දේවිකා යන නමින් රුපියල් පනස් දහසක මුදලක් තැන්පත්කල බැංකු ලදුපතක් සංකල්පනීට හමුවූයේ ධනුකගේ කලිසම් සාක්කුවක තිබීය. ඔහු යළි ඇනෙක්සියට පැමිණෙන තුරුම කිසිවක් නොඇසුවත් බියක්, සැකක්, සාංකාවක් ඇගේ සිතට දැනෙමින් තිබිණ. තමා අයිතියක් නොමැති තැනක නතරව සිටිනවාය යන හැඟීම සංකල්පනීගේ සිතට වෙනදාටත් වඩා වැඩියෙන් වද දෙන්නට පටන් ගත්තේ එතැන් සිටය.
“අනේ මන්දා. මම ගෑනු කෙනෙක් ජීවිතයට ලං කර ගන්නේ නෑ කියලා තමයි හිතාගෙන හිටියේ. ඔය මගේ යාළුවන්ගේ වයිෆ්ලා වාත වෙන හැටි දැකලා මම ඇත්තටම මැරි කරන්නේ නෑ කියන තීරණයක හිටියේ. පොඩි දේටත් කලබල වෙනවා, අඬනවා, කියවනවා එකම දේ සිය සැරයක් කියවනවා නැන්දම්මලා එක්ක ප්‍රශ්න ඇති කරගන්නවා. ගෑනු කියන්නෙ දෙයක් කියලා තේරුම් කරන්න පුළුවන් ජාතියක් නෙමෙයිනේ. මම නිදහසේ ජීවත් වෙන්න කැමති මිනිහෙක් සංකල්පී. කලාකාරයෙක් කියන්නේ කොටුවෙන්න ඕන මනුස්සයෙක් නෙමෙයි. මං ඇත්තටම බයයි මැරේජ් ලයිෆ් එකකට ගිහිල්ලා මගේ ජීවිතේ හිර වෙයි කියලා.”
ධනුක එසේ පැවසූයේ ඔහුව හඳුනාගත් මුල් කාලයේදීය. ඒ විවාහයක් පිළිබඳව තවමත් නොසිතූවේ මන්දැයි සංකල්පනා ප්‍රශ්න කරද්දීය. එනිසාම වරින් වර දික්කසාදයත් විවාහයත් ගැන සිහි කරමින් ඔහුට වදයක් වන්නට සංකල්පනී බිය විය.
දිගු සුසුමක් මුදා හරිමින් ඕ අවසන රන්දිකට දුරකථන ඇමතුමක් ලබාගත්තාය.
ඔහු ඇමතුම හා සම්බන්ධ වූයේ එය නාද වූ පළමු තත්පරයේමය.
“සංකල්පනී ඔයා හොඳින්ද….”
එහා පසින් ඇසුණු හඬෙහි වූයේ කෝපයක් නොවේ.
“මට ටිකක් කතා කරන්න ඕනේ රන්දික. ඔයා ඔෆිස් එකේ වැඩ වැඩි වෙලාවකනම් මම පස්සේ ගන්නම්.”
“නැහැ මං අද ඔෆිස් ගියේ නෑ. මම මේ චුට්ටක් එළියට ඇවිත් ඉන්නේ අම්මගේ තනියට නවත්තන්න ගෑනු කෙනෙක් හොයන්න.”
“ඇයි ඔයාගේ නංගි..”
“නංගිටත් හැමදාම අම්ම ලඟට වෙලා ඉන්න බෑනේ සංකල්පනී. අපේ නැන්දා ගෙනාපු යෝජනාවකට එයා කැමති වෙලා. ඒ මල්ලි නුවර කෙනෙක්. නංගි යන්න කලින් කවුරු හරි ගෙනල්ලා අම්මගේ වැඩ ටික හුරු කරවන්න ඕනෙ කියලා මං හිතුවා. ඔයා ඇයි කතා කළේ.”
“රන්දික ප්ලීස් මට ඩිවෝස් එක දෙන්න…”
“ඔයාගේ කැමැත්ත ඒක නම් තවදුරටත් ඔයාව හිර කරලා තියාගන්න මට බෑ. හිතිනුයි ගතිනුයි දෙකෙන්ම වෙන්න උනාට පස්සේ කසාද සහතිකයක් ඇතුලේ ඔයාව හිර කරගෙන මොකටද. හැබැයි ඉතින් මෙච්චර දවසක් මං ඔයාගේ ඉල්ලීමට කන් දුන්නේ නැත්තේ ඔයා හැම දෙයක්ම තේරුම් අරගෙන ආපහු එයි කියලා හිතලා.”
“එහෙම හිතන එකේ තේරුමක් නෑ රන්දික. මං හිතනවා මම මේ ඇවිල්ල නතර වෙලා ඉන්නේ මට සුදුසුම තැන කියලා. තවදුරටත් ධනුක මගේ නෙමෙයි කියන හැඟීමෙන් මට පීඩා විඳින්න බෑ. please…”
“නෑ… නෑ ඔයා ඒ තරම් බැගෑපත් වෙන්න ඕන නෑ. මං මොකක්ද කරන්න ඕනේ? ඔයාගේ පැත්තෙන් ඔයා ඒ තීරණය ගන්නවද නැත්නම් මගේ පැත්තෙන් මම ලෝයර්ට කතා කරන්නද?”
“ඔයාගේ පැත්තෙන් ලෝයර්ට කතා කරන්න. පුළුවන්නම් මට මේ වැඩේ ඉක්මනින් කරලා දෙන්න. මට වෛර කරන්න එපා රන්දික. තවදුරටත් අකමැති තැනක රැඳෙන්න බැරි හින්දයි මම මේ තීරණය ගත්තේ. ඔයාගේ පැත්තෙන් ඔයා වැරදි නැති වෙන්න පුළුවන්. සමහර විට මේක අපි පතාගෙන ආපු ජීවිතය වෙන්නත් පුළුවන්.”
“මං ඉක්මනින්ම ඒ දේ කරන්නම්. සංකල්පනී ඔයාට ධනුක එක්ක ජීවිතයක් තියෙනවා කියලා ඔයාට හිතෙනවද. මං එහෙම අහන්නේ යුතුකමක් විදිහට.”
“ඔයාගේ ලඟ තරං සල්ලි දේපළ ධනුක ළඟ නැතිවෙන්න පුළුවන්. ඒත් මං හොයපු ආදරේ සරල කම සතුට මගේ කියන හැඟීම මට ධනුක ළඟදි දැනෙනවා. ඔයාව මැරි කරද්දි මම මුල් තැන දුන්නේ අම්මගෙයි තාත්තගෙයි කැමැත්තට. හැබැයි මට හිතුනා කාලෙත් එක්ක ඔයාට හුරු වෙන්න මට පුළුවන් වෙයි කියල. ඒක එහෙම නෙමෙයි කියලා ගෙවිල ගියපු අවුරුදු දෙකේදි මං තේරුම් ගත්තා. මට ධනුක ළඟට ආවට පස්සේ දැනුනේ මැරිලා ඉපදුනා වගේ හැඟීමක්. ඔයා ළඟ මං ගත කලේ මවා ගතපු ජීවිතයක් කියලා මට තේරුනේ ආපහු නිදහසේ හුස්ම ගනිද්දී. වරදක් උනානං මං ඒකට සොරි කියනවා.”
“නෑ…නෑ ඒ ගැන හිතන්න එපා. මගේ පැත්තෙන් මං හිතුවේ ඔයා ගත්තේ වැරදි තීරණයක් කියලා. ඒකයි මම ඩිවෝස් එක දෙන්න පරක්කු කලේ. අද හෙටම මම ලෝයර් කෙනෙක් ගාවට ගිහිල්ලා ඔයාට දැනුම් දෙන්නම්…”
මුලින්ම දුරකථනය විසන්ධි වී ගියේ එහා පසින්ය. යළිත් දිගු සුසුමක් මුදාහළ සංකල්පනී නැගී සිටියේ කුඩා බිත්ති ඔරලෝසුවෙහි සවස හය සටහන් වද්දීය. ධනුක නිවසට ඇතුළු වන්නේම ‘බඩගිනියි සංකල්පනී…’යැයි කියාගෙනය. එනිසාම රාත්‍රී ආහාරය වෙනුවෙන් වේලාසනින් යමක් සැකසිය යුතුය. හාල්මැස්සන් බැදුමක්, වැටකොළු ව්‍යාංජනයක් සෑදූ ඕ බිත්තරයක් තැම්බෙන්නට තැබුවේත් ධනුක වෙනුවෙන්ය. සංකල්පනී බැංකු ලදුපත පිළිබඳව ප්‍රශ්න කළේ ඔහු රාත්‍රී ආහාරයත් ගත්තාට පසුවය.
“ඔයාට කොහෙන්ද ඒක…”
මාස ගණනාවක් පුරාවටම ධනුක ජීවත් වූයේ සංකල්පනීට සැකයක් නූපදින්නටය. එය ලෙහෙසි පහසු කාර්‍යයක් වූයේ නැත. අඩු තරමේ ඈ අබියස ඔහු අම්මාටවත් දුරකථන ඇමතුමක් ලබා ගත්තේ නැත. මුලදී කලබල වුවත් ඔහු දෙවෙනි වර ඉක්මන් වූයේ තමාගේ දෑස් සඟවා ගන්නටය.
“ආ…ඒ අපේ ලොකු අම්මා කෙනෙක්ගේ දුවෙක්…මං පනහක්ම අම්මට යැව්වා සංකල්පී. පහුගිය කාලේ ඇත්තටම මට එයාට කීයක්වත්ම යවන්න බැරි වුණානේ. අම්මට බැංකු ගිහිල්ලා සල්ලි ගන්න එක කරදරයි. ඔය අක්කා නිතරම ටවුන් එකට යනවා එනවා. ඒ නිසා මං එයාට ඩිපෝසිට් කළා. සල්ලි හම්බුනා කියලා අම්ම අද මට කෝල් එකකුත් දුන්නා.”
සංකල්පනී ඒ බොරුව විශ්වාස කල බව දැනුණු හෙයින් ධනුක සැනසුම් සුසුමක් මුදා හැරියේය. සෑම මාසයකම ඇයට හොර රහසේ හිතට දැනෙන මුදලක් දේවිකා වෙත යවන්නට ධනුක අමතක නොකළේය. තවමත් නීතියෙන් බැඳී නොසිටියත් තමා නතර විය යුත්තේ ඇය අබියස බව ඔහු තදින්ම විශ්වාස කළේය. ඔහුට උවමනා වූයේ මාමාගේත් නැන්දාගේත් සිතෙහි තමාට ඇති තැන රැක ගන්නටය. මේ අයුරින් මාස් පතා මුදලක් යැවීම තුළින් ඔවුන් තමන්ව විශ්වාස කරන බව ධනුක දැනසිටියේය.
“කෙල්ල ඊයේ මට රුපියල් දහදාහක් ගෙනත් දීලා ගියා. කොච්චර කිව්වත් අහන්නේ නෑනේ, ‘නැන්දේ අයියා මට සල්ලි එවනව’ කියල කිව්වා. උඹලගේ අනාගතයට කීයක් හරි ඉතුරු කරගන්න එක මගේ හිතට හරි සැනසීමක්. මං මේ රුපියල් දහ දාහ හරි ගත්තේ කෙල්ලගේ හිත රිදෙයි කියලා බයට. මට තාත්තගෙ පැන්ෂන් එක වැඩිත් එක්ක පුතේ…”
අම්මා එසේ පැවසූයේ උදෑසනය. තමා මුදල් යැවූ පසු දේවිකා ඒ සෑම වතාවකම වට්ස්ඇප් සේයාරුවක් එවන්නේ ශේෂය පැහැදිලිව පෙනෙන පරිද්දෙන්ය. ගෙවී ගිය වසර දෙක පුරාවටම ඇය ඉන් එකඳු රුපියලක්වත් වියදම් කර තිබුණේ නැත. දැන් එහි ශේෂය ඉලක්කම් හතකි.
****************
නුලාරා තනි බිත්තියක් පුරාවටම ඉඩ හිමි කරගෙන උන් අඟල් හැත්තෑ පහේ වර්ණ රූපවාහිනිය නිවා දැමුවේ දෑස් වල කඳුළු පුරවාගෙනය. එය දමිළ චිත්‍රපටියකි. ධනුෂ් නමින් හැඳින් වූ ප්‍රධාන නළුවා විවාහයකට එකඟ වන්නේ තාත්තාගේ කැමැත්තටය. ඒ තාත්තාගේ හොඳම යහළුවාගේ දියණියයි.එහෙත් ධනුෂ් පෙම් කරනා යුවතිය සිටින්නේ පිටරටකය. තමාගේ යෝජනාවට කැමැත්ත පළ නොකළහොත් ව්‍යාපාරවල අයිතිය ධනුෂ්ට නොදෙන බව පවසමින් පියා තර්ජනය කරයි. අවසන ධනුෂ් විවාහයට එකඟ වේ. ව්‍යාපාරවලින් ලැබෙන ආදායම නොමැතිව තමාට සැපවත් ජීවිතයක් ගත කිරීමට නොහැකි බව ධනුෂ් තම පෙම්වතිය හා පවසන්නේ වේදනාවෙන්ය. ඇය අහිමි කර ගැනීමට තමා කිසිසේත් සූදානම් නොවන බවද ඔහු පවසා සිටී. අවසන දෙදෙනා එකඟ වන්නේ ධනුෂ් යෝජිත මනාලිය විවාහ කර ගතයුතු බවත්, ඇය තම නිවසට සීමා වී සිටියදී මේ සම්බන්ධතාවය දිගටම ගෙන යා යුතු බවටත්ය. ධනුෂ් විවාහ වී නිවසට එන යුවතිය ඔහුව දැඩිව විශ්වාස කරමින් සිටි. ඒ කාලයේම පිටරට සිටි පෙම්වතිය ඉන්දියාවට පැමිණ ධනුෂ්ගේ පුද්ගලික ලේකම්වරිය ලෙස සේවයට බැඳේ. තම දෙමව්පියන් හා බිරිඳ අසලදී උපරිම විශ්වාසයෙන් හැසිරෙන ඔහු තම පෙම්වතිය සමග සුපෝපභෝගී මහල් නිවාසයක කාලය ගත කරන්නේ කාටත් හොර රහසේය.
රූපවාහිනිය නිවා දමා පැය කිහිපයක් ගත වුවත් නුලාරාගේ සිතෙහි හොල්මන් කරමින් තිබුණේ ඔවුන්ගේ ඒ චරිතය. අවසානයේ කුමක් වන්නේදැයි නොදැන සිටියත් ඇය ධනුෂ්ගේත් ඔහුගේ පුද්ගලික ලේකම්වරිය වූ යුවතියගේත් චරිතය වලට චාරුක හා මන්දස්මි ඈඳා ගත්තාය. තවත් විටෙක ඒ මනස්කාර රූප අතර අමායාත් විය. අවසන ඒ දෑස් වලට දැණුනේ වෙහෙසකි. නොපෙනෙන බලවේගවල පිහිට සොයා යන්නටට සිතුවත් දරුවා ලැබෙන්නට සිටියදීත් දරුවා ලැබී මාස කීපයක් ගතවන තුරුත් එසේ කළ නොහැකි බව පැවසූයේ සංකල්පනීය. යන්ත්‍ර, මන්ත්‍ර, වශී ගුරුකම් මගින් චාරුකව තමා සමීපයෙහිම රඳවා ගත හැකි වනු ඇතැයි ඈ විශ්වාස කළාය. ඔහු කෙරෙහි වූ අසීමත ලෝබකම දැන් උමතුවක් වී ඇතැයි නුලාරාට දැණුනේ නැත.
පසුගිය දින වලදී සංකල්පනීගෙන් ධනුකගේ දුරකථන අංකය ඉල්ලා ගත්තත් ඔහුට කතා කිරීමට නුලාරා බිය විය. එහෙත් තවදුරටත් සිතට වද දෙන සිතුවිලි සඟවා ගන්නට ඇය මෙවේලෙහි අපොහොසත් විය. කිහිප වරක් තමාගෙන්ම ප්‍රශ්න කළ නුලාරා අවසන ධනුකට දුරකථන ඇමතුමක් ලබාගත්තාය.
“ධනුක මම නුලාරා…”
“ඔව්….නංගි කියන්න..”
“ධනුක ඉන්නේ ඔෆිස් එකේද?”
“මම විසිට් එකකට ගිහිල්ලා මේ දැන් තමයි ඔෆිස් එකට ආවේ. ඇයි…”
“චාරුක ඔෆිස් එකේ ඉන්නවද..?”
“චාරුක සර් නං මන්දස්මි මිස් එක්ක එළියට ගියා. මං හිතන්නේ අද චැනල් එකක මීටින් එකක්.”
චාරුක රැස්වීමක් සඳහා කාර්යාලයෙන් පිටතට යන බව තමාට දහවලේ පැවසූවායැයි නුලාරාට සිහි වූයේ එවේලෙහිය. එහෙත් ඔහු කවුරුන් සමඟ යනවාදැයි ඇයට පවසා තිබුණේ නැත.
“හරි ධනුක මම නිකං ඔයාට කතා කළේ පුළුවන් උනොත් සංකල්පනීව හෙටත් එවන්න. මං කතා කළ බවක් චාරුකට කියන්න එපා. හරි නෑනේ..”
“ආ… නෑ නංගි මං එහෙම කියන්න යන්නේ නෑ. අද ඔයාලගේ අම්මයි තාත්තයි එනවා කියපු නිසා තමයි සංකල්පි ආවෙ නැත්තේ..”
දුරකථනය විසන්ධි කළ නුලාරා ඇඳහි වැතිරුණේ යළිත් ඒ දෑස් වල කඳුළු පුරවාගෙනය. පපුවට දැනුනේ රිදුමකි. චාරුක තමාගේ පමණක් නොවේයැයි හැඟෙන සිතුවිල්ල ඇයව උපරිමයෙන් රිදවමින් තිබිණ.
(හෙටත් හමුවෙමු ආදරයෙන්……)


