“මොකෝ විල්සන් අයියා එකපාර මෙහෙම මිසින් උනේ?” කියාගෙන මිලින්දයා නදීලාගෙ අලුත් පොට් එකට ආවේ විල්සන් කාරයා කිව්ව විදියටම හැමෝටම හොරෙන් කාගෙවත් ඇහැ ගැටෙන්නේ නැති විදියටය.
“මේ ගෑණුන්ගෙ වැරදි වලට අපි වගෙ අහිංසක පිරිමි තමයි බං අන්තිමේ දුක් විඳින්නෙ” කියා කියන ගමන් විල්සන් මිලින්ද අරගෙන ආව ශොට් එක ශේප් එක කටට දාගත්තේ මූණ ඇඹුල් කරගන්න ගමන් ය.
“අර මොකෝ සීන් එක?”
“අනේ බං මේ වසන්තිට ලැජ්ජ නෑනෙ. මං දන්නෙත් නැතුව ඒකි ලංකාවෙ ඉන්න කාලෙ වෙන කවුද මිනිහෙක් එක්කල සෙට් වෙලානෙ ඉඳල තියෙන්නෙ”
“අම්මට හුඩු, ඉතින්, ඒ මිනිහ එක්කද වසන්තක්ක රට ගිහින් තියෙන්නෙ?”
“නෑ යකෝ, ඒකි ගිහින් තියෙන්නෙ තනියෙන්. මගේ තනියට ඒකිගෙයි අරූගෙයි ළමේක් මං ගාව තියලා”
“අම්මටසිරි ඒ කියන්නෙ දැන් විල්සන් අයියට තව දරුවෙක් හම්බෙන්නද යන්නේ?”
“අනේ මේ ගොං කතා කියන්න එපා. යකෝ පිරිමින්ට ළමයි හම්බෙනවද?”
“ඉතින් දැන් ඔය කිව්වෙ ඔයාට ළමේක් හම්බෙන්න ඉන්නෙ කියලා”
“මං කිව්වෙ නදී ගැන”
“ඒ කිව්වෙ?”
“ඒ කිව්වෙ ඉංගිරිසි හෝඩියෙ පලවෙනි අකුර. නදී කියන්නෙ වසන්තට අර හොර මිනිහගෙන් ලැබිච්ච දරුවලු”
“මල ජූලියයි කිව්වලු, දැන් නදී නංගිය දන්නවද විල්සන් අයියා නෙවෙයි කියල එයාගෙ තාත්තා?”
“ඔව් ඒකි දන්නවා”
“අනේ පව් විල්සන් අයියා නදී නංගි, කෝ දැන් නංගි? එයා අඬනවද?”
“ඇයි අහන්නෙ උඹ නලවන්නද? අනේ මේ මෙන්න මෙහෙං වාඩිවෙයක්. ඊට එහා තව කතාවක් තියෙනව උඹට කියන්න, හැබැයි පුතෝ උඹ මේව කොහෙ කොහෙ හරි උඹ ලගින්න යන තැන්වල කියල තිබ්බොත් මතක තියාගන් මුලින් එලියට එන්නෙ අලියා බෙට්ට දාන වීඩියෝ එකක් නෙවෙයි උඹ දාන එකක් බව මතක තියාගනිං. මේ විල්සන් එක්ක ඕවා වානා” කියා විල්සන් කිව්වාට “ගෑණි හොර මිනිහෙක් එක්ක ලැගල ළමේක් හදාගන්න කම් මෙලෝ දෙයක් නොදැක්ක උඹ මං බෙට්ටක් දාන එක දකීද?” කියා අහන්න හිතිච්ච කට මිලින්ද වහං උන්නේ ඕව නිකන් ඕන නැති ප්‍රශ්න බව දන්න හන්දාය.
“මොකද්ද දැන් ඔය කියන්න තියෙන අනිත් කතාව?”
“මං මේක උඹට කියන එක හරිද වැරදිද කියන්න මම දන්නෙ නෑ බං. මං නදී මගෙ දරුවෙක් නෙවෙයි කියල දැනගත්තෙ දැන් මේ සති කීපෙකට කලින් උනාට ගෙවිච්ච අවුරුදු විසි ගාණ පුරාවටම ඒකිගෙ තාත්තා උනේ මම. ඒකි තාත්තෙ කිව්වෙ මට. එහෙම එකේ මං හිතන්නෙ ඒකිට වෙච්ච දේට ඔක්කොටම වඩා දුක්වෙන්න අයිතිය තියෙන්නෙ මට” කියා විල්සන් කිව්වෙ මිලින්ද මීට කලින් කවදාවත්ම විල්සන්ගේ කට හඬෙන් අහලා තිබ්බ නැති විදියේ ගැඹුරු එහෙත් ඇඬුම්බර හඬකිනි. මිලින්ද නිහඬවම බිම බලාගෙනම ඒ වචන අහගෙන උන්නේ විල්සන්ගේ ඒ හඬේ රැඳී තිබූණ වේදනාව හන්දාමය. දවස ගාණේ බීගෙන පිස්සු නැටුව විල්සන් අයියා නරක මනුස්සයෙක් නොවන බව දන්නේ තමන් පමණක් නොවේ මුලු අල්විස් වත්තම ඒක දනී. එහෙව් මිනිහා අමාරුවෙ වැටිච්ච වෙලාවට තමන්ට ඇහුන්කන් දෙන්න එක්ක කිව්ව එකත් කොච්චර වටිනවද කියා මිලින්දට නොහිත ඉන්න පුලුවන් උනේ නැත.
“වසන්තා මාව රවට්ටපු එක ගැන මට දුකක් නෑ බං. ඉස්කෝලෙ යන කාලෙ මාත් එක්ක යාලුවෙලා ඇවිත් ක්සාද බැන්දට ඒකිට ඇත්තටම මට වඩා දහස් ගුණයක් හොඳමිනිහෙක්ව බඳින්න තිබ්බා. ඒකිට ඉගෙනීම පවා නැති උනේ මාත් එක්ක පැටලිච්ච එකෙන් බව මම නෑ කියන්නෙ නෑ. ඒ නිසා මාව කසාද බැඳල ඉද්දි හරි ඒකි වෙන මිනිහෙක් එක්ක මොන මගුල නැටුවත් මං ඒකිට වරදක් කියන්නෙ නෑ.
මං කියන්නෙ කවදාවත් එහෙම කසාදයක් කරගන්න උන්නු මිනිහෙක් නෙවෙයි. වසන්තාව බැන්දයින් පස්සෙ ඒකි එක්ක බුදියගන්න තිබ්බ උවමනාව මට තිබ්බෙ නෑ බං හරිහමං රස්සාවක් හොයාගෙන ඒකිට කන්න අඳින්න දෙන්න, ආස දෙයක් අරගෙන දෙන්න.
එහෙම උනාම ගෑණු පිටයන එක වැරදි නෑ බව. තමන්ට මිනිහෙක් ඉද්දි වෙන මිනිස්සු එක්කල ලගින ගෑණුන්ට අපි මොන කතාව, මොන පදේ කිව්වත් උන්ගෙ පැත්තෙනුත් උන්ට කියන්න සමහරවිට මොකක් හරි කතාවක් ඇති. වසන්තටත් එහෙම කියන්න කතාවක් තියෙන්න ඇති. ඒකි මාව රවට්ටපු එක ගැන මම දුක් නොවෙන්න ආන් ඒක හන්දා. ඒ උනාට ඒකි නදීව රවට්ටපු එක ගැන මට දරාගන්න අමාරුයි පුතේ. මට ඒකට වසන්තට කවදාවත් නදීට කල දේට සමාව දෙන්න බෑ. මොන දේ උනත් කෙල්ලෙක් හැදෙන්න ඕන අම්මා කෙනෙක් ලඟ. කෙල්ලෙක්ට මහ ගොඩක් දේවල් තියෙනවා අම්මා කෙනෙක්ගෙන් අහගන්න, ඉගෙන ගන්න. කොච්චර ආදරේ උනත් ඒ සමහර දේවල් දුවෙක්ට කියල දෙන්න තාත්තා කෙනෙක්ට බෑ. වසන්තා ගිය දා ඉඳල නදීට අම්මා උන්නේ චන්ද්‍රකාන්ති. මොන තරං බැණ අඬ ගහ ගත්තත් මං ඒ ගෑණිට රෙස්පෙක්ට් කරන්නෙ ආන් ඒක හන්දා. ඒකි නියම අම්මා කෙනෙක්.
අම්මගෙයි තාත්තගෙයි දෙන්නම ආදරේ නැතුව කෙල්ලෙක්ට හැදෙන්න වෙන එක කොච්චර ලොකු දුකක්ද කියල තේරුම්ගන්න උඹටවත් මටවත් බෑ මිලින්ද. අපි පිරිමි, අපි කොහොමද ගෑණියෙක්ගෙ හිත වැඩ කරන විදිය තේරුම් ගන්නේ?”
“නදී නංගිට අම්මගෙ ආදරේ විතරනෙ විල්සන් අයියා මිස් උනේ. බීගෙන හරි විල්සන් අයියා ඒකිව පරෙස්සම් කලා නේද?” කියා මිලින්ද අහපු කාරණාවට විල්සන්ට දෙන්න උත්තරයක් තිබුණ බව ඇත්තකි. ඒත් ඒ දරාගන්න අමාරු, අප්‍රසන්න ඇත්තක කතාවකි.
අමයුරු ප්‍රභාතුත් ඔහුගේ අයියා ජගතුත් එක්ක එක්කහු වී නදීව හෙව්වෙ නැති තැනක් තිබ්බේ නැත. අමයුරු ඒ සියල්ල කරේ අයියා කෙනෙකුගේ ආදරයත් යුතුකමක් වගකීමත් මල්ලී කෙනෙකු පරිස්සම් කිරීම, රැකබලා ගැනීම කියා හිතමිනි.
කාලය ගෙවුණ බව ඇත්තකි. එහෙත් විය යුතු දේවල් වන එක නවත්තන්න අපිට බැරිය. මියුරු හෙමින් සැරේ රැවුල කොණ්ඩය කපා ආයෙම වරක් පිළිවෙලකට උන්නු එක ගැන ධම්මිකා කොච්චර සන්තෝස උනත් මියුරුගේ ඇස් අස්සේ වෙනදා තිබිච්ච සතුට, සැනසුම සහ බැබලීම නොමැති බව තේරුම්ගත්තා වූද දුටුවා වූද දෙනෙත් යුවල දෙකක්ම ඒ නිවසේ වාසය කලහ.
ඒ අතරින් ක්ලීටස් මියුරුගේ සතුට සොරාගන්න වුණ එක ගැන කොච්චර දුක් උනත් එහෙම දෙයක් කර හෝ දරුවන් අතෙන් පාපයක් වෙන එක නවත්ත ගත්ත එක ගැන් සන්තෝස උනේය. අනෙක් අතට නදී තමන්ව හැරගිය එකට මෙච්චර දුක්වෙච්ච දරුවා මේ සියල්ල පිටුපස සැඟවී තිබුන ඇත්ත කතාව දැනගත්තා නම් කොච්චර මානසිකව වැටෙන්න තිබුණාද කියා හිතෙද්දී තමන් කලේ හරි දේ බව හිතමින් ක්ලීටස් තමන්ගේම හිත සනසගත්තේය.
අමයුරු ඇත්තටම මල්ලී ගැන දුක්වුණේය. මල්ලී කවදාවත් තමන් එක්ක මල්ලීගේ පෙම්වතිය ගැන කියා තිබ්බේ නැතත් මල්ලිගේ කාර් එකේ ඉස්සරහ යන ලස්සන කෙල්ලත්, මල්ලිගේ දෙනෙත් අස්සේ ඒ දවස්වල තිබූ දිදුලීමත් දකිද්දී ඒ වනාහී බොරුකාර ආදරයක් නොවන බව තේරුම් ගන්න අමයුරුට අපහසු උනේ නැත. එහෙව් සැබෑ ආදරයක් එකිනෙකා වෙත පුද කරමින් උන් දෙදෙනෙකුට වෙන් වන්න වෙච්ච එක ගැන අමයුරු තමන්ගේ බිරිඳ එක්ක කියද්දී ඇය කිව්වේත් “ඔයා හිතන්නකො අපිට ඔහොම දෙයක් උනානම්? පව් අනේ” කියාය.
අමයුරු නදී ගැන හොයන්න වෙහෙසුනේ ආන් ඒ හන්දාමය.
කාමරය අස්සට වී ලැප්ටොප් පරිගණකයෙන් රාජකාරි වැඩක් කරමින් උන්නු නදී ගෙයින් එලියට ආවේ ගෙදර දොර සීනුව නාද වෙන ශබ්ධය ඇසුණු නිසාවෙන් ය. දවල් කෑම කෑවයින් පස්සේ අත්තම්මා ඉන්නේ කෙටි නින්දකට වැටී බව දන්න හන්දාමය දොර අරින්න නදී හිතුවාය.
විවර වුණු දොරෙන් එහා පැත්තේ උන්නේ නදී දකින්න බලාපොරොත්තු වෙච්ච කෙනෙකු නොවේ. එහෙත් ජීවිතය පිළිගන්න වෙන්නෙ පිදෙන හැටියෙන් බව දන්න හන්දාම නදී නිහඬවම හිටගෙන උන්නාය.