ඉඳුදුන්න -31

“අයියා අලුත් ගෙයක් හදනව කියන්නේ මාත් යනව එහෙ..”

සඳුනි තම තීරණය දැනුම් දුන්නේ උස් හඬිනි.පවුලේ එකම පුතු වෙනුවෙන් තැනූ මාළිගාවක් බඳු නිවස හැර දමා යන්නට ඔහු තීරණය කර අවසන් ය.ශාන්ති හුන්නේ ඒ තීරණයෙන් වේදනාවට පත්ව ය.

“මේ ගේ හැදුවෙ උඹට පුතේ..”

ඉඩම කෙලවර ඇති නටබුන් වූ පැරණි නිවහන දෙස බලාගෙන ශාන්ති පැවසුවේ වේදනාවෙනි.ක්‍රමයෙන් දියුණු වූ අන්දමත් ඒ වෙනුවෙන් වෙහෙසුණු අන්දමත් ඈ සිහි කරන්නේ ආඩම්බරයෙනි.දෑත්වල කරගැට එනතුරු පොළොව සමඟ ඔට්ටු වූ අතීතයක් ඇයට ඇත.තවමත් වියළි කලාපීය කාෂ්ඨක පොළොව ඇයට වගක් නැත්තේ එනිසා ය.නයනි විශාල දෑවැද්දක් සමඟ දීග දී අවිශ්කට හොඳ බිරිඳක් කැන්දාගෙන ආ පසු ශාන්තිට තිබූ එකම බර සඳුනි ය.නමුත් දැන් සඳුනිගෙන් කරදරයක් නොමැත.නයනි ගැන ඇයට දැනෙන්නේ උසුලා ගන්නට අපහසු වේදනාවකි.

“අක්කටත් ඉන්න තැනක් එපායැ අම්මේ..”

අවිශ්ක පැවසුවේ නිවුණු හඬකිනි.බිරිඳට අල්පයක් හෝ වේදනාවක් නොදැනෙන්නට කටයුතු කරන මල්ලී ගැන කෝපයක් නයනිට හට ගත්තේ ය. එය අමන්දී සම්බන්ධ ඉරිසියාවක් ද විණි.

“මම ඉන්නව කියල ගෙවල් හදන්න ඕනයැ.ඒ කුමාරිහාමි සඳළුතලෙන් බිමට බහින එකක් යැ..”

නයනි පුපුරා හැලුණා ය.

“ඔයා එන්න කලින් නම් අක්කා උඩට ගියේ නිදා ගන්න විතරයි..”

සඳුනි කියන්නේ නෝක්කාඩුවට ය.නයනි නැගණිය වෙත ආවේ කෝපයෙන් රත් පැහැ ගෙන ය.

“දැන් උඹේ අක්කා ඒකිද?”

සඳුනි ඒවාට පිළිතුරු දෙන්නට කාලය වැය නොකළා ය.ඇය අමන්දීගේ ගුරු සිහිනයට අවැසි සෑම දෙයකටම උදව් දුන්නා ය.

“උඹ ඕවට උදව් කරකර ඉන්නෙ, සුරංග එක්ක යනවාකො.නැත්තං මේ මිනිස්සු උන්‍ට ඕන මිනිහෙක්ට තමයි උඹවත් දෙන්නෙ.උඹට වෙන්නෙත් මට වුණු එක.”

නයනි නංගිට අපූරු අවවාදයක් දුන්නා ය.එය අහම්බයකින් ශාන්තිට ඇසිණ.කඩා පැන නයනිගේ කට තලන්නට ඇයට සිතිණ.නමුත් ඊටපෙර ඇසුණේ සඳුනිගේ හඬ ය.

“මං සුරංග අයිය අමතක කරල ඉවරයි..”

ශාන්තිට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සන්තෝසයක් දැනිණ.සඳුනි පෙම්වතා අමතක කළ නොහැකි බව කියමින් බෑගිරි ගෑ අන්දම ඇය සිහි කළා ය.නමුත් දැන් තත්ත්වය වෙනස් වී ඇත.

“ගෙදර උන්ට තමුසෙ ඔච්චර බයද?”

අක්කාගේ අවඥා කටහඬ නංගිට යොමු විණ.

“මං ආයේ විබාගෙ ලියනව.අමා අක්කා උදව් කරනව කිව්වා.මං කොහොමහරි කැම්පස් යනවා..සුරංග අයියා එක්ක ඒවා කරන්න බෑ.එයා විබාගෙ ලියන කාලෙත් කීවෙ යං යං කියල.ඔයා වගේ ළමයි උස්සන් දුක් විඳින්න බෑ.මට ඕන අමා අක්කා වගේ වෙන්න..”

ශාන්තිට වචනයෙන් කිය නොහැකි තරමේ සතුටක් දැනේ.අමන්දී සඳුනිව මෙතරම් වෙනස් කළා යැයි අදහන්නටත් නොහැක.වංචාව සහ ලොකුකම ගැන අක්කා නංගිට බනින කිසිවක්ම අසා හිඳින්නට ශාන්තිට උවමනා නොවී ය.ඇය හුන්නේ සතුටිනි.

“දේපල පෙන්නලා ඔයාව අරන් ආවට ආයේ අලුතින් ගෙවල් හදනව.මහ ගේ තරම් හොඳ ගෙයක් හදන්න බෑ අමන්දි.ඔයා මාත් එක්ක අමනාපද?”

නිවසට මුල් ගල් තැබූ දා අවිශ්ක අමන්දීගෙන් ඇසුවේ ය.අමන්දී මුදු සිනාවක් හෙළුවා ය.

“මං ආවේ හැංගෙන්න මිසක් දේපල බලන් නෙවේ අවිශ්ක.ඒත් මමත් ඉන්නෙ හැංගිලා ඇති වෙලා.ඉතින් මට ඕන අලුත් ආරම්භයක්.මේකත් හොඳ හේතුවක්..”

“ඔයා අපේ අක්කා එක්ක තරහින්ද ඉන්නේ?

අවිශ්කට නාසා ඉන්නට නොහැකි විණ.අමන්දී යළි හිනැහුණා ය.

“අක්කා ඉන්න ස්ට්‍රෙස් එක මට තේරෙනව.එයා ඩිවෝස් එකට බයයි.ඒක අක්ක නෙවේ මේ රටේ හුඟක් ගෑනු අයට තියන බයක් අවිශ්ක.එයාලා ගුටි කකා හරි දරාගෙන ඉන්නෙ ඒකයි.පවුල ඇතුළෙ දුක් විඳින ගෑනු අය ඒක කාගෙන් හරි පිටකරනවා.නෑනගෙන්, නැන්දම්මගෙන්,ලේලිගෙන්, ළමයින්ගෙන්, අහළපහළ මිනිස්සුන්ගෙන්.ඔයා දන්නවද?මං ෆේස්බුක් එකේ දකිනව කවදාවත් දැකලවත් නැති අයට බනින රණ්ඩු කරන ගෑනු අය.සමහරු අකමැත්තෙන් කසාද බැන්ද අය,සමහරුන්ගෙ හස්බන්ඩ්ලා එයාලා ගණන් ගන් නෑ, සමහරුන්ට එක එක ප්‍රශ්න.ඒවා තමයි පිට වෙන්නේ.මිනිස්සු ඉන්නේ පීඩනෙන්.ඒක කොහොමහරි පිට වෙනවා..”

අවිශ්ක අමන්දීගේ වටහා ගැන්ම දෙස සැනසීමෙන් බලා හුන්නේ ය.මෙතැන ඉදිවන නිවසේ ඇය හා ආදරයෙන් ගෙවන දින ගැන ඔහු සිහින මැවී ය.

“ඔයාට තරහ නැත්නම් එච්චරයි”

ඔහු පැවසුවේ ළතැවිල්ලෙනි.

“අක්කා ආයේ බඳින එකක් නෑනෙ.ඒ ගෙදර එයයි බබාලයි හිටපුවාවෙ.ඔයාට ඕන තරම් ආදායම් තියන හින්ද කඩේ වැඩත් අක්කටම පවරමු..”

අමන්දී පැවසුවේ සැබෑ හැඟීමෙනි.අවිශ්ක බිරිඳගේ වදන් අසා හුන්නේ ආදරයෙනි.

ජීවිතය වෙනස් වූ අන්දම ගැන සිතමින් අමන්දී අලුත් ඉඩමේ ඒ මේ අත සක්මන් කරන්නට ගත්තා ය.ගුරු පත්වීම ලබන සඳුදා බාර ගත යුතු වේ.මේ නිවස ඉක්මනින් ඉදිවනු ඇත.මවක්,බිරිඳක්, ගුරුවරියක් වී අතීතය ඈතට තල්ලු කරන ආශාවකින් අමන්දී පිරී ගියා ය.

දුරකථනය නාද වූයේ එවිට ය.

අනිත් ඉම වූයේ ඉඳුවර ය.එයට පිළිතුරු නොදී හිඳින්නට අමන්දී තීරණය කළා ය.තවදුරටත් ඔහු අසා හිඳීමෙන් ඵල නැත.ජීවිතය යන අන්දමකට ගලා යන්නට ඉඩ හරින්නය් ඈ තීරණය කළා ය.

යළි දුරකථනය හැඬවිණ.ඔහු නොනවත්වාම අමතයි.ඒ ඇයිදැයි සිතමින් එයට පිළිතුරු දෙන උවමනාවක් අමන්දීට යළිත් ඇති විණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles