පොඩ්ඩන්ට ලේසියෙන්ම Corn dog හදමු

සමාජ මාධ්‍ය තුළ දකින්න ලැබෙන කෑම වර්ග රසවිඳින්න ලොකු කුඩා අපි කවුරුත් කැමතිනේ. 

අද smart lady අපි මේ සූදානම් වෙන්නෙත් අන්න  ඒ වගේ ජනප්‍රිය කෑමක් ලේසියෙන්ම, පිරිසිදුව වගේම සෞඛ්‍යාරක්ෂිතව ගෙදරදිම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි. 

විශේෂයෙන්ම අපේ පොඩ්ඩො අලුත් අලුත් රස නිතරම හොයන නිසා පොඩ්ඩන්ගෙ කට වගේම හිතත් පිනවන corn dog හදන්නෙ කොහොමද කියල අපි දැන් බලමු. 

මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගෙන ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

අඟල් දෙක හමාරක පමණ දිගට කපාගත් ලොකු සොසේජස් කැබලි 06 ක් 

ඒ හා සමාන ඝනකමින් සහ දිගින් යුතු මොසරැල්ලා චීස් කැබලි 06 ක් 

බාබකියු ස්ටික් 06 ක් 

දෙවරක් තුන්වරක් පමණ හලාගත් පාන් පිටි 

240g ක් 

ලුණු කුඩු තේ හැඳි ¼ ක් 

සීනි 45 g ක් 

බිත්තර 01 ක් 

කිරි 240 ml ක් 

බිස්කට් කුඩු 200 g ක් 

ගැඹුරු තෙල් බැඳීමට ප්‍රමාණවත් තරම් තෙල් 

සාදාගන්නා ආකාරය 

මුලින්ම සෝසේජස් කැබලි එක බැගින් එක් එක් බාබකියු ස්ටික් එකේ ගසාගන්න. 

සොසේජස් කැබලි වලට උඩින් මොසරැල්ලා චීස් කැබලිද ගසා ගන්න. 

දැන් මේ ස්ටික් ටික පසෙකින් තබාගන්න. 

 දැන් තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, ලුණු කුඩු, සීනි, බිත්තර සහ කිරි එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් ඔබට තරමක් උකු මිශ්‍රණයක් ලැබේවි. 

දැන් උස වීදුරුවක් ගෙන මේ සාදාගත් පිටි මිශ්‍රණය එයට වත්කර ගන්න. 

වෙනම පැතලි භාජනයකට බිස්කට් කුඩු දමා සූදානම් කර තබාගන්න. 

දැන් සාදාගත් සොසේජස් මොසරැල්ලා ස්ටික් එක පිටි මිශ්‍රණය සහිත වීදුරුවේ ගිල්වා පිටි මිශ්‍රණය සොසේජස් සහ මොසරැල්ලා චීස් වල හොඳින් තවරාගෙන අනවශ්‍ය පිටි ඉවත්කර ඊළඟට,  බිස්කට් කුඩු වල තවරා ගන්න. 

මේ විදිහට ස්ටික් 06 ම සකසා ගන්න ඔබට පුළුවන්. 

දැන් තෙල් තාච්චිය ලිපතබා තෙල් එකතු කර තෙල් රත්වුණු පසු පිටි මිශ්‍රණය සහ බිස්කට් කුඩු තවරාගත් සොසේජස් සහ මොසරැල්ලා ස්ටික් තාච්චියට දමා රන්වන් පාට වනතුරු පැත්තෙන් පැත්ත හරවමින් හොඳින් බැදගන්න. 

සෝස් හෝ මයෝනීස් වැනි ඔබ කැමති දෙයක් සමඟ උණුසුම්වම රසවිඳින්න ඔන්න දැන් කෝන් ඩෝග් සූදානම්. 

හදල බලමු නේද එහෙනම් ?

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles