නිතර කන හාල් මැස්සො ගැන මේ දේවල් දැනන් හිටියද ?

හාල් මැස්සන් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතියට නුහුරු නුපුරුදු ආහාරයක් නෙමෙයි.

ලූණු අමු මිරිස් යහමින් දාපු හාල් මැස්සන් තෙම්පරාදුවක් හරි හාල් මැස්සන් බැඳුමක් එක්ක හරි පොල් සම්බෝලයක් හදාගෙන කන උණු කැකුළු බත් කටක්, රස්නෙ අල හාල්මැස්සො හොද්දක් එක්ක රස බලන පාන් කෑල්ලක තියෙන්නෙ ඊටම අනන්‍ය වුණ රසක් කියල අපි කවුරුත් හොඳටම දන්නව.  

ඉතිං මේ රසවත් මුහුදු මත්ස්‍ය ආහාරය එහෙමත් නැත්තන් හාල්මැස්සො ගැන කතා කරන්නයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. 

Omega 3 මේද අම්ල වලින් සපිරි හාල්මැස්සන් අමුවෙන් හෝ වියළි ආකාරයට අද සුලභව දකින්න ලැබෙනව වුනත්, පුරාණ රෝම ඉතිහාසයේ දැක්වෙන පරිදි එකල රෝමයේ මිලදී ගැනීමට තිබූ මිල අධික සුවඳ විලවුන් වලටත් වඩා මිලෙන් වැඩි සහ දුර්ලභ ආහාරයක් බවට තමයි සඳහන් වෙන්නෙ. 

ඒ වගේම හාල්මැස්සන් 1990 ට ආසන්න කාලයන් වලදී පීසා සෑදීමේදීත් භාවිත කරල තියෙනව කියලත් වාර්තා වෙනව. 

එහෙනම්, අපි අද කතා කරමු වර්ග 140 කට වැඩි ප්‍රමාණයකින් හඳුනාගන්න ලැබෙන හාල්මැස්සන් වල අපි දන්න නොදන්න ප්‍රතිලාභ මොනවද කියල.

අපි කලින් කතා කලා වගේ හාල්මැස්සන් වල ඉහළ ප්‍රමාණයකින් අඩංගු වෙලා තියෙන Omega 3 / ඔමෙගා 3 මේද අම්ල අපේ මොළයේ සහ හෘදයේ නීරෝගී ක්‍රියාකාරීත්වයට ඉතා හොඳ සහයක් ලබා දෙනව වගේම හාල්මැස්සන් වල අඩංගු ඒවායේ අඩංගු සෙලිනියම් නිතරම ආහාරයට ගැනීම පිළිකා ඇතිවීමේ අවධානම අඩු කරන්නත් හේතු වෙන බව සඳහන් වෙනවා. 

හෘදය නීරෝගීව පවත්වා ගනී 

හෘදයේ නීරෝගී බව පවත්වා ගැනීමට ඍජුව සහ ශක්තිමත්ව බලපාන Omega 3 හාල්මැස්සන් වල අඩංගුයි. 

රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුකර, ධමනි වල රුධිර ගමනාගමනයට බාධා කරන ඵලක සෑදීම වළකා රුධිර පීඩනය අඩු කිරීමටත්, රුධිරය කැටි ගැසීමේ අවධානම අඩු කර හෘදයාබාධ ඇතිවීමේ අවධානම අඩු කරන්නත් හාල්මැස්සන් වල අඩංගු පෝෂක අපිට උදව් කරනවා. 

තයිරොයිඩ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය ක්‍රමවත්ව පවත්වා ගනී 

තයිරොයිඩ ග්‍රන්ථිය සක්‍රීය කිරීමට බලපාන එක් එන්සයිමයක කොටසක් ලෙස පර්‍යේෂණ වලින් සොයාගෙන ඇති සෙලිනියම් ඉතාම හොඳ ප්‍රතිශතයක් හාල්මැස්සන් වල අඩංගු වෙලා තියෙනවා. 

සාමාන්‍ය යෞවනයන් සහ වැඩිහිටියන්ගේ දෛනික සෙලිනියම් අවශ්‍යතාව 55mg ක් බව සඳහන් වෙනව වගේම හාල්මැස්සන් ආහාරයට ගන්න එක් වාරයකදී ආසන්න වශයෙන් සෙලිනියම් 31mg ක් ශරීරයට එකතු වෙන බව සොයාගෙන තිබෙනවා. 

සෙලිනියම් අවශ්‍යතාව සම්පූර්ණ නොවීම නිසා තයිරොයිඩ ග්‍රන්ථිය ආශ්‍රිත ගැටළු ඇතිවීමේ අවධනමක් ඇති බවයි සඳහන් වෙන්නෙ. 

ඇස් වල නීරෝගී බව පවත්වා ගනී 

ඇස් පෙනීම දුර්වල කර, අක්ෂි පරිහානිය ඇති කිරීමේ සම්භාවිතාව අඩු කරන්න Omega 3 මේද අම්ල මඟින් ලබාදෙන්නෙ ඉතාම හොඳ සහයක්. 

වැඩිහිටි පිරිමි පුද්ගලයෙක් දිනකට Omega 3 මේද අම්ල 1.6g ක ප්‍රමාණයක් සහ වැඩිහිටි කාන්තාවක් දිනකට Omega 3 මේද අම්ල 1.1g ක ප්‍රමාණයක් ලබාගත යුතු බව සඳහන් වන අතර හාල්මැස්සන් අනුභව කරන එක් වාරයකදී මේ පෝෂණ අවශ්‍යතාව ඉතා හොඳින් සම්පූර්ණ වන බවත් පර්‍යේෂකයන් සඳහන් කරනවා. 

ඇල්සයිමර් තත්වය ඇතිවීමේ අවධානම අඩු කරයි

හාවඩ් විශ්ව විද්‍යාලය මඟින් කරන ලද පර්‍යේෂණයක ප්‍රතිඵලයක් විදිහට Omega 3 මේද අම්ල වැඩි ප්‍රමාණයක් ශරීරයට එකතු කර ගැනීමෙන් වයසත් සමඟ ඇතිවෙන යම් යම් සිද්ධීන් ගැන මතකය ගිලිහී යාමේ ඇල්සයිමර් තත්වය / ඩිමෙන්ෂියා තත්වය ඇතිවීමේ  අවධානම අඩු කරන්න හේතු වෙනව කියලත් සොයාගෙන තියෙනව. 

Omega 3 / ඔමෙගා 3 සහ සෙලිනියම් වලට අමතරව, 

නයසීන් / Niacin

විටමින් B 12 

කැල්සියම් 

පොටෑසියම් සහ 

විටමින් A අඩංගු වෙනව වගේම, 

හාල්මැස්සන් අවුන්ස 03 ක, 

කැලරි 111 ක්, ප්‍රෝටීන 17g ක්, මේදය 04g ක්, කාබෝහයිඩ්‍රේට්, ෆයිබර් සහ සීනී 0g ක් අඩංගු බවත් සඳහන් වෙනවා. 

ඉතිං අපිට  පුංචි කාලෙ හාල්මැස්සන් කන්න හරිම ගුණයි කියල අපේ වැඩිහිටියො කියල තියන්නෙ කට කහනවට නෙමෙයි කියල දැන් තේරුන් ගන්න පුළුවන්නෙ. 

ඒ නිසා හැකි සෑම විටම හාල්මැස්සන් වගේ පෝෂණීය ආහාර ඔබේ කෑම වේලට එකතු කරගන්න අමතක කරන්න එපා කියල අපි ඔබට ආදරෙන් මතක් කරන්න කැමතියි. 

මේ වගේම වැදගත් ලිපියකින් නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් අපි අද ඔබෙන් සමුගන්නව. 

සුවෙන් ඉන්න ! 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles