආවෙ නෑනෙ. ඔය කියන විදියට ඒකි එදා කියල තියෙන්නෙ ඇත්ත වෙන්න ඕන. ඔහොම ඇඳුම් අරන් දෙන්න නම් ඉතින් හොඳ රස්සාවක් කරන එකෙක් වෙන්න ඕනනෙ. සමහරවිට ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක වෙන්නැති යාලුවෙලා ඉන්නෙ” කියල නොහිත ඉන්න විදියක් මිලින්දට තිබ්බේ නැත.

එදා විල්සන් කාරයා නම් “ඔව් බං බඩ බුරුල් වෙලා ගූ ගියාම ඔය පාටනෙ. උබ ඕක වෙනස් කරගනිං. නදිය කැමතිවෙයි” කියල කිව්වට නදී කියන්නෙ එහෙම මේ තමන් කොණ්ඩෙ පාට වෙනස් කල පමණින් අදහස් වෙනස් කරගන්න එකියක් නොවන බව මිලින්ද දනී. ඒ නිසාම මේකට වෙන දෙයක් කරන්න ඕන බව මිලින්ද එදා රෑ තිස්සේම හිතුවේය.

“නදීව ශුවර් එකට මොකෙක් හරි අපතයෙක් රවට්ටගෙන ඇති. සල්ලි හෙල්ලුවම ඉතින් කෙල්ලො අහුවෙනවා කියල දන්න හන්දා වෙන්නැති මිනිහ ඇඳුම් හෙම අරං දීලා තියෙන්නෙ” කියල මිලින්ද එදා බත් කාලා ඉවර වෙලා ඇඳේ හාන්සි වෙලා දතක් අස්සේ හිරවෙච්ච මැල්ලුම් කෑල්ලක් එලියට අරගන්න දඟලන ගමන් දහ අතේ හිතුවේය.

“නදී හා කියනකම් මං සද්ද නැතුව ඉඳියොත් වෙන්නෙ ඕකිව වෙන කවුරුහරි උස්සන එක. මං සීන් එකට එන්ටර් වෙන්නෝන” කියා ඇස් මිලින්ද හිතුවේ ඉක්මනින්ම ඒකට සුදුසු වැඩපිලිවෙලක් දියත් කරන්න හිතාගෙනය.

නදී උන්නේ ඇත්තටම කරන්න ඕන මොකද්ද කියල හිතාගන්න ටිකක් අමාරුවෙන්ය. මියුරු කියන්නේ නරක කොල්ලෙකු නොවන බව ඇත්තක් උනත් තමන් මියුරුට කැමැත්ත දුන්නයින් පස්සේ කවදක හෝ දවසක ඒ අල්ලගත්ත අතාරින්න උනොත් ඒක තමන්ට වගේම මියුරුටත් වේදනාවක් වෙන්න පුලුවන් බව නදී දනී.

මේ සියල්ල අස්සේ චන්ද්‍රකාන්තිට කල්පනා කරන්න බොහෝ දේ තිබුනාය. නදී කියන්නේ දුවගේ දුව බව ඇත්තක් උනත් චන්ද්‍රකාන්ති වසන්තාව පරිස්සම් කරාට වඩා නදීව පරිස්සම් කරේ “වසන්තා කරගත්ත මෝඩ වැඩේ ඒකිට කරගන්න දෙන්නෙ නෑ මං” කියල හිතාගෙනය. ඒ අත්තම්මා කෙනෙකුගේ ස්වරූපයෙන් අරගෙන ආ මවකගේ ආදරය රැකවරණය සහිත හැඟීමකිනි.

ඉපදුනේ වත්තක හන්දා නදීව පරිස්සම් කරන්න තමන්ට බොහෝ වෙහෙස මහන්සි වෙන්න තියෙන බව දන්නවා උනත් කෙල්ලෙක්ට කරදරයක් වෙන්නට යන්නේ තප්පර ගානක් බවත් ඒක වත්තක වුනත් මහා මන්දිරයක් අස්සේ උනත් වෙන්නට පුලුවන් කියන කාරණාව චන්ද්‍රකාන්ති නොදන්නා දෙයක් නොවේ.

“උඹ නිදිද?” චන්ද්‍රකාන්ති එහෙම ආවෙ මදුරුවෝ කන හන්දා රෑට පොරවගන්න චීත්තය ඔලුවේ හිටං පොරවගෙනය. නදී ඒ වෙද්දීත් උන්නේ ඇහැරගෙන මියුරු විසින් එවන ලද පරණ වට්සැප් පණිවිඩ ආයෙ ආයෙ කියමින් රහස්‍ය මධුර හැඟීමක ගිලෙමිනි.

“ඇයි ආච්චි?”

“මං උබට කාරණාවක් කියන්න ආවෙ” කියමින් ආච්චි ඇඳ උඩ වාඩිවුනේ වඩා බැරෑරුම් දෙයක් කියන්නට බව තේරිච්ච හන්දාම නදීත් නැගිට ඇඳ උඩ වාඩිවෙලා කෙස් කලඹ උඩට කර ගැට ගහගත්තාය.

“මං උබෙන් අහන්නෙ නෑ කෙල්ලෙ ඔය ඇඳුම් එහෙම අරන් දුන්නෙ කවුද කියල. ඔය වයසෙදි ඉගෙනගත්ත, ලස්සන, උබ වගේ කෙල්ලෙක්ට කොල්ලෙක් නෑ කිව්වනම් ඕන් මං ඒක අවිස්වාස කරන්න තිබ්බා. 

උබට මම ආයෙ මතක් කරල දෙන්න ඕන නෑනෙ බං මං උබට කලිනුත් කියල තියෙනවනෙ අම්මා කරගත්ත දේ. ඒ සන්තෑසිය උඹට වෙනවට අකමැති හන්දයි මං කලින්ම කියන්නෙ මේක.

ආදරේ කියල ලං වෙන හැම පිරිමියම දෙයියො කියල විශ්වාස කරන්න තරම් මෝඩ වෙන්න එපා කෙල්ලෙ. කොයි පිරිමියත් ගෑණුන්ට ලං වෙද්දි ලං වෙන්නෙ ආදරෙයි කියාගෙන තමයි. ඇඳුම් ගලවන්න තියන උවමනාව උන්ට නෑ වැඩේ කරගත්තයින් පස්සෙ උන්ට උඹට ඇඳුම් අන්දවන්න. උඹ ඇඳුම් ඇඳ ගන්නකං ඉන්නෙවත් නැතුව තමයි උන් පැනල දුවන්නේ” 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles