බිම්මල් –  21 කොටස 

හේෂාන් දැක ගැනීමට මට උවමනා වුව ද, අම්මා මා රෝහලට කැඳවාගෙන නොගියද, ඇය ඔහු දකින්නට දිනපතා රෝහලට ගියාය. ඒ යන ගමන් වල දී තමාට චාන්දනී හමු වුව ද, ඇය කතා බහ කිරීමෙන් වැළකී පසෙකට වී සිටින බව ද පැවසුවේ අම්මා ය.

“කරපු දේවල් වලට චාන්දනීට මට මූණ දෙන්න බැරිව ඇති.”

එවන් දිනවල අම්මා නිවසට පැමිණ පවසන්නේ සංවේගයෙනි.

“මා එක්ක සහෝදරියක් වගේ ආශ්‍රය කරපු මනුස්සයා. බොරු හේතු හිතෙන් හදාගෙන එයාම ඈත් වුනා. ඒකයි මට දුක.”

“මනුස්සකමක් නැති එවුන් එක්ක මොන කතාද අම්මා? එක අතකට මුලින්ම එයා කවුද කියලා දැනගත්ත එක හොඳයි.”

සුදු නංගී පවසන්නේ සත්‍යයක් වුව ද, තවමත් හේෂාන්ගේ මවට විරුද්ධව වදනක් හෝ පැවසීමට මම අපොහොසත් වීමි. මා ඇයට වරදක් පවසන්නේ කෙසේද?

මා ප්‍රතිකාර ලබා ගත යුතු යයි වෛද්‍යවරයා නිර්දේශ කළ ද, සැබවින්ම මට කිසිදු ශරීර පීඩාවක් නොදැනිණ. ඇතැම් විට හේෂාන් පිළිබඳව මා සිතෙන් විඳින වේදනාව නිසාම මට ශාරීරික වේදනාවක් නොදැනුනා ද විය හැකිය. අම්මාත්, සුදු නංගීත්, වජිරාත් හැකි සෑම විටම මා හා රැඳෙමින් මා මානසිකව ශක්තිමත් කිරිමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා අයුරු දකිද්දී මට ඔවුන් පිළිබඳව ඇති වන්නේ පවසා ගත නොහැකි තරමේ ආදරයකි.

“ඩිනාලී…”

අම්මා කේක් සාප්පුවේ සිට නිවසට පැමිණියේ ප්‍රීතිමත් සිනාවකින් මුව සරසාගෙනය. විසිත්ත කාමරය තුළ හිඳගෙන සඟරාවක පිටු පෙරලමින් කල්පනාවට වැටී සිටි මට ඇගේ කටහඬෙහි මෙන්ම හැසිරීමෙහි ද අමුත්තක් දැනිණ. 

“ඔය දෙන්නට සුබ ආරංචි දෙකක් කියන්න තියෙනවා.”

අම්මා මා අසළින් හිඳ ගත්තාය. මා වෙනුවෙන් ගෙන එන ලද යමක් සහිත කඩදාසි බෑගය මගේ උකුළ මතට දැමූ ඇය ජංගම දුරකතනය අතට ගෙන එහි කිසිවක් සොයන්නාක් මෙන් මට දැනිණ.

“එක සුබ ආරංචියක් තමයි අද හේෂාන් ඩිස්චාජ් කළා.”

මට මගේ දෙසවන් අදහා ගත නොහැකි තරම් විය. සැබවින්ම එය මොන තරම් නම් සුබ ආරංචියක්ද? 

“ඔය ඇත්තමද අම්මා?”

“මං ඔයාට කවදාවත් බොරු කියලා තියෙනවද? මං දවල් යද්දි හේෂාන් ගෙදර යන්නයි ලෑස්ති වෙලා හිටියෙ.”

“ආන්ටිත් හිටියද?”

“ඔය හිටියෙ. යන්න ලෑස්ති වෙලා අපි යන්නම් සකුන්තලා කියලා ඇහෙන නෑහෙන විදියට කිව්වා.”

“හේෂාන් මොකද කිව්වෙ අම්මා?”

“ගෙදර ගිහින් ඔයාට කෝල් කරාවි. එදා ඇක්සිඩන්ට් එක වෙලාවෙ උදව් කරන්න ආපු කෙනෙක්ම හේෂාන්ගෙ ෆෝන් එකත් උස්සලා.”

“අනේ පව්.”

“මිනිස්සුන්ගෙ යථා ස්වභාවය දැන ගන්න කරදරයක් වෙන්නම ඕන ඩිනාලි.”

“අනිත් සුබ ආරංචිය මොකක්ද අම්මා?”

මෙතෙක් මා පෙනෙන දුරකින් හිඳ ලැප්ටොප් පරිගණකයෙහි කිසියම් කාර්යයක නිරතව සිටි සුදු නංගී ඇසුවාය.

“මෙයා මං ආවට ඔලුව උස්සලා බැලුවෙත් නෑ. ඒ වුනාට ඔක්කොම අහගෙන ඉඳලා.”

අම්මා සිනාසුනාය.

“අපි එහෙම තමයි. ආඩම්බර නොවී කියන්නකො මොකක්ද ඔයාගෙ සුබ ආරංචිය කියලා. ඔයාගෙ හස්බන්ඩ් ආයෙම ගෙදර එනවා කියලා කෝල් එකක් දුන්නද?”

“පිස්සුද?”

අම්මා සුදු නංගීගේ උරහිසට පහරක් ගැසුවාය.

“විහිලුවටවත් එයාව මතක් කරන්න ඕන නෑ.”

“එහෙනම් ඉතින් ආඩම්බර නොවී කියන්නකො.”

අම්මා සිය ජංගම දුරකතනය අප වෙත පෑවාය. නෙළුම් පොහොට්ටු වලින් හැඩ වූ අලංකාර මංගල කේක් එකක් අසළ සිනාමුසු මුහුණින් යුතුව සිටගෙන සිටින අම්මාත්, අරුන්දතීත් එම සේයාරුවෙහි විය.

“කේක් එක නම් ලස්සනයි. ඔයයි අරුන්දතියි නොහිටියානම්.”

සුදු නංගී විහිලු කළ ද අම්මා ඉන් කෝප නොගත්තාය.

“අරුන්දතියි, අනිත් ළමයිනුයි සෑහෙන්න වෙහෙස මහන්සි වුනා. වෙනදා මගේ අතින් කරන දේවලුත් කරේ ඒගොල්ලො තමයි. ලස්සනයි නේද ඩිනාලි?”

“හරිම ලස්සනයි. කවදාවත් අම්මා මේතරම් ලොකු කේක් එකක් කරලා නෑ නේද?”

“නෑ. එක අතකට මං ඒගොල්ලන්ට තෑන්ක් කරන්න ඕන. හවස ඕඩර් එක භාර දුන්න ලේඩි ඇවිත් අද ඇවිත් කේක් එක බලලා ගියා. තව වැඩ ටිකක් තියෙනවා. එයා කිව්වා එයා බලාපොරොත්තු වුන විදියටම කේක් එක තියෙනවා කියලා.”

“සතුටුයි අම්මා.”

මම පැවසුවෙමි.

“කාලය ගත වුන ඉක්මන… තව දවස්…” යි කිසිවක් පැවසීමට සැරසුණද, අම්මා සැනෙකින් වදන් ගිල ගත්තාය. හේෂාන්ගේත්, මගේත් මංගල දිනයට නියම කරගත් දිනයට තව ඇත්තේ දින කීපයක් බව අම්මාට මතකයට නැගෙන්නට ඇතත් ඉන් මගේ සිත පෑරෙනු ඇතැයි ඇය සිතන්නට ඇත.

“හැම දෙයක්ම වෙන්නෙ හොඳට කියලා හිත හදාගනිමු මැඩම්.”

අප වෙත තේ රැගෙන පැමිණි වජිරා පැවසුවේ එම දිනය පිළිබඳව ඇයට ද සිහිපත් වූ නිසා වන්නට ඇත. තවත් දින කීපයකින් උදා වන එම දිනය පිළිබඳව මා මැවූ සිහින සියල්ලම සැනෙකින් බිඳී ගියද, එදිනට සිය සිහිනයන් සැබෑ කරගන්නට වාසනාව උදා වූ යුවතිපතීන් කෙතරම් නම් සිටිනු ඇත්ද?   

“අපේ බබාට සනීප වුනාට පස්සෙ අපි මීටත් වඩා ලස්සන කේක් එකක් හදමු නේද මැඩම්?”

වජිරා පැවසුවේ මගේ සිත සැනසීමට විය යුතුය.

“නැතිව…”

අම්මා නැගී සිටියාය.

“හැබැයි ඩිනාලි මෙහෙම ඉඳලා හරියන්නෙ නෑ පුතේ. අපි ටී්‍රට්මන්ට්ස් පටන් ගන්න ඕන. කල්පනා කරලා මට කියන්න අපි කවදද යන්නෙ කියලා.”

“කවදාවත් නෑ.”

මා පැවසුවේ සංවේගයෙනි. 

“මට දැන් හොඳයි. මට හොස්පිටල් යන්න බෑ බෑමයි. මාව එක්ක යන්න උත්සාහ කරන්නත් එපා.” 

“ඔයා කවදාවත් මේ විදියට මුරණ්ඩු වෙලා නෑ.”

අම්මා දෑස් වල කඳුලු පුරවාගෙන පැවසුවාය.

“හේෂාන් සනීප වෙලා ආවම අපි තීරණය කරමු අම්මා.”

මා පැවසුවේ අම්මාගේ සිත හැදීමට වුව ද, කිසිදු ප්‍රතිකාරයක් ලැබීම අනවශ්‍ය යයි මට සිතී තිබුනේ වරක් දෙවරක් නොවේ.

“අද වුනත් එයාට මා එක්ක කතා කරන්න ඕනකම තිබුනා වගේ පෙනුනා. චාන්දනී හිටිය නිසා ඔයා ගැන කතා නොකර ඉන්න ඇති. හේෂාන් වුනත් ඔයාගෙ ටී්‍රට්මන්ට්ස් පමා වෙන එක ගැන වොරි වෙනවා පුතේ.”

“කවුරු හරි ආවා වගෙයි.”

මඳ වේලාවක් සවන් දී සිටි වජිරා පැවසුවාය. අපට නොඇසුණද, කිසිවෙක් ගේට්ටුව යන්තමින් විවර කළ ද වජිරාට එම හඬ ඇසීම පුදුමයකි.

“ඔයාට හොල්මන් පෙනිලද?”

පරිගණකයෙන් දෑස් ඉවතට නොගෙනම සුදු නංගී සරදම් කළාය.

“හොල්මන් නෙමෙයි සුදු බබා. කවුරු හරි ගේට් එක ඇරියා.”

ඒ හා සමගම විදුලි සීනුව නාද වන්නට වූයෙන් වජිරා අප දෙස බැලුවේ ජයග්‍රාහී සිනාවක් මුවගට නංවාගෙනය.

“මං කිව්වෙ. කවුරුහරි ආවා කියලා.”

වජිරා ඉදිරියට දිව ගියාය. අම්මා ද ඇය පසුපසින් ගියාය. මගේ හදවත ගැහෙන්නට වූයේ අහේතුකවය. අද රෝහලේ සිට නිවසට ගිය හේෂාන් අප නිවසට නොපැමිණෙන බව දැන සිටියද, අහේතුක බලාපොරොත්තුවක් මගේ සිත පතුළේ දැල්වී නිවී ගියේය.

“හායි ආන්ටී…”

අරුණෝදිගේ ප්‍රීතිමත් කටහඬ මට ඇසිණ.

“කෝ අපේ කෙල්ල?”

අම්මා කිසිවක් මුණු මුනු හඬින් පවසනු ඇසුණද, ඒ කිසිවක් මට නොඇසිණ. හේෂාන් හදිසි අනතුරකට ලක් වූ පුවතත්, ඉන් මා කැළඹී සිටින පුවතත් පවසා මගේ සිත රිදෙන කතා බහින් වැළකී සිටින්නැයි අම්මා අරුණෝදි සමග නිසැකවම පවසන්නට ඇතැයි මට සිතිණ.

අරුණෝදි මා ඉදිරියට දිව ආවාය. සිය අත් බෑගයත්, තවත් බෑගයකුත් සෝෆාව මතට දැමූ ඇය මා තදින් වැළඳ ගත්තාය. නොපුරුදු විලවුන් සුවඳක් අරුණෝදි කෙරෙන් නික්මුන අතර, ඇය වඩාත් සුන්දර වී සිටියාය.

“එන්න කිය කියා හිටියට විවේකයක් ලැබුනෙ නෑ ඩිනාලි.”

මා පසෙකින් හිඳ ගත් අරුණෝදි සෝෆාව මත වූ පාර්සලය ගෙන මා අතට දුන්නාය.

“ඔයා ආසම දෙයක්.” යි ඇය පැවසුවද එය විවර කර බලන්නට මට නොසිතිණ.

“විවේකයක් ලැබුනෙම නෑ ඩිනාලි. මට ඔයාව බලන්න එන්න, ඔයා එක්ක කතා කරන්න හොඳටම ඕනකම තිබුනා. අද මං ටික වෙලාවකට හරි ඔයාව බලන්න එන්න ඕන කියලා ගෙදරින් පැනලා ආවෙ. ඉතින් ඉතින් කොහොමද?”

අරුණෝදි පසුපස සිටගෙන සිටි අම්මා හේෂාන් පිළිබඳව කිසිවක් කතා නොකරන්නැයි මට ඇසෙන් ඉඟි කලේ මන්දැයි මට නොවැටහිණ.

“ඔයා ගොඩක් ලස්සන වෙලා.”

මා පැවසුවේ සැබෑවටමය. නවීන මෝස්තරයක ගවුමකින් සැරසී සිටි අරුණෝදිගේ මුහුණ වෙනදාටත් වඩා ප්‍රභාමත්ව තිබිණ.

“තෑන්ක් යු.”

දෙඋරහිස් ගැස්සූ අරුණෝදි කම්මුල් වළ ගස්වමින් සිනාසුනාය.

“ජීවිතේ ගෙවෙන්නෙ සතුටින්. මතකද ඩිනාලි? ඒ ලෙවල් එග්සෑම් එක දවස් වල අපි කලු වෙලා ඇස් යට වළ ගැහිලා වඳුරු පෙනුමක් ඇවිත් තිබුනා. අපේ බොට්නි සර් විහිලු කරත් එක්ක මොකද මේ කෙල්ලන්ගෙ හැටි කියලා.”

“මතකයි. ඒ දවස් වල අපි නිදි මරාගෙන පාඩම් කරානෙ. ඒකයි.”

“ඒ පාඩම් කර එක අපරාදෙ කියලා මට වෙලාවකට හිතෙනවා ඩිනාලි. අපේ අම්මා කියන්නෙ ටීචින් වලට මිසක් වෙන ජොබ් එකකට යන්න දෙන්නෙ නෑ කියලා. එයා ප්‍රින්සිපල් නිසා හිතන්නෙ ටීචින් තමයි ලෝකෙ තියෙන උසස්ම ජොබ් එක කියලා.”

“අම්මා කියන්නෙ ඇත්ත තමයි. ලෝකෙ ඉන්න හැම බුද්ධිමතෙක්ම බිහි වෙලා තියෙන්නෙ ගුරුවරුන්ගෙන්. ටීචින් කියන්නෙ රස්සාවක් නෙමෙයි. සේවයක්.”

මෙතෙක් නිහඬව සවන් දී සිටි අම්මා පැවසුවාය.

“එකඟයි ආන්ටි. ඒ වුනාට මම ටීචින් වලට කැමති නැත්නම්?”

“ඔව්. කෙනෙක් රැකියාව වශයෙන් කරන්න ඕන තමන් කැමති දේ තමයි. කොච්චර හොඳට ඉගෙන ගත්තත් මම වුනත් කේක් ෂොප් එක පටන් ගත්තෙ මගේ සතුට තියෙන්නෙ එතන කියලා දැනුන නිසා.”

“ආන්ටි හරි.”

අරුණෝදි එකඟ වූවාය.

“ජොබ් එක විතරක් නෙමෙයි. මං කියන්නෙ මැරේජ් එකේදි වෙන්නත් ඕන ඒක. අකැමැති කෙනෙක්ව මැරි කරන්න සිද්ද වුනොත් ඉතින් ජීවිතේම දුකක් තමයි. අම්මා පහුගිය කාලෙම මට ප්‍රපෝසල්ස් ගෙනාවා. ඒත් ඒ එකකටවත් මගේ හිත ගියේ නෑ.”

අම්මා කිසිවක් නොපැවසුවාය. ඇයට ඇගේ විවාහ ජීවිතය සිහියට නැගෙන්නට ඇතැයි මට සිතිණ. බෙහෙවින් ලාබාල වියකදී විවාහ ජීවිතයට එළඹුණද, විවාහ ජීවිතයේදී තමා විඳි දුක් කම්කටොලු කෙතරම්දැයි ඇය කල්පනා කරන්නට ඇත.

අරුණෝදි සිය අත් බෑගය උකුළ මතට ගත්තාය. ඇය එය අවුස්සා කාඩ්පත් දෙකක් අතට ගන්නා අයුරු මම බලා සිටියෙමි. ක්‍රීම් පැහැයෙන් යුක්ත වූ එම කාඩ්පත් මංගල කාඩ්පත් බව මම හඳුනා  ගතිමි.

“සොරි ආන්ටි.”

අම්මා අසළට ගිය ඇය පැවසුවාය.

“කල් ඇතිව කියන්න බැරි වුනාට සොරි. හැමදේම හදිසියෙන්නේ සිද්ද වුනේ. තරහ නැතිව මේ ආරාධනාව පිළිගන්න.”

අරුණෝදි අම්මා අතට මංගල කාඩ්පත දෝතින්ම පිරිනැමුවාය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles