ඔබ දක්ෂ ගෘහනියක්. ඉතින් මෙන්න මේ කුස්සියේ රහස් රැස ඔබව තව තවත් දක්ෂ, කාර්යක්ෂම මෙන්ම පිරිමැසුම් දායක ගෘහණියක බවට පත් කරන බවට කිසිදු සැකයක් නැහැ.
- පොල් තෙල් නොමිදීමට – සිතල එක්ක සමහර පැති වල පොල්තෙල් මිදෙන එක සමහරවිට ප්‍රශ්නයක් වනවා. පොල්තෙල් වලට එඬරු තෙල් බිංදු කිහිපයක් දැමීමෙන් සීත කාලයේ මිදෙන්නේ නැහැ.
- සම්බෝලයට, මැල්ලුමට, බැදුමට දෙහි ඇඹුල් රේණු සමග දැමීමෙන් රසය වැඩිවෙනවා.
- කළු පාටට පහේ බදින විට සෝදාගත් කැකුළු හාල් මිටක් මිශ්‍ර කරගන්න. හොඳ සුවඳක් වගේම රසයක්ද එකතුවෙනවා.
- දුගඳකින් තොරව ඉස්සන් පිස ගැනීමට සෝදාගත් ඉස්සන් ලුණු සහ දෙහි හොඳින් අතගා විනාඩි 15 ක් පමණ තබා සෝදාගන්න.
- විනාකිරි මිශ්‍ර වතුරෙන් මාළු තැම්බූ විට මාළු කුඩු වෙන්නේ නැහැ.
- අර්තාපල් තම්බාගන්නට පෙර ලුණු ස්වල්පයක් දැමීමෙන් පහසුවෙන් පොතු ගලවගන්න ට පුළුවන්.
- බිස්කට් පෙගෙන්නේ නැතිව තබා ගැනීමට බිස්කට් භාජනයට බ්ලොටින් පේපර්ස් දෙකක් දමන්න.
- තේ වලට වතුර උණු කිරීමේදී අමු හෝ වියළි දොඩම් ලෙලි භාජනයට දැමීමෙන් රසය වැඩිවෙනවා.
- අමු කෙසෙල් ඉක්මනින් ඉදවා ගැනීමට බුලත් විටට ගන්නා හුණු ස්වල්පයක් ආලේප කරන්න.
- දෙහි ගෙඩියක උපරිම දෙහි යුෂ ලබාගැනීමට නම් කපන්නට පෙර පැතලි මතුපිටක තෙරපමින් ඉහිල් කරගන්න.
- මාළු බදින සුවඳ වටපිටාවට පැතිරීම වළක්වා ගන්නට නම් අල පෙත්තක් එකතු කරන්න.
- මිරිස් බැදීමට පෙර කරලට පොල්තෙල් බින්දු කිහිපයක් දැමීමෙන් කැස්ස ඇතිවීම වලක්වා ගන්නට පුළුවන්.
- බත් පිසගත් පසු තෙත ගතිය වැඩිනම් ටෝස්ට් කරගත් පාන් පෙත්තක් බත් එක මත තබන්න.
- කට්ලට් කැඩෙන්නේ නැතිව බදින්නට නම් මද වේලාවක් අධි ශිතකරණයේ තබන්න.
- කෑම මේසයේ මිංචි කොළ තැබීමෙන් මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්නට පුළුවනි.
- කුකුල් මස් බදින විට රන් පැහැයෙන් බැද ගැනීමට නම් පාන් පිටි වෙනුවට කිරිපිටි තවරා බදින්න.
- කරවල පුස් කෑමෙන් වලක්වා ගැනීමට ප්ලාස්ටික් පෙට්ටියක බහා ශීතකරණයේ තැන්පත් කරන්න.
- බාස්මතී සහල් හොඳින් පිස ගැනීමට පැය භාගයක් පමණ පෙගෙන්නට දමා උයන විට එළවලු තෙල් මේස හැඳි 5 පමණ එකතුකරන්න.
- ඉතිරිවන පොල් බෑයට ලුණු ස්වල්පයක් තවරා තැබීමෙන් එය පිළුණු නොවී තබාගන්නට පුළුවන්.
- මස් පිසින විට මී පැණි තේ හැන්දක් පමණ එක්කිරීමෙන් සුවඳත් රසයත් වැඩිවෙනවා.
- ධාන්‍ය වල ගුල්ලන් ඇතිවීම වැලක්වීමට කොහොඹ කොළ දමන්න.
- මිරිස් කුඩු දමන භාජනයට පෙරුම් කායම ටිකක් දමා තිබුණොත් මිරිස් කුඩු නරක් නොවී තබා ගන්නට පුළුවනි.
– ඉරේෂා –