නුඹ තරම් ප්‍රේමයක් – 21

විසි එක් වැනි නෙතු සැරිය

චත්‍රගේ කැබ් රිය නැවතෙන හඬ අයත්මාට ඇසුනේ යන්තමට මෙන් ය. ඕ කාමරයේ  ජනේල තිර රෙද්ද පසෙකට කර බැලුවාය. චත්‍රගේ කැබ් රියෙන් අයියාද, සිහිනිද, ඉන් පසුව චත්‍රද කැබ් රියෙන් බසිනු දුටු අයත්මා දඩි බිඩියේ කාමරයෙන් එලියට ආවාය. යළි යමක් සිහි වී මෙන් කාමරය තුලට ගොස් කණ්ණාඩිය ඉදිරියට පැන දෙවතාවක් එහෙට මෙහෙට හැරී බැලුවේය.

අවිශ්කගේ හඬ ඇසෙන විට අයත්මා උන්නේ  අලිගැටපේර පානයක්  සකසමිනි. ඕ සාලයට ආවේ විනාඩි කිහිපයක් පසුවී සිසිල් අලිගැටපේර පානය පිරවූ වීදුරු  තුනක්ද සමඟය.

“කන් ඇහෙන්නේ නැද්ද බං එක පාරක් කතා කලාම?..”

අවිශ්ක අයත්මාට කඩා පැන්නේය. චත්‍ර හිස පසෙකට ඇල කර අවිශ්කට නොරිස්සුම පෑවේය. අයත්මාද තිගැස්සී මෙන් බලා හිඳ දෙදෙනා අතර වූ මේසයෙන් වීදුරු දෙක තබා සිහිනි අසල හිඳ ගත්තාය. ඕ වැරදීමකින්වත් චත්‍ර දෙස බැලුවේ නැත. සිහිනිට ලංව යමක් පවසා සිනාසුනාය.

” මට ඇත්ත කියනවා….”

අවිශ්ක අයත්මා වෙත හැරී විමසුවේ පෙර කෝපයම සමඟය. අයත්මා එවර චත්‍ර දෙස බැලුවාය. ඔහු කුමක් හෝ ගින්නක් අවුලවා ඇතැයි ඇයට එක්වරම සිතුණි. ඇය එලෙසින් සිතන බව චත්‍රටද වැටහුණි. චත්‍ර දෙතොල් නොපිට පෙරලාගෙන සන්සුන් වන්නට උත්සාහ කලේය. සිහිනිට කිසිවක් වැටහුනේ නැත.

“මොන ?…”

අයත්මා ගානකට නැතිව මෙන් විමසුවාය.

” තමුසේට කලණ එක්ක මම නොදන්න සම්බන්ධයක් තියෙනවද?…”

අවිශ්ක එක්වරම විමසුවේ චත්‍ර දෑස් විසල් කරගනිද්දීය. සිහිනි අයියා දෙස හොරැහින් බැලුවාය. අයත්මා අවිශ්කගේ පැනය නොවැටහුනා සේ බලා උන්නාය. අවිශ්ක යලි එයම විමසුවේය.

” මොකද්ද ඔයා අහන්නේ අයියේ?.. දැන් මම බයික් එකේ ඉස්කෝලේ යන නිසාද ඔහොම අහන්නේ? ..ඔයා මහ පුදුම මනුස්සයෙක් නේ … ඔයා හොඳටම දන්නවා අපේ ඉස්කෝලේ සර්ලා මිස්ලා ට්‍රාන්ස්පෝර්ට් වලදි එකිනෙකාට කොහොම උදව් කරනවද කියලා.. අනෙක කලණ් සර් මෙහෙ ඇවිල්ලා ඔයා එක්ක කතා බහ කරලා පිලිවෙලට නේද මට ලිෆ්ට් එක වුනත් දුන්නේ.. නැන්දාම කියනවා නේද කලණ සර් හොඳ කොල්ලෙක් කියල…”

” අයත්මා ….. වටේ යන්නේ නැතුව අහපු එකට උත්තර දෙනවකෝ … කලණගේ කැරැක්ටර් සර්ටිෆිකෙට් එකක් ඉල්ලුවේ නෑනේ මම …”

” මොකද්ද අහන්නේ අයියේ?.. “

අයත්මා උන්නේ ගැස්සී ගොසිනි. චත්‍රද ඉදිරියේ කලණ හා සම්බන්ධතාවයක් නැතැයි කීමට ඉඩ ලැබීමේ ප්‍රහර්ශය පරදවන යමක් ඇය මත විය. එය බරක් සේ දැණෙමින් තිබුණි.

” කලණ එක්ක යාලුද කියලා මේ අහන්නේ ඕයි …”

“පිස්සුද අයියේ .. එහෙම එකක් නෑ..  නෑ එහෙම එකක් …”

චත්‍ර සිහිනි දෙස බලද්දී  සිහිනිද උන්නේ චත්‍ර දෙස හොරැහින් බලාගෙනය.

” ඒ මනුස්සයා  මගේ වැඩවලට උදව් කලා තමයි. එයා ඩ්‍රාමා ඩිග්‍රි එකක් තියෙන  එක්කෙනෙක්.. ඒ හින්දායි ඒ වැඩ වලට සපෝර්ට් කලේ… අනෙක් එක ඒ මනුස්සයට වැඩක් කරන්න පට්ට උවමනාවක් තියෙනවා..  මට කලණ සර් එක්ක තියෙන සම්බන්ධේ එච්චරයි …”

අවිශ්ක චත්‍ර දෙස බැලුවේය. චත්‍ර ඉවත බැලුවේය. සිහිනි අයත්මා පවසන්නේ කුමක්දැයි වටහාගෙන උන්නාය. අයත්මා මුල් දින වල කළණ වෙත පෙන්වූ හැසිරීම් වෙනස් වූ යුරු කල්පනා කලාය. තමද ඒ පිළිබඳව හඳුනාගත් නමුත් අයියාට ඒ ගැන නොපවසා සිටීමට තීරණය කල බවද සිතුවාය.

” හරි හරි ඉතින් .. එහෙම නැත්නම් අවුලක් නෑ .. තිබුනත් මට අවුලක් නෑ … හැබැයි මෙව්වා වෙන්න ඕනි පිලිවෙලට වෙන්න ඕනි …”

අවිශ්ක ඉන් පසුව කීවේය. අයත්මා ඔහුට රවා, සියලු දෙනා වෙත සකසා තිබූ අලිගැටපේර පානයෙන් සංග්‍රහ කලේය. චත්‍ර වීදුරුව අතට ගත්තේ අයත්මා දෙස හෝ නොබලාය. ඉන් අයත්මාට නොරිදුනා නොවේය. එහෙත් අයියාට කලණ පිලිබඳව කේලම පවසන්නට ඇත්තේ චත්‍රය යන හැඟීම නිසා ඕ යම් නැවුම් බවක් විඳිමින් උන්නාය. එලෙස පවසන්නට හේතුව ඔහුට තවමත් තමා ගැන යම් සෙවීමක් ඇති නිසායැයි ඇය ගලපා ගත්තාය.

” මන්ත්‍රීතුමා ..  “

අවිශ්ක එලෙස විමසනතුරුම චත්‍ර උන්නේ අන් කල්පනාවකය. ඔවුන් සමුගත්තේ තවත් අඩ හෝරාවකට පසුවය. 

” අයත්මා කලණට කැමැත්තෙන් හිටියේ.. ඒකේ සැකයක් නෑ චූටි .. සමහරවිට, එදා සිද්දියෙන් පස්සේ එයාට හිතෙනවා ඇති කලණට ලං වෙන එක වැරැද්දක් කියලා.. ඒ හින්දා එයා කලණගෙන් ඈත් වෙන්න ඇති .. තමුසේම කිව්වානේ චූටි උන් දෙන්නා  සෙට් වෙන්න ඔන්න මෙන්න කියලා…”

පෙරලා එන ගමනේදි චත්‍ර සිතෙහි වූ ආවේගය දරා ගන්නට නොහැකිවම කීවේය. සිහිනි හිස සැලුවා පමණි.

අයියා පවසන්නට උත්සාහ කරන දේ ඇයට නොවැටහෙනවා නොවේ. එහෙත් අයත්මා ගේ වෙනසක් හසු නොවූ බවද සිතන්නට සිහිනිට නොහැක. ඕ කිහිප වතාවක්ම චත්‍ර ගේ දේශපාලන  කටයුතු පිලිබඳව පාසැලේ වෙනත් ගුරුවරයෙකු සමඟ කතා කරමින් සිටිනු ඇයට ඇසුණි. ඒ හැරත් ඕ  නිවසේ වූ දානයට චත්‍රටද ආරාධනා කලාය. තමා සමඟද වෙනදා නොවූ ලෙංගතුකමකින් කටයුතු කරන්නීය.

” කොහොම වුනත් තමුසේත් අයත්මාගෙන් ඈත් වෙලා ඉන්නවා චූටි ..”

” අයියේ …. මට හිතෙන්නේ අයත්මා ටීචර් ඔයාට කැමතියි ..”

සිහිනි අවසානයේ කීවාය. චත්‍ර කැබ් රිය වහා පාරේ පසෙකට කර නැවැත්වූයේය. ඉන් පසුව සිහිනි දෙස බැලුවේය. සිහිනිද උන්නේ චත්‍ර දෙස බලාගෙන ඇය පැවසූ  යමක් අවධාරනය කරන බැල්මක් සමඟය.

” මොකද්ද ?…”

” ඔව් .. එයා දැන් ඉස්සර වගේ කලණ සර්ට මූව් වෙන්නේ නෑ අයියේ … එයා ඔයා ගැන හිතනවා … මං දන්නේ නෑ ඔයා කියන්න වගේ ඒක මොකක් හරි සැලසුමක්ද කියලා.. ඒත් එයා ඔයා ගැන හිතනවා… ඔයා එච්චර දෙයක් කලාට පස්සේත්, හරි නම් වෙන්න ඕනි එයා මාත් එක්කල වෛර බැඳ ගන්න එක .. ඒත් එයා එහෙම නෑ .. එයා ඉස්සරටත් වඩා මට ක්ලෝස් අයියේ ….”

චත්‍ර ගැඹුරු හුස්මක් අත් හැරියේය.  සිහිනි මෙලෙස පවසන්නේ යම් අදහසක් ඇතිව බව ඔහු හොඳටම දනී.

” මට තේරෙන්නේ නෑ ඕයි ….”

” තේරුම් ගන්න ඕනිත් නෑ අයියේ ….  සමහරවිට ඔයා හරි ඇති .. අයත්මා කියන්නේ දුර්වල කෙල්ලෙක් නෙවෙයි .. එයා මේ ඔයාව කුඩුපට්ටම් කරලා දාන්න හදන සැලසුමක් වෙන්නත් පුලුවන් ..”

කපිලද හැම දිනකම උදේ හවස මන්ත්‍රය මෙන් ජප කරන වාක්‍ය කිහිපයක් සිහිනිද කියා දැම්මාය. චත්‍ර ඒ දෙදෙනාගේම අදහස් වලින් වටහා ගත යුත්තේ කුමක්දැයි සිතා බැලුවේය.

” අපි එයාලා එක්ක සාමාන්‍ය හිතවත්කමක් තියාගන්නම් අයියේ .. මම අම්මාට වුනත් කියන්නම් එහෙම … මෙච්චර කල් මටත් එහෙම හිතුනේ නෑ .. ඒත් අද බය හිතුනා… කලණ සර් එක්ක  එයා සෑහෙන්න දුරයි කියලා එයා පෙන්නන්න උත්සාහ කලේම ඔයා එක්ක ලං වෙන්න හේතුවක් හදාගන්න වෙන්නත් පුලුවන් …”

චත්‍ර කැබ් රිය පණ ගැන්වූයේය. දෙදෙනාම නිවෙසට යනතුරුම  කිසිවක් කීවේ නැත.

නිවෙසට ඇතුලු වෙද්දී අතුකෝරල මහතා සාලයේ වාඩි වී යමෙකු සමඟ කතා බහක උන්නේය. දෙදෙනාම අතුකෝරල මහතා දෙස යන්තම් බලා උඩුමහලට යන්නට ආපසු හැරුනහ. එහෙත් චත්‍රට එතැන කතාබහට එක්වන්නට අතුකෝරල මහතා කතා   කලේය.

” අඳුනනවද?…”

අතුකෝරල මහතා ඔහුට ඉදිරියෙන් වූ මැදි වයසේ පුද්ගලයා පෙන්වා චත්‍රගෙන් විමසුවේය. එහෙත් චත්‍රට ඒ කවුරුන්දැයි පැහැදිළි මතකයක් වූයේ නැත.  එහෙත් ඔහු ඒ බවක් නොපවසා මද වේලාවක් ගත්තේය.

” පුතාට මාව කොහේ මතක තියෙන්නද කෝරල … මං අන්තිමට කොල්ලා දකිනකොට මේකා කලිසමවත් තනියම ඇඳගන්න බැරි කාලේ …”

අතුකෝරල මහතා සහ අනෙක් පුද්ගලයා මහ හඬින් සිනාසුනනහ. චත්‍ර ඔවුන් දෙදෙනා දෙස බලා උන්නේ විමතියෙනි.

” මම ඔයාලගේ අප්පච්චි පොලිටික්ස් වලට එන්න කලින් එයාගේ යාලුවෙක් පුතා…. කෝරල පොලිටික්ස් වලට එනකොට මම රට ගියා… ලංකාවට ඇවිල්ලා ටික දවසක් ..”

චත්‍ර ඔහුට ආචාර කර  සිනාසුනේය. තිදෙනාම කෙටි කතාබහක නියැලෙමින් උන්හ.

“අංකල් ඇවිල්ලා තියෙන්නේ ඔයාගෙන්  උදව්වක් බලාගෙන චත්‍ර …”

” කියන්න අංකල්…”

” මගේ ලොකු කෙල්ල  ඩොක්ටරේට් එකකට රීඩ් කරන ගමන් ඉන්නේ පුතා .. එයාට උවමනා කරලා තියෙනවා ලංකාවේ දේශපාලන කරන තරුණ ප්‍රජාවගේ අධ්‍යාපන තත්වයයි ඒ ගොල්ලන්ගේ දේශපාලන නැමියාවේ ස්වභාවයයි ගැන පොඩි සර්වේ එකක් කරන්න ….  එයා ඒකට අදාල සර්වේ කුවෙශනයාර් එක එහෙම ප්‍රොෆෙසර් එක්ක ෆයිනලයිස් කරලා තියෙන්නේ…. ඒ උනාට එයාට මෙහෙ ලොකු කමියුනිටි එකක් නෑනේ පුතා… එයාලා  හිටියෙම ඕස්ට්‍රියා වල නේ …. පුතාට පුලුවන් නම් දවස් දෙක තුනක් එයාට ඒ වැඩේට සපෝර්ට් කරන්න  ඒක ලොකුම දෙයක් පුතා … මගේ කැන්ඩි වල යාලුවෙක්ගේ පුතෙක් එක්ක එකතු වෙලා එයා දැන් සතියක් විතර වැඩ කලා.. තව කලුතර ඉන්නවා අපේ නෝනාගේ අයියා සෙට් කරලා දුන්නා තව පොලිටික්ස් වල ඉන්න දුවෙක් .. ඒ දුව එක්කත් වැඩ ටිකක් කරගන්න පුලුවන්…”

” කේස්  එකක්ම නෑ අංකල් .. මෙහෙ එක්කන් එන්න … මං කට්ටිය මුණ ගැහෙන්න එක්කගෙන යන්නම් …”

| අපේක්ෂා ගුණරත්න |

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles