මහනුවර නැත්නම් සෙංකඩගල පුරවරය ඇසූ සැණින් අපට මතක් වෙන්නේ දළදා මාළිගාව සහ ඇසළ පෙරහැර මංගල්‍යයනේ. පසුගිය දින වල ආරම්භ වුණ ඇසළ පෙරහැරත් එක්ක හැමෝම ඒ ගැන උනන්දුවෙන් නේ මේ දින වල ඉන්නේ.
ඉතින් ස්මාර්ට් ලේඩි අපි අද මේ ළිපිය තුළින් ඔයාලා එක්ක බෙදා ගන්න යන්නේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන මහනුවර දළදා මාලිගාව හා බැඳුණු ඇසළ පෙරහර මංගල්‍යයේ ඉතිහාසය වගේම චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔබ නොදත් තොරතුරු ගැන.
දළදා වහන්සේ ලංකාවට වැඩමවීම
දාඨාවංශයේ දළදාවහන්සේ ලංකාවට ලැබීම ගැන සඳහන්වෙලා තියෙන්නේ මේවිදියට. බුදුන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ චිතකයෙන් ඛේම නම් රහතන්වහන්සේ වම් දළදාව ගත් අතර එය කලිඟු රට දන්තපුරයේ බඹදත් නම් රජුට භාර දෙන ලදී. කාලයක් යද්දී ඛීරධාර නම් බඹදත් රජුගේ බෑණා කෙනෙක් දළදාව ලබා ගැනීම සඳහා ගුහසීව නම් රජු සමඟ යුදධ කළේ ය. එම සටනේ දී තමා පරාජය වුවහොත් දළදා වහන්සේ රැගෙන සීහල දීපයට යන ලෙස තම බෑණා වූ දන්ත කුමරුට හා දුව වූ හේමමාලා යන දෙදෙනාට දැන්වූ නිසාවෙන් ඔවුන් දෙදෙනා දළදා වහන්සේ රැගෙන ක්‍රි.ව. 4 වන සියවසේ, සිරි මේඝවණ්ණ රජුගේ නව වැනි රාජ්‍ය වර්ෂයෙහි ලංකාවට පැමිණියහ.
අනුරාධපුරයට පැමිණි දන්ත කුමරු හා හේමමාලා කුමරිය මේඝ ගිරි විහාරයේ දළදාව තැන්පත් කරන ලදී. පසුව සිරිමේඝවණ්ණ රජු ඇතුළු නුවර දළදා මාලිගයක් තනවා දළදා වහන්සේ එහි තැන්පත් කළ බවත් එහිදී දළදා වහන්සේ ජනතාවට ප්‍රදර්ශනය කළ අතර එතැන් පටන් වසරක් පාසා දළදා පෙරහර පැවැත්වූ බවත් සඳහන් වෙනවා.
දළදා කරඬුව සහ පෙරහැර කරඬුව ,
අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ යටි වම් දන්ත ධාතුව එක් සුවිශේෂී කරඬුවක තැන්පත්කර ඇති නිසාවෙන් මෙම පූජනීය ස්ථානයට දළදා මාලිගය යන නම යෙදිල තියෙනවා. එම දළදා වහන්සේ කරඬු හතකින් ආරක්ෂා කරලා “වැඩ සිටින මාලිගාව” නම් විශේෂ කුටියක තමයි තැන්පත් කරලා තියෙන්නේ. ඉහත සදහන් කල කරඩු හතෙන් තුනක යතුරු භාර පුද්ගලයන් තුන්දෙනෙක් ඉන්නවා. එයින් එක්කෙනෙක් තමයි ලංකාවේ ප්‍රධාන ගිහි බෞද්ධයා ලෙස හඳුන්වන දියවඩන නිලමේ. ඒවගේම අනෙක් යතුරු මල්වතු සහ අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා භාරයේ තිබෙනවා.
හැම දෙනාම හිතන්නේ දළදා වහන්සේ තැන්පත් කර ඇති කරඬුව තමයි පෙරහැර දාට වඩම්මවන්නේ කියලානේ. ඒත් පෙරහැරට වඩම්මවන්නේ “පෙරහැර කරඬුව”. එහි තැන්පත් කරලා තියෙන්නේ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ පෙරහැර කඬුව තැන්පත් කරලා තියෙන්නේත් දළදා වහන්සේ තැන්පත් කරලා තියෙන කුටියේම වම් පසින්.
මූලික චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව දියවඩන නිලමේතුමා උඩමාලයේ ගන්ධකුටියට පිවිසෙනවා. එහිදී තේවාභාර නාහිමි ප්‍රමුඛ තෙරුන් වහන්සේ පිරිත් බණ දේශනා මැද දියවඩන නිලමේතුමාගේ දෑත් සඳුන්කිරි පැණියෙන් පිරිසිදු කෙරෙනවා. පසුව පිළිවෙලින් කාරියකරවනකෝරාළ හා වට්ටෝරුරාළ විසින් දියවඩන නිලමේතුමාගේ දෑත මත පටලේන්සු දෙකක් එලනු ලබයි. අනතුරුව නායක තෙරුන් වහන්සේ විසින් “පෙරහර කරඬුව” දියවඩන නිලමේතුමාගේ සුරතෙහි තැන්පත් කරනු ලැබූ පසු පාවඩ මතින් කරඬුව වැඩමවන දියවඩන නිලමේතුමා විසින් මංගල හස්තිරාජයා මත ඇති රන්සිවිගෙයි පෙරහැර කරඬුව තැන්පත් කරයි. මේ අතරවාරයේ කවිකාර මඬුව බුදුගුණ, දළදාගුණ ගායනා කරන අතර ගෙපරාළ හා පල්ලෙමාලෙරාළ දෙපස සිට සුවඳ මල් ඉසිමින් ගමන් ගනිති. අනතුරුව පෙරහර කරඬුව මල් දමින් සරසා, මලින් පුදා කරඬුව වැඩම වන ඇත් රජු සමඟ මහවාහල්කඩ සඳකඩ පහණ කරා ගමන් කරති. දියවඩන නිලමේතුමා නිලකරුවන් සමඟ මහවාහල්කඩ අභියස සඳකඩ පහණ මතට පැමිණි පසු නියමිත වේලාවට කාරියකරවනකෝරාළ පැමිණ මල් මාලාවක් පළඳවා, පෙරහර පිටත් වීමට සූදානම් බව දන්වා පිටත් වීමට ආරාධනා කරයි. ඒ හා සමඟ වෙඩිහඬ නිකුත්වත්ම සුභ මොහොතින් පෙරහර පිටත්වීම ආරම්භ කෙරේ. පෙරහර කරඬුවේ ආරක්ෂාව පිණිස මංගල හස්තිරාජයා දෙපස දෑලේ ඇතුන් ගමන් ගැනීම සිරිතක් වෙනවා.
දැන් අපි බලමු ඇසළ පෙරහැරේ විස්තර ගැන
ඇසළ පෙරහැර අතීත ඉන්දියාවේ පැවති ආෂාඨ උත්සව හෙවත් ඇසළ කෙළියේ පරිණාමයෙන් ඇති වුණ බවට මතයක් තියනවා. මහනුවර ඇසළ පෙරහැර වර්තමාන මුහුණුවරට අරන් තියෙන්නේ ලංකාවේ අවසාන රජු වුණ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයෙහි ඉදන් කියලා සැලකෙන්නේ. නුවර පෙරහැර, සෙංකඩගල පෙරහැර, සිරි දළදා පෙරහැර, මහනුවර පෙරහැර, මාලිගා පෙරහැර, කන්ද උඩරට පෙරහැර සහ ඇසළ පෙරහර යනුවෙන් මෙම මහනුවර දළදා මාලිගාවේ පැවැත්වෙන පෙරහැර හැඳින්වෙනවා. වර්තමාන මහනුවර ඇසළ පෙරහැරේ ආරම්භය ක්‍රි.ව 18 වන සියවස මැද භාගයේ දී පමණ සිඳුවන්නට ඇතැයි සැලකෙනවා.
අතීතයේ දී පෙරහැරට ඇතුලත් වෙලා තියෙන්නේ නාථ, කතරගම, විෂ්ණු, පත්තිනි යන සතර දේවාලයේ පෙරහැර පමණයි. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් තමයි එකී සතර දේවාල පෙරහැරට දළදා මාලිගාවේ පෙරහැරක් එකතු කරලා තෙයෙන්නේ. ඒ හේතුවෙන් ඇසළ පෙරහැරට බෞද්ධ මුහුණුවරක් ලැබුනු බවට සැලකෙනවා.
පැරණි දළදා පෙරහැර සංස්කෘතිකාංග ප්‍රදර්ශනයට වඩා රාජ්‍ය බලය පෙන්වීමේ අවස්ථාවක් කරගෙන තිබිලා තියෙනවා. ඒ කාලේ ලංකාවේ ආණ්ඩුකාරවරයා වුණ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස්ගේ අවසරය පරිදි 1828 මැයි 29 වන දින පැවැත් වූ දළදා පෙරහැර ආරම්භ වෙලාතියෙන්නේ යුධ ආචාර මැද.
පෙරහර පැවැත්වීමේ ප්‍රධාන අරමුණක් වනුයේ ශ්‍රී දළදා වහන්සේ ප්‍රධාන සතර මහා දේවාලයන්හි දෙවි දේවතාවුනට පූජෝපහාරය දැක්වීමය. ඒ වගේම රටට සෞභාග්‍යය උදා කර ගැනීම සහ කලට වැසි ලබා ගැනීමත් මේ අලංකාරවත් පෙරහැරේ වෙනත් අරමුණු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. පාරම්පරිකව පැවත එන නර්තන, වාදන හා රංගන අංග රාශියකින් හා ඉපැරණි චාරිත්‍ර වලින් සමන්විත වන පෙරහැර ශ්‍රී ලාංකේය අනන්‍යතාව පිළිබිඹු කරන උත්සවයක් ලෙස සලකනු ලබනවා. ඉතින් දැන් අපි බළමු දළදා පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍ර මොනවද කියලා.
දැන් අපි බලමු දළදා පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍ර මොනවද කියලා.
කප් සිටුවීම
මුලින්ම කරනේ දළදා මාළිගාව හා සම්බන්ධව කටයුතු කරන නැකැත්කරු විසින් පෙරහැරට සුබ නැකැත් සකස් කිරීම. ඉන් පස්සේ සතර දේවාලයේ කප් සිටුවීම සිදු කරලා පෙරහැර පවත්වන බවට භාර හාර වීම කෙරෙන්නේ. කප යනු ‘කණුව’ හෙවත් ‘කැප කිරීම’ යන තේරුම ගෙන දෙන වචනයකි. එකී චාරිත්‍රයට අනුකූලව සතර දේවාලයන්හි කප් සිටුවීමෙන් අපේක්ෂා කෙරෙනුයේ පෙරහරේ නියැලෙන්නවුන්ගේ ආරක්ෂාව හා සුබසෙත ප්‍රාර්ථනය හා කිසියම් උපද්‍රවයක් නො මැතිව පෙරහරේ සියලු කාර්යයන් සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගැනීමට, දේවාශිර්වාදය ලබා ගැනීමයි. මෙම කප ගස අලුත් නුවර සිට රැගෙන ඒම තමයි පුරාණ සිරිත.
කප සඳහා තෝරා ගැනෙන්නේ නැඟෙනහිර දිශාවට විහිදුණු ගසක අත්තක්. බොහෝ වෙලාවට මේ සඳහා තෝරාගනු ලබනුයේ ඵල නො දරන කොස් පැළයක වියත් තුනක පමණ ළපටි, පුරුෂ ලිංගික ගසකි. ගස තෝරාගෙන විෂ්ණු දේවාලයේ ගස් කපන්නා ප්‍රධාන පිරිස පෙරහරින් ගොස් ගස වටා පිරිසිදු කොට, සුවඳ දුම් අල්වා, සුවඳ පැන් ඉස්වා, ගස කැපකර, ගස වටා පහන් නවයක් දල්වා, බුලත් කොළ නවයක මල් වර්ග නවයක් තබවා, සුදුවතින් සැරසුනු විෂ්ණු දේවාලයේ ගස් කපන්නා නැඟෙනහිරට වැටෙන සේ ගස කපා දමනවා. එයින් මුල් කොටස නාථ දේවාලයට ද, දෙවන කොටස විෂ්ණු දේවාලයට ද, තුන්වන කොටස කතරගම දේවාලයට ද, සිව්වන කොටස පත්තිනි දේවාලයට ද වෙන්කර දෙනු ලබයි. ඉක්බිති සුදු පිරුවටයකින් ‘කප’ ඔතා සතර මහා දේවාල වලට පෙරහරකින් රැගෙන ගොස් සුභ මොහොතින් දේවාලයෙහි ඉදිරිපිට සකස් කරන ලද විශේෂ ස්ථානයක වටතිර බඳවා, උඩු වියන් යොදවා, කණින ලද කුඩා වළෙක සුභ නැකතින් ‘කප’ තැන්පත් කිරීම කරනු ලබනවා.
ඇතුල් පෙරහැර
කප් සිටුවීමෙන් අනතුරුව දින පහක් රාත්‍රී හතට පමණ ඒ ඒ දේවාල වටා කුඩා පෙරහරක් ගමන් කරනවා. මෙම කුඩා පෙරහැර “ඇතුල් පෙරහැර” නම් වෙනවා. මෙම ඇතුල් පෙරහර පැවැත්වීමේදී ඒ ඒ දේවාලවල චාරිත්‍රවල වෙනස්කම් පවතිනවා. සිව් මහා දේවාලවල ප්‍රධාන කපු මහතුන් විසින් සුභ මොහොතින් චාරිත්‍රානුකූලව දේවාභරණ තම සුරතින් රැගෙන දේවාල වට තුනක් හේවිසි වාදන මැද්දේ පාවඩ මතින් පෙරහරේ වඩම්මවනු ලබනවා. මෙය දින පහක් සිදු කෙරේ. පෙරහරට සූදානම් වීමක් වශයෙන් මෙම ඇතුල් පෙරහර පැවැත්වෙනවා.
කුඹල් පෙරහැර
අතීතයේදී දේවාල ඇතුළත පෙරහරට පසු වීදි සංචාරය කළ පළමු පෙරහර පහේ දී අලුත් වළං කදක් ගත් කුඹලෙකු පෙරහරේ ඉදිරියෙන් ගමන් කිරීමේ සිරිතක් පැවතුණා. එලෙස රැගෙන යන අලුත් වළං, ශ්‍රී දළදා මාළිගාවට පූජා කළා. ඒ නිසා මෙම පෙරහර ‘කුඹල් පෙරහර’ යැයි නම් කළ බව පැවසෙනවා. නමුත් වර්තමානයේ දී මෙම චාරිත්‍රය ඉටු වන බවක් දනින්න ලැබෙන්නේ නෑ.
(2024 පළමු කුඹල් පෙරහැර)
රන් දෝලි පෙරහැර
ඉන්පසු දේවාල වල දේවාභරණ වැඩමවන වාහන (රන් දෝලි) මේ කුඹල් පෙරහැර ආරම්භවී පස්වෙනි දිනයේදී පෙරහැර අගට එක් කෙරෙනවා. “රන් දෝලි පෙරහැර” නමින් හදුන්වන මෙම පෙරහැර දින 5 ක් වීදි සංචාරය කරනවා.
පළවෙනි රන්දෝලි පෙරහර දිනයේ නවපෑ බුද්ධ පූජා අවස්ථාවේදී වන්නිල ඇත්තන් ප්‍රමුඛ ආදිවාසීන් සාම්ප්‍රදායක මී පැණි පූජාවට පැමිණ පූජා පැවැත්වීම සිරිතක් වශයෙන් පැවතෙනවා. එසේම අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන දිනයෙහි පෙරහර ආරම්භවීමට පෙර ආගමික සහයෝගීතාවය ඉස්මතු කරමින් ගණදෙවි කෝවිලේ භාරකාර මණ්ඩලය පූජා වස්තූන් රැගෙන පැමිණ වතාවත් ඉටු කර දියවඩන නිලමේතුමාට ද ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම වර්තමානයෙහි ද චාරිත්‍රයක් ලෙස ඉටු කෙරෙනවා.
රන්දෝලි පෙරහැර අවසන් දිනයේ මාළිගාවට කලින් දිනවල මෙන් ගෙවදින්නේ නෑ. එදින පාන්දර පෙරහැර ආදාහන මළුව වෙත ගමන් කර දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ තැන්පත් කරනු ලබනවා.
දිය කැපීම
ඉන් පසුව තමයි දිය කැපීමේ මංගල්‍යය සඳහා සතර දේවාල පෙරහර ගැටඹේ තොටට පිටත්ව යන්නේ. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාලවල සිටුවා තිබූ කප උගුල්වා රැගෙන යනවා. ඒ කප , ගැටඹේ තොටේදී ජලයේ පාකර හරිනවා. මෙසේ ගඟේ පාවි යන කප අල්ලා ගෙන එය තම කෙත් වතුවල සිටුවනවා. එමඟින් සෞභාග්‍යය මෙන් ම සශ්‍රිකත්වය උදාකරගත හැකි බව මිනිස්සුන්ගේ විශ්වාස කරනවා.
(දිය කැපීමේ චාරිත්‍ර අවස්ථාවක්)
දවල් පෙරහැර
සවස් වරුවේ දළදා පෙරහැර අස්ගිරි විහාරයේදී සූදානම් වන අතර නියමිත වෙලාව හඟවන වෙඩි හඬ අනුව සිව් දේවාලවල පෙරහරද එක්වී වීදි සංචාරය කොට මාළිගා චතුරශ්‍රයට පැමිණ, තුන් වරක් ප්‍රදක්ෂිණා කොට, ගෙවැදීම සිරිතයි. සිව් දේවාල පෙරහැර ඒ ඒ දේවාල කරා යන අතර මෙය දවල් පෙරහර නමින් හැඳින්වේ.
පෙරහැර ආරම්භයට ප්‍රථමව ඇහෙන වෙඩි හඬ ගැන ඔයාලා කලින් විස්තර අහලා තියෙනවද? මේ වෙඩිල්ල පත්තු කිරීම අතීතයේ ඉඳලම පැවත එන චාරිත්‍රයක්. ඒ සඳහා වෙන් වුනු වෙනම කණ්ඩායමක් ඉන්නවා. පළමු වෙඩිල්ල පත්තු කරන්නේ සතර මහා දේවාල දැනුවත් කිරීම සඳහා. දෙවන වෙඩිල්ල පත්තු කරන්නේ කරඬුව දරාගත් ඇතා මාලිගාවෙන් පිටතට පැමිණෙන විට. සුභ මොහොතින් තමයි මේ වෙඩිල්ල පත්තු කරන්නේ. මේ වෙඩිල්ලෙන් පසුව තමයි පෙරහැර ගමන් කිරීම ඇරඹෙන්නේ. තුන්වැනි වැඩිල්ල පත්තු කරන්නේ පෙරහැර වීදි සංචාරය කොට නැවත පැමිණීමෙන් පසුවයි.
පෙරහැර නිමාව
පෙරහැර නිම කළ බව රජුට දැනුම් දීම අතීතයේ සිට පැවත එන චාරිත්‍රයක් වන නිසා එය සංකේතවත් කරමින් වර්තමාන දිය වඩන නිලමේ හා සතර දේවාලවල බස්නායක නිලමේවරු මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිතුමාට පෙරහැර සාර්ථක ව නිම කළ බව පැවසීම කරනවා.
සෙත් පතා වස් දොස් හැරීම
පෙරහැරට සහභාගි වූ සියලු ම දෙනාගේ වස් දොස් දුරු වීම සඳහා විෂ්ණු දේවාලය මුල් කරගෙන එම භූමියේ දින 7 ක් වලියක් මංගල්‍යය නම් ශාන්තිකර්මයක් පවත්වනු ලබනවා. එසේම අතීතයේ දින හතක් “බලි බත් දීම” නම් චාරිත්‍රයක් සිදු කලත් වර්තමානයේ නම් එය දකින්න ලැබෙන්නේ නෑ. දළදා පෙරහැරට සහභාගි වූ නර්තන ශිල්පීහු, බෙර වාදකයෝ වලියක් මංගල්‍යයයේ නර්තන වාදන සඳහා සහභාගි නොවෙන අතර ඒ සඳහා සිංහල රජ දවස පටන් පැවත එන බව කියන විශේෂ පරම්පරා 2 ක ශිල්පීහූ පමණක් සහභාගි වෙනවා. ඔවුහු මාවනැල්ල අසල අලුත්නුවර දේවාලයය හා සම්බන්ධ පරම්පරා දෙකකි. මේ සඳහා ඔවුන්ට දේවාලයෙන් ඉඩම් දීලා තිබෙනවා. මෙය අතීතයේ වැඩවසම් සමාජ ක්‍රමය යටතේ පැවති රාජකාරියක්.
දැන් අපි බලමු රන්දෝලි පෙරහැර පැවැත්වීමේ දී සාම්ප්‍රදායානුකූල ක්‍රමය ගැන.
1. කසකරුවෝ
2. ගිනිබෝල කරුවෝ
3. කොඩි ගෙන යන්නෝ
4. පෙරමුණේ රාල
5. හේවිසි වාදකයෝ (දවුල්, තම්මැට්ටම්, හොරණෑ, තාලම්පට)
6. ගජනායක නිලමේ (පෙරහැරේ අලි ඇතුන් භාරව සිටින්නේ මොහුය)
7. ඇත්තු, නැට්ටුවෝ සහ බෙර වාදකයෝ
8. කාරිය කෝරාල
9. කවිකාර මඩුවේ ශිල්පීහු
10. වෙස් නැටුම් කණ්ඩායම
11. දළදා කරඬුව රැගත් හස්තියා
12. වෙස් නැටුම් කණ්ඩායම හා බෙර වාදකයෝ
13. දියවඩන නිලමේ
17. සතර දේවාලය පෙරහැර (පෙරහැරේ කාන්තා නියෝජනයක් දක්නට ලැබෙන්නේ පත්තිනි දේවාලය පෙරහැරේ පමණි.)
අතීතයේ සිට මේ දක්වා විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් පැවත ආ දළදා පෙරහැර ගමන් කිරීමේ සාම්ප්‍රදායික අනුපිළිවෙලක් දක්නට ලැබෙනවා. මේ සමහර අංගවල සංකේතාත්මක අර්ථයන්ද ඇති බවට අදහස් පවතිනවා. උදාහරණයක් විදිහට වැස්ස ආශ්‍රිතව කෙරෙන විදුලි කෙටීම කස පිපිරවීමෙන් සංකේතවත් කෙරෙනවා. බෞද්ධ කොඩි අත දරන්නන් මහනුවර ඇසළ පෙරහර බෞද්ධ පෙරහරක් බව සිහිපත් කිරීමත් ගිනි බෝල කරුවන් විදුලි කොටන විට විහිදෙන ආලෝකය සංකේතවත් කෙරෙනවා. අතීත ගැමි විශ්වාසයන්ට අනුව අලි යතුන් පෙරහරේ ගමන් කරන විට කළු වැහි වළාකුළු සිහිගන්වයි එම නිසා දළදා පෙරහරේ අලි ඇතුන් ගමන් කරනුයේ කණ්ඩායම් වශයෙනි. රජුගේ ශක්තිය අලි ඇතුන් ගෙන් සංකේතවත් කෙරෙනවා.
ඉතා දක්ෂ ගායන වාදන නර්තන ශිල්පීහු සහභාගි කරවා ගැනෙන මහනුවර දළදා පෙරහැර උඩරට සාම්ප්‍රදායික හා ගැමි නර්තන අංගයන්ගෙන් පමණක් පෝෂණය වෙලා තෙයෙනවා. මහනුවර දළදා පෙරහැර සඳහා ස්ථිර වශයෙන් ම නර්තන ගායන, වාදන ශිල්පීහු සිටිනවා. ඔවුහු පෙරහැර වෙනුවෙන් සේවය කිරීම භාග්‍යයක් කොට සලකනවා. අතීතයේ රජවරුන් මොවුන් හට ඔවුන්ගේ රාජකාරිය නිසාවෙන් ගම්වරත් ලබා දීලා තියෙනවා. වර්තමානයේදීත් විවිධ දස්කම් දැක්වූවන් හට සම්මාන ලබාදී ප්‍රශංසා කර ඔවුන් දිරිමත් කිරීම සිදු කෙරෙනවා.
ඔන්න ඉතින් සෙන්කඩගල ශ්‍රී දළදා මාලිගාවේ 1714වන ඇසළ පෙරහර මංගල්‍යය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වුණා. එය අවසන් වීමට නියමිත වෙලා තියෙන්නේ අගෝස්තු විසි වැනිදා දවල් පෙරහැරෙන් අනතුරුව. මෙවර පෙරහැරේ සධාතුක කරඬුන් වහන්සේ වැඩම කිරිමේ භාග්‍ය හිමි වෙලා තියෙන්නේ ඇත්ගාලේ මහරජු ඉන්දි රාජා හස්තියා ට කියලා තමයි වාර්තා වෙන්නේ. අපේ රටේ අභිමානයක් වෙන ඇසළ පෙරහැර නරඹන්නම විදේශ රටවලිනුත් සංචාරකයෝ ඇදී එනවනේ ඉතින් ඔයාලත් පුළුවන් නම් නුවර ගිහින් ඔයාලගේ සියැසින්ම ඒ අසිරිය විඳගන්න. එහෙම අපහසු අය රූපවාහිනිය ඔස්සේ හරි මේ අසිරිමත් බව විඳගන්න අමතක කරන්න එපා.
ඔයාලා හැමෝටම දළදා සමිදු පිහිටයි.
-වීණා-