ආකාස මෝස්තර – 17

පසන් ඉරුගල්බණ්ඩාර සිය පෙම්වතිය හා අනාගත සහකාරිය දෙව්රූ ඇල්ලගේ බව සහතික කොට ගත්තේ ය. ඊට පස්සේ ඔහු හැසිරුණේත් ඇය පිළිබඳව එහෙව් අයිතිවාසිකමක් දනවමිනි. නමුත් පාරුල් තව දුරටත් පසු වූයේ එකී තීරණය ගැන අවිනිශ්චිත භාවයක ය. සැබවින් පසන් සිය පෙම්වතා කියන්නේ ඇයි දැයි ඇය ම නො දැන සිටියා ය. නමුත් ඔහු හොඳ පෙනුමැති තරුණයෙකි. වෛද්‍යවරයෙකි. ඔවුන් දෙදෙනා ට එක්ව එක ගමනක් යා හැක. ඒ ගමන් මග පැහැදිලි ය. බැලූ බැල්මට ඔවුන් දෙදෙනා ඉතා හොඳින් ගැලපෙන යුවළකි. නමුත් ඇයට ම නො දැනෙන යම් කිසිවක් ඇගේ හිත පාරමින් ගලා බසී. ඇගේ හිත හාරමින් ගලා බසී.

“අපේ පාරො ඩොක්ටර් කෙනෙක්ව බඳින්නයි යන්නෙ ඒ කියන්නෙ නේද…”

උමා සතුටු වූවා ය. නමුත් එහෙම සතුටක් ඇයට නො දැනෙන්නේ ඇයි දැයි පාරුල් ට වැටහුණේ නැත.

“මන්දා උමා. මට තාම හිතාගන්න බෑ මං පසන්ට කැමති වෙන්න ඕනද නැද්ද කියල”

“කැමති නැති වෙන්නනං ඔයාට තියෙන්නෙ එක ම එක හේතුවයි පාරු”

පාරුල් මිතුරිය දෙස පැහැදිලිව බැලුවා ය.

“ඒ ගඟුල්. ඔයාගෙ හිතේ ගඟුල් ගැන කැමැත්තක් තියනවනං විතරයි පසන්ට කැමති නෑ කියන්න ඕනෙ”

“නෑ නෑ ගඟුල් ගැන මං එහෙම හිතන්නෑ”

පාරුල් වහා කීවා ය.

“පොලිටීශියන්ස්ල කියන්නෙ කම්බ හොරුනෙ උමා. අනිත් එක ගඟුල් වගේ කෙනෙක්ට මේ වත්තෙන් කෙල්ලෙක් ඕන නෑ. එයා මට කතා බහ කරන එක ඒ විදිහට ගන්නවනං ඒක අපේ මෝඩකම. මං ඒ විදිහට එයාගෙ පැත්තට බර වෙනවනං මිනිහත් කැමති වෙයි. සමහර විට එයා ඔය මාව හම්බවෙන්න එහෙම එන්නෙ මුට්ටිය දාල බලන්න වෙන්නත් පුළුවන්නෙ. මාව එහෙම දේකට පොළඹවගන්න පුළුවන් ද බලන්න… කොහොමත් දේශපාලකයො කියන්නන හදවතක් තියන මිනිස්සු කියල මං විශ්වාස කරන්නෑ”

“හරි හරි ඉතිං… එච්චර නිදහසට කාරණා ඕන නෑ. ගඟුල් ගැන කවදාවත් ඔයා එහෙම හිතන්නැත්තං පසන්ට කැමති වෙලා එයාව බඳින එක තමයි හොඳම තීරණේ”

පාරුල් ද ඊට හිත හදාගත්තා ය. මේ අලුත් සම්බන්ධකම ගැන අම්මා හා අයියා දැනුවත් කිරීම සිය යුතුකමක් සේ සිතූ ඇය, කවුරුත් මැද සාලේ ඇඳ මත හිඳ රාත්‍රී ආහාරය ගනිමින් සිටියදී තරමක අසීරුවෙන් හඬ අවදි කළා ය.

“මට ඕගොල්ලොන්ට දෙයක් කියන්න තියනව”

ඇස් බිමට හරවාගෙන, බත් පත අත පත ගාමින් කතා කළ නංගී දෙස චන්දුල වහා හැරී බැලුවේ ය. ඒ ඇගේ කටහඬෙහි ඔහු ට මොකක්දෝ ලොකු අමුත්තක් දැනුණ නිසා ය.

“හොස්පිට්ල් එකට අලුතෙන් පත්වීම් ලැබිච්ච ඩොක්ට කෙනෙක් මං ගැන බලාපොරොත්තු තියං ඉන්නද අහනව. එයා හිතන් ඉන්නෙ මගෙ ෆයිනල් ඉයර් වෙනකොට බඳින්න”

රිදී ද ජුලී ද චන්දුල ද වචනයක්වත් කීවේ නැත. මේ වගේ හදිසියේ පාරුල් එවන් ආරංචියක් ගෙන ඒවි යයි ඔවුන් ගේ තුන් හිතකවත් වූයේ ද නැත. වචනයක් මුවට නාවේ ඒ අනපේක්ෂිත බව නිසාම ය. කිසිවෙකු හ්ම් හඬක්වත් නො නගන නිසාවෙන් ඇය ඇස් ඔසවා බැලුවා ය. ඇස් පියන් මත රාත්තල් ගණනක බරක් පැටවී ඇතිවා සේ ඇයට දැනේ.

“ඇයි ඕගොල්ලො මුකුත් කියන්නැත්තෙ…”

“හම්මෝ ලොකු දෙයක් පාරු”

චන්දුල හරිබරි ගැහී පාරුල් දෙසට හැරී යළිත් හිඳගත්තේ ය. ඔහු ගේ මුහුණට සැනසිලිදායක සිනහවක් ගොඩ වී තිබිණ.

“ඩොක්ටර් කෙනෙක්නං… ඔයාට ගැලපෙනවනෙ. පුළුවන් තරං ඉක්මනට මේ වත්තෙන් විතරක් නෙවෙයි මේ රටෙංමත් තොලොංචි වෙලා ගිහින් හොඳ රටක පදිංචි වෙන්නයි තියෙන්නෙ. ඔයා හොඳම කාලෙදි හොඳම තීරණේ ගත්තෙ. නේද අම්මෙ…”

“අනේ මං වගේ නූගත් රෙදි හෝදන ගෑනියෙක් මොනා දන්නවයි කියලද පුතේ… උඹල හොඳම විදිහක් කරන්නයි ඕනෙ. උඹලට හොඳම දෙයක් වෙන්නයි ඕනෙ. කොහොමත් උඹල දෙන්න මේ වත්තටවත් රෙදි හෝදන පවුලකටවත් අයිති උං නෙවෙයි. උඹලගෙ ලෝකෙ හොයාගෙන ඉගිල්ලිලා හරි යන්නයි ඕනෙ. මට ඒක කරල දෙන්න හයියක් තිබුණෙ නෑනෙ පුතේ. මට පුළුවං හැටියට මගෙ දෑතෙ හයිය තියනකල් රෙදි ඇපිල්ලුව. එහෙම කරල උඹල දෙන්නව ලස්සනට උස් මහත් කළා. රාජා වුණත් ඔය වතුර ටැංකියට බැස්ස එක ගැන මගෙ කිසිම මනාපයක් නෑ. මේ නාකි ගෑනු දෙන්න ගැන හිතන්නවත් අපෙන් අහන්නවත් දෙයක් නෑ. අපි දැක්කෙ නැති එළියෙ ලෝකෙට උඹල දෙන්න පලයල්ල. තනියම නෙවෙයි පාරු… අයියවත්  එක්කගෙනමයි යන්න ඕනෙ මගෙ දුවේ”

රිදී ගේ ඇස් වලින් හෝ ගා කඳුළු වැටිණි. පාරුල් බත් පත පසෙකින් තබා අම්මාගේත් අත්තම්මාගේත් කර වටා දෑත් යැව්වා ය.

“මොනාද කියන්නෙ අනේ… ඕගොල්ලො මේකෙ තනිකරල ලෝකෙ කොහේ ගියත් අපිට සතුටෙන් ඉන්න පුළුවන්ද… අපි දුක් වින්දෙ එකට. සැපක් කියල දෙයක් අපිට විඳින්න හම්බෙනවනං දවසක… අපි ඒකත් විඳින්නෙ එකට. පසන් අයිය මගෙන් අහපු දේ මං මේ ඕගොල්ලොන්ට කිව්වෙ. මං දන්නෑ ඉතිං ඕව කොහොම කොයි විදිහට වෙයිද කියල”

ඔවුන් ගේ පුංචි පවුලට ඒ වූ කලී ජීවිත කාලය තුළ ලැබිය හැකි සතුටු ම ආරංචිය සේ දැනිණ. රෑ කෑමෙන් පස්සේ චන්දුල අඹ සෙවනේ බංකුව මතට වී කල්පනා කළේත් පාරුල් ගේ අනාගතය පිළිවෙළ වීම ගැන ය.

“ඇත්තම කියනවනං මගෙ හිතේ පොඩි බයකුත් තිබුණ පාරු”

පාරුල් ද එතැනට විත් බංකුවේ අනිත් කොනින් හිඳගත් කල චන්දුල සිනහවකින් කීවේ ය.

“බයක්…”

“හ්ම්. අර ගඟුල් විජයවීර ගැන. කොයි වෙලාවක හරි ඌ තමුසෙව රවට්ටගනී කියල මං බයේ හිටියෙ. දෙයියනේ කියල දැං ඉතිං හිතට ඒ බර නෑ”

පාරුල් ගේ ගැහැනු හිත දැවී ගියා සේ ය. උමා එක්ක කියා කොයි තරම් ගඟුල් ට බැන්න ද, කොයි තරම් ඔහු ව අවිශ්වාස කළ ද, අයියා හෝ වෙනත් කෙනෙකු එහෙම කියත්දී ඇයට ඒ රුස්සන්නේ නැත.

“රවට්ටගන්න මං පොඩි බබෙක්ද අනේ…”

පාරුල් ඒ නො රිස්සුම පිට කළේ එලෙසයි.

“අනික රවට්ටගන්නවනං මේ වගේ වත්තකින් මං වගේ කෙල්ලෙක් ඕනද ඒකට… මොකද ගඟුල්ට ලස්සන නැතුවද සල්ලි නැතුවද බලය නැතුවද… තමන්ට ටිකක් හරි ගැලපෙන තැනකින් රවට්ටගන්න බැරියෑ කෙල්ලෙක්ව… අපි අපේ ගැන ඕනවට වැඩිය ලොකුවට හිතන්න ඕන නෑ අයිය. ඒ මනුස්සය මාව කන්ටැක්ට් කළේ එදා මුල්ම දවසෙ මං කතා කරපු නිසා. නැතුව වෙන දේකට නෙවෙයි. අනික කොහොමත් මට හිතෙනව ගඟුල් ඒ තරංම නරක මිනිහෙක් නෙවෙයි කියල”

නංගී ට කේන්ති ගිහින් යයි චන්දුල නම් හිතුවේ ම නැත. ඒ මාතෘකාව වහාම වෙනස් කරන්නට පාරුල් ට ද උවමනා විය.

“දැන් ඔයා අර ස්ටා ප්‍රෝග්‍රෑම් එකේ ඔඩිශන් යනව නේද… ආ…”

“ම්හු”

චන්දුල හිස බිමට හරවා ගත්තේ ය.

“ඇයි…”

“වැඩ්…ඩක් නෑ. ඕවට අපිව තේරෙන්නෑ”

“අනේ මේ පණ්ඩිත වෙන්නෙපා අයියෙ. තේරෙනවද නොතේරෙනවද බලන්න යන්න ඕන. අනික එතනට එන දහස් ගාණකින් විනර් වෙන්නෙ එක්කෙනයි තමයි”

“මට සිංදු කියන්න ඕන්නෑ”

“එහෙනං රෙදි හෝදන්නද ඕනෙ”

පාරුල් පුම්බාගත්තා ය. චන්දුල හෙමිහිට නැගිට ගෙතුළට ගියේ ය.

ඉනික්බිති රෝහලේ දී පසන් හමුවීම පාරුල් ගේ ජීවිතයේ අනිවාර්ය අංගයක් විය. ඇය රෝහලේ සිටියත් වෛද්‍ය පීඨයේ සිටියත් ගෙදර සිටියත් ඔහු ඈ කෑවා ද බීවා ද නිදි ද කියා සොයා බැලුවේ ය. ඇය අඳිනා ඇඳුමක අඩුපාඩු සෙව්වේ ය. ඇය හඬ නගා සිනහ වූවොත් රවා බැලුවේ ය. ඇය වැඩිපුර මිතුරු ඇසුරට ගියොත් අවවාද කළේ ය. ඇය වෛද්‍ය සිසුවෙකු සමග වේවා වැඩිපුර කතා බහ කළොත් ඒවා සීමා කරගන්නැයි කීවේ ය. ඇය පීඨයට එන යන වෙලාවල් ගැන විපරම් කළේ ය. ප්‍රමාදයක් සිදු වූවොත් ආඩපාලි කීවේ ය. සැක කළේ ය. රණ්ඩු වූයේ ය. බැන්නේ ය. හදා ගන්නට ය කියා අවවාද කළේ ය. යළිත් යාළු වූයේ ය. ඒ ආදරේ හැටි යයි පාරුල් සිතා ගත්තා ය. ඒ ආදරේ නම් මෙතුවක් කල් ඇය ආදරයක නො පැටලී සිටි එක ලොකු දෙයක් යයි සිතුවා ය. ආදරය යයි සිතා ගන්නට සිදු වූ සියල්ල ඇතැම් විට ඇයට පීඩනයක් වූයේ ය. පීඩාවක් වූයේ ය.

“ඔයාට මං ගැන කිසි ගාණක් නෑ. කෙල්ලෙක් තමන්ගෙ කොල්ල ඉස්සරහ හැසිරෙන්නෙ ඔහොමද…”

දවසක් පසන් පාරුල් වෙත චෝදනා කළේ ය. ඇය නළල රැලි ගන්වා ඇස් හකුළා බැලුවා ය.

“එහෙනං…”

“අනේ මන්දා අප්ප. හරියට මං බලෙං තියං ඉන්න අෆෙයා එකක් වගේනෙ. ඔයාගෙ කිසි සකුටක් නෑනෙ මං ළඟ ඉද්දිත්”

“මං දන්නෑ. මට එහෙම වෙනසක් නෑ”

පාරුල් එසේ කීවේ අවංකව ම ය. නමුත් ඇයට ද වෙනසක් නො දැනුණා නොවේ. පසන් කීවේ ඇත්ත ය. පීඨයේ අනිත් කෙල්ලන් සිය පෙම්වතුන් ඇසුරේ දැවටෙත්දී පෙන්නුම් කරනා සතුට, පසන් අසල දී ඇයට දැනෙන්නේ ම නැත. ඔහු ගේ හිත රිදවන්නට වන අකමැත්තට අවසන ඇය ව්‍යාජ සතුටක් මවාගෙන ඔහු ළඟ සිටියා ය.

“මට මීට කලින් කවදාවත් අෆෙයා එකක් තිබිල නෑ. ඒක නිසා… මිස්ටේක්ස් තියනවනං මං හෙමිහිට ඒව හදාගන්නං”

ඇය එසේ කීවේ ද අවංකව ම ය. එතකොට පසන් සිනහ වූයේ ය.

“හංසයන්ට කවද්ද ළමයො පීනන්න කියල දුන්නෙ… කෙල්ලොන්ට ලව් කරන්නත් අමුතුවෙන් ඉගෙනගන්නවත් උගන්නන්නවත් දෙයක් නෑ”

කෙසේ වෙතත් ඒ දැනෙනා උදාසීන බව, ගඟුල්ගෙන් එන දුරකතන ඇමතුමක දී දැනුණේ නැත. ඉඳහිට ඔහු මුණගැහෙන වෙලාවක දැනුණේත් නැත. මේ දින වල ගඟුල් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සමග කාර්ය බහුල වී සිටියෙන් පාරුල් හමුවීමට අවස්ථාවක් ලැබුණේ කලාතුරකිනි. නමුත් ඇය අනිවාර්යෙන් ම නින්දට පෙර ඔහු ගේ දුරකතන ඇමතුමක් බලාපොරොත්තු වූවා ය. ඔහු ගේ නම තිරය මත සනිටුහන් වෙත්දී මලක් සේ හිත පිපේ. ඇය ඔහු සමගින් කතා කළ කිසිවක් පෞද්ගලිකත්වයට අදාල නැත. ඒ සියල්ල පොදු සමාජයට අදාල කාරණා ය. නමුත් දේශපාලන වේදිකාවක සේ උනන්දුවෙන් පාරුල් ඔහු සමග කතා කරයි. ඔහු ගෙන් ඇමතුමක් නො ලැබෙන දාක ඇගේ සිත මලානික වී යයි. නමුත් සිය හදවත දවසකට වතාවක් හෝ ගඟුල් ගේ සමාගමය බලාපොරොත්තු වෙන වග පිළිගන්නට ඇයට උවමනා වූයේ නැත. නැතහොත් ඇය ඒ සත්‍යයෙන් මුවහ වෙමින් සිටියා ය.

💙🩵ඔබ තියා යන හැම ඇඟිලි සලකුණකට ම, හදවත් සලකුණකට ම, ඉමෝජියකට ම, ස්තුතියි. කියවා ලියා යන වචනයකට බොහොමත් ම ස්තූතියි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles