විසි දෙවැනි නෙතු සැරිය
අතුකෝරල මහතාගේ මිතුරියගේ දියණිය වූ සැන්ඩ්‍රා චත්‍ර මුන ගැසෙන්නට පැමිණියේ ඇගේ පෙම්වතාද සමඟය. විදෙස් තරුණයෙකු වූ ඔහුට තිස්සමහරාමය අවට ඇවිදින්නට දැක බලා ගන්නට බොහෝ දේ තිබුණි. කපිල සමඟ ඔහු වෙනුවෙන් මෝටර් රිය ලබා දුන් චත්‍ර සැන්ඩ්‍රාද කැටුව ඇගේ කටයුතු වෙනුවෙන් කැබ් රියෙන් පිටත් වූයේය.
වසර විසි අටක් තිස්සේ විදෙස් ගතව සිටියද ඕ සිංහල භාෂාව හොඳින් කතා බහ කලාය. පලමු අදියර වෙනුවෙන් චත්‍ර ඔහුගේ පක්ශයේ සම වයස් සාමාජිකයන් සහ මින් පෙර පලාත් සභාවේ උන් මන්ත්‍රීවරයෙක් එක් කරවාගෙන තිබුණි. සැන්ඩ්‍රා ඔවුන් සමඟ කතා බස් කරමින් ඇයට අවශ්‍ය තොරතුරු උකහා ගත්තාය. පැය හයක පමණට ඇඳුන කතා බහකට පසු චත්‍ර සහ සැන්ඩ්‍රා ඒ පිරිසට සමුදුන් හ.
” මෙහෙ ගොඩක් අය ඩිග්‍රී එහෙම කරලා නේද චත්‍ර ?..”
” ඔය මගේ ක්ලෝස්ම සෙට් එක … හෙට සෙට් කරන්නම් මම අනෙක් අය… ඒ අය මීට වඩා වෙනස් එඩියුකේශන් බැක්ග්‍රවුන්ඩ් තියෙන අය… “
සැන්ඩ්‍රා හිස සැලුවාය.
” චත්‍ර , මයික් කියනවා එයා දෙබරවැව ලේක් එක ළඟට ගියා කියලා උදේ කියලා … . ඔයාට පුලුවන්ද මාව එතැනින් දාන්න .. එයා මට වීඩියෝ ක්ලිප්ස් එවලා තියෙනවා.. මට එතැන මිස් වෙනවා වගේ.. එයත් එතැනට එන්නම් කිව්වා .”
” හරි හරි .. මම එතැන කිට්ටුව සෙට් කරන්නම් ඩිනර් … මයික් එක්ක කතා කරලා වෙන ප්ලෑන්ස් තියෙනවා නම් කියන්න ..ඇරේන්ජ් කරලා දෙන්නම්…”
දෙබරවැව වැව මානයේ කැබ් රිය නැවැත්වූ චත්‍ර සැන්ඩ්‍රා සමඟ වැවු බැම්ම දිගේ ඇවිදිමින් ඇය විමසමින් සිටි යම් කාරණා විස්තර කරමින් උන්නාය.
” අද මේ ට්‍රිප් ආව ටික දෙනෙක් ඉන්නවා..නැත්නම් මෙතනට එහෙම කට්ටිය එන්නේම නෑ.. තිස්ස වැව අවට නේ හැමෝම රැඳෙන්නේ …
අවිශ්ක සහ දරුවා සමඟ එහි පැමිණ උන් අයත්මා දෙදෙනාව දුටුවේ චත්‍ර සහ සැන්ඩ්‍රා සෙල්ෆි සේයාරුවක් ගනිද්දීම. අයත්මා ගල් ගැසී බලා උන්නාය. අවිශ්කටද චත්‍රගේ වෙනසට හේතු වූ සියල්ල වැටහුණි.
අයත්මාට දැනුනේ තමා පිලිස්සෙමින් වැක්කෙරෙන වගය. චත්‍ර ඇය සමඟ සිනාසෙමින් දොඬමලු වීම අයත්මාගේ හදවතට සියුම් කඩු පහර සේ වැදෙමින් තිබුණි. අයත්මා වඩා හොඳින් ආගන්තුක යුවතිය දෙස බැලුවාය. ඕ සුන්දරය. තඹ පැහැ කොණ්ඩය ඉනටද පහලින් වැටෙයි. ශරීරයම වාත්තු කල රුවක් වැනියැයි ඕ සිතුවාය.
අයත්මා ත්‍රී රෝද රියට ඇමතුමක් දෙන්නදැයි අයියාගෙන් විමසුවේ කඳුලු අසීරුවෙන් සඟවාගෙනය.
” මගේ ඔලුව කැක්කුමයි අයියේ .. ඔයා බබා එක්ක ටික්ක ඉඳලා එන්න ..”
ඇයට තනිව යන්නට ඉඩ නොදුන් අවිශ්ක ඇය සමඟම ත්‍රී රෝද රියට නැඟ ගත්තේය. අයත්මා සිටින්නේ නොසන්සුන්කමින් බවත්, ඒ නොසන්සුන්කමට හේතුවත් දැන උන්නා වුවද ඔහුට ඉළඟට කල යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත.
” ඌ ඇති වෙනකල් නෝන්ඩි වෙවී නංගිගේ පස්සෙන් ආවා… පස්සේ ඌටම එපා වෙන්න ඇති .. ඒත් මාස දෙක තුනකින් මූ මෙච්චරටම වෙනස් වුනෙ කොහොමද?..”
අවිශ්ක තමාගෙන්ම විමසුවේය. අයත්මා කාමරය තුලට වූයේ දොර වසාගෙනය. ඕ කොට්ටයේ මුව සඟවාගෙන හැඬුවාය. හඬ පිට නොවී තියෙන්නට දැඩි වෙහෙසක් ගත්තේය. පැයකට පමණැ පසු ඕ නාන කාමරය තුලට වැඳුනේ තෙත් වී පෙඟුණ මුහුණක් එක්කය.
අයත්මා කණ්ණාඩිය ඉදිරියේ සිට ගත්තාය. චත්‍ර සහ ඔහු සමඟ උන් තරුණියගේ සිනහ මුසු මුහුණු කණ්ණාඩියේ පසෙකින් මැවුනේය. ඕ එය අල්ලන්නට උත්සාහ කලාය. හැඬුණි.
” මොකද මට වෙලා තියෙන්නේ.. ඇයි මගේ පපුව මෙච්චර බරට දැනෙන්නේ?… ඒ මනුස්සයට මම කවදාවත් කමති වුනේ නැහැනේ.. මට කවදාවත් එයාව දකින්නවත් ඕනි වුනේ නැහැනේ..
එයා කොච්චර නම් දේවල් කලාද මට ලං වෙන්න .. මට ඒ කිසිම දේකින් එයව ඕනි කියලා දැණුනේ නැහැනේ.. මට එයාව දකින එකම මහ වදයක් වෙලානේ තිබුනේ … ඒත් , දැන් ඇයි මෙහෙම … මෙච්චර රිදෙන්නේ ඇයි ..?
කවදා ඉඳන්ද මේ හැමදේම වෙනස් වුනේ… එදා සිද්දියෙන් පස්සේද? ඒත් එදා වෙන්න ගියේ හොඳ දෙයක් නෙවෙව්යි … නෑ… එලියෙන් ඉඳලා බලන කෙනෙක් කොහොම දැක්කත් මට දැණුනා, එයාට ඕනි වුනේ මට රිද්දන්න නෙවෙයි .. එයා මාව ඉම්බේ පරෙස්සමට … එයා හිටියේ සිහියෙන් නෙවෙයි වුනත්, එයා කල්පනාවෙන් හිටියේ … හී ඉස් නොට් අ රේපිස්ට් .. හී වෝස් අ මැඩ්ලි ටේකන් ලවර් …
එයා මට පිස්සුවෙන් ආදරේ කල නිසා නේද එයා එහෙම ඉක්මන් වුනේ.. ඔව්, මං අකමැතිව මට එහෙම ලං වෙන්න හදපු එක වැරදියි … ඒත් ..ඒත් ඇයි එහෙනම් මට බැරි එයාට වෛර කරන්න …”
අයත්මා විමසමින් උන්නාය.
” මොකද මට මේ වෙලා තියෙන්නේ?.. චත්‍ර ?? .. මං මේ ඔයාට ආදරේ කරනවද?.. අවුරුදු ගානකට කලින් ඉස්කෝලේ යන කාලේ මම කැමති වෙලා උන්න චත්‍ර ආයෙම මට පේන්න අරගෙනද?…”
අයත්මා තෙත පිටින්ම යහනේ පෙරලුනාය. පාසැල් කාලයේ තමා චත්‍ර වෙනුවෙන් ගොඩ නඟා උන් ඒකපාර්ශවීය ප්‍රේමයේ ශේෂ සිහිපත් කලාය. එහෙත් ඔහු එවැන්නක් වෙනුවෙන් තමාට කිසිඳු ඉඩක්වත් නොදී විදෙස් ගත වීමෙන් පසුව ඔහු ගැන දැනගන්නට ලැබුණ දේවල් නිසා ඔහු වෙනුවෙන් වූ ප්‍රේමය ක්‍රම ක්‍රමයෙන් මියැදෙන්නට ඉඩ දුන් හැටිද, ඔහු යලි ලංකවට පැමිණීමෙන් පසුව පුහුණු කරමින් දේශපාලන වැඩ පිළිවෙල තුල ඔහු වෙනුවෙන් වූ හැඟීම් වල දමා ජීවිතයේ ඉදිරියට ආ හැටිද අයත්මා සිහිපත් කලාය.
ඉන් පසුව ඔහු දිගින් දිගටම තමා පසු පස එමින් කල සියලු දේ ප්‍රතික්ශේප වීම ඉබේම සිදුවූ වගද සිහි කලාය. කලණගේ ආගමනය සිත තුල ඇති කල හැඟීම කුමක්දැයි අයත්මාට වැටහෙන්නේ නැත. එහෙත් එය ප්‍රේමය නොවන වග ඇයට සහතිකය. එය එසේනම්, චත්‍ර මන්ජිත් අතුකෝරල නම් වන තරුණයා නමින් මේ හටගෙන ඇති හැඟීම ට දෙන්නට වෙන නම ප්‍රේමයද?
අයත්මා ජංගම දුරකතනය සොයා ගත්තාය. ඊළඟ තත්පරයේ ඇය චත්‍ර අමතමින් උන්නාය.
චත්‍ර උන්නේ සැන්ඩ්‍රාගේ කාර්යය වෙනුවෙන් පසු දිනට වන වැඩසටහන් සැකැස්මේ යම් කාර්යයන් කිහිපයකය. එක්වරම අයත්මාගෙන් පැමිණි ඇමතුම ඔහු මොහොතකට ගල් කර දැම්මේය. ඇය මෙවෙලෙහි අමතන්නට හේතුවක් නැත. වෙලාව රාත්‍රී නවයද පසුවී ඇත. චත්‍ර ඇමතුම මඟ හැරියේය. අයත්මා දෙවැනි වරටද ඇමතුවාය. චත්‍ර ඇමතුමට පිළිතුරු දුන්නේ විමතිය සමඟමය.
” හෙලෝ …”
අයත්මා මහ හඬින් හඬා වැටුණා පමණි. ඇයට කිසිත් පවසා ගන්නට හැකි වූයේ නැත. වසර දහයකටද එහා වූ ඒක පාර්ශවීය ප්‍රේමයක නටඹුන් තම හද තුල මෙලෙසින් නිදන් වී තිබුනා යැයි ඇයට තවම විශ්වාස නැත. ඒ නැතත් එකී අජීවී වස්තූන් මෙතරම් කලකට පසු මෙලෙසින් සජීවිව යළි නැගිට ඒම ඇයට විශ්වාස කරගන්නට නොහැක.
” හෙලෝ……”
අයත්මා පියවි සිහියට එලැබුණේ උස් හඬින් නැඟුන චත්‍රගේ හඬ සමඟය. ඕ වහා ජංගම දුරකතනය විසන්ධි කලාය. චත්‍ර පෙරලා ඇමතුවේය. ඇය මහ හඬින් හඬා වැටුණ වගට සැක නැත. එයට හේතුව කුමක්දැයි නොදැන තත්පරයක්වත් පසු කල නොහැක. ඒ හැඬීම තමාටම ඇසෙන්නට ඇමතුමක් ගැනීම ඉබේම සිදුවූ යමක් විය නොහැක.
චත්‍ර වහා සිහිනිගේ කාමරයට ගියේය. අවිශ්කගේ අංකය ඇයට දී ඔහු ලවා අයත්මාට ඇමතුමක් ගන්නට සැලසුම සැකසුවේය. සිහිනි වහා අවිශ්ක ඇමතුවේ හදවත තුල ඇයට නොවැටහුණු තිගැස්මක් නැගෙද්දිය.
“අවිශ්ක අයියේ .. මම සිහිනි .. චත්‍රගේ නංගි ..”
” කියන්න නංගී .. මොකද මේ රෑ..”
” අනේ සොරි අයියේ ඩිස්ටර්බ් කලා නම් .. මම මේ සෑහෙන වෙලාවක ඉඳන් අයත්මාට ට්‍රයි කල.. හෙට පොඩි වැඩ වගයක් තියෙනවා සැලසුම් කරගන්න ඒකයි …. අනේ පුලුවන් නම් ෆෝන් එක දෙන්නකෝ ..”
අවිශ්ක දොරට තට්ටු කරද්දී අයත්මා තිගැස්සුනාය. සිහිනිට ඇමතුමක් ගන්නටයැයි අවිශ්ක පවසද්දී ඇයට සියල්ල වැටහුණි.
අයත්මා සිහිනිව ඇමතුවාය
” හෙලෝ .. අයත්මා .. ඔයා හොඳින්ද?..”
” ඔ ඔ ඔව් ..සිහිනි .. ඇයි ?..”
ඕ හැඬුම්බර බව සඟවා ගන්නට උත්සාහ කලාය. එහෙත් එය සිහිනිගෙන් සඟවන්නට ටහ්රම් ඇයට හැකි වූයේ නැත.
” දැන් විනාඩි පහකට කලින් ඔයා දෙපාරක්ම අයියාට අපේ කෝල් කරලා.. ඔයා හයියෙන් ඇඬුවලු … මොකද වුනේ අයත්මා ..”
” සො ..සොරි කියන්න සිහිනි .. මට පොඩි පැටලීමක් වුනා..ප්ලීස් ..”
ඕ ඇමතුම විසන්ධි කලාය.
| අපේක්ෂා ගුණරත්න |