මතක දිගහැරුම 72 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ දෙවන දිගහැරුම ,

අලුත් නිවසේ පදිංචි වීම නිමිත්තෙන් උත්සවයක් ගැනීමට අපට අවස්ථාවක් නොලැබුණු නිසා දරුවන් දෙදෙනාගේ පලවන උපන්දිනය ඉතා හොඳින් සැමරීමට අප සූදානම් වූයෙමු.එහි සංගීතය සැපයීම වෙනුවෙන් එකල සිටි ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම වූ ජයන්ත රත්නායක අයියාගේ සංගීත කණ්ඩායමට අප ආරාධනා කළෙමු. කුඩා කල සිටම ජයන්ත අයියා ඇතුළු පවුලේ සැම අපගේ ළඟම හිතවතුන් වූ අතර අකාලයේ වියෝ වූ ජයන්ත අයියාව අදටත් මා සිහි කරන්නේ බොහොම ආදර ගෞරවයෙන් යුතුව ය.හෂාන්ගේත් මගෙත් නෑදෑ හිත මිතුරන් බොහෝ පිරිසක් සහ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ද , දරුවන්ගේ පලවන උපන්දිනයේ සතුට සැමරීමට අප හා එක් වූහ.මම සහ හෂාන් එක් වූ සෑම අවස්ථාවකටම අපගේ දරුවන් ද සහභාගි වූ නිසා හැම දෙනාගේම සිත් වල දරුවන් කෙරෙහි වූයේ අසීමිත ආදරයක් ය.

සියලු දෙනාගේ දෙනාගේ ආදරය සහ රැකවරණය මධ්‍යයේ අපගේ දරුවන් දෙදෙනා වැඩිණි.ඔවුන් දෙදෙනා ඇවිදීමට පටන් ගත් කාලයේ සිටම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇති උනන්දුව ඔවුන් තුළින් දක්නට ලැබුණි .පන්දුවට පහර දෙන ආකාරය සහ පන්දු යවන ආකාරයට අත් හසුරවමින් ඔවුන් දෙදෙනා කුඩා කල පටන්ම සෙල්ලම් කළහ.තරග සංචාරයන් වලට සහභාගි වූ විට හෂාන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකයන් නවාතැන් ගන්නා හෝටල් වල අපද නවාතැන් ගන්නා අතර එම හෝටල් වල එළිමහනෙහි හෝ වෙනත් නිදහස් ස්ථානවල ඔවුන් හට සෙල්ලම් කිරීමට අප අවස්ථාව සැලසූවෙමු.ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් තරගවලට සහභාගී වී නැවත පැමිණි පසු ඔවුන්ගේ හිස් ආවරණ සහ අත් වැසුම් එළිමහනෙහි තබන අතර දරුවන් දෙදෙනා එම ස්ථානවලට ගොස් ඒවා පැළඳගෙන ක්‍රීඩාවෙහි යෙදුනහ.මුරලිදරන් සහ අර්ජුන රණතුංග ඇතුළු අනෙක් සාමාජිකයන් ද දරුවන් දෙදෙනා සමග පන්දු යවමින් සෙල්ලම් කළ බව මට මතකය.

වරක් ගාල්ලේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අතර ක්‍රිකට් තරගයක් පැවතුන අතර අප නවාතැන් ගත්තේ ගාල්ලේ Light house හෝටලයේය.තරඟය අවසන් වී සියලු දෙනාම නැවත පැමිණි පසුව මා දරුවන් දෙදෙනාට හෝටලයේ පිහිටි මැද මිදුලෙහි සෙල්ලම් කිරීමට ඉඩ හැරියෙමි.ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් ද වරින් වර පැමිණ ඔවුන්ට එකතු වූ අතර කොතරම් වෙහෙස මහන්සි වී සිටිය ද ඔවුන් තුළ අප දරුවන් කෙරෙහි තිබූ ආදරය අති මහත් විය.එවැනි අවස්ථාවක ශේන් වෝන් පැමිණ දරුවන් දෙදෙනා සෙල්ලම් කරමින් සිටිනවා දැක ඔවුන් සමග එකතු වී මද වේලාවක් සෙල්ලම් කළේය.පසුව ඔහු මා හා කතා කිරීමට මා අසලට පැමිණියේය

” මේ දෙන්නා අත කරකවල බෝල දාන විදියෙන්ම මම කියන්නම් , කවදා හරි මේ දෙන්නා හොඳ දඟ පන්දු යවන්නෝ වෙලා ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහනවා. මගේ වචනය මතක තියාගන්න “

යනුවෙන් ඉංග්‍රීසි බසින් පැවසීය.කුඩා කල සිටම දරුවන් දෙදෙනාගේ දක්ෂතා දුටු මට ඇති වුයේ විශාල සතුටකි.කුඩා වයසේ පසු වූ ඔවුන් දෙදෙනා සෙල්ලම් කිරීම සඳහා කිසිම දිනක විවිධාකාරයේ සෙල්ලම් බඩු ඉල්ලූවේ නැත.ඔවුන් ඉල්ලූයේම ක්‍රිකට් පිති සහ බෝල පමණය.

කෙමෙන් කෙමෙන් වැඩෙන දරුවන් දෙදෙනාව පෙර පාසලකට ඇතුළත් කිරීමට ඉන්පසුව අපට වුවමනා විය.හිතවතුන් කිහිප දෙනෙකුගෙන්ම ලබාගත් තොරතුරු මත නාවල පිහිටි Easy kids නැමැති පෙර පාසලට අප දරුවන් දෙදෙනාව ඇතුළත් කළෙමු.එහි සිටි දිල්කි නැමති ගුරුවරිය දරුවන් දෙදෙනාම ඉතා ආදරයෙන් රැක බලා ගත්තාය.හෂාන්ගේ හොඳම මිතුරෙකු වූ සංජීවගේ සහ ශාන්තිනීගේ දියණිය සනිශ්කාද අප දරුවන් දෙදෙනා සමග එම පෙර පාසලට සහභාගී වූවාය.අදටත් ඔවුන් ඉතා හොද සහෝදරයන් ලෙස ඇසුරු කරති.දරුවන් දෙදෙනාව පෙර පාසලට ඇතුළත් කළ මුල් කාලයේ දී ,උදෑසන ඔවුන්ව පෙර පාසලට ඇතුළු කර මා නැවත පැමිණීමට සූදානම් වන විට ඔවුන් දෙදෙනා මා වෙත පැමිණෙමින් හඬන්නට පටන් ගනියි .ඇතැම් දිනවලදී මා හට පෙර පාසලට යාමට නොහැකි වූ විට නිවසේ සිටින කවුරුන් හෝ ඔවුන් දෙදෙනා සමඟ පෙර පාසලට ගොස් ඔවුන්ට පේන මානයේ එම පැය කිහිපයම ගත කළ අවස්ථාද තිබුණි.එසේ නොවුණහොත් ඔවුන් දෙදෙනා දිගින් දිගටම හඬමින් සිටියහ.අවුරුදු දෙකක පමණ කාලයක් පෙර පාසලේ ඉගෙනීමට නියමිතව තිබුණ ද ඇතැම් විට දරුවන් දෙදෙනා පෙර පාසල් යාමට වඩා හෂාන් සහ මා සමඟ දෙස් විදෙස් තරඟ සංචාර වලට සහභාගි විය.

වරක් හෂාන් හට බංගලාදේශයේ ක්‍රිකට් ක්ලබ් එකක ක්‍රීඩා කිරීම සඳහා මාස තුනක තරඟ සංචාරයක් යෙදුණු අතර , මා ද දරුවන් දෙදෙනා සමඟ එයට සහභාගි වූයෙමු.බංගලාදේශයේ පදිංචිව සිටි හෂාන්ගේ හොඳම මිතුරෙකු වූ හර්ෂ කල්දේරා අයියා ඇතුළු පවුලේ සැම දෙනාව මා විශේෂයෙන් සිහිපත් කළ යුතුය.අපි බංගලාදේශයට ගිය අවස්ථාවේදී අපට ඔවුන්ගේ නිවසේ නවාතැන් පහසුකම් ලබා දී ඔවුන් අපව මෙන්ම අපගේ දරුවන්වද ඉතා ආදරයෙන් රැකබලා ගත්හ.ඊට අමතරව බංගලාදේශයේ පදිංචිව සිටි බොහෝ ශ්‍රී ලාංකිකයන් ද අපට සහයෝගය දැක්වූහ.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles