කලු කුහර

කාලයක් යනකල්ම පාරමීට ජීවිතේ ගැන දැනෙන හැඟීමවත් වෙන් කරගන්න පුලුවන් වුනේ නැහැ. අවුරුදු විසි තුනක් වෙනකල්ම පාරමීට තිබුණේ රණ්ඩු පිරුණ පවුලක සාමාජිකයෙක් වෙලා ජීවත් වෙන්න. අම්මගෙයි තාත්තාගෙයි අනියම් සම්බන්ධතා, ව්‍යාපාර ලෝකයේ ගැටලු, නෑදෑයොන්ගේ කුඩුකේඩුක අඩු නැතුව තිබුනා. ඒ හින්දම පාරමීට ඕනෑ වුනේ හැකි තරම් ඉක්මනට පවුලෙන් ඈත් වෙන්න. අවුරුදු විසි තුනේදී පාරමී තනියම ඇනෙක්ස් එකක පදිංචි වුනා.

 ඒ රැකියාවට පහසු වෙන්න බව අඟවගෙන.පාරමී රැකියාවක් කරනවට අම්මලා අකමැති වුන නිසා පාරමීට ඒ වෙනුවෙනුත් සටන් කරන්න වුනා. කොහොම හරි පාරමී නිදහස් ජීවිතයක් ගෙවන්න පටන් ගත්තා. ඒත් ඒ ජීවිතේ පාරමීට හරාගන්න බැරි තරමේ තනියක්, පාලුවක් නම් තිබුනා.

ඒ අතරේ තමයි පාරමීගේ මාමලා  පාරමීට විවාහ යෝජනා ගෙන්න ගත්තේ. ඒ පාරමීගේ දෙමාපියන්ගේ අවුල් සහගත ජීවීත වලින් පාරමීව අයින් කරන්නම හිතාගෙන.

 මුලදි මුලදි ඒ යෝජනා ගැන ගනනකට නැතුව හිටියත්, එක වතාවක් ගෙනාව යෝජනාවකට පාරමීගේ හිතත් හෙල්ලුණා. පාරමී ඒ පිරිමි ළමයා ගැන වැඩි විස්තර හොයලා බලනවට කැමති වුනා. ඊට පස්සේ හැමදේම හරි ඉක්මනට සිද්ද වුනා. මාස හතරක් ඇතුලත පාරමී විවාහ වුණා.  රැකියාවෙන් පවා ඉවත් වෙලා පාරමී සූදානම් වුනේ සුන්දර පවුල් ජීවිතයක් ගත කරන්න.

කුඩා කාලයේ ඉඳලම දැක්ක දේවල් වෙනුවට, සතුටු පවුලක් කියලා තමන් ට දැනුන දේවල් වෙනුවෙන් පාරමී උත්සාහ කලා. ඒත් වැඩි කාලයක් යන්න කලින් පාරමීට වැටහුණා, තමන් ආසාවෙන් පැල වෙන්න උත්සාහ කරන භූමියත් වෙනසක් නැති නිසරු  භූමියක් කියලා. භාතියගේ අම්මා හැමතිස්සේම හිටියේ දුම්මල වරම අතට අරගෙන. භාතියගේ තාත්තා පවා ගෙදර හිටියේ අම්මට යටහත් පහත්ව. ඒ හින්දාම භාතියගේ තාත්තා උත්සාහ කලේ වැඩිපුරම ගෙදරින් බැහැරව ඉන්න. තාත්තා ගෙදරින් ගියාම භාතියගේ අම්මා කරන්නේ මහ සද්දෙට ඉන්දීය රුපවාහිනී නාලිකා දාගෙන ඒවාගේ විකාශය වන එකම තාලේ කතා බලන එක.  

ඒවාගේ එකම තාලෙන් ඇහෙන හඬවල් නිසා පාරමීගේ හිස රිදුම් දෙන්න අරගෙන තිබූනේ. ඒත් ඒ ගැන භාතියට කියන්නවත් පාරමීට ඉඩක් ලැබුනේ නැහැ. උදෙන්ම පිටත් වෙලා යන භාතිය ආයෙම ගෙදර එන්නේ අට පහු වෙලා. ඒ ආවාට පස්සේ එක්කෝ ආයේම ඇඳ පැලඳගෙන එලියට යනවා. එහෙම නැත්නම් ලැප්ටොප් පරිඝනකයේ ඔලුව ඔබාගෙන  සටන් චිත්‍රපට බලනවා. දවස් තිස්සේම ඇහෙන මේ සද්ද නිසා පාරමීට  නොසන්සුන් මානසිකත්වයක් හැදිලා තිබුනේ. ඒත් ඇයට ඒ ගැන කතා කරන්නවත් කෙනෙක් හිටියේ නැහැ.

ඊට පස්සේ පාරමී මේ ගැන කාන්තා සමූහයකට ලිව්වා. එතැනින් ඇයට විවිධ පිලීතුරු ලැබුණා.  ඒ අතර බහුතරයක් තිබුනේ ස්වාමි පුරුෂයා එක්ක නිදහසේ කතා කරන්න කියන යෝජනා. ඇයට රැකියාවකට යන්න  කියලා සමහර අය යෝජනා කරලා තිබුනා. සියලු දේ අත හැරලා ආයෙම ජීවිතේ පටන් ගන්න කියන යෝජනාත් ඒ අතර  කිහිපයක් තිබුනා.

අන්තිමේදී පාරමිත් කල්පනා කරලා මේ ගැන භාතිය එක්ක කතා කරන්න තීරනය කලා. භාතිය කියන්නේ සෑහෙන්නම ආදරණීය පුද්ගලයෙක් කියලා විවාහයට කලින් ඇයට දැනිලා තිබුන නිසාම ඇයට භාතියගේ මේ වෙනස්කම නිසා ඔහුගෙන් මිදෙන්න අවශ්‍ය වුනේ නැහැ.

දවස් තුන හතරකට පස්සේ පාරමී භාතිය එක්ක කතා කරන්න වෙලාවක් හොයාගත්තා. භාතිය පාරමී දිහා බලාගෙන හිටියේ පුදුමෙන්.

” භාතිය , මං දන්නේ නෑ මම කතාව පටන් ගන්නේ හරිම තැනින්ද කියලා… ඔයාව බැඳලා මෙහෙට ආවට පස්සේ මම බස්සියෙක් ගානට වෙලා… මට හරියට ගලපලා කතා කරගන්නත් අමතකයි වගේ… ඒත් මං කොහොමම හරි මේ ටික නොකිව්වොත් මට පිස්සු හැදෙන බව මම දන්නවා..

..ඔයා දන්නවා අපේ ගෙදර තිබ්බ තත්වේ… හරිම ඉක්මනට ඔයාව බඳින්න මම කැමති වුන හේතු දෙකෙන් එකක් තමයි මට මගේ ගෙදරින් ඈත් වෙන්න  ඒකෙන් ලැබෙන ඉඩ.. එනක් හේතුව මට ඔයාව හරි ආදරණීය විදියට දැණුන එක… ඔයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්න පුලුවන් වේවි කියලා මට දැනුන විශ්වාසය … ඔයාගේ අම්මලා වුනත්  පවුලක් විදියට ආදරෙන් ඉන්න අය කියලා මට දැණුන එක …

……. ඒත් ඒ හැමදේම නැති වෙලා බව මට දැනෙනවා.. යාලු වෙලා ඉන්න දවස් වල එක විනාඩියකට කියවිල්ල නතර නොකර මා එක්ක උන්න ඔයා දැන් දවසට ගණන් කරන්න පුලුවන් වචන ගානක් විතරයි මා එක්ක කතා කරන්නේ.. ඔයාලගේ අම්මා මුලු දවසම ඩ්‍රාමා බලන එක කරන්නේ.. ඒකත් මුලු ගෙදරටම ඇහෙන්න සද්දෙන් දාගෙන… මා එක්ක වචනයක් දෙකක් හරි කතා කරන්න ඉන්නේ ඔයාලගේ තාත්තා විතරයි .. ඒත් එහෙම කතා කරන දවසක් තිබුනොත් ඊට පස්සෙන්දා ඔයාලගේ අම්මා තාත්තගෙ ඔලුව කුරුවල් වෙනකල් කෑ ගහනව.. දැන් තාත්තා දවල් වරුවේ ඉන්නේම ලයිබ්‍රියේ.. එක්කෝ ඩයස් අංකල්ගේ කඩේ….

… මට හරි මහන්සියි භාතිය .. මගේ අම්මා තාත්තාට මාව ඕනි නෑ…. මගේ යාලුවෝ කියලා හිටපු අය මට කරපු දේවල් එක්ක මට ආයෙම යාලුවෝ කියලා කිසිම කෙනෙක් කියලායි දැනෙන්නේ .. මං හිතුවා ඒ හැමදේම හරියයි ඔයා නිසා කියලා.. ඒත් ඔයා මට ඊටත් වඩා අමාරු කළු කුහරයක් ගානයි භාතිය….”

පාරමීගේ කියවිල්ල දිහා භාතිය පුදුමෙන් බලාගෙන හිටියා. 

“අපේ පාරමී කතා බහට එච්චර කැමති නෑ පුතා. එයාට ඕනි එයාගේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්න … ඔය කියව කියව හිටියට එයා ඒක හරිම කරදරයක් විදියට ගන්නේ .අනෙක එයා හරිම ඉන්ඩිපෙන්ඩන්ට් කෙල්ලෙක් … ..පුතාට මම මේ නිකමට දැනගන්න කියන්නේ.. පුතාට වුනත් ජීවත් වෙන්න ලේසි වෙන්න .”

වෙඩින් එකට සතියකට විතර කලින් මුණගැහුණ හැම වතාවකම  පාරමීගේ අම්මා එහෙම කියන්න හේතුව භාතියට හිතාගන්නබැරි වුනා.  එතැනදී භාතිය අතින් වැරදීමක් වුනා. ඒ ඒ සිද්දිය ගැන පාරමී එක්ක කතා නොකර යටපත් වෙන්න දෙන්න තීරණය කරපු එක. ඒත් එදයින් පස්සේ ජීවත් වෙනකොට පාරමී අතින් වෙන පොඩි පොඩි දේවල් භාතිය ගලපා ගත්තේ අම්මගේ ඒ කතාවට තියලා.  ඒ නිසාමයි භාතිය පාරමීට නිදහසේ කැමති විදියට ඉන්න දීලා පැත්තකට වෙන්න හිතුවේ. භාතියගේ යාලුවෝ කොයි තරම් ඒ ගැන පාරමී එක්ක කතා කරන්න කියලා භාතියට කිව්වත් භාතියට දැණුනේ ඒක පාරමීගේ පෞද්ගලික ජීවිතේ සීමාව අතික්‍රමණය කිරීමක් විදියට. ඒ නිසා භාතිය පාඩුවේ පැත්තකින් ජීවත් වෙන්න තීරනය කරා.

පාරමී තවම කියවනවා. අන්තිමේදී නැවතිලා දිග හුස්මක් හෙලුවා. ඊට පස්සේ භාතිය තමන්ගේ පාපොච්චාරණය පටන් ගත්තා. ජීවත් වෙන්න ආස විදිය වෙනස් කරන්න සිද්ද වුනේ ඇයිද කියලා පැහැදිලි කරා.

“අපේ අම්මාද ඔයාට එහෙම  කිව්වේ?..”

පාරමී එහෙම ඇහුවේ පුදුමෙන්. භාතිය ඔලුව වැනුවා.

” මං ඒත් කල්පනා කලා, මගේ ජීවිතේට ඔයා වගේ හොඳ කෙනෙක් එන එක අපේ අම්මා කොහොමද එච්චර නිහඬව දරාගත්තේ කියලා.. එයා ඒකටත් උගුලක් අටවලා එහෙනම් ..”

පාරමීට කියවුනා. මතක ඇති කාලෙ ඉඳන් අම්මා තමන්ට කරපු වෙනස්කම් පාරමීට එකින් එක මතක් වුනා. ජීවිතේ කොයි තරම් නම් හිස් දවස් ඒ නිසා හැදුනාද කියලා කල්පනා කලා.

” ඇයි ඔයාට මාත් එක්ක කතා කරන්නවත් නොහිතුනේ ඒ ගැන ..?”

පාරමී සෑහෙන්න වෙලාවකට පස්සේ ඇහුවා.

” මම කලින් බලපු ඇනෙක්ස් එකක් තියෙනවා එහා ලේන් එකේ… පොඩි වත්තක් එක්ක පොඩි අප්ස්ටෙයාර් එකක් .. හෙට උදෙන්ම ගිහින් අපි ඒක බලලා එමුද?…”

භාතිය පාරමීගේ ඇස් වලට එබිලා ඇහුවා. භාතිය කියන මිනිහා තමන්ගේ ජීවිතේට කලු කුහරයක් කිව්වට, ඒ කලු කුහරෙන් මෙපිටට තමන් දෙන්නම ඇදිලා එනකොට පේන ආලෝකය පාරමී ඒ ඇස් වලින් දැක්කා.

අපේක්ෂා ගුණරත්න 

ReplyForwardAdd reaction

More Stories

Don't Miss


Latest Articles