මියුරු පෙම් වසන්තේ – 53

බෙටි සීන් එකෙන් පස්සේ කස්තුරි මද කිපිච්ච ඇතා වගේ වටපිටාවම කළඹවාගෙන කෙළින්ම ආවේ විස්සෙ කණුවෙ අල්විස් වත්තටය. ඒ මේ බෙටි සීන් එක පස්සෙ ඉන්නෙ මිලින්ද බව ටක්කෙටම දන්න හන්දාය. “ඕකට ආයෙ ලැට් එකට යන්න බැරි වෙන්නයි මං වැඩේ දෙන්නෙ” කියාගෙන එද්දීත් තේජානි උන්නේ ක්සතුරි එක්ක මාරාවේශෙන්‍ ය.

“මොනවද මිනිහො මේ තමුසෙගෙ ලැජ්ජ නැති වැඩ? තමුසෙට මෙහේ ලැට් යන්න බැරුවද තමුසෙ ඒ යකාගෙ කඩේ ඉස්සරහට ගියේ බල්ලෙක් වගේ” කියා තේජානි කස්තුරිගේ ඇඟට කඩං පැන්නේ කස්තුරි වෙච්ච සීන් එක එහෙට මෙහෙට ඇඹරි ඇඹරි කියද්දිය. කස්තුරිට ඔක්කොටම වඩා කේන්ති ගියේ ඒ වෙලාවේ තේජානිගෙ මූණෙ ඇඳී තිබිච්ච ලුක් එක නිසාවෙන් ය. මාරාවේශ වෙච්ච ඇතා අල්විස් වත්තට ආවේ එලෙසින් ය.

“අඩෝ මිලින්ද වරෙන් යකෝ එලියට” කියා කස්තුරි මිලින්දගේ ගේ ඉස්සරහට වී කෑගහද්දී මිලින්ද ගේ ඇතුලට වී උන්නේ පොඩ්ඩක් විතර බයෙන් කිව්වොත් ආන් ඒක ඇත්තකි.විල්සන් කාරයා මොනවා කිව්වත් අන්තිමේ ගුටි කන්න වෙන්නෙ තමන්ට බව දන්න හන්දා මිලින්ද බය උනත් කස්තුරිට එහෙම දෙපාරක් ගේ ඉස්සරහට ඇවිත් කැගහන්න දෙන්න බැරි හන්දා මිලින්ද ගෙයින් එලියට ආවේය.

“ඔව් ඇයි, මං ආවා එළියට මොකද කියන්නේ?” කියා මිලින්ද බය පේන්නේ නැතිවෙන්න පොඩ්ඩක් විතර සද්දෙට ඇහුවේ ඇතාගේ ගෝරනාඩුව ඇහී වත්තේ රස්සාවලට යන්නෙ නැති කොල්ලො සෙට් එකකුත්, ගෙවල් වල වලං පිඟන් හෝදමින් උන් ගැණු සෙට් එකකුත් එලියට බැස ඇති විත්තිය දැක්ක හන්දාය. මෙදා හදිස්සියේ ආව හන්දා කස්තුරි එදා තරම් සෙනග එක්කාසු කරගෙන ඇවිත් නැති හන්දාත් වත්තෙ සෙට් එක එක්ක එක්කහු වෙලා කස්තුරිට ඇට්ටි හැලෙන්න දෙන්න පුලුවන් බව මිලින්දව පොඩ්ඩක් විතර සුපර් මෑන් සීන් එකකට අරගෙන ආවේය.

“මොනවද යකෝ උඹ මේ කරන කක්කා වැඩ? ලැජ්ජ නැද්ද යකෝ මට බෙට්ටක් එව්වෙ ගෙදෙට්ට?” කියා අහද්දි නම් කස්තුරිට පොඩ්ඩක් විතර ඇඬෙන්න ආ බව කියන්නම ඕන ය.

“ආ උඹට බෙට්ට ගෙදෙට්ට ආහම ලැජ්ජයි, ඒක මගේ කඩේ ඉස්සෙල්ල හලල යද්දි ලැජ්ජාවක් නෑ, එහෙමද?” කියාගෙන් මිලින්ද සද්දෙට ඇහුවේ කස්තුරියගේ හඬේ ගෑවිල තිබිච්ච ඒ ලැජ්ජාවයි දුකයි දෙකම තේරිච්ච හන්දාය. අලියා උනාට හොඬවැල අස්සට කටුස්සෙක් ගියාම ඔන අලියෙක් බිම දණ ගහන බව මිලින්දට මතක තිබ්බේ හොඳවෙලාවටය.

“උඹ කොහොමද කියන්නේ මං උඹේ කඩේ ඉස්සරහට ඇවිල්ලා බෙට්ටක් හැලුවා කියලා” කස්තුරි ඇහුවේ මිලින්ද ලඟ තමන් ප්‍රසිද්ධියේ ලැට් එකට යන වීඩියෝ එකක තියෙන බව දන්නේ නැතුවය. “මගේ ගේ ඉස්සරහට ඇවිල්ල මට සද්දෙ දාන්න මූට මම දෙන්නම් ශොට් එක” කියා හිතෙන් හිතුව හන්දා මිලින්ද වීඩීයෝ එකේ තුරුම්පුව මේ වෙලාවේ පාවිච්චි කරන්න හිතුවේ නැත. කොහොමවෙතත් ඔහොම වීඩියෝ එකක් තමන් ලඟ තියෙන බව දැනගත්තම ඕන අලියෙක්ට ලැජ්ජ හිතෙන හන්දා හදිසියේ හරි මූ ඇඬුවොත් හිත උණුවෙයි කියන බයට මිලින්ද සද්ද නැතුව උන්නේය.

“එතකොට උඹ කොහොමද කියන්නේ ඔය ගෙදෙට්ට එව්වයි කියන එක මමමයි එව්වෙ කියල?”

“යකෝ මට අඳුනන්න බැරිද මං දාපු එක?” කියා කටෙන් පිටවුණේ කස්තුරියට හිතන්නවත් දෙපාරක් ඉඩ තියන්නේ නැතුවය.හිනා ගියේ මිලින්දට විතරක්ම නොවේ. සීන් එක අග ඉඳන් මුලටම දැනගෙන උන් විල්සන්ටත් නක්කලේට වගේ හිනාවක් ගියේය.

“ආ ඒ කියන්නෙ දැන් උඹම පිළිගන්නව නේද උඹ තමයි ඒ බලු වැඩේ කලේ කියල? අනේ යකෝ මේ වතුවල ජීවත්වෙන අපිවත් කරන්නෙ නැති විදියෙ තුප්පහි වැඩනෙ යකෝ උඹ කරන්නෙ? ලැජ්ජ නැද්ද බං ඔහොම යන යන තැන් වල බෙටි හලන්නෙ බල්ලෙක් වගේ? ඊයා” කියා මිලින්ද සද්දෙට කියද්දී මිලින්ද වටේ එක්‍ රැස් වී උන්න වත්තෙ සෙට් එකෙන් ආව ඔක්කොටම වඩා කස්තුරිට දරාගන්න බැරිවුණේය.

“හැලිච්ච බෙට්ට හැලිච්ච එකේ දෙන්නම් මුට” කියා කස්තුරි අත උස්සන්, කෑ ගහන් බාහුබලී වගේ ඉස්සරහට ආවේ මිලින්දව උඩ යවන්න හිතාගෙන උනත් කොහෙන්ද ආව ඉඳුල් වතුර පාරක් මූණ හෝදන් යද්දී කස්තුරි එහෙම්ම මග නැවතුණේය. ගෙදර විත් තේජානිගෙන් හොඳටම බැණුම් අහද්දීත් කස්තුරියට මතක තිබ්බේ වත්තෙ ගෑණු සෙට් එකක් එක්කහු වී තමන්ට ඉඳුල් වතුරද, කොසු පාරවල් වලින්ද හොඳට නෙලපු එක විතරය.

“ඕක ආයෙ උඹට ශොට් එක දෙන්න ආවොත් උට දෙන්න ශොට් එකක් තියෙන්න ඕන එකේ උඹ දැන්ම ඔය වීඩියෝ එක එලියට දාන්නෙ නැතුව පරිස්සං කරගෙන ඉඳහන්” කියා විල්සන් ඇවිත් මිලින්දට දුන්නේ මසුරං වටින උපදේසෙකි. නදී හන්දා විල්සන් කාරයා එක්ක අමනාප වනවට වඩා නදීට ඕන මගුලක් කරගන්න කියා විල්සන් එක්ක ශේප් එකේ ඉන්න එක තමන්ට හොඳ බව මිලින්ද තේරුම් ගත්තේ ඕන් ඔය අලි බෙටි සීන් අස්සේය.

ධම්මිකා උන්නේ එක්තරා විදියක සන්තෝසෙකිනි. රොඩ්‍රිගු කිව්ව විදියට කරන්න ගිය ප්ලෑන් එකේ තමන් උන්නේ ක්ලීටස් ගෙන් ඉල්ලීමක් කරන්නට උනත් ඒකට වඩා අනුකම්පාව උපයාගෙන ක්ලීටස්ගෙ කටින්ම තමන්ට වෙන්න ඕන දේ කියාගන්න එක වඩා වාසි බව ධම්මිකා හිතූ බව ඇත්තකි. එහෙත් ප්ලෑන් එක තමන් හිතුවටත් වඩා හොඳට තමන්ට ඕන විදියටම වෙයි කියා ධම්මිකා හිතා උන්නේ නැත. 

තමන් ක්ලීටස්ව පටලවන්න ගිය මකුලු දැලේ ක්ලීටස් කැමැත්තෙන් පැටලෙන්න හිතපු එක තමන්ගේ අතේ ගෑවෙන්න තිබ්බ පව් නොගෑවෙන්න හේතුවකි.

“ඔය කියන විදියට ක්ලීටස් බොස්ම ඔය සීන් එක ඒ කෙල්ලට තේරුම් කරවල දෙන්න යනවනම් මැඩම්ට බයවෙන්න කිසිම හේතුවක් නෑනෙ. මැඩම්ට ඕන වෙච්ච දේම මැඩම්ගෙ කිසිම සම්බන්ධයක් නැතුවම වෙන එක තරම් ආතල් එකක් තවත් නෑනෙ මැඩම්”  

“ඒක එහෙම තමයි, ඒත් තමුන් හිතනවද ඒ කෙල්ල ඕක පිළිගනීවි කියලා?”

“මොකද නැත්තෙ මැඩම්, තමන් මෙච්චර දවසක් තාත්ත කියල තියෙන්නෙ වැරදි මනුස්සයෙක්ට බව දැනගත්තම, තමන්ගෙ අම්මට සම්බන්ධයක් තිබිල තියෙන්නෙ තමන්ගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ තාත්තා එක්ක බව දැනගත්තම, එයා බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ තාත්තා විතරක් නෙවෙයි තමන්ගෙත් තාත්තා බව දැනගත්තම මැඩම් හිතනවද ඔය කෙල්ල ඕක සංසුන්ව දරාගනීවි කියල?”

“මං එහෙම කියන්නෙ නෑ, ඒ උනාට එදා මම ඔෆිස් එකට ගිහිල්ල අපේ පුතාට වෙන ප්‍රපෝසල් එකක් ඇවිල්ල තියෙනව කියල කිව්වම උනත් ඒ කෙල්ලගෙ මූණෙ අබමල් රේණුවක වෙනසක් උනේ නෑ. ඒකි වත්තක කෙල්ලෙක් රොඩ්‍රිගු. ඒකි අපි හිතනවට වඩා හයිය කෙල්ලෙක්”

“මං නෑ කියන්නෙ නෑ මැඩම්, හැබැයි ඔය සද්ද නැතුව ඉන්න ගිනි කඳු පුපුරන්නෙත් හරි පුංචි හේතුවලට බව අමතක කරන්න එපා. වත්තක ඉපදිච්ච බව ඇත්ත, හයිය ඇති ඒකත් ඇත්ත, හැබැයි අමතක කරන්න එපා ඒ කෙල්ලෙක්. කෙල්ලෙක්ට ගැණියෙක්ට දරාගන්න බැරි දේවලුත් මේ ලෝකෙ තියෙනවනෙ මැඩම්. එහෙම දරාගන්න අමාරු ලොකුම දේ තමයි තමන් රැවටිලා කියන එක. තමන්ගෙ අම්මගෙන්, තාත්තගෙන් විතරක් නෙවෙයි තමන් ආදරෙනුත් රැවටිලා පැරදිලා කියල දැනගත්ත ගෑණුන්ට හැංගෙන්න යන්නෙ පොඩි වෙලාවයි.

ඒ හන්දා මැඩම් බයවෙන්න එපා, වැඩිය හිතන්නත් එපා ඔය කෙල්ල මැඩම් නොහිතන විදියට පොඩි මහත්තයගෙ ජීවිතෙන් මකබෑවිලා යන්න යාවි”

කියා රොඩ්‍රිගු කිව්වාම ධම්මිකා හුස්මක් ගත්ත එක ඇත්තය. හැබැයි ඒ හුස්ම ඇත්තටම සැනසුමක් එක්කාසු වුණ හුස්මක්ද කියා නොහිත ඉන්න ධම්මිකාට පුලුවන් උනේ නැත.

කාලයක් සැනසීම නැති කලේ අම්මාය. දැන් දුව ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles