මතක

අහසට නැගෙන දුම් රොටු දිහා අසේල බලාගෙන හිටියා. නෑදෑ හිත මිතුරන් එකා දෙන්නා සොහොන් බිමෙන් පිට වෙනකොටවත් නොදැනෙන පාළුවක් අසේලට දැනෙන්න ගත්තා. අද පටන් ඇය නැතිව නිවසේ ගෙවන්නට සිදුවෙන දවස් මොන වගේ වෙයිද? අසේලගේ ගෙදර එනකනුත් කල්පනා කළා

ජීවිතය වෙනස් කරපු දවස් හතක් ගෙවිල ඉවර උනාට පස්සේ අසේලට දැනුනු පාළුව එන්න එන්නම වැඩි වුණා. බිත්තියේ එල්ලලා තියන අරුණී ගේ ඡායාරූපය ඉස්සරහ අසේල ගොඩක් වෙලාවට කාලය ගත කළා.

” අසේල එන්නකො කෑම කන්න “

අසේලට හදිසියේම කෑම මේසය දිහා බැලුනා. මේ කෑම මේසයේ ඉඳගෙන කොයි තරම් රස කෑම වල රහ බැලුවද? අරුණිගේ අත් ගුණය ගැන අසේල හැමදාම වර්ණනා කරද්දී, අසේල කැමති විදිහේ කෑම හදන්න අරුණි හැමදාම උනන්දු වුණා

” බොරුවට නේද ඔය කෑම රහයි කියන්නේ? “

වෙලාවකට අරුණි බොරු නෝක්කාඩු මුහුණක් මවා ගෙන එහෙම අහනවා.

” ඔයා හදන කෑම අපේ අම්මගේ කෑම තරම්ම රසයි අරුණි “

විශ්ව විද්‍යාලයෙන් ඇරඹුණ ප්‍රේමය විවාහයක් දක්වා ගේන්න අසේල වගේම අරුණිත් නොයෙකුත් කැපකිරීම් කළා. ඉවසීම වගේම දරාගැනීම අරුණිට හොඳින්ම තිබුන නිසා ජීවිතයේ හොඳ කාල වගේම නරක කාල දරාගන්නත් අරුණිට පුළුවන් වුණා. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින් ඉගෙනීම් කටයුතු සහ රැකියා කටයුතු කරමින් විවාහයෙන් පස්සේ ජීවත් වෙන්න නිවසක් හදන්න අරුණි වගේම අසේලත් ගොඩක් මහන්සි වුනා.

” ඔය දෙන්නගෙ ආදරේට නම් නං ඇස්වහක් වදින්න එපා “

අසේලගේත් අරුණිගේ ත් මිතුරු මිතුරියන් බොහෝ දෙනා ඔවුන්ට කිව්වේ එහෙම.දවසින් දවස ජීවිතයේ ඉදිරියට යන ආදරණීය පෙම්වතුන් යුවළ ගේ විවාහය වෙනුවෙන් බොහෝ දෙනා මඟ බලාගෙන හිටියා

” මේ බිත්ති පුරාම අපේ photos එල්ලමු නේද අසේල ? එතකොට මම නැති දවසක වුණත් මම මේ ගෙදර ඉන්නවා වගේ ඔයාට දැනෙයි “

” මොනවද අරුණි ඔයා මේ කියන්නේ ?”

සාලයේ බිත්ති පුරාම ඡායාරූප එල්ලමින් හැඩ බලන අරුණි දිහා බලාගෙන අසේල ඇහුවේ එක පාරටම හිතට දැනුනු බයත් එක්කමයි

පෙම්වතුන් විදිහට හිටපු කාලයේ වගේම විවාහයෙන් පස්සෙත් අසේල අරුණි එක්ක රටපුරා නොයෙකුත් තැන්වල සංචාරය කළා. බොහෝ සති අන්තයන් වෙන් වුනේ කඳු නගින්න , දිය ඇලි බලන්න වගේම බෝට්ටු පදින්න යන්නයි.

” දැන් ඉතින් අපිව ආච්චිලා සීයලා කරන්න කාලෙත් හරි නේද ළමයිනෙ? “

එක දවසකදි අසේලගේ අම්මා ගෙදර ආපු වෙලාවක ඇහුවා

” හැමදාම ඔය දෙන්නා ලංකාව වටේ ඇවිද ඇවිද ඉඳලා හරියන්නේ නැහැනේ”

අසේලගේ තාත්තාත් අම්මාගේ කතාවට එකග වුණා .

” දැන් ඉතින් බැදලා අවුරුදු තුනකටත් වැඩියිනේ. නෑදෑයො කතන්දර කියන්න පටන් ගන්න කලින් දරුවෙක් ගැන හිතන එක හොඳයි “

අසේලත් අරුණිත් දරුවෙක් ගැන හීන නොදැක්කාම නෙමෙයි. මොකක් හරි හේතුවකට දරුවෙකුගේ හීනය ඔවුන්ගෙන් ගොඩක් ඈතයි කියලා දෙන්නටම දැනෙමින් තිබුණා. එකිනෙකාට ගොඩක් ආදරය කරපු නිසාත් , ජීවිතයේ තමන්ට විඳින්න තව බොහෝ තැන් තියෙනවා කියලා හිතපු නිසාත් ඔවුන් දෙන්නම ඒ ගැන වැඩිපුර කතා කළේ නැහැ

” අපි doctor කෙනෙක් ලඟට යමු “

දෙපාර්ශවයේම දෙමව්පියන්ගෙන් බේරෙන්න බැරිම තැන අසේල සහ අරුණි තීරණයක් ගත්තා .ඒ අනුව ඔවුන් වෛද්‍යවරයෙක් මුන ගැහෙන්න ගියා

අරුණි විසින් නොසලකා හැරපු යම් යම් කාරණා සුළුපටු නොවන වග අරුණිට තේරුම් ගියේ ඊට පස්සෙයි. වෛද්‍ය පරීක්ෂණ ගණනාවකට පස්සේ දරුවෙකුගේ හීනය ඈතට යන කාරණාව මොකක්ද කියලා හරියටම තීරණය කරන්න වෛද්‍යවරුන්ට හැකියාව ලැබුණා

අරුණිගේත් අසේලගේත් ජීවිතවලට
” පිළිකාව ” කියන වචනය එබිකම් කරන්න ගන්නේ ඊට පස්සේ.

ජීවිතයට ලැබුණු අභියෝග හමුවේ කඳුළු නොසලපු අරුණි දින ගණනාවක් මුළුල්ලේම ගත කළේ හැඬු කඳුළෙන්. ගර්භාෂයේ වැඩෙන පිළිකාවක් තමන්ගේ ජීවිතයට තර්ජනයක් එල්ල කරමින් තියෙන බව වෛද්‍යවරුන් පැහැදිලි කරාට පස්සේ අරුණි වඩාත්ම බය උනේ අසේල එක්ක ජීවත් වෙන්න තියෙන කාලය කෙටි වෙනවටයි

” දරුවෙක් අරන් හරි හදාගමු . මට ඕනේ කොහොමහරි ඔයාව සනීප කරගන්න විතරමයි අරුණි “

පිළිකාව තරමක් පැතිරිලා තිබුණත් අරුණිව සනීප කරගන්න පුළුවන් කියලා වෛද්‍යවරුන් අසේලට කිව්වා .ඒ විතරක් නෙවෙයි අරුණි සම්පූර්ණයෙන්ම සුව වෙනවා කියලා අසේල තරයේම විශ්වාස කළා.

අරුණි වෙනුවෙන් හොඳම විශේෂඥ වෛද්‍යවරුන් හොයන්න අසේල කටයුතු කළා. රැකියා කටයුතු වගේම ගෙදර කටයුතු බොහොමයක් අසේල නොපිරිහෙලා ම ඉටු කළා. ප්‍රතිකාර පටන් ගත්තට පස්සේ අරුණි හිටියට වඩා දුර්වල වුණා කියලා හිතුවත් අසේල වෙනුවෙන් තමන් කොහොමහරි පිළිකාවත් එක්ක සටන් කරලා ජය ගන්නවා කියලා අරුණි තරයේම හිතාගෙන හිටියා

මුනුපුරෙකුගෙ මූණ දකින්න බලාපොරොත්තුවෙන් හිටපු දෙපාර්ශවයේම දෙමව්පියන් ඒ බලාපොරොත්තුව පසෙකලා අරුණි වෙනුවෙන් කැපවුණා. යහපත් ගතිගුණ තියෙන අරුණිට හිතමිතුරන්ගේ ආදරයත් නොඅඩුවම ලැබුණා.

” ජීවිතේට නරක කාල එන්නේ හොඳම කාලයක් එන්න කලින් “

අරුණි ගේ දෑත තදින් අල්ලගත්ත අසේල නිතරම ඇයට කිව්වේ එහෙම. සතියට දවසක් පිළිකා රෝහල වෙත අරුණිව එක්ක යන අසේල සතිපතා කෙරෙන ප්‍රතිකාර ඉවර වෙනකන්ම රෝහල් කොරිඩෝවට වෙලා බලාගෙන ඉන්නවා.

දවසින් දවස වැහැරෙන අරුණි දිහා බලන අසේල තමන්ගෙ කඳුළු හංග ගත්තා. ප්‍රතිකාර දරා ගන්න බැරි සමහර දවසට අරුණිට රෝහලේ නතර වෙන්න සිද්ධ වුණා . අසිහියෙන් වගේ අරුණි සමහර දවස් ගෙවනකොට අරුණි වෙනුවෙන් දෙවියන් යදින්න අසේල වෙහෙසුනා

” අරුණිට තව තියෙන්නේ ටික කාලයයි . ඒ කාලය ඇතුළත අරුණි ව බේරගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරනවා “

වෛද්‍යවරුන් අරුණිගේ වර්තමාන තත්ත්වය අසේලට පැහැදිලි කළා .කවදාහරි ඇත්තට මුහුණ දෙන්න වෙනවා කියලා අසේල දැනගෙන හිටියත් ඒක පිළිගන්න එක ඔහුට ඉතාම අසීරු දෙයක් වුණා

” ඔයා සනීප උනහම ඉස්සර වගේ ඔයා ආස තැන්වල අපි ඇවිදින්න යමු “

රෝහලේ ඇඳක් මත වැතිරිලා ඉන්න අරුණිට අසේල එහෙම කිව්වා

” අපිට ආපහු එහෙම යන්න පුළුවන් වෙයිද අසේල ? “

අරුණිගේ දුබල හඬ අසේලව තවත් වේදනාවට පත් කලා.

ප්‍රතිකාර කෙරුණු මාස ගණනාවකට පස්සේ රෝහලේම දවස් ගෙවන්න අරුණිට සිද්ධ උනා.මේ ගෙවෙන්නෙ අරුණිගේ ජීවිතයේ අවසාන දවස් කියලා වෛද්‍යවරුන් අසේලට නොකියා කිව්වා.

වාට්ටුවේ ගෙවෙන දවස් වලට වඩා අරුණි සමහර දවස් ගත කළේ දැඩි සත්කාර ඒකකයේ . දැඩි සත්කාර ඒකකය ලඟින් එහා මෙහා යන අයට එහි වීදුරු දොර ගාව , තමන්ගේ බිරිඳට අසීමිතව ආදරය කරන සැමියෙක් ව දකින්න ලැබුණා .

ජීවිතය වෙනුවෙන් සටන් කරපු අරුණි අවසාන‍යේදි කවුරුත් නොහිතපු වෙලාවක ඒ සටන අත් හැරලා යන්න ගියා. ජීවිතයේ හොඳම කාලයේදි ලස්සන මතක ගොඩක් ඉතුරු කරලා ගිය අරුණි කාගෙත් හිත් වල නොමැකෙන කෙනෙක් උනා.

අරුණි හා එක්ව ජීවිතය ගැන සිහින දැකපු වහල යටම , අසේල අරුණි එයි කියලා තවමත් බලාගෙන ඉන්නවා. බිත්තියේ එල්ලෙන ඡායාරූප වල ඉන්න අරුණි තමන් එක්ක හිනාවෙමින් ඉන්නවා කියලාත් , අරුණි ඒ වහල යට අදටත් තමන් එක්ක ජීවත් වෙනවා කියලාත් අසේලට දැනෙනවා

More Stories

Don't Miss


Latest Articles