මියුරු පෙම් වසන්තේ – 56

දුරකතන ඇමතුම්වලින් පමණක් තේරෙන කාලයේ කට හඬ අහන්න ලැබිච්ච අම්මාගේ රූපය ගැන හරියාකාර අදහසක් නදීට තිබ්බේම නැත. අම්මාව අන්තිමට දැක්කේ කවදාද කියා මතකයක් පවා නදීට නැත. ආච්චි අම්මා ලඟ තිබූ අම්මා තුරුණු වියේදි අරගත් ජායාරූපයකින් මිස නදීගේ මතකයේ අම්මාව ඇඳී තිබුණ විදියක් නැත.

“ඔයාගෙ අම්මා කොහෙද ඉන්නේ?” කියා කවුරුන් හෝ ඇහුවොතින් පුංචි කාලයේ සිටම “අම්මා රට ඉන්නෙ” කියා කියන්නට නදී පුරුදු වී උන් නිසාම ජීවිතේ එච්චර අමාරු උනේ නැත. හරිනම් කියන්න ඕන “අම්මා මාව දාලා ගිහිල්ලා” කියා මිසක් දුරකතන ඇමතුමකින් හෝ තමන් හා කතාකරනා අම්මා ගැන එහෙම කියන්න ඇති නොකැමැත්ත නිසාම දිගටම “අම්මා රට ඉන්නේ” කියන්නට නදී හිත හදාගෙන උන්නත් ඒ උත්තරේ දෙන්නට ලොකු වෙද්දී එහෙමකට කියා අවස්තාවන් ආවේ නැත.

නදී ලොකු වෙද්දී නදීගෙන් ඒ ප්‍රශ්නෙ අහපු මිනිස්සු ද ලොකු වුණහ. ඉතින් ඒ ලොකු මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ නදීගේ අම්මා එච්චර ලොකු, සැලකිය යුතු ප්‍රශ්නයක් උනේ නැත. 

එහෙත් එකපාර, පෙර දැනුම්දීමකින් තොරව හමා ආ චණ්ඩ මාරුතයක් වගේ විත් ක්ලීටස් රදන්පොල විසින් කියන්නට යෙදුණ කතාව නදීව ආපහු වතාවක් පොඩි මිනිහෙක් කරන්නට හේතුවක් වුණි. කඳුලු ගලන දෙනෙත තිබුණේ අපි දන්නා තරුණ නදී පහණ්‍යාට නොවේ. පුංචි කාලයේ හිඳ අම්මා ගෙත් තාත්තාගෙත් ආදරය නොමැතිව ආච්චි අම්මාගේ වියපත් රැකවරණය මැද උස් මහත් වුණු පුංචි කෙල්ලකගේය.

ක්ලීටස් රදන්පොල ඒ කඳුලු නොදැක්කා නොවේ. වසන්තාගේ දෙනෙත්වලින් ආදරය සම්බන්ධ කාරණා ලඟදී ගැලූ කඳුලු වල පාටත් රසයත් මතක තිබ්බ ක්ලීටස්ට ඇගේත් තමන්ගේත් දරුවාගේ දෙනෙතින් ගලන්නේ ඒ ලුණු රසම ඇතු අවර්ණ කඳුලු බිංදු බව තේරුම්ගන්න අපහසු උනේ නැත. එහෙත් තාත්තා කෙනෙකු කරන විදියට දුවෙක්ව තුරුලට ගෙන “අඬන්නට එපා යැයි” කියන්න හැකියාවක් ක්ලීටස්ට තිබුණේ නැත.

“දරුවො අතෙන් විතරක් නෙවෙයි දූ දෙමව්පියො අතෙනුත් වැරදි වෙනවා. දරුවො ගැන හිතල අම්මලා තාත්තල වැරදි නොකර ඉන්න උත්සහ කරත් සමහර වෙලාවට අපේ හිත අස්සෙ අඬ අඬ ඉන්න, ආදරේ ඉල්ලන මනුස්සය කැමතියි වැරැද්දක් කරලා හරි තමන්ගෙ හිත අස්සෙ ඉන්න ඒ මිනිහව සනසන්න. මං හිතන්නෙ වසන්තයි මමයි අතෙනුත් උනේ ඒක.

මෙතන මියුරුව රැවටිච්ච තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔයා රැවටිලා අසරණ වෙලා බව මම දන්නවා. මං මේ ගමන ආවෙ දූ ලඟ වැඳ වැටිලා හරි මගෙ මේ ඉල්ලීමට කන් දෙන්න කියන්න. තරුණ කාලෙ මනුස්සයෙක් විදියට මං මොන වරද කරත් වයස්ගත මනුස්සයෙක් විදියට මට රකින්න පවුලක් තියෙනව දූ. මං රැකුණොත්, මගෙ නම්බුව රැකුණොත් විතරයි ඒ පවුල රැකෙන්නෙ. මං කියන දේ අසාධාරණ බව මම දන්නවා. ඒත් අපි දෙන්න තුන්දෙනාම ගිලිලා ඉන්න මේ ප්‍රශ්නෙ සාධාරණයක් වෙන විදියට විසඳන්න පුලුවන් කොහොමද කියන එක මම දන්නෙ නෑ දූ.

දූ මම කිව්ව විදියට කටයුතු ලෑස්ති කරගන්න කැමති නම් මට පුලුවන් උපරිම උදව්ව ඒකට දෙන්න. ඔයාට මං දිහා තාත්තා වගේ බලන්න බැරි බව මම දන්නවා දූ. ඒත් තමන් වෙනුවෙනුත්, මගෙ පුතා වෙනුවෙනුත් මං කිව්ව දේට කැමතිවෙන්න කියල මං දූගෙන් වැඳල හරි ඉල්ලන්න හිතාගෙනයි මේ ගමන ආවෙ”

නදී උන්නේ හඬා වැලපෙන්නද, ගහමරාගන්නද කියා හිතාගන්න බැරුවය, ආදරයක් අවසානයේ මෙච්චර ලොකු රැවටීමක් තියෙන්න පුලුවන්ද කියා නදීට නොහිතුනා නොවේ. අනික් අතට ඒ රැවටීම කලේ මියුරු උනානම් තමන්ට ඒක දරාගන්න පොඩි හෝ ඉඩක් තිබුණි. ඒත් තමන්ට ආදරේ අහිමි වී තිබෙන්නෙත්, තමන් රැවටී තිබෙන්නෙත් තමන්ගේම දෙමව්පියන්ගෙන් කියා දැනගැනීම තරම් වේදනාවක් දරුවෙක්ට තියෙන්න පුලුවන්ද කියා නදී නැවත නැවත හිතුවාය.

“මට තේරෙන්නෙ නෑ මම මොනවද කරන්න ඕන කියල” නදී කිව්වේ ක්ලීටස්ට ඇහෙන්නට හෝ ඔහුගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවේ. හඬා වැලපෙන තමන්ගේ හිතෙන්ම අහන්නට මෙනි. එහෙත් ඒ ප්‍රශ්නය සවන වැකුණූ ක්ලීටස්ට ඒකට උත්තර නොදී ඉන්න පුලුවන්කමක් තිබුනේ නැත.

“මට නොතේරෙනව නෙවෙයි දූ. මම දන්නවා. තමන්ව ලොකුවටම රවට්ටල තියෙන්නෙ තමන්ගෙ මව් දෙමව්පියො කියල දැනගත්තම දරුවෙක්ට දැනෙන වේදනාව කොච්චරද කියල කියන්න මට තේරෙන්නෙ නෑ. ඒත් ඒ මොන දේ උනත් ඔයායි මියුරුයි කියන්නෙ ඔයා පිළිගන්න කැමති උනත් අකමැති උනත් මගේ දරුවො. ඔයාල දෙන්නගෙම ඇඟේ දුවන්නෙ මගේ ලේ. එහෙම එකේ මට පුලුවන්කමක් නෑ එක දරුවෙක්ගෙ සුබ සෙත වෙනුවෙන් තව දරුවෙක්ගෙ ජීවිතේ විනාස වෙනවා දකින්න මට පුලුවන්කමක් නෑ පුතා. මගෙන් ඔයාට වෙන්න තිබ්බ යුතුකම් මහ ගොඩක් මට කරන්න උනේ නැ. සමහරවිට මේක වෙන්න පුලුවන් මට එහෙම යුතුකමක් කරන්න ලැබෙන අන්තිම අවස්තාව, ඔයාට වගේම මියුරුටත්”

“යුතුකම් ඉස්ට කරා කියල සර් හිතනවද මට මගේ මුලු ජීවිත කාලෙ පුරාවටම මේ වේදනාවෙන් ගැලවෙන්න පුලුවන් වෙයි කියල. සර් අද උනත් ඇවිල්ලා ඔය කතාව කිව්වෙ සර්ගෙ පුතාව ගලවගන්න මිසක් මං ගැන අනුකම්පාවෙන් නෙවෙයි කියලා මං දන්නව. එච්චර දෙයක්වත් තේරුම් ගන්න බැරි මෝඩ ගෑණියෙක් නෙවෙයි මං. තමන් ආදරේ කල, එකට නිදාගත්ත ගෑණි සර් කියන විදියට එකපාර අතුරුදන් වෙලා ගියාම මොකද උනේ කියල හෙව්වෙ නැති මනුස්සය අද මෙහෙම ගමනක් ආවෙ මට යුතුකම් ඉස්ට කරන්න කියල මම කොහොමද සර් විශ්වාස කරන්නෙ?” නදී එහෙම කියා හිනාවක් පෑවාය.

ක්ලීටස් උන්නේ ඒ දරාගන්න බැරුවය. දරාගන්න වැඩිපුරම අමාරු තාත්තා කියා තමන්ව අමතන්න ඕන දරුවා තමන්ට සර් කියා ඇමතීමද? නැතුනම් නදීගේ දෙතොල අග රැඳී තිබුණ සමච්චල් සහගත හිනාවද කියා ක්ලීටස් ඇසුවේ දෙදෙනා අතර වූ නිහඬබව බිඳින්න මෙන් සුසුමක් පා කර හරිමිනි.

“මං සර් කිව්ව දේට කැමතිවෙන්නම් සර්, ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. මං කියන්නෙ අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ ආදරේ හරියාකාරව ලැබෙන්නෙ නැතුව පුංචි කාලෙ ඉඳල හැදිච්ච දරුවෙක්. වරද කාගෙ උනත් අන්තිමේ ඒකට වන්දි ගෙවන්න සිද්ද වුනේ මට. මට මියුරුටත් ඒක වෙන්න දෙන්න බෑ සර්.

නොදැන උනත් මම එයාට නොසෑහෙන්න ආදරේ කරා. දැන් ඒ මගෙම සහෝදරයෙක් කියල දැනගෙන මට එයාට රිද්දන්න බෑ. සර් කියන දේට මම කැමති වෙන්නම්. මට වෙන කරන්න දෙයක් නෑ සර්. හැබැයි මට රස්සාවක් හොයල දෙන්න සර්. මට ආපහු ඔෆිස් යන්න බෑනෙ. මට කාගෙවත් සල්ලි වලින් ජීවත්වෙන්න ඕන නෑ. ඒත් මට ආච්චි අම්මවයි, මොන දේ උනත් මම මෙච්චර කාලයක් තාත්තා කියල හිතාගෙන උන්නු මනුස්සයවයි මෙතන දාලා වෙන තැනක ගිහින් පදිංචි වෙන්න බෑ”

ක්ලීටස් එදා අල්විස් වත්තෙන් නික්ම ගියේ හිතෙන් අතැර ගන්නට ආ බරක් අත හැර ගන්නට හැකි වූ නමුත් ඊට වඩා බරක් හිතේ තැන්පත් කරගෙන ආ මනුස්සයෙක් විලසින් ය. තමන් එක දරුවෙක්ගේ ජීවිතය බේරගන්නට තවත් දරුවෙක්ගේ ජීවිතයේ තිබූ සියලුම සැනසීම අහිමි කර දැමූ වග ක්ලීටස්ට දරාගන්න පුලුවන් වුණේ නැත.

ජීවිතේ සමහර තැන්වල තමන්ට තේරීම් කරන්නට වෙන බව දැන උන් නමුත් තාත්තා කෙනෙකු විදියට කවදාවත් තමන්ට දරුවන්ව තෝරා බේරා වෙන්කරගෙන සලකන්න පුලුවන් වෙනු ඇතැයි ක්ලීටස් සිතා තිබුනේ නැත.

තමන් අන්තිමේ නදීට රිදවා මියුරුට සඟවා කල මේ දෙයින් බලාපොරොත්තු උනේ ජීවිතයේ ඉතුරු කාලය ගෙවන්න මානසික සහනයක් සොයා ගන්න උනත් ඒ බලාපොරොත්තුව හැබෑවටම ඉටු වුණාද කියාත් ක්ලීටස් ගෙදර යන අතරවාරයේත් හිතුවේය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles