(අ)හිමි සිහින -215

සුසාන භූමිය එතරම් විශාල එකක් නොවුණු නිසා එහි ආචාර පෙලපාලියට සහභාගී වූවන්ට හා මන්ඩප දෙක හැරුණු විට සෙනගට ගැවසෙන්නට ඉඩකඩ තිබුනේ සීමිතවයි.එනිසා සුසාන භූමියට පිටතින් තිබුණු තාප්පයෙන් එපිට සිට සිදුවන සියල්ල බලා සිටි විශාල පිරිසක් සිටියා.සැබවින්ම එහි තිබුනේ අල්පෙනෙත්තක් බිමවැටුනත් ශබ්දය ඇසෙන තරම් නිහැඬියාවක්. එහි සුධාරක වෙනුවෙන් පවත්වන කතාව හැරුණු කොට වෙනත් හැලහොල්මනක් තිබුණේ නැහැ.

මම හදවතින් ඔහුගේ ආදරණීය මතකයන් සිහිකරමින් දෙනෙතින් වැටෙන කඳුලුවලට ඔහේ ගලායන්නට ඉඩ හැරියා.මට කඳුලු නවතන්නට හැකියාවක් වත් ඕනෑකමක් වත් තිබුණේ නැහැ.මගේ හදවත ඊට වඩා සංවේදී දේවල් ගැන සිතමින් විස්සෝප වෙමින් තිබුණා.මට ඔහුගේ මරණය තුල දැනුනු වේදනාව වගේම ජීවිතයේ බොහෝ දේ ඇත්ත ඇතිහැටියෙන් සියැසට සහ මනැසට පැහැදිලිකර දුන් මරණයක් වුනා

විවාහය කියන නෛතික බැඳීමක් ඇති හැම කුටුම්භයකම ඔය කියනතරම් මහා ලොකු බැඳීමක් නැති බවත් මාපියන් දරුවන් හෝ සහෝදරකම් තුළ කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බවත් පීතෘත්වයට සැබෑ ගරුත්වයක් නැති බවත් මේ ඔක්කොටම වඩා වස්තු තන්හාව ලඟ මනුෂ්‍ය ජීවිතයක වටිනාකම අල්ප මාත්‍රයක් හෝ නොවටින බවත්.ඔහු මට ජීවමාන සාක්ෂියක් ව පියවි නෙතට පෙන්නා දුන්නා.මාස අටක් සයනයක් මත තනිව සුධාරක මාරයා හා සටන්කරමින් මගේ ජීවිතයේ නොදැන මගේ යැයි සිතා ආදර කරුණාවෙන් සැලකූ සර්පයන් බදු මිනිසුන් මගෙන් සදහටම ඈත්කර පිට වුවත් දන්නා නොදන්නා සත්පුරුෂ මනුස්සකමින් පිරි හදවත් ඇති මිනිසුන් දහස්ගනනක් මා වටා එකතු කළා.ඔහු මට තවත් ජීවිතයේ වැදගත්ම පාඩමක් කියාදුන්නා.ඒ කිසිවිටෙකත් අනුන්ගේ සිත තුල තමාගේ සුවය අභිවෘද්ධිය වෙනුවෙන් කිසිදු අපේක්ෂාවක් තබා නොගන්නා ලෙසයි.

මෙ වැනි අතොරක් නැති සිතිවිලි අතර කිමිදෙමින් සිටිනා අතර මට මා වටා පොඩි කලබලයක් නිර්මාණය වෙමින් තිබෙන බව තේරුණා.සුධාරකගේ පවුලේ අය සිටියේ මා මැදිකරගෙන. මා පලමුවෙන් පැමිණ ඉදිරිපෙළ අසුන්වල හරි මැදින් අසුන්ගෙන සිටි නිසා එය එසේ වන්නට ඇති.මට අනෙක් පසින් සිටි සුධාරකගේ නැගනියන් හා මස්සිනා තමතමන්ට කුටු කුටු ගාමින් සිට එක්වරම අප සිටි මණ්ඩපයේ පිටුපස සිටි නිල ඇඳුම් හැඳගත් කාන්තා සෙබලියන් දෙදෙනෙකු කැඳවූවා. සුධාරකගේ විස්තරය කියවන අතරතුරේ පැවති දැඩි නිහැඬියාව බිඳිමින් ඒ කලබලය දෙස සියල්ලන්ගේම නෙත් යොමුව තිබුනා.

සෙබළියන් දෙදෙනා ළඟට කැඳවු සුධාරකගේ මස්සිනා අප සියලු දෙනාම හිටගෙන සිටිද්දී ම මමත් දුවත් හිටගෙන හුන් පුටුව එතැනින් ඉවත්කර ඒ පුටුව ඔවුන් සිටිනා තැනින් තබාගත්තා.ඒ කාන්තා සෙබළියන් ට කරන්නට දෙයක් තිබුණේ නැහැ.මම දන්නවා ඔවුන් මේ මිනිස්සුන්ට හදවතින් සාප කරන්න ඇති මොකද එතන සිටි පිරිසෙන් හතරෙන් තුනක් ම මා හා සුධාරක ගේ සත්‍ය කතාව දන්නා අප ආදරයෙන් ජීවත් වූ බව ඇසට දැකි අය නිසා.

දැඩි නිහැඬියාවක් පැවති අවමංගල්‍ය සභාවේ මේ මණ්ඩපය හරි මැදම මේ සිදුවන කලබලය දෙස සියල්ලෝම විමතියෙන් බලා සිටින්නට වුනා.ගැහැණියක් කුඩා දරුවෙකු සමග හිඳ සිටි පුටුව මේ තරම් සෙනගක් මධ්‍යයේ ඉවත් කරන්නේ ඇයිදැයි අනික් මිනිස්සුන්ට ගැටලුවක් වන බව මේ මෝඩ මිනිස්සුන්ට වැටහුණේ නැහැ. ඔක්කෝටම වඩා සියලු දේ සජීවීව වීඩියෝ ඡායාරූප මාධ්‍ය දෙකෙන්ම පටිගතවෙමින් තිබියදී මෙවන් දෙයක් කිරීම ඔවුන්ටම පාරාවළල්ලක් වෙන බව ඔවුන්ට සිතුනේ නැහැ.ඒ ඔක්කොටම වඩා අනුරාධා සමග තිබූ වෛරය සහ පලිගැනීම ඉහළ තැනක තිබුණා.ඒ වෛරයට හේතුව මම අදටත් දන්නේ නැහැ.බොහෝවිට දේපල වලට වෙන්නැති.ඒත් අනුරාධාට වටිනා කියන එකම දේපල වූයේ සුධාරක බව ඒ අධම මිනිසුන් දැනගෙන හිටියේ නැහැ.

මේ අමන අසත්පුරුෂ ක්‍රියාව සියලු දෙනා හෙළා දැක විවේචනය කර තිබූණා.එපමණක් නොවෙයි සුධාරක ගේ ආයතන ප්‍රධානියා ඊට ටික දිනකට පසු සුධාරක ගේ මස්සිනා අමතා කනේ ඇඟිලි ගසාගන්න හොඳහැටි ආමන්ත්‍රණය කර තිබුණා.

මම ඒ අවස්ථාවේදී සිනාසුණා.ඇත්තටම මට සිනා ගියා.නමුත් මුඛවාඩම නිසා එය අනිත් අයට පෙනුණේ නැහැ.මට එතන පුටුවක් මොකටද…..?ජීවිතයේ වැටි වැටි ආ ගැහැනියකට පුටුවක් මොකටද?සුධාරක වෙනුවෙන් අනේක දුක් දොම්නස් නින්දා අපහාස විඳගෙන අසීරු ගමනක් ආරම්භ ගැහැණියකට පුටුවක් මොකටද?මම ඔහු වෙනුවෙන් විඳි දුක් ගැහැට වලින් අල්පමාත්‍රයක් වත් ඔබට මා මෙහි කියා නැහැ.තවමත් ඔබ මේ කතාවෙන් දන්නේ ඉතා සුලු සිද්ධි ප්‍රමාණයක් පමණයි.එහෙම ගමනක් ආ අනුරාධාට සුධාරක තව ටිකකින් දුම්රොටුවක් වී වාතලයට එකතුවනතුරු හිටගෙන ඉන්නට ඕනෑතරම් හයිය තිබූණා.

මට ඒ අවස්ථාවේ ඔවුන්ට මෙන් කලබලයක් කරන්නට අවශ්‍ය වූයේ නැහැ.ඒ සියලු දෙයින් සදහටම සමුගෙන යන මගේ ආදරයට වෙන්නේ නින්දාවක් ඔහුට දැනටම කර තිබූ නින්දා අපහාස හොඳටම ඇති.මට අනුව නම් එතැන සත්‍ය වශයෙන්ම සුධාරකගේ කියා කෙනෙකුට සිටියේ මමත් මගේ කුඩා දියණියත් පමණයි.නීත්‍යනුකූල බව කියාගන්නා ඒ කාන්තාවත් දරුවනුත් සුධාරක ගිලන් වී මරණය අභියස සිටි මාස අට පුරාවටත් නැහැ.ඔහුගේ මරණයටත් නැහැ ඒ නිසා එතැන ඔහුට සිටි ඔහුගේ හදවතේ බිරිඳත් ඔහුට දාව නූපන්නත් පියෙකු සේ ඔහුට ආදරය කල කුඩා දරුවෙකුත් පමණයි. ඔහුගේ ගෞරවය රකින්නට සිටියේ.ඒ නිසා මා පුටුවක් නැතත් අවමංගල්‍යය අවසන්වනතෙක්ම සිටගෙන ම සිටින අදිටනින් කිසිදු ලෙසකින් එයින් වික්ෂිප්ත නොවූ බව හඟවා වැඳගෙනම සිටියා.

අවමංගල්‍ය පණිවිඩය කියවා අවසන්වී දේහය එතෙක් නොදුටු අයට දැකගන්නට විවෘතකරන අවසාන මොහොත උදා වුණා.මම ඒ ගැන ඔබට හෙට කියන්නම්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles