සොසේජස් කියන්නෙ මස් වලින් හදන ලොකු පොඩි අපි කවුරුත් කන්න කැමති හරිම රසවත් ආහාරයක්නෙ.
හැබැයි සොසේජස් වල මේ රස, පාට සහ කල්තබා ගැනීම අරමුණු කරගෙන ඒවාට එකතු කරන විවිධ රසකාරක සහ අමුද්‍රව්‍ය නිසා සොසේජස් වල ගුණාත්මක බව සම්බන්ධව අද සමාජයේ ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.
හැබැයි අපේ පොඩ්ඩන්ට ඒ ගැන හරි වැටහීමක් නැති නිසා සොසේජස් වගේ කෑම ඉල්ලල ඔබට කරදර කරනව ඇති. ඒ වගේ වෙලාවට ගෙදරදීම හදාගන්න පුළුවන් කෑම බීම වල වටිනාකම අපිට හොඳටම තේරෙනවනේ.
අන්න ඒ නිසා ටිකක් වෙනස් රසයක් වුනත් නිර්මාංශ ඔබටත් රසවිඳින්න පුළුවන් පරිප්පු වලින් සොසේජස් හදන විදිහ අරන් එන්න smart lady අපි තීරණය කරා.
මුලින්ම අපිට අවශ්‍ය කළමණා සූදානම් කරගමු
අවශ්‍ය ද්‍රව්‍ය
පරිප්පු කෝප්ප 01 ක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩි ½ ක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 02 ක්
කරපිංචා ඉත්තක කොළ
සිහින්ව ලියාගත් සුදුලූණු බික් 03 ක් පමණ
මිරිස් කුඩු
කෑලි මිරිස්
ගම්මිරිස් කුඩු
ලුණු කුඩු
තුනපහ කුඩු
අබ ඇට තේ හැන්ඳක්
වතුර
තෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම හොඳින් සෝදාගත් පරිප්පු ටික භාජනයකට දමා පරිප්පු වැසෙන ප්‍රමාණයට ජලය එකතු කර විනාඩි 15 ක් 20 ක් පමණ පෙගෙන්නට තබා ගන්න.
(වැඩි වේලාවක් පෙගෙන්නට තැබීමෙන් සොසේජස් මිශ්‍රණය අනවශ්‍ය ලෙස දියාරු වෙන්න පුළුවන්)
ඊළඟට භාජනයක් ලිපතබා එයට තෙල් මේස හැන්ඳක් පමණ එකතු කර තෙල් රත්වූ විට අබ එකතු කරගන්න.
අබ ඇට පිපිරී අවසන් වූ පසු කපාගත් ලූණු, සුදුලූණු, කරපිංචා සහ අමු මිරිස් එකතු කර විනාඩියක් දෙකක් පමණ හොඳින් කලවම් කරමින් තෙම්පරාදු කරගන්න.
ලිපේ ගින්දර අඩු කර ඔබේ රස අනුව මිරිස් කුඩු, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කර විනාඩියක් පමණ තබා පොඟවා ගෙන අවසන් වී වතුර බේරාගත් පරිප්පු එකතු කර නැවත හොඳින් කලවම් කරගන්න.
විනාඩි දෙකක් පමණ තෙම්පරාදු වීමට තබා මේ පරිප්පු මිශ්‍රණය ලිපෙන් ඉවත්කර ගෙන නිමෙන්නට තබා ගන්න.
නිමුණු පරිප්පු මිශ්‍රණය බ්ලෙන්ඩර් කෝප්පයට දමා කෑලි නොසිටින සේ හොඳින් අඹරාගන්න.
අඹරාගත් මිශ්‍රණයේ කෑලි තිබුනොත් වතුර තේ හැන්ඳක් පමණ එකතු කරගෙන නැවත අඹරාගන්න ඔබට පුළුවන්.
මෙලෙස සාදාගත් ඇඹරූ පරිප්පු මිශ්‍රණයෙන් මේස හැන්ඳක පමණ ප්‍රමාණයක් ගෙන ෆොයිල් කඩදාසියක් මත තබා දිගැටි හැඩය ලැබෙන සේ සාදාගෙන දෙපැත්තෙන් ටොෆියක ආකාරයට ෆොයිල් කඩදාසිය අඹරා ගන්න.
දැන් මෙලෙස සාදාගත් ෆොයිල් කඩදාසියේ දැවටූ පරිප්පු ස්ටීමරයක් හෝ රයිස් කුකරයක් ආධාරයෙන් විනාඩි 25 ක් 30 ක් අතර කාලයක් ස්ටීම් කරගන්න.
නිමුණු පසු ෆොයිල් කඩදාසිය ඉවත් කරගෙන ඔබ කැමති පරිදි තෙම්පරාදු කරගෙන හෝ බැඳගෙන රසවිඳින්න ඔබට පුළුවන්.
එහෙනම්, මේ වගේම රසවත් කෑමක් එක්ක යලිත් ඔබව හමුවෙන බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නව.
රසට කන්න , සුවෙන් ඉන්න !
සටහන – දුලානි නවෝද්‍යා