තිස් එක් වැනි නෙත් සැරිය
චත්‍ර කිසිවක් නොපවසා සිටින්නට සිතුවේය. එහෙත් යලි ඔහු අතීත මතකය දිග හැරියේය. සිහිනි සහ අම්මලා සිතා සිටින්නේ කෙලෙසදැයි යලිත් කීවේය.
” කපිල තමයි නංගිගෙ ඔලුවට ඔය කතාව දැම්මේ අයූ .. ඒක උගේ අවුලක් නෙවෙයි. ඌ මට නරකක් වේවි බයට තමයි එහෙම ඇහැ ගහගෙන ඉන්නේ… මං ඔයාව රේප් කරලත් නම්, ඔයා මෙච්චර ඉක්මනට මට ආදරේ පෙන්නන එක ..මං කියන්නේ කැමැත්තක් හරි පෙන්නන එක හරිම ඇබ්නෝර්මල් කියලා ඒ දෙන්නම කියන්නේ…. ඒත්, නංගි එදා කියපු එක කතාවක් එයා ගොතලා කියලා තියෙන්නේ අයූ?… ඔයා මගෙන් පලිගන්න හිතාගෙන මට ලං වෙන්න හදනවා කියලා මම හිතන්නේ නැහැ දැන් ….. මට දැනෙන දේ ඊට වඩා වෙනස් …. “
” එතකොට ඔයාගේ අම්මා, අප්පච්චී මට ආදරේ බව පෙන්නන්නේ මං ඔයාට විරුද්දව මොකක් හරි කරාවි බයටද?..”
අයත්මා එක්වරම එලෙසද ඇසුවාය.
” නෑ කෙල්ල නෑ … ඇත්තටම නෑ … අම්මා ඇත්තටම ඔයාට ආදරෙයි. එයායි අප්පච්චියි මං ගැන ඉන්නේ හෙනම කලකිරීමෙන් … අතෑරගන්න බැරි කමට මාව අල්ලන් ඉන්නවාද කියලත් මට හිතෙනවා සමහර වෙලාවට… “
අයත්මා චත්‍ර දෙස බලා උන්නාය. ඔහු පවසන්නේ මුසාවක් නොවන බව විශ්වාසය. එහෙත් සියල්ල පැටලිලි ගොඩකි.
” සිහිනි මාත් එක්ක එච්චර වෛර බැඳන් ඉන්නේ එතකොට මං ඔයාගෙ පලිගන්න හිතාගෙන ඔයාට ආදරේ කිව්වා කියලද?…”
චත්‍රගේ දෑස් විසල් විය. හදවතේ රුධිර ගමනාගමනය අසාමාන්‍ය ලෙසින් වැඩි වේගයකට වැටුනේය. ඇය පැවසූවේ කුමක්දැයි යලි කල්පනා කරන්නට උත්සාහ කලේය. සුක්කානම මත නිසොල්මනේ තිබූ දෑත් ඔහු ඉතා තදින් ඒ මතම ගුලි කරගත්තේය. දෑස් පියා ගත්තේය.
” සිහිනි මාත් එක්ක එච්චර වෛර බැඳන් ඉන්නේ එතකොට මං ඔයාගෙ පලිගන්න හිතාගෙන ඔයාට ආදරේ කිව්වා කියලද?…”
ඇය පැවසූවේ එලෙසින් බව තහවුරු කරගත්තේය. සැනින් ඇය වෙත හැරුනේය.
” කොයි වෙලේද, කාටද කිව්වේ ?..”
ඔහුට ද වචන ගැලපුනේ නැත.
“මොකද්ද?..”
” මට ආදරෙයි කියලා….”
හොරාට කලින් කෙසෙල් කැන වැට පැන ඇති බව අයත්මා වටහා ගත්තේ පියවි සිහියට එලැබෙමිනි. ඉතින්, කුමක් වේද? එහි වරදක් නැත. තමා චත්‍රට පෙම් කරන බව දැන් තමාට විශ්වාසය. එය පාසැළ් කාලයේ පටන් ඉපැදෙමින් තිබූ නමක් නොදන්නා හැඟීමක දිගුවක් බවද විශ්වාසය.
” සමහර දේවල් කියන්නම ඕනි නෑ චත්‍ර .. තේරුම් ගන්න ඕනි .. විශේෂයෙන්ම පොලිටීශියන් කෙනෙක් වුනාම …”
ඕ මොහොතකට මුලු ලෝකයම අමතක කලාය. ඇය වටා වූ නේක විද ප්රශ්නකාරී සිද්දීන් කෙරෙන්ද මිදුණාය. හදවත පුරා පොපියන චමත්කාරයට එලි බසින්නට දුන්නාය. කුසෙහි පන ගසමින් උන් සමනලුන්ට පියාඹන්නට දුන්නාය. මියැදුන මල් යායක යළි මල් පීදෙන සවසක් වෙනුවෙන් ඉඩ හැදුවාය.
” අයූ…?”
” මේකට කියන්නේ ආදරේ කියලද දන්නේ නෑ .. ඒත් ඔයාව මතක් වෙන හැම වතාවකම මගේ මෙතැනට අමුතුම හිරි වැටීමක් දැනෙනවා….”
ඕ හදවත පෙන්වූවාය. චත්‍ර ඊළඟ තත්පරයේ ඕ වැළඳ ගත්තේය. දෙදෙනාම උන්නේ සිහියෙන් මිදෙමින් යලි සිහියට එලැබෙමිනි. වටපිටාව ගැන කිසිඳු වගක් නැතිවය. දෙදෙනා තුලම අනෙකා කෙරෙහි වන ප්‍රේමය උතුරා හැලෙන්නට දෙමිනි. අයත්මා චත්‍රගේ දෑතින්ම අල්ලා ගත්තේය.
” ඔයාගේ වැඩ කටයුතු හෙමින් සීරුවේ කරගන්න ….. මම ඔයා එක්ක ඉන්නවා…”
අයත්මා කීවේ චත්‍රගේ දෑස් තෙත් කරවමිනි. සියල්ල වෙනස් වන්නට ගත්තේ කෙදිනක පටන්දැයි චත්‍රට වැටහෙන්නේ නැත,. මේ වසර ගණනාවක් තිස්සේ තමා ප්‍රතික්ශේප කර ඇයය. තමාට ආදරේ කිරීම කිසිදිනෙක ඉටු නොවන සිහිනයකැයි කියූ ඇයය. ඇගේ ජීවිතයෙන් ඉවත්ව සිටින්නයැයි කියූ ඇයය.
” කවුද අර ගර්ල් …?”
එක්වරම ඕ සැන්ඩ්‍රාගේ සිදුවීම සිහිපත් කරමින් විමසුවාය. චත්‍ර ඇගේ මුහූනේ වූ අනපේක්ශිත අහිමිවීමේ බියක් ඉතා ඉක්මනින් කියවා ගත්තේය. එය හදිසියේ හටගන්නා සියුම් පීඩනයක් බව චත්රටද අත්දැකීම් සහිතවම මතකය.
ඔහු වහා සැන්ඩ්‍රා කවුරුන්දැයි කීවේය. ඇගේ ව්‍යාපෘතිය පිළිබඳවද යම් විස්තරයක් කීවේය. අයත්මා වහා මුහුන සකසා ගත්තාය. ඒ එවැන්නක් කලබලයකින් විමසූ තැනැත්තිය තමා නොවන බව පෙන්වමිනි. චත්‍ර ඇයගේ කොපුලකට ඇයට නොදැනෙන හාදුවක් පා කලේය.
සියල්ලම ඉතා ඉක්මනින් වෙනස් කර ගත යුතු නැති වග චත්‍ර දනී. අයත්මා ඔහුට සිනහවක් පමණක් පා කලාය. චත්‍ර පියවි සිහියට පිවිසියේ ඒ සිනහවේ එල්ලෙමිනි.
” මේක හීනයක් වගෙයි අප්පා … මට…… මට වෙන කිසිම කෙනෙක්ව මගේ මූණට හම්බ වෙන්නේ නැතුව මගේ කාමරේට ගිහින්, ඔයාගේ අර රෝස පාට නයිට් ඩ්‍රෙස් එක ගුලි කරගෙන සතියක් විතර නිදාගන්න ඕනි අයූ ….”
අයත්මා සිනාසුනාය. මේ සියල්ල සිදුවෙන වේගය ඇයටද අරුමයකි. එහෙත් මේවා සිදුවන්නේය.
එසේනම් තමා සිතූ ලෙසම එය ඔහු රැගෙන ගොසිනි. තමා පැවසුවේ කුමක්දැයි ආපසු සිතා වටහාගෙන, එයට අයත්මාගේ සිනහවේ වූ අදාල භාවයද ගලපාගෙන චත්‍ර මෝඩ පහේ සිනහවක් පෑවේය. ඇය මෙලෙසින් සන්සුන්ව සිටීමම චත්‍රට මහමෙරක ප්‍රීතියකි.
” අයියාට කියනවද ? ටිකක් පරක්කු වෙනවා කියලා….”
චත්‍ර විමසන පරක්කුවට අයත්මා අවිශ්ක අමතා ප්‍රමාද වෙන බව කීවාය. චත්‍ර ඇගේ එක් අතක් අල්ලාගෙන අනෙක් අතින් සුක්කානම ට මඟ කිවේය. අයත්මා උන්නේ චත්‍ර දෙසත් පාරේ ඉදිරියත් බලමිනි. හිත පුරා නලියන හැඟීමට තවම පැහැදිලි නමක් දාන්නට ඇයට සිතෙන්නේ නැත.
” අයූ … “
අයත්මා චත්‍ර දෙස හැරී බැලුවාය.
” මාව කොනිත්තනවකෝ …මේ සිද්ද වෙන්නේ මම පිස්සුවෙන් වගේ හීනෙන් දකින ස්ටෝරි බෝර්ඩ් එකක ලයිව් එකක් අයූ .. මට බයයි අප්පා….”
අයත්මා සිනාසුනාය. චත්‍ර පොඩි එකෙකු මෙන් ය. ඕ ඔහුගේ පිටි අල්ල කෙනිත්තුවාය. චත්‍ර හිස සලා මේ සිහිනයක් නොවන වග අවධාරනය කර ගත් බව පෙන්වූයේය. එවර දෙදෙනාම සිනාසුනෝය.
චත්‍ර කලේ අයත්මාගේ අතකින් අල්ලා සිටීමම පමණි. නිවෙස අසලින් ඕ ඇරලවන්නට අවශ්‍ය වුවද, අවිශ්ක සමඟ කතා බහ කරන තෙක් ඉවසන්නට ඔහු පසුව එකඟ වූවේය. නිවෙසට යන තුරුම අයත්මා උන්නේ චත්‍ර සමඟ ඇමතුමේය. දෙදෙනාම උන්නේ එකිනෙකා මෙතරම් කාලයක් බලාපොරොත්තු වූ යමක් හදිසියේම හමුවූ ප්‍රහර්ෂය සමඟය. සවස හතට පමණ අයත්මා චත්‍රට කෙටි පණිවිඩයක් තැඹුවාය.
” දැන් සතුට වැඩියි කියලා, රෑට බීලා පිස්සෙක් වගේ පාරවල් වල අඬ අඬා ඉන්නෙපා…”
ඒ සැනින් චත්‍රගෙන් ඇමතුමක් ඇගේ ජංගම දුරකතන තිරය මත මැවුනේය.
” මොකක් ඒ කිව්වා ?…”
චත්‍ර බැල්කනියේ වූ කුඩා අසුනට වැටුනේය.
” ආයේ කියන්නේ නෑ … එකපාරයි කියන්නේ…”
අයත්මා කෝල බව ඉක්මවා යන හුරුතල් හඬකින් කීවාය.
” අහුවෙනවකෝ …”
චත්‍ර අසුනේ වූ කුෂන් කොට්ටය මිරිකා දමා පපුවට තුරුළු කරගන්නා අතරේ කීවේය.
” ඔයා දවසක් බීලා අර කපිල කියන ගල් ගෙම්බා එක්ක අඬ අඬා එක එක ඒව්වා කියව කියවා හිටියා කියලා අයියාගේ යාලුවෙක් කියලා තිබුනා… ඒ අයියාගේ රෙස්ටෝරන්ට් එකෙන් එලියේ හිටියට, රෙස්ටෝරන්ට් එකට ඇහුනලු ඔයාගේ කල් කිරියාව ….”
අයත්මා සිනාසෙමින් කීවා වුඅද චත්‍ර එය බරසාරව ගත්තේය. තැන සහ දිනය එක්වරම සිහි කරගන්නට නොහැකි වීම නිසා චත්‍ර තවත් බරක් තමා මතට පටවා ගත්තේය.
” හෙලෝ …”
” ඔව් අයූ … මට එකපාරටම සිද්දිය අමතක වුනා.. මම මේ කල්පනා කලේ මොකද්ද ඒ සීන් එක කියලා….”
” ඒක එච්චර දෙයක් නෙවෙයි. ඒ අයියා අයියාට කියලා තිබ්බ්බේ ඔයා යාලුවෙක් නම් පොඩ්ඩක් හොයලා බලන්න කියලා… රෙස්ටෝරන්ට් එකෙනුත් සෑහෙන ලිකර් අරගත්තා ඔයා කියලා….”
අයත්මා ඔහු සන්සුන් කරවන තරමේ ස්වරයකින් පැවසූවා වුවද, චත්‍රට එය සැහැල්ලුවෙන් අවසන් කරන්නට හැකි වූයේ නැත.
| අපේක්ෂා ගුණරත්න |