” අම්මා..! මං එක පාරක් කිව්වා. දැන් යන්න, අපි පස්සේ කතා කරමු. “
” ඔව් මැඩම්.. මේක පෞද්ගලික කාරණයක්නේ. ගෙදරදි කතා කරන එකයි හොඳ. “
ගන්කන්ද කෙසේ හෝ ඇවිළෙන තම ප්‍රධානීතුමියව කාර්‍යාලයෙන් පිටතට ගෙන යාමට උත්සාහ දැරුවේය.
” සියත්‍ර ..! තමුන් දේවනාරායනලට වචනයක් දීලා ඉවරයි. “
එවර නැවතත් ගැඹුරු දෑස මව වෙත සමච්චලයක් සහිතව යොමු වූයේය.
” මං ? මං කවද්ද දේවනාරායනලට වචනයක් දුන්නේ ? මං වචනයක් දීලා තියෙන්නේ සඳැස්විට විතරයි. මං වග කියන්නේ ඒ කෙල්ලට විතරයි. “
ගන්කන්ද විසල් කර ගත් දෑසින් තම ප්‍රධානියා දෙස බලා සිටියේය.
” හරි .. හරි.. මේ අහපන් පුතා. උඹට ඒ කෙල්ලව ඕනෙනං ඇති වෙනකන් ආස්‍රය කරපන්. මට ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි උඹ කසාද බඳින්න ඕනේ ෂෙනාර්‍යාව . එච්චරයි. ඒ කෙල්ලට ඕන දෙයක් දීලා අයින් කරලා දාපන්. “
සමච්චල් සිනහවකින් මව දෙස බැලූ තරුණයා හිඳ සිටි අසුනෙන් නැඟී සිට දෑතම මේසය මත තබා මව දෙසට බර වූයේය .
” අම්මා මං කවුරු කියලද හිතන් ඉන්නේ ? “
” සියත්‍ර.. ! මේක ටූ මච්. “
” ඔව්. මේක ගැන කතා කරලා වැඩක් නෑ. මං එක පාරක් කිව්වා. මං ඒ කෙල්ලට මගේ වචනේ දීලා ඉවරයි. එච්චරයි. “
” හහ්..!”
යළිත් වරක් පුත්‍රයා දෙස බලා සමච්චල් සිනහවක් පෑ උත්පලා හැරී ගන්කන්ද දෙස බැලුවාය.
” RD foods එකේ එන්න ඉන්න ceo . ඩයමන්ඩ් හොටෙල් ගෲප් එකේ ඕනර්. කොහෙන්වත් ආපු කෙල්ලෙක්ට වචනයක් දෙන්න කලින් අඩුම ඒ කෙල්ල කාගේ කවුද කියලාවත් බලන්න මතක් උනේ නැද්ද ?”
” මැඩම් …!”
උත්පලාගේ හඬට බොහෝ සෙයින් කලබල වී සිටි ගන්කන්ද දෙසත් නැවතත් මව දෙසත් බැලූ ඔහු යළි තම දෑත පපුව මත බැඳ ගත්තේය.
” මොකද්ද කියන්නේ ?”
” සඳැස්වි කියන්නේ සෝමතිලකගේ දුව. අඩුම ඒ කෙල්ලගේ CV එක වත් බැලුවේ නැද්ද ? එහෙම නැත්තන් ඒ කෙල්ල එක්ක නිදි වදින්න යද්දි උඹේ අප්පා කවුද කියලවත් ඇහුවෙ බැලුවෙ නැද්ද? ”
දඩාස් යන විසල් ශබ්දයකින් කාර්‍යාල කාමරය දෙදරවා ගියේය. ප්‍රධාන කාර්‍යාලයට පිටතින් සිටි කාර්‍යාල සේවකයින් සියල්ලෝම එකී හඬින් තිගැස්සී ප්‍රධාන කාර්‍යාලය දෙස බැලූ අතර සඳැස්වී නොදැනුවත්වම තමා අසල උන් ශාක්‍යාගේ අත තදින් අල්ලා ගත්තාය. ක්ෂණිකව විවර වූ කාර්‍යාල ද්වාරයෙන් පිටතට පැමිණි ප්‍රධානියා වේගයෙන් බර අඩි තබා විදුලි සෝපානයට ගොඩ වී පිටව ගිය අතර ඉන් මිනිත්තු දෙකකට පමණ පසු රත් පැහැ ගැන්වූ උවනින් කාර්‍යාලයෙන් පිටතට ආ උත්පලාද වේගයෙන් විදුලි සෝපානය වෙත ඇවිද ගියාය.
” මිස් ශාක්‍යා..! ක්ලීනින්ග් එකට කියන්න සර්ගේ රූම් එක ක්ලීන් කරන්න කියලා. වෙන කාටවත් ඇතුළට යන්න දෙන්න එපා. රූම් එක පුරාම වීදුරු කටු. “
එසේ පැවසූ ගන්කන්ද ද වහ වහා විදුලි සෝපානය වෙත දිව ගියේය. මුහුණට මුහුණ බලාගත් ශාක්‍යාත් , සඳැස්විත් වහා ප්‍රධාන කාර්‍යාලයේ ද්වාරය විවර කර බැලූ අතර එහි අලංකාරය සඳහා තබා තිබූ විසල් අඩි හතරක පමණ උස වීදුරු මල් පෝච්චිය කුඩු වී මුළු කාමරය පුරාම පොළොව මත කුඩා වීදුරු කැබලි පැතිරි ගොස් තිබුණේය.
” මං.. මහීල්ට කතා කරන්නම් .”
ශාක්‍යා වහා තම කාර්‍යාල මේසය දෙසට දිව ගිය අතර තව දුරටත් තුෂ්නිම්භූතවී බලා සිටි සඳැස්වි ප්‍රධාන කාර්‍යාලයේ ද්වාරය වෙතට බර වූවාය.
*****************************************
” කෝ ..?”
” උඩ සර්..”
සමාජ ශාලාවේ ප්‍රභූ පර්‍යන්තයට අදාලව වෙන් කෙරුණු විශේෂිත කුටියේ මත් පැන් හා මත් ද්‍රව්‍ය රැසකට මැදිව සෝපාවක් මත කඩා වැටී උන් තරුණයා දුටු මහීල් අමරවංශගේ හදවත කෝපයෙන් ගිනි ළෑවේය .
” කොයි වෙලාවේ ඉඳන්ද මේ ?”
ඔහු කඩා පැන්නේ තමා අසල සිටි සේවකයෙකු වෙතටය.
“හවස ඉඳන් සර්..”
” ඒයි.. මචං ..! ඒයි…!”
” මොකද @#%* ? මං තාම මැරිලා නෑ..”
කෙඳිරිලි හඬකින් එසේ පැවසූ සියත්‍ර රන්දෙණිගල අපහසුවෙන් වැටී උන් සෝපාවෙන් නැඟිට කෙලින් වූයේය.
” සක්කිලි වැඩ කරන්නෙපා පරයෝ.. අදට දවස් හතරක්. අර කෙල්ල අරහේ හූල්ලනවා. මට දෙන්න උත්තර නෑ. මඟාරින්න ඕන කමට මං ඔෆිස් එකට ගියෙත් නැ , ශාක්‍යාගේ ගෙදර ගියෙත් නෑ. දවසකට කෝල් සීයක් විතර එනවා. තෝ එදා ඔෆිස් එකෙන් ආවේ ආන්ටි උත්පලා එක්ක ඇරගෙන නම් මොන #@% කටද අර අහිංසකීව මඟාරින්නෙ ? ඒකි කැම්පස් ගිහිල්ලත් නෑ , ඔෆිස් ගිහිල්ලත් නෑ , මේ ටිකේම හරියකට කෑමක් බීමක් අරගෙනත් නෑ. පව් යකෝ.. “
මහීල් දිගින් දිගටම මිතුරා වෙත දෝෂාරෝපණ එල්ල කරමින් සිටියේය .
” මං දන්නෑ බං. සිරාවට. වෙච්ච දෙයක් උඹ කියන්නෙත් නෑ. ඒ කෙල්ල මෙලෝ දෙයක් දන්නෙත් නෑ. තොට ඒකිව මඟාරින්න ඕනේ නම් ඒක කියලා නතර කරහන්කෝ. ඉවරයිනේ ? අනික…”
අතරමඟ කතාව නතර කර දැමූ මහීල් නාද වන දුරකතනය අතට ගෙන එයට පිළිතුරු බැන්ඳේය.
” කියන්න ශාක්‍යා..”
” අයියේ.. අයියේ .. ශාක්‍යා අක්කා නෙමෙයි මං. අනේ.. මං කියන දේ චුට්ටක් අහන්න. “
අනෙක් පසින් හඬා වැළපෙන කුඩා යුවතියගේ හඬ ඇසුණු සැණින් මහීල් හඬ ඉහල නැංවූ ජංගම දුරකතනය ඔහු ඉදිරියේ තිබූ ටීපෝව මතින් තැබුවේය .
” අයි.. අයියේ.. අනේ.. කෝල් එක කට් කරන්නෙපා. ස..සර් .. හොඳින් ඉන්නවද කියලා විතරක් කියන්න අයියේ. අදට දවස් හතරක් අයියේ. එයාට ඔහොම මං නැතුව ඉන්න බෑ. එයාට දවස ගාණේ මං කෝල් ගත්තා අයියේ . මැසේජ් සිය ගාණක් යවලා ඇති . ඒ එකකටවත් එයා උත්තර දෙන්නෑ. දෙයියන්ට බුදුන්ට වඳින අත් දෙක එකතු කරලා වැඳලා කියන්නම් අයියේ. සර් හොඳින්ද කියලා විතරක් මට කියන්න. “
වේගයෙන් ඉහල පහල යන උරපතු මතින් හුස්ම ඉහල පහල දැමු දේහදාරී තරුණයා එක එල්ලේ ටීපෝව මත ඇති ජංගම දුරකතනය දෙස බලා සිටියේය.
” මට.. මට එක විනාඩි පහක් කතා කරන්න දෙන්න අයියේ. ආ.. නෑ.. නෑ.. විනාඩි පහක් එපා. එක විනාඩියක් කතා කරන්න දෙන්න. ආ.. නෑ.. ඒකත් එපා. මට මට… එක තත්පරයකට එයාගේ මූණ බලන්න තිබ්බානම් ඇති . මං ලඟට යන්නෙත් නෑ අයියේ. දුරින් .. දුරින් ඉඳලා එයාගේ මූණ බලලා ආපහු එන්නං. අනේ.. පින් සිද්ධ වෙනවා.. “
මහීල් හිස ඔසවා මිතුරා දෙස බලා කෝපාවිශ්ට දෑස වෙනතකට යොමු කළ අතර දුරකතනය දෙස බලා උන් තරුණයාට විසල් හුස්මක් හෙළුණේය.
” සර්…! ඔ.. ඔයා ඔතන ඉන්නවද ? අනේ.. සර්.. ! ඔයා ඔතන ඉන්නවා නේද ?”
තොල්පට සපාගත් මහීල් කිසිවක්ම නොදොඩා යළි හිඳ සිටි අසුනේ පසුපසට බර වූ අතර නිහඬවම හුන් තරුණයා දිගටම දුරකතනය දෙස බලා සිටියේය.
” සර්..! ඔයා ඔතන ඉන්නවා නේද සර් ? අනේ.. සර්.. කතා කරන්නකෝ.. එක වචනයක් කතා කරන්න. ඔයාට පින් සිද්ධ වෙනවා සර්. එක වචනයක් කතා කරන්නකෝ. දෙයියනේ.. මං වරදක් කළේ නෑනේ සර්. ඇයි මාව මෙහෙම මඟාරින්නේ ? ඔයා.. ඔයා කොහෙද ඉන්නේ සර් ? අනේ.. ඔයා හොඳින් ඉන්නවා නේද ? උත්පලා මැඩම් මං ගැන කියලා ඔයාට බැන්නා නේද ? මිස් ෂෙනාර්‍යාව මැරි කරන්න කිව්වද සර්. අනේ.. කමක් නෑ. ඒ මිස්ව මැරි කරන්න , මට කිසිම ප්‍රශ්නයක් නෑ.. ඒත් මාව මේ විදිහට මඟාරින්න එපා දෙයියනේ.. ! මට.. මට .. ඔයා නැතුව ජීවත් වෙන්න තේරෙන්නෑ සර්. මට මුකුත් එපා. මං ශාක්‍යා අක්කගේ ඇනෙක්ස් එකෙනුත් යන්නං. සර්… මිස් ෂෙනාර්‍යාව මැරි කරන්න. අනේ.. ඒත් මාව මෙහෙම අතාරින්න එපා සර්. මං.. ඔයා දන්නවා අපි අතරේ උනු දේවල්. මං කොහොමද සර් ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නේ ? මගේ හුස්ම හිර වෙන්න වගේ එනවා සර්. මං පැත්තකින් ඉන්නං සර්. ඔයාට එක දශමෙකින්වත් කරදරයක් නොවෙන විදිහට පැත්තකින් ඉන්නං. අනේ මාව මෙහෙම මගෑරලා දාන්න එපා.. අනේ මං ඔයාට හරි ආදරෙයි මගේ දෙයියනේ… !”
යුවතිය එක දිගට හඬා වැළපුණාය. කෝපයෙන් මෙන්ම වේදනාවෙන්ද පිරී ගිය හදවතින් මහීල් දෑස හරවා මිතුරා දෙස බැලුවද ඔහු කිසිදු හැඟීමක් නොමැතිව දුරකතනය දෙස බලා සිටියේය.
” සඳ…!”
” සර්..! සර්… ! අනේ.. දෙයියනේ.. මගේ මහත්තයෝ ඔයා හොඳින් ඉන්නවා නේද ? මට කතා කරන්නකෝ ඔයා හොඳින් ඉන්නවා නේද ?”
ඉවසුම් නොමැති ප්‍රශ්න කීපයක්ම ඔහුගේ එක වචනයක් වෙනුවෙන් දුරකතනයෙන් පිටතට ඇසුණේය.
” සඳැස්වි..! මං හොඳින් ඉන්නවා. මට කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයා මෙහෙම කතා කරන එක මට ප්‍රශ්නයක්. ඔයාට යුනිවසිටි ගිහින් ඉවර වෙනකන් ශාක්‍යාගේ ඇනෙක්ස් එකේ ඉන්න පුලුවන් . ඒ වගේම ඔෆිස් එකට යන්නත් පුලුවන් . කොළඹ ආවේ ඉගෙනගන්නනේ ? ඒ වැඩේ කරගෙන ජොබ් එකත් කරගෙන පාඩුවේ ඉන්න සඳැස්වි. මටත් පාඩුවේ ඉන්න දෙන්න. Please . මං ගැන හොයන්න කරදර වෙන්න අවශ්‍ය නෑ. අපි අතරෙ වෙච්ච දේවල් ඔක්කොම අමතක කරලා දාන්න. බැරි නම් ඒත් කමක් නෑ. හැබැයි මට ආයේ වද දෙන්න එපා. ඒවා උනා. එච්චරයි. “
” ස්..සර්.. ඔ.. ඔයා වි..විහිළු කරනවද ? අපි .. අපි දෙන්නා… ආදරේ…”
” මං එහෙම එකක් කියලා තියනවද ?”
” ස්..සර්..?”
” මං එහෙම එකක් කොහෙවත් කියලා නෑ.. “
ස්..සර්…!”
තව දුරටත් කිසිවක් පවසා ගත නොහැකි වූ ඔහු වහා දුරකතන ඇමතුම විසන්ධි කර දැමුවේය.


