මියුරු පෙම් වසන්තේ – 41

මිලින්දගේ ටැටූ ශොප් එකට නොහිතපු විදියේ ප්‍රසිද්ධියක් ලැබුනේ කාලෙකට කලින් වත්තෙන්ම බිහිවෙච්ච බස් සිංදු ගායකයෙන් වෙච්ච කොල්ලෙකු මිලින්දට කියා ටැටූ එකක් කරගත්ත හන්දාය. මිලින්ද වගේම කෙස්ස පාට කර, එක පැත්තකින් කෙස්ස හෙනම දිගට වවාගෙන උන් ගායකයා මිලින්දගේ ටැටූ ශොප් එක ඇතුලේ, මිලින්ද ටැටූ එක කොටන අතරවාරයේ කියා ටික්ටොක් අප්ලෝඩ් කල ගීතය සහිත වීඩියෝවට නොහිතපු තරම් ප්‍රතිචාර හම්බෙච්ච හන්දා මිලින්ද බලාපොරොත්තු නොවිච්ච විදියට ශොප් එකට සෙනග ඇදී ආවේය. ඒ සමානුපාතිකවම පර්ස් එක පිරෙද්දී මිලින්ද ඇවිද්දා නොවේ පියෑඹුවේය.

නදීව බස්සන්නට විස්සෙ කණුව පැත්තට ආව මියුරුව මිලින්ද දැක්කේ ඔහොම අඩියක් දෙකක් උඩින් පියාඹමින් උන් මොහොතකය. කතා බහ වෙනස් කර, අඳින පලඳින විදිය වෙනස් කරගෙන ඒ වෙද්දී “වෙනස්ම මිනිහෙක්” උනාට නදී ඉස්සරහට යනවාය කිව්ව වාහනයත් ඒකෙ උන්නු කොල්ලාවත් දැක්කට පස්සෙ නදී බලාපොරොත්තු වෙන මිනිහා මොන වගේද කියා මිලින්ද තේරුම් ගත්තේය.

ගූ පාට කොණ්ඩ කෑල්ල පරලෝ සැපත් උනේ ඒ විදියටය. “නදී නංගියා වෙනුවෙන් පණ දෙන්න උනත් ලෑස්ති” මිලින්ද ගූ පාට කොණ්ඩ කෑල්ල කපා දමා, මියුරු වගේම තනි පාට ශර්ට් ඇඳ, ශර්ට් එක කලිසමට යට කර නදීට පේන්න නදිලාගෙ ගේ ඉස්සරහින් දෙතුන් පාරක් ඇවිද ගියාට මිලින්දයාව දැක්කෙ නදී නොව නදීගෙ තාත්තාය. නෙච්චර දවසක් බෙට්ටක් රෝල් වෙනවා වගේ කහ පාට කොණ්ඩ කෑල්ලක් එක්ක වත්තෙ ඇවිද්ද එකා එකපාර මහා වෙනසකට ලක් වී තිබිච්ච එක දැක්ක වෙලේ විල්සන් ගේ කලින් දවසෙ ගහපු ශොට් එකෙන් ඉතුරු වෙලා තිබිච්ච වෙරිත් හොඳටම හිඳුණේය.

“මොකෝ උනේ උඹට?” වත්ත මැද්දෙන් පියඹා යමින් උන් මිලින්දව නැවැත්තූ විල්සන් එහෙම ඇහුවේ වෙරි හිඳිච්ච හන්දාය.

“මොනව වෙන්නද ඉතින් අපිට?” කියා කතා කරද්දී නම් වුන වෙනසක් වෙලා තියෙන්නෙ මිලින්දයාගෙ එලියෙන් විතරක් බව විල්සන්ට තේරුණේය.

“මොකෝ බං නැත්තෙ, උඹේ අර බෙටි ලුක් එක එහෙම් පිටිම්ම නැති වෙලානෙ. උබ දැන් නිකන් මහත්තයෙක් වගේ”

“අනේ මේ විල්සන් අයියා ඔය බෙටි කතාව නම් ආයෙ කියන්න එපා මට. මම මොකෙක් කියලද හිතාගෙන ඉන්නෙ? අනික මහත්තයෙක් වගේ කියන්නෙ, ඔය ලොකු ලොකු කාර් නැතුවට අපි මහත්තුරු තමයි හරිද? කාර් බාර් නැතුවට මනුස්සකම තියෙන්නෙ මේ අපි වගේ පොඩි උන් ලඟ තමා” කියා අන්තිම කෑල්ල හයියෙන් කිව්වේ නදී ගේ ඇතුලේ ඉන්නවානම් ඇයට ඇහෙන්නට කියල හිතාගෙනය.

“කෑ ගහන්න එපා බං, මට ඇහෙනව උඹ ඔතන ඉඳන් කියන දේ” කියා විල්සන් කිව්වේ ආන් ඒ හන්දාය. 

“දැන් උඹ නදීගෙන් කැමතිද කියල ඇහුවද?” විල්සන් කතාව පටන්ගත්ත එක ගැන සන්තෝස වෙන්න පුලුවන් උනත් මිලින්ද උන්නේ නදී මේ වෙන කොල්ලෙක්ගේ වාහනේකට නැග යන එක ගැන තරහෙන් හන්දා විල්සන් ඔහොම ඇහුවම ඒකට කියන්න ඕන මොකද්ද කියලත් හිතාගන්න බැරි ය.

“මං ඉතින් කැමැත්ත අහන්න හිටියට විල්සන් අයියා සපෝට් එකක් දුන්නෙ නැනෙ, අන්තිමේ මොකද්ද උනේ දැන් නදී වෙන කාගෙද එකෙක් ගෙ වාහනේක නැගල යනවා” කියා මිලින්ද කිව්වේ ඕන් ඔය මල පැන්නිල්ල හන්දාය.

“අයියෝ ඒකිව ඔය කාර් එකෙන් බස්සගන්න එක නම් මහ දෙයක් ය. උඹත් ගනිං වාහනයක්. දැන් උඹේ කඩේටත් කට්ටිය එන හන්දා ඒක කොරගන්න බැරි නෑනෙ”

“අනේ මේ විල්සන් අයියා එහෙම මේ කාර් බාර් පෙන්නල කෙල්ලො ගන්න සීන් එකේ මම නෑ හරිද? මම නදී නංගිට ප්‍රපෝසල් එක දැම්මෙ අර හිතෙන්ම මං නංගියට ලව් නිසා. නංගි වෙන කොල්ලෙක් එක්ක යාලු උනත් මං නෙවෙයි ඒ ලව් එක අමතක කරේ නැත්තෙ”

“ඒකි ඉතින් වෙන කාර් එහෙක නගින්න ගියේ උඹ බෙට්ටා වගේ උන්නු හන්දනෙ. මං කිව්ව දවස්වලම උඹ කොණ්ඩෙ කපල පිලිවෙලකට හිටියනම් මෙලහකට ඒකි උඹත් එක්ක සෙට් වෙලා”

“සෙට් වෙලා සෙට් වෙලා, අනේ මේ යන්න විල්සන් අයියා නිකන් කියවන්නෙ නැතුව”

“මං කොහෙ යන්නද බං? මං ඉන්නෙ මගෙ ගෙදරනෙ, උඹ තමයි යන්නෝන” කියා විල්සන් කියද්දී නම් මිලින්ද ආයෙම එතනින් පියැඹුවේ මේ කොයි වෙලාවෙත් බීගෙන ඉන්න එකාගෙන් තමන් කතා අහන්නේ මොකටද කියා හිතමිනි.  මිලින්ද එහෙම හිතමින් යන්න ගියාට විල්සන්ට නම් මිලින්ද ගෙන් අහන්න තව කාරණාවක් තිබ්බේය.

“මේ උඹ නිකන් පුක කැඩිච්ච කඩියා වගේ දුවන්නෙ නැතුව පොඩ්ඩක් මං කියන දේ අහංකො. දැන් උඹ නදීව සෙට් කරගෙන කසාද බැන්දොත් උඹ මොනවද ඒකිට දෑවැද්දට දෙන්නෙ?” කියා විල්සන් අහද්දී මිලින්දගේ ඇස් තිබ්බේ නළලේය. ඒ “මූ මේ මොනවද දොඩවන්නේ?” කියන ප්‍රශ්නය හිත අස්සෙන් ඇහෙද්දිය.

“මං මොකටද නදීව කසාද බඳිනවට දෑවැද්දක් දෙන්නෙ? කොයි රටේද එහෙම කෙල්ලෙක්ව බඳිද්දි කොල්ලා දෑවැද්ද දෙන්නෙ?”

“දැන් උඹ කියන්නෙ අපේ නදියව උඹට නිකන්ම දෙන්න කියලද?” කියා විල්සන් අහද්දී මිලින්ද මේවට කියන්න ඕන මොනවද කියා හතර අතේ හිතුවේය. 

“නිකන්ම දෙන්න කියන්නෙ ඉතින් මං නදීව ඇර මුකුත් ඉල්ලුවෙ නෑනෙ, විල්සන් අයියල කැමති නම් දෙන දෙයක් මම භාරගන්නවා නදී නංගිව භාරගන්නවත් එක්ක. අනික ඉතින් අපේ රටේ දෑවැද්ද කෙල්ලගෙ පැත්තෙන් නෙ”

“ඒ බං වෙන තැන්වලනෙ, මෙතන තියෙන්නෙ වෙන කතාවක්නෙ”

“මොකද්ද වෙන කතාව?”

“දැන් නදී කොහොමත් වෙන කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉන්නවනම්, උන්දැට කාර් එකක් එහෙම තියෙනම් අපි මක්කා නොදුන්නත් උනට අගේට ජීවත් වෙන්න ඇහැකිනෙ. හැබැයි අපිට නදීව උඹට එහෙම භාරදීලා අත හෝද ගන්න බෑනෙ”

“අර මොකද බැරි?”

“ඇයි බං, උඹ මේ නිකන් ඔහෙටයි මෙහෙට කොණ්ඩ කුරුල්ල වගේ පියාඹන ගමන් ඉඳල හිටල ගිහින් කාගෙ හරි ඇඟේ හණක් කොටල එන එකා, නදී එහෙම නෙවෙයිනෙ. ඒකි හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන ගමන් යමක් කමක් කරගන්න එකියක්නෙ. එහෙම බැලුවම උඹල අපිට දෑවැද්දක් දෙන්න ඕන තමා. මොකෝ උඹ ඒකිව භාරගන්නව නෙවෙයිනෙ ඇත්තටම වෙන්නෙ අපේ එකී උඹව භාරගන්න එකනෙ. එතකොට ඉතින් උඹට කන්න බොන දෙන එකටවත් උඹලයි පැත්තෙන් අපිට මොකක් හරි දෙයක් දෙන්න ඕන නේද?” කියා විල්සන් කිසි ගාණක් නැතුව කියල දාද්දී නම් මිලින්දට තව කට පියාගෙන ඉන්න පුලුවන් කමක් තිබ්බේ නැත. මේ නාකි හම්පඩයා තමන්ට දැන් ඕනවටත් වඩා අලුකුත්තේරු කතා කියා තිබෙන එකෙ තව ඉවසන එක තමන්ගේ පිරිමි කමට මදිකමක් බව දන්න හන්දාම මිලින්ද කට ඇරියේය.

“විල්සන් අයියා මේ”

“මේ නෙවෙයි බං මේ ඕගස්ට්” කියා විල්සන් කිසි ගාණක් නැතුව කිව්වේ අවුරුදු ගාණත් මේ වත්තේම පදං වෙච්ච ලයිෆ් එක අස්සේ මේ ඉස්සර ගූ පාටට උන්නු බෙටි කොල්ලෙක්ගේ නරි වාදං වලට බය වෙන්න ඕන නැති බව දන්න හන්දාය.

“නිකන් කෝචෝක් දාන්න එන්න එපා හොඳේ, අපිත් මේ වත්තෙම මිනිස්සු, උඹේ කෙල්ල පස්සෙ මං ආව කියල නිකන් මේ හිතන්න එපා මට මේ වෙන කෙල්ලො නෑ කියලා මේ ලෝකෙ” කියාගෙන මිලින්ද තමන්ගේ නිවසට ඇවිද යද්දීත් විල්සන් කිසි ගාණක් නැතුව වැට අද්දර හිටං උන්නේ ආන් ඒ හන්දාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles