සතුටු මන්තර 03

“සබ්බ පහාය ගමනීයං…පින්වතුනි…සියල්ල අත්හැර දමා යා යුතුයි…මේ ලෝකයේ මමය කියා..මගෙය කියා අල්ලාගෙන සිටිය හැකි කිසිවක් නෑ. මේ තරුණ මහත්මයාගේ හදිසි වියෝවීම මේ සත්‍යය පසක් කර ගන්න හොඳම අවස්ථාවක්. පිංවතුනි මේ මහත්මයා කිසි සේත් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති මේ විදිහට මේ හදිසියේ මිය යාවි කියා. දැනුවත්ව කිසි ම ලෙඩක් දුකක් නැතිව පුංචි දියණියක් සහ ආදරණීය බිරිඳ එක්ක ලස්සන ජීවිතයක් ගෙවපු මහත්මයෙක්. මේ විදිහට ගේ දොර හදා ගෙන…රැකී රක්ෂා කටයුතු කරගෙන…කාත් එක්කත් සහයෝගයෙන් ජීවත් වුණ තරුණ මහත්මයෙක්. තව දශක කිහිපයකට ජීවිතේ ගැන සැලසුම් හදා ගෙන ඉන්න ඇති එතුමා. නමුත් මරණය ආවහම ඒ මහත්මයට කියන්න පුළුවන් වුණාද පිවතුනි නෑ මට දැන්ම යන්න බෑ කියල. නෑ..එහෙම කියන්න අපි කාටවත් බෑ  ජීවිතය නෙවෙයි පිංවතුනි නියත. මරණයයි නියත. බස් එකක් එනකල් බස් නැවතුමක ඉන්න මගියෙක් වගේ…අපි මරණය එනකල් ජීවත් වෙන මිනිස්සු. මෙන්න මේ සනාතන ධර්මය අපි හැම කෙනාම හොඳින් සිහියේ ධාරණය කරගන්න ඕනෙ…”

ස්වාමීන් වහන්සේ ගේ පාංශකූල ධර්ම දේශනාව අසා ඉන්නා සෑම කෙනෙකු ගේ ම හදවත් බර වී තිබේ.  දෙණ ඉදිරියෙහි බිම එලූ පැදුරක හිඳ සිටිනා සයුරංගනා ට ඒ දහම් කරුණු ඇසෙනවා ද නෑසෙනවා ද කියා ඇය ම නො දත්තී ය. ඇයට දැනෙන්නේ මේ සිහිනයක් සේ ය. ඉතා ම දිගු වූ නපුරු හීනයක් සේ ය. පසු ගිය දෙදින පුරා සිදු වූ සියල්ල ඒ සිහිනයේ ම කොටස් ය. ගිම්හාන් අලගියවන්න, ඔවුන් ගේ යහන මත අමුතු තාලයකින් හුස්ම ගන්නවා දැනුණු වෙලාවේ පටන් සිදු වූ කිසිවක් හැබැහින් සිදු වූවායි සයුරංගනා ට අදහා ගත නො හැකි ය. ගිම්හාන් ට හදිසි හෘදයාබාධයක් ඇති වී යයි මරණ පරීක්ෂණයෙන් කියැවිණි. හෘදයාබාධ කියන ඒවා වුණත් ඒ විදිහට එන්නට පුළුවන් යයි විශ්වාස කර ගත නො හැකි ය. ජීවිතය කියන්නේ මේ තරම් අස්ථිර හා අසාධාරණ වූවකට කියා පිළිගත නො හැකි තරම ය. ගිම්හාන් සුවෙන් නිදන්නට ගියේ ය. ඔහු ආයේ අවදි වන්නේ නැති වේවියි ඔහු වුව සිතුවේ නැත!

“එක අතකට පුදුම වාසනාවන්ත මරණයක්. ලෙඩ දුක් වලින් දුක් විඳල නෙවෙයි. මැරෙනව කියල දන්නෙවත් නැතුව මැරිල”

“ඒත් අර කෙල්ලො දෙන්න…පොඩිඑකාව මොන්ටිසෝරි දැම්ම විතරයි. අර කෙල්ල කොහොම තනියම ගෑනු දරුවෙක් හදා ගන්නද…”

“ගෑනුනං ආයෙ මිනිස්සු එක්ක යයි. අහිංසක දරුවො තමයි අසරණ වෙන්නෙ”

මළගෙදරට පැමිණි එක එක අය එක එක කතා කීවෝ ය. සයුරංගනා හිටියේ උස්සා පොළොවේ ගැසුවා සේ තිගැස්සීගෙන ය. මේ ඇය එක මොහොතකට හෝ බලාපොරොත්තු වූ ඉරණමක් නොවේ. හැම මිනිසෙකු ම දිනෙක මිය යන බව අපි දනිමු. නමුත් අපේ සමීපතමයන් ගැන එහෙම හිතන්නට කවදාවත් අපට මතක් වන්නේ නැත. ගිම්හාන් යනු දිනෙක මියෙන මිනිසෙකැයි සයුරංගනා එක තත්පරයකටවත් සිතා නැත. මේ තරම් ඉක්මනින් ඔහු එවන් ගමනක් යතැයි සිතා ගන්නටවත් නුපුළුවන.

“ඔයා දැන් මේ ඇත්තට මූණ දෙන්න ඕනෙ. ඔයා හිත හයිය කර ගන්න ඕනෙ. මේක දරා ගන්න අමාරු දෙයක් තමයි. ඒත් දරුවා වෙනුවෙන් ඔයා කොහොම හරි හිත හයිය කර ගන්න ඕනෙ. අඬල හැපිල සිහිය නැති කරගෙන වැලපුණා කියල ගිම්හාන් ආයෙ නැගිටින්නෙ නෑ. ඔළුව කෙලින් තියාගෙන ඔයා ඉස්සරහට වෙන්න තියන දේවල් සිහිකල්පනාවෙන් කරන්න ඕනෙ”

බලා ගත් අත  බලාගෙන ඇය කම්පිත ව සිටියදී මළගමට පැමිණි බොහෝ දෙනෙක් සයුරංගනා වෙනුවෙන් එහෙව් දිරියක් දෙන්නට අමතක නොකළහ. 

“ගිම්හාන් කවදාවත් කැමති වුණෙ නෑනෙ ඔයාගෙ ඇස් වල කඳුළක් දකින්න. ඒක නිසා අඬන්න එපා සයුරංගනා. මේ වැඩ ටික ඔක්කොම මං බලා ගන්නං. ඔයා එසඳිවයි ඔයාවයි විතරක් බලා ගන්න”

ඒ උමතු රාත්‍රියේ රෝහලේ සිට ගෙදර එන අතරවාරයේ පටන් මේ වන තුරා කී වතාවක් නම් යශෝදර එහෙම කීවා ද කියා සයුරංගනා ට මතක නැත. ගිම්හාන් ගැන වැඩියෙන් ම දැන සිටියේ යශෝදර බව ඇය දනී. ඈ අඬනවාට ගිම්හාන් කිසිසේත් නො කැමති වූ බව ද යශෝදර දනී!

“මටනං මේ මරණෙ ගැන සැකයි. මෙහෙමත් ගහෙං ගෙඩි එන්න වගේ මැරෙන්න පුළුවන්ද මිනිස්සු…ඊටත් මේ ගහක් ගලක් වගේ හිටිය කොල්ල. අරුං මේ හදිස්සියෙ ගෙදරට එන්න කියල කන්න බොන්න දුන්නෙ…බොන එහෙකට වසක් විසක්වත් කලවං කළාද දන්නෑ ඊරිසියාවට”

වතාවක් ගිම්හාන් ගේ මව තිලකා චෝදනාවක් කළා ය. සයුරංගනා හිස් දෑසින් නැන්දම්මා දෙස බලා සිටියා ය.

“මොනවද මොනවද ඔයා මේ දොඩවන්නෙ…ඒ මිනිස්සුන්ට ඇහුණොත් එහෙම…අහවල් එහෙකට ඒ මිනිස්සු එහෙම කරන්නද…අනික පුතා නැති වුණේ හාට් ඇටෑක් එකකින් කියල මරණ සහතිකේ පැහැදිලිවම ලියල තියනව. හැම දේම කරට අරං තමුංගෙ වගේ කරන මිනිස්සුන්ගෙ හිත රිදෙන දෙයක් එහෙම කියනව නෙවෙයි”

ජයරත්න වහා ඉදිරිපත් වී ඇගේ කට නො වසන්නට ඒ විශ පිරුණ කතාව ඉගිලී බොහෝ කන් වෙත යන්නට තිබිණ.

“කසාද බැඳල අවුරුදු කීයද…කොල්ලට මෙහෙම දෙයක් වුණේ හඳහං වල පරහක් හින්දද කියලත් මට හිතෙනව”

සයුරංගනා ගේ අම්මා සිටින තැනෙක තිලකා එවන් අවකැපෙන කතාවක් කීවා ය.

“හඳහං බැලෙව්වෙ අපි නෙවෙයිනෙ. අක්කලනෙ. අක්කලනෙ කිව්වෙ පොරොන්දං ජයටම ගැලපෙනව කියල”

යමුනා ප්‍රතිඋත්තර බැන්දේ වේදනාවෙනි.

“කවුද දන්නෙ ඕව බොරුවට හදෝපු හඳහංද කියල”

“අක්ක මාර කතාවක්නෙ කියන්නෙ. අපි බොරු හඳහං හදල දැන දැන අපේ කෙල්ලව මේ පොඩි වයසෙන් කණවැන්දුං කරනවද…”

යමුනා ගවුම් කරෙන් කඳුළක් පිස ගත්තා ය. සයුරංගනා තවමත් සිටින්නේ නිවැරදි සිහියකට එළඹී නොවේ. සිහියෙන් සිටිනා යමුනා ට සිය දියණිය ගේ ඉදිරි අනාගතය ගැන අති මහත් වූ භීතියක් දැනිණ.

“පිංවතුනි…අපි කිසි කෙනෙකුට අපේ ජීවිත ගැන විශ්වාසය තියන්න බෑ. ඕනම මොහොතක අපේ ජීවිත කෙළවර වෙන්න පුළුවන්. කොයි තරං වයසක් අපි ජීවත් වෙයිද කියල කාටවත්ම කියන්න බෑ. කරකුටු වෙච්ච පොල් ගෙඩි ගස් වල තියෙද්දිත් කුරුම්බැට්ටි බිම වැටෙනව. මනුස්ස ජීවිතෙත් එහෙමයි. ඉතිරි වෙන්නෙ කළ හොඳ පමණයි. සුවඳක් වගේ මතකයේ රැඳෙන්නෙ අපි කරපු යහපත් ක්‍රියා පමණයි. මේ කුණු කය පස් වෙලා යනව පිංවතුනි. නැත්නම් අළු වෙලා යනව”

ස්වාමීන් වහන්සේ ගේ හඬ සයුරංගනා ට අතරින් පතර ඇසේ. තව දුරටත් ඇය සිහිනයක පා වෙමින් සිටියා ය. පැන් වඩා පින් සිරිත් කෙරිණ. පෙට්ටිය වසන්නට පෙර අවසන් ගෞරව දක්වනු වස් පාරමීත් සයුරංගනා ගේ සොයුරියකුත් දෑතින් අල්වාගෙන ඇය දෙණ වෙත ලං කළහ. පෙට්ටියක බහා ගෙදරට ගෙනැවිත් දෙදිනක් වී ද සයුරංගනා ගිම්හාන් ගේ නිසල මුහුණ දෙස බැලුවේ නැත. හිත හදාගෙන ඒ දෙස බලන්නට පුළුවන් කමක් ඇයට වූයේ නැත. මේ දැනුත් එහෙම කරන්නට තරම් හයියක් ඇගේ ලදල්ලක් වන් හිතේ නැත. ඒ තබා හඬා ගන්නට පණක් හෝ ඇය වෙත වූවා නොවේ. 

ගිම්හාන් ඔවුන් ගේ විවාහ උත්සවය දා හැඳි කලිසම් කෝට් හැඳ සිටියේ ය. ඒ ඇඳුම් කට්ටලය සයුරංගනා ගෙන් ඉල්ලා සිටියේ යශෝදර ය. එදා මනාලයෙකු වූ කඩවසම් තරුණයා මේ විදිහට පෙට්ටියක සැතපී සිටිනවා දකින්නට තබා මවා ගන්නටවත් බිරිඳක වශයෙන් සයුරංගනා ට පුළුවන් කමක් නැත. ඇය ඇස් දෙක තද කර ගෙන, ගලනා කඳුළකට යන්නට හැරියා ය.

“අනේ මගෙ පුතේ…මං මැරෙන්න කලින් මෙහෙම ගමනක් යන්න හිත හදාගත්තෙ කොහොමද පුතේ”

කියමින් ගිම්හාන් ගේ මව් විලාප තැබුවා ය. “ගෙනියන්න එපා” කියමින් දෙණ බදා ගෙන කෑ ගැසුවා ය. ඇයව වත්තන් කර ගන්නටත් පාලනය කර ගන්නටත් කිහිප දෙනෙකු ම අවැසි විය. සුසාන භූමියේ දී ඇය මිණි වළට පනින්නට ගියා ය. ගමනට ම ඇහෙන්නට කෑ ගසා හැඬුවා ය. නමුත් සයුරංගනා ගේ කොපුල් තලා දිග කඳුළු ගලා ගියා විතර ය. විටෙක ඒ කඳුළ ද වියළී ගිහින් ඕ හිස් බැල්මෙන් බලා සිටියා ය. 

පස් අහුරු පෙට්ටිය මතට වැටෙනා බොල් හඬ ඇසිණ. සයුරංගනා සුසානය ආසන්නයේ බිම හිඳ ගත්තා ය. ජීවිතයක නිස්සාර බව ඒ බොල් හඬ මොනවට කියා පායි. දැන් ඉතින් කුමක් කරන්න ද? ඔහු මෙතැන වළ දමා ගොස් ජීවිතය කොතැනකින් පටන් ගන්න ද? රාජ කුමාරියක් වාගේ ඔහු විසින් සියල් සැප දෙන්නට යෙදුණු ඔහු ගේ දියණියගේ අනාගතය මුළුමනින් සයුරංගනා ගේ දෑත් මත තබා ඔහු නික්ම යයි. 

“මං අර දරුවව කොහොමද ගිම්හාන් ඔයා නැතුව තනියම හදන්නෙ…ඇයි මාව මෙහෙම අසරණ කරල ගියේ”

ඇය දණ මඬලෙහි මුහුණ ඔබා ගත්තා ය. එය හදවත පලා දමනා වේදනාවකි. 

“අඬහං රංගනා…ඔහොම ගලක් වෙලා ඉන්නැතුව කෑගහල අඬහං”

පාරමී සයුරංගනා වැළඳ ගෙන හැඬුවා ය. 

වළ වසා දැමීමෙන් අනතුරුව, ගිම්හාන් ඇරලවා යන්නට පැමිණි පිරිස ටික ටික ආපසු යන්නට විය. ඔවුන් යන්නේ සිනහ වෙවී ය. ඔහු ට සමු දී අඩ හෝරාවක් යන්නටත් පෙර ඔවුහු සියල්ල අමතක කොට සිනහ වෙති. ලෝක ස්වභාවය එයයි. මැරුණු මිනිසුන් මත්තේ ශෝක වෙවී ඉන්නට තරම් කාලයක් ජීවත් වන මිනිසුන්ට නැත්තේ ය. සුසානය වෙත පැමිණි කුමක් හෝ රියක එල්ලී ආපසු ගෙදර යන්නට ඇති උවමනාවට කවුරු කවුරුත් අහුවුණ රියක නැග ගත්හ. ගිම්හාන් ගේ මව තිලකා ට සිහිසන් වීම නිසා කලින් ම ඇයව රියක නංවා සොයුරියන් සමග ගෙදර යවන්නට කටයුතු කෙරිණ. 

සැළෙනා ගොක් රැහැන් දෙස සයුරංගනා ඔහේ බලා සිටියා ය. හදිසියේ ම ඇයට එසඳි සිහි විය. ඇය අම්මා හෝ යශෝදර ගේ මව් මල්කාන්ති සමග සිටිනු ඇතැයි ඊළඟට සිතුවා ය. තාත්තා ගේ මිය යාම ගැන එසඳි ට අවබෝධයක් නැත. දැරිය දෙන පාමුල සෙල්ලම් කළා ය. “අපාචි නැගිටල එන්නකො…හෝස් රයිඩ් එකක් යංකො” කියමින් පා ඇඟිලි තුඩු වලින් පෙට්ටියට එසවී ඇවිටිලි කළා ය. හෙටින් පස්සේ අප්පච්චි ගැන ඇයට කුමක් කියන්න ද කියා සයුරංගි දන්නේ නැත. ඇස් වලින් හඬනවාට වඩා ඇය හදවතින් හඬා වැටුණා ය. කෑ ගසා වැළපෙනවාට වඩා නිහඬ ව විඳවූවා ය. සෙනග ටික ටික අඩු වී සුසානය පාළුවට යමින් තිබිණ. බෝ වෙලාවක සිට යශෝදර ඈතට වී සයුරංගනා දෙස බලා සිටියේ ය. මේ කෙල්ලට පිස්සු හැදේවි ද කියා ඔහු ට නො සිතුණා නොවේ. ඇය ව දුටු කිසි මොහොතක ඒ වතෙහි මඳහසක් නැතිව ඔහු ඈ දැක නැත. මේ එසේ දකිනා මුල් ම වතාව ය. ඇය සිටිනුයේ එසඳි වාගේ ම කුමක් සිදු වූවා දැයි වටහා ගත නො හැකිව බව යශෝදර දනී. ඔවුන් දෙදෙනා ගේ එක ම වෙනස එසඳි ගේ වගකීම සයුරංගනා මත පැටවී තිබීම පමණකි.

“සයුරංගනා…දැන් අපි ගෙදර යමු නේද…”

අවසානයේ පාරමීත් ඇයත් ඇගේ සොයුරෙකු හා සොයුරියකත් පමණත් සුසානයෙහි ඉතිරි වී සිටියදී යශෝදර ඇය වෙත ගොස් කීවේ ය.

“ඕගොල්ලො යන්න යශෝදර”

ඇය කෙළින් ඔහු ගේ මූණ බලා කීවා ය.

“අපි යන්නෙ කොහොමද ඔයාව දාල…”

“මං යන්නෙ කොහොමද ගිම්හාන්ව මෙතන තනියම දාල…”

ඇගේ ප්‍රශ්නය ඔවුන් මුහුණෙන් මුහුණ බලවනා එකක් ම විය. යශෝදර හෙමිහිට සයුරංගනා බිම හිඳ උන් තැන පහත් වූයේ ය.

“සයුරංගනා…රෑ වෙනවනෙ…කළුවර වුණාම මෙතන ඉන්න බෑනෙ. අපි දැන් යමුකො. මං හෙට උදේට ඔයාව එක්කං එන්නං”

“ඔව් රංගි…අපි දැං යං කෙල්ලෙ. එසඳි අඬනවද දන්නෙත් නෑනෙ ඔයා නෑ කියල”

පාරමී එසේ කී පමාවෙන් ඇය නැගී සිටියා ය.

“එසඳිව ඇඬෙව්වොත් ගිම්හාන්ගෙන් ඉන්න හම්බෙන්නෑ”

නැවත ද ඔවුහු මුහුණෙන් මුහුණ බලා ගත්හ. 

“ගිම්හාන්ව මෙහෙම තනියම දාල යන්නෙ…කොහොමද යශෝදර…ඔයා කවදාවත් තනි නොකරපු ඔයාගෙ යාළුවනෙ ඒ…”

“හර සයුරංගි…අපි ගිහිං එමුකො”

යශෝදර එසේ කීවේ උගුර යටිනි. ඔහු අතැඟිලි තුඩු වලින් කඳුළු ගුලි දෙකක් මිරිකා හළේ ය. එත්දී ආවේ ගිම්හාන් ගේ දෙණ කර තබා ගෙන ය. නමුත් ඔහු ට මහත් බරක් දැනෙන්නේ දැන් මෙහෙම හිස් අතින් යත්දී ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles