මියුරු පෙම් වසන්තේ – 35

“මේ ඔෆිස් එකේ ඉන්නවද මිස් නදී කියල නංගි කෙනෙක්” කියාගෙන කොන්ඩෙ ගූ පාට ටැටූ මිලින්දයා ඕර්ගනික් ෆුඩ්ස් එකට ආවෙ වැඩ ඇරෙන වෙලාවකය.  ඒ වෙලාවේ ලොබි එකේ ෆ්‍රන්ට් ඩෙක්ස් එකේ උන්නේ ලිඩියාය. 

සොරි කවුද?” කියා ලිඩියා ඇහුවේ මහ අමුතුම තාලෙට මිලින්දගේ උඩ ඉඳන් පල්ලෙහට බලන ගමන්‍ ය. මජර කහ පාටකින් ටින්ට් කරපු කොණ්ඩ කෑල්ල හිස ගස්සා පස්සට දාගන්න ගමන් මිලින්ද එහෙම කිව්වේය. එදා පොඩ්ඩක් ලස්සනට ඇඳගෙන යන්න ඕන කියල හිතාගෙන මිනිහා ඇඳන් උන්නේ පොකට් දාහක් විතර තියෙන තව මොනවද පටි දාහක් විතර එල්ලෙන කලිසමකුත්, ඉෆ් යූ ආර් බෑඩ් අයෑම් යුවර් ඩැඩ් කියා  පත අකුරෙන් ලියපු ටී ශර්ට් එකකුත් රතු පාට සපත්තු දෙකකුත් ය. ඒ මදිවට මේ හවස පහ මාරට කිසිම ඉර අව්වක් නැතුව දිලිසෙන නිල් පාට සන්ග්ලාසස් දෙකකුත් දාන් උන්න මිලින්දව ලිඩියා දැක්කේ තොරොම්බල් කරත්තයක් වගේය.

“නදී” කියා මිලින්ද කියන ගමන්ම නිල් පාට වීදුරු කෑලි දෙකක් තියෙන කණ්ණාඩි කුට්ටම ගලවා ටී ශර්ට් එකේ ඉස්සරහින් එල්ල ගත්තේය.

ලිඩියා උන්නේ “ඊයා” කියාගන්න බැරි හැඟීමකින් මේ රස්තියාදුකාරයා දිහා බලාගෙන නමුත් හිත නම් තිබේ පුදුම සන්තෝසෙක ඉපිලෙමිනි. නදී ආශ්‍රේ කරන්නේ මේ වගේ අයවද කියා නොහිත ඉන්න විදියක් ඉතින් ලිඩියාට තිබ්බේ නැත.

“ඔව් එයා ඉන්නවා, මට දැනගන්න පුලුවන්ද ඔයා එයාගෙ කවුද කියල සහ ඔයාගෙ නම මොකද්ද කියලා?” ලිඩිය ඇහුවේ ආචාරශීලීව උනත් හිත අස්සෙන් උන්නේ පිණුම් ගහමින් නදීට “දෙන්නම් වැඩේ” කියල හිතමින් ය.

“අයි ඈම් මිලින්ද, නදී මයි ගර්ල් ෆ්‍රෙන්ඩ්” කියා මිලින්දයා කැඩිච්ච ඉංගිරිසියෙන් ලෝඩ් වගේ කියද්දී ලිඩියා හිනාව නවත්තගෙන උන්නේ අමාරුවෙනි. 

“ශුවර් අයි විල් ඉන්ෆෝම් හර් දැට් යු ආර් හියර්, ප්ලීස්  ටේක් අ සීට්” කියා ලිඩියා ලොබිය පැත්තක තිබ්බ සෙටිය පෙන්නපු හන්දා මිලින්දයා ඒ කිව්වේ වාඩිවෙන්න කියා තේරුම්ගත්තා මිසක ඔය අහුලගත්ත වචනයක් දෙකක් අල්ලගෙන කරන ඉංගිරිසියක් මිස ඌ මේ හරියට සිංහලවත් දන්න එකෙක් නොවන බව හැමෝම දනී.

ලිඩියා ෆ්ලෝ එක මැදින් මියුරුගේ කැබින් එක දිහාට ඇවිද්දා නොවේ ඉගිලුනාය. ඒ මේ කතාව ටක්ගාලා හැමෝගෙම කනේ තියන්න බලාපොරොත්තුවෙනි. ලිඩියා අමුතුම සන්තෝසෙකින් හිනා වෙවී ෆ්ලෝ එකේ මැද්දෙන් ඇවිද යනවා දකිද්දී සනුකි උන්නේ “මොකද්ද ඒ සීන් එක?” කියා හිතාගන්න බැරුවය.

ලිඩියාට ඇත්තටම නදීට මේක කියනකම් ඉස්පාසුවක් තිබ්බේ නැත.වෙන වෙලාවක නම් ෆ්‍රන්ට් ඔෆිස් ඩෙස්ක් එක උඩ තියෙන ඉන්ටර්නල් ෆෝන් එකෙන් මියුරුගේ කැබින් එකට කතා කර ඔය පණිවිඩේ කියන්න පුලුවන්කම තිබ්බත් ලිඩියාට ඕන උනේ නදීගේ මූණ මේක කිව්වම වෙනස් වෙන විදිය බලන්නම එතනට ගිහින්ම ඕක කියන්නය.

“එක්ස්කියුස් මී සර්” ලිඩියා කැබින් එකට හිනාවීගෙනම ආවාය.

“ඉයස්” මියුරු මොහොතකටවත් හිස ඔසවන්නේ නැතුව එහෙම ඇහුවේ ගෙදර යන්න ඔන්න මෙන්න තියෙන හන්දා දවසෙ අවසාන වැඩ ටික ඉවරකරන්න හිතාගෙනය.

“දෙයාස් අ විසිටර් ෆො නදී” කියාගෙන ලිඩියා නදීගේ දෙස බැලුවේ කිණ්ඩි හිනාවකුත් බැල්මකුත් එක්කමය.නදී උන්නේ ඒ කවුද කියල හිතාගන්න බැරුවය. තමන්ව හම්බුවෙන බලාපොරොත්තුවෙන් මෙතනට එන්න තරමේ විසිටර්ස්ලා තමන්ට නැත.

“මේ අයි නෝ හූ ඊස් දැට්?”

“හී සෙඩ් දැට් හී ඊස් යුවර් බෝයි ෆ්‍රෙන්ඩ් නදී, මිලින්ද” කියා ලිඩියා ගින්න පත්තුකර කැබින් එකෙන් එලියට යන ගමන් සකුනිටත් ඔය කතාව කියාගෙන ගියාය. ගෙවුනේ තප්පර ගාණක කාලයක් විතරක් උනත් නදීට නම් එය දැනුනේ කල්පාන්තයක් වගේය. මියුරු උන්නේද කැළඹීමෙන් ය. 

නදී කැබින් එකෙන් එලියට ආවේ දුවගෙන වගේ කලබලයෙනි. ඒ මියුරු දෙස මොහොතකින්වත් ඇස් කොණෙන්වත් බලන්නෙ නැතුවය. මියුරු මේ වෙලාවේ ඉන්නේ දුකෙනුත් තරහෙනුත් කෝපයෙනුත් බව ඉතින් අමුතුවෙන් කියන්න උවමනාවක් නැති හන්දා ඒ දෙස බලන්න පුලුවන්කමක් මියුරුට තිබ්බේ නැත. 

නදී දුවගෙන ෆ්ලෝ එක පසුකර ගොස් ලොබි එකට යද්දි කොණ්ඩ කුරුල්ලා සෙටියෙ වාඩිවෙලා දුරකතන අතේ තියාගෙන කරකව කරකව ඉන්නවා දැක්කම පස්සට දෙකක් ඇණ පයින් ගහන්න හිතිච්ච හැඟීම නදී යටපත් කරගත්තේ මේක කෝක වෙතත් තමන්ගේ ඔෆිස් එක බව අමතක කරන්න බැරි හන්දාය.

“නදී නංගියා වැඩ ඉවරද? යන් මං වෙහිකල් එකේ ආවෙ නංගිව එක්කරගෙනම යන්න” කියාගෙන මිලින්ද සීන් එකට එන්ටර් උනේ තමන් නිකන් හෙන පොරක් බව කියන්නට මෙනි. අනික කවුරු උනත් නදීට බැල්මට් එක දාන්න ඩයල් එක ඉන්නේ මෙතනනම් “උඹට වඩා පොරවල් ඉන්නව යකෝ නදීට” කියල කියන්න මිලින්දට ඕන උනේය. මියුරු බෑග් එකත් අරගෙන ගෙදර යන්නට එලියට ආවේ ඔන්න ඔය වෙලාවේය.

මිලින්ද නදීගේ “බෝයිෆ්‍රෙන්ඩ්” කියා දකින්න බලාපොරොත්තු උනේ සුපිරි ලස්සන කොල්ලෙක් උනත් ලොබියේ නදී එක්ක කතාකරමින් උන් මිලින්දව දැක්කමනම් “නදී මෙයා හින්දද මාව රිජෙක්ට් කරේ?” කියල හිතිච්ච එක සාධාරණය. මිලින්ද දොරෙන් එලියට එන හැම පිරිමියාම දෙස බැලුවේ “උඹ ද නදීට ලයින් දාන්නෙ?” කියන සීන් එකේ ඉඳගෙනය. 

“නෑ වැඩ ඉවර නෑ, අයියා යන්න, මං පස්සෙ එන්නම්” කියා නදී කිව්වේ යටසින් මියුරු දෙස බලමින් නමුත් මියුරු නදීව දන්නේ නෑ වගේ එතනින් ගිය හැටි දැක්කාමනම් නදීගෙ පපුව හෝස් ගා ගියාය. මියුරු ඉන්නේ තමන් ගැන සම්පූර්ණ වැරදි අදහසකින් බව නදී දනී. ආන්න එහෙම හිතෙද්දී නම් මිලින්දව මරන්න හිතිච්ච එක සාධාරණය.

“නෑ නංගා, මම ඉන්නම් ඔයා එනකම්. මම ශොප් එක වහල ආවෙම ඔයාව එක්කරගෙන යන්න” කියා මිලින්ද කියද්දී නදී “එහෙනම් මං එන්නම්” කියල කිව්වේ හිතෙන් “යංකො, දෙන්නම් මං අද උබට ශොට් එක” කියාය.

වාහනේට ගිහින් වාඩිවෙලා උන්නත් මියුරු උන්නේ කාර් එක ස්ටාට් කරගන්න පණ නැතුවය. අත් දෙක වෙව්ලන්නේ හිත ගැස්සෙන හින්දා බව දන්න හන්දාම මියුරු සීට් එකේ ඇල වී විනාඩි කිහිපයක්ම ඇස් දෙක පියාගෙන උන්නේය. 

නදී එලියට ආවේ මිලින්ද එක්කමය. මියුරු ඒ බව දැක්කේ හීන් සිරුවේ පණ ගහගෙන කාර් එක ඩ්‍රයිව් කරගෙන කාර් පාර්ක් එකෙන් කාරෙක එලියට දාන ගමන්‍ ය. නදී ගේ දෙනෙත ඉස්සරහ සීට් එකේ වාඩිවෙලා වාහනේ පදවන මියුරු වෙතම ඇලවී තිබ්බත් එක මොහොතකටවත් නදී දෙස බලන්න කාලය වෙන් කරගත්තෙ නැති මියුරු කාර් එකෙන් සුටුස් ගා එතනින් ගියේය.

“දැන් කෝ ඔයා ආව වෙහිකල් එක?” නදී ඇහුවේ ටිකක් විතර සද්දෙටය.

“මචං වරෙන්” කියා මිලින්ද කෝල් එකක් දුන්නේ කාටද කියන එකත් මිලින්ද කිව්ව මහ ලොකු වෙහිකල් එක හන්දියෙ ත්‍රීවිල් පාක් එකේ එකක් බවත් දැක්කේ තමන් විතරක් නොවන බවත් සනුකිත් ලිඩියාත් තව කාර්‍යාලයේ ගොඩක් අයත් ඒක දැක්ක බව දකිද්දී නදී උන්නේ පුදුමාකාර කේන්තියකිනි. හැබැයි ඔය කේන්තිය එලියට දාන්න සුදුසු තැන මෙතන නොවන බව දන්න හන්දා නදී කිසි කතාවක් නැතුව ටුක් එකට නැග්ගාය.

මිලින්ද ටුක් එක පදවමින් උන් කොල්ලා එක්ක මොක කියෙව්වත් නදී උන්නේ ඒ කිසිවක් අහගෙන නොවේ. මියුරුට ඇත්ත පහදා දෙන්නෙ කොහොමද කියා හිතන ගමන් ය.

ටුක් එක අල්විස් වත්ත අද්දර නවත්තපු ගමන් ටුක් එකෙන් බැස්ස නදී ගෙදෙට්ට ගියේ කඩං බිඳං තරහෙනුයි දුකෙනුයි දෙකෙන් මය. මිලින්ද ඒ පස්සේ දුවගෙන ආවේ නදීට තරහ ගියේ ඇයි කියා හිතන ගමන් ය.

පට්ටම තරහකින් උන් නදී ගෙට ඇතුල් වෙලා පුටුවක් උඩට බෑග් එක විසික්කර, අඩි උස සපත්තු දෙක ගලවල විසි කලේත් ඒ කෝපයෙන්මය. මිලින්ද නදී පස්සේම ඇවිත් විල්සන්ගේ ගෙදෙට්ට ගොඩ වුනේ “නංගියා” කියාගෙනම උනත් මිනිහට කතාව ඉවර කරගන්න තියා පටන් ගන්නවත් පුලුවන්කමක් නැත.

“කැමති නෑ කිව්වට පස්සෙ උඹ මොකටද මගෙ ඔෆිස් එකට ආවේ?” කියා තරහෙන් හැරිච්ච නදීගේ අතට අහු උනේ මිලින්දයගෙ ගූ පාට කොණ්ඩ කැරැල්ලය. නදී ඒකෙන් ඇද්ද පාර රිදුණ රිදිල්ලට මිලින්දයට නම් ආත්ම හතකට ගෑණු එපා වුණේය.

චන්ද්‍රකාන්තිත් විල්සනුත් උන්නේ “මේ මොන මගුලක් ද?” කියාලා හිතාගන්න බැරුවය.

“මොකද්ද බං වෙලා තියෙන්නේ? උඹ මොකටද මේකිගෙ ඔපිස් එකට ගියේ” කියමින් චන්ද්‍රකාන්ති පැටලිල්ල ලිහන්න හැදුවත් නදී අතෑරියේ මිලින්දගේ කෙස් කැරැල්ල නම් නොවේ.

“මං උබට කැමති නෑ කිව්වට පස්සෙත් මගෙ ඔෆිස් එකට ඇවිත් ලැජ්ජ කරන්න හිතුව මදි. දෙන්නම් මං අද ශොට් එක” කියාගෙන නදී කියද්දී චන්ද්‍රකාන්ති බෝම අමාරුවෙන් නදීව පැටලිල්ලෙන් ලෙහාගෙන කාමරේට එක්කරගෙන යද්දී කොන්ඩෙ අවුල් කරගෙන මිලින්ද විල්සන්ගෙ ගෙදර මැද්දෙ හිටගෙන උන්නේ තක්බීර් වෙලාය.

“මං උඹට කිව්වනෙ” කියා විල්සන් ඇවිලෙන ගින්නට පිදුරු දැම්මේ ඒ වෙලාවෙය.

මොකද්ද කියා වචනෙන් නෑහුවත් මිලින්ද විල්සන් දිහා බැලුවේ ඒ ප්‍රශ්නය මූණෙ රඳවගෙනය

“උඹේ කොණ්ඩෙ කැතයි බං, ගූ පාට කොණ්ඩ තියෙන එවුන්ට කෙල්ලො ආස නැ. බෙට්ටක් වගේනේ”

(මේ කතා ඉස්සර ලිව්ව කතාවලට වඩා වෙනස් බව මම දන්නව. ඔයාලා මේකට අකමැති නෑ නේද කියල කියන් යන්න හොඳේ?”)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles