ආතුරයන් මැද ආදරෙන් 10

කෑම මේසේ  කතාවෙච්ච රසවත් කතාබහ කිසි දෙයක් කේසරගේ ඔලුවට ගියේ නැත්තේ ඒකයි.මේ වෙන්න යන බල පෙරළියත් එක්ක තමන්ව අහුවෙලා තියෙන ගැටය ගැන තමන්ටවත් තේරුම් ගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තිබුණා.
හීනෙකින්වත් හිතපු නැති විදිහට දයාවංශ තමන්ගේ බෙල්ල මුලටම හිරවෙන විදිහට ගැටේ ගහලා තිබුණා.ඒත් කොයිම විදිහකින්වත් දයාවංශ වැරදිකාරයෙක් වෙලා හිටියේ නෑ.තමන්ට පොරොන්දු වෙච්ච විදිහටම තමන්ගේ නම ජනාධිපතිවරණයේ අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරලා සභා සම්මත කරලා දුන්නා.බෝම්බ සිද්ධිය සම්පූර්ණයෙන්ම අවුල වන්නේ ජයමහලා විදිහට තමයි පේන්නේ.
ජයමහලා අවුල වන දේශපාලන ගේම්වලට දයාවංශ ට කරන්න දෙයක් නැහැ  වගේ රඟපානවා. මුලින්ම ශංකර් එදා තමන්ට කිව්වා ..මේ සිද්ධියට ලොක්කා ඉන්වෝල් වෙන්නෙ නෑ.. මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම ලොක්කට ඇස් දෙක වගේ විශ්වාස ඔයාලා දෙන්න ලවා  කරවන්න කිව්වා කියලා.
හරි …..එතනින් තමයි මේ ගැටේ ගහන්න පටන් අරන් තියෙන්නේ.දයාවංශ උඹ නං මහා අමුම අමු තිරිසනෙක්.මෙච්චර උඹට දේවල් කරපු මාවත් උඹ මේ ගැටේට අහු කළා.ලිඳට වැටුණු මිනිහා ලින් කටින්ම තමයි ගොඩ එන්න ඕන.උඹට පාර පෙන්නපු ශංකර්ම මටත් පාර පෙන්නයි. බලමු කවුද දිනන්නෙ කියලා.දයාවංශ…උඹ හිතන තරම් ලේසියෙන් මාව මේ ගැටේට අහු කරන්න හම්බවෙන්නෙ නෑ… යකාට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ..ශංකර් හා කියපු වෙලේ අද රෑම කොහොම හරි හම්බවෙන්න ඕනේ..මිනිහා මේ ටිකේ ආපහු ලංකාවට ඇවිල්ලා ඉන්නේ..කේසර කෑම මේසෙන් නැගිට්ටා.

“අනේ ඇයි මේ… කෑමත් නොකා”.

කියල නර්මදා ඇහුවට උත්තර නොදීම කේසර යන්න ගියා.

“මේ ටිකේම තාත්තා මොකක් හරි දේකට හිත නරක් කරගෙන ඉන්න පුතේ…ජනාධිපතිවරණයක් හින්දා අන්තිමේදී අපිට තාත්තව නැති වෙයි කියලා මට බයයි.මගේ ජීවිතයේ ආදරේ කියලා බිංදුවක් හරි මම වින්දේ ඔයාගේ තාත්තගෙන්..”

නර්මදා වර්ණාසි දිහා බලලා දුකෙන් හිනාවුණා.

අලියෙක් දණගහලා ඉන්න විදිහට හදල තිබුණු කේසරගේ ගෙදර අලියගෙ කුම්බස් තලය හරිය තිබුණු වර්ණාසිගේ කාමරයට අලියගෙ පිට ඉවර වෙන හරියෙන් වලිගෙ පටන් ගන්න හරියෙන් මැදට වෙන්න හදලා තිබුණු ජාදු ගෙ කාමරය හොඳටම පෙනුනා.මේ මහ රෑත් ජාදු ගේ කාමරයෙන්
කනාමැදිරියෝ විස්සක තිහක විතර එළියක් විහිදෙන හැටි වර්ණාසි බලාගෙන උන්නා.

all thoughts , all passions
all delights  whatever
Stirs this mortal  frame
All are but ministers of love
And feed his sacred flame…

සෑම සිතුවිල්ලක්ම සෑම ආශාවක්ම ආශාවක් ම
සෑම ප්‍රීතියක්ම
ඇවිස්සී ගියහොත්…
මේ මරණීය රාමුව තුළදී
සෑම කෙනෙක්ම ප්‍රේමයේ පාලකයන් වෙයි…
පූජනීය සෙනෙහසේ දැල්ල
පෝෂණය කරන්නන් වෙයි..

ප්‍රසිද්ධ කවි පෙළක් වර්ණාසිට මතක් වුණා.තමන්ට නිදිමත නැති හුඟක් දවස් වලට මේ දවසත් ඒ වගේම එකතු වෙයි කියලා හිතුනා.තව දවස් දෙකකින් තමන්ගේ නිවාඩුව ඉවර වෙන බව වර්ණාසිට මතක් වුණා.ඉක්මනින්ම ආපහු තමන් නවසීලන්තයට යන්න ඕන වුණත්   එහෙම වුවමනාවක් නොහිතෙන්නේ ඇයි කියලා හිතාගන්න බැරුව ගියා.ජෙරම්  මොනවා කරනව ඇත්ද..තමා ජෙරම්ට දැන් සෑහෙන දවසකින් කතා කළේ නැති බවත්  තවත් දවස් දෙකකින් නවසීලන්තයට ආපහු ගියාට පස්සේ ජෙරම් හම්බුනහම පරණ පුරුදු විදිහටම කතා කරන්න පුළුවන්ද කියලත් හිතාගන්න බැරුව ගියා.
ජාදුගේ කාමරය තවමත් කහ පාටයි . කේසර කාටත් නොකියා රෑ කොහේදෝ යන්න ගිය හින්දා වර්ණාසි කොට්ටෙත් අරගෙන නර්මදා ගේ කාමරයට ආවා. නර්මදාගේ සුදු කපුසාරියේ  පුංචිම පුංචි දම් පාට නෙළුම් පොහොට්ටු පේළියක් පිපෙන්න සූදානමින් හිටියා.

“පුතේ අපි දෙන්නා  හෙට පන්සල් යමුද… මොන නපුරුකම් කළත් මට අවුරුදු ගානක් ශාන්ත කන්න බොන්න දුන්නා .  හෙටට හරියටම අවුරුදු පහක් වෙනවා ශාන්ත නැතිවෙලා.මෙන්න මේ පිරිකර පූජා කරලා අපි දෙන්න ගිහිල්ලා පින් දීලා එමුද..

වර්ණාසි හිනා උනා. යමු කියලා  වචනයෙන් කිව්වෙ නැති වුණාට වර්ණාසිගේ ඒ හිනාව ඇතුලේ මහා ගොඩක් දේවල් තිබුණා.

නර්මදාගේත් වර්ණාසිගේත් ආරක්ෂාවටත් උදව්වටත් ජාදු ආවා.එදා රේවතාරාමයේ තිබිච්ච නිහඬ නිස්කලංක බවට වර්ණාසි බොහොම ආස වුණා.නර්මදා තමන්ගේ හිත පිරෙනකම්ම පිරිකර පූජා කරලා ශාන්තට පින් දෙන හැටි වර්ණාසි බලාගෙන හිටියා.

“තමන්ට එච්චර නපුරුකම් කරපු මනුස්සයෙකුට ඔය විදිහට අනුකම්පා කරන්න පුළුවන් කියන එක මට හිතාගන්න බෑ..”

වළාකුළු බැම්ම ගාව ඉඳගෙන නර්මදා දිහා බලාගෙන හිටපු වර්ණාසි ජාදු ට කිව්වා.

ආපහු එන ගමනේදී තුන්දෙනාම පාර අයිනෙන් තැඹිලි කප්පවගෙන බිව්වා.අතරමඟදී දිගටම ප්‍රවෘත්තිවලට කිව්වේ බෝම්බ සිද්ධියට වසර පහක් පිරීම ගැනයි.

හුඟක් හඩපට වල කේසරට විරුද්ධව බොහොම තදින් ආමන්ත්‍රණය කිරීම් තිබුණා.ඒ බව තුන්දෙනාටම ඇහුනා.ජාදුගේ මුහුණේ කිසිම මස් පිඬුවක් හෙළ වුණේවත් නැහැ. කිසිම හිනාවක ලකුණක් තිබුනෙත් නැහැ.ජාදු තනි යකඩයෙන් හදපු පිළිමයක් වගේ දිගටම වාහනය ධාවනය කළා. නර්මදත් බොහොම නිහඬව ප්‍රවෘත්තිවලට ඇහුම්කන් දුන්නා.

” මේ රටේ පොලිටික්ස්  හරිම පුදුමයි. තාත්ති ඒ වගේ වැඩක් කරයි කියලා ජයමහා අංකල් කොහොමද ඔය තරම් ෂුවර් කරලා කියන්නේ.කිසිම එවිඩන්ස් එකක් නැතුව එහෙමත් චෝදනා කරන්න පුළුවන්ද… අනික ඔය වගේ බරපතල චෝදනාවක් හරිම භයානකයිනේ….”

“නැහැ දුව.. කලබල වෙන්න එපා. හුඟක් වෙලාවට ළඟම තියෙන ජනාධිපතිවරණය අවුල් කරන්න වෙන්න පුළුවන් ඔය වගේ නිව්ස් යන්නේ.මිනිස්සුන්ට හරි දෙයක් හිතා ගන්න බැරි තරම් අවුල් කළහම ඡන්ද කඩලා දාන්න ලේසියි කියලා ඔයාලගේ තාත්තිමයි මට කියලා දීලා තියෙන්නේ…”

ජාදු ගේ මූණේ කිසිම හැඟීමක් නැති පිළිමයක් වෙලා තිබුණා. සිද්ධි අගමුල බොහොම හොඳින් දන්න තමන් වගේම..  එදා මොරටුවේදී බයිසිකලයත් එක්ක කුඩුපට්ටම් උණු ප්‍රියංකරට කතා කරන්න පුළුවන් උනානම් හුඟක් දේවල් සුන්නත් දූලි වෙලා යන බව ජාදු ට  හිතුනා.
එදා ටකරන් අජිත්ට වෙඩි තියලා තමා පනින්න යද්දි අලුතෙන් ලකුණු දාගන්න දඟලපු සාජන් ලොකු පෝතාගම තමන්ව අල්ලගත්තා.සති දෙකකට රිමාන්ඩ් උනා. අන්තිමට නඩුවේදී ජාදු පාවිච්චි කරපු ගිනි අවියේ උන්ඩත් ටකරන් අජිත්ගේ මෘත දේහයේ තිබුණු උන්ඩත් පරස්පරවීම මතම මිනීමැරුම් නඩුව නිෂ්ප්‍රභා වුණා.ඒක කේසර ලොකු සර්ගේ හයිය මතම සිද්ධ වෙච්ච බව ජාදු  හොඳින්ම දන්නවා.ඒ වගේම
ලොකුපෝතාගම කවදාවත් ඉල්ලලා නොතිබුණු ඉල්ලන්න හිතකවත් නොතිබුණු උසස් වීමකට අදාල පුහුණුවක් එක්ක අසර්බයිජානයට අවුරුදු දෙකක පුහුණු සවාරියක් ලැබුණා.

කේසරගේ බාහිර විතරක් දැනගෙන ඉන්න වර්ණාසි බේබිත් නර්මදා නෝනත් මොනවද මේ කතා කරන්නේ කියලා ජාදුට හිතුනා.කේසර කියන්නේ කවුද කියන එක හොඳාකාරවම දන්න ජාදු  වර්ණාසිගෙනුත්
නර්මදාගෙනුත් දැක්කේ  රටේ සාමාන්‍ය මහජනතාව හිතන කරන විදිහමයි.හැමදාමත් ඇත්ත දකින්නේ කීයෙන් කී දෙනාද.. මහා ලොකුවට බලපරාක්‍රමයක් පතුරවගෙන ඉන්න මහා දේශපාලන බලවතුන්ගේ හැබෑ තත්ත්වය රටේ මිනිස්සුන්ට දකින්න පුළුවන් නම් මේ රට කොයිතරම් වෙනස් වෙයිද කියලා ජාදු ට හිතුනා.

“එහෙම නෙමෙයි…මේක ටිකක් වෙන විදිහකට ප්ලෑන් කරන්න..එක එක දේවල් හැමතිස්සේම දැම්මහම මිනිස්සු කියනවා නේද ඒක අපේ ප්ලෑන් එකක් කියලා. මේක ටිකක් වෙනස් වෙන්න ඕනේ.වෙනස් වෙන්නේ මෙහෙමයි. සම්ප්‍රදාය මැද සම්ප්‍රදාය අතික්‍රමණය වෙන්න ඕනේ..මං කියන එක තේරෙනවද මන්දා.. ජාදු  උබට ..”

තේරෙනවා ලොකු සර්…

හරි .. එහෙනම්  මට හිතලා කියන්න …

ජාදු  කිසිම දෙයක් කියන්නෙ නැතුව එයාගේ ආසම ත්‍රිරෝස් එකෙන් එකක් අරගෙන දුංගුලි පහයක් පිට කර කර ඔහේ කල්පනා කර කර හිටියා මතක් උනා.
ඇමතියා මැරෙන්නත් ඕනේ..ඒ ඇක්සිඩන්ට් එකක් කියලා පේන්නත් ඕනේ.වැඩේ මාට්ටු වෙන්නත් බෑ.මේ ගේම් එක හරියට රන් උනොත් ලොක්කා ගොඩ…ජාදු ගේ  හිත නිවා ගන්න තිබිච්ච එකම තැන ඩයනගේ මාලිගාව විතරයි.ඩාලි බට්ලර් රෝඩ් එකේ පස්වෙනි ගෙදර ඩයනගේ ගූසි සෙන්ට් සුවදට පිබිදෙන කය …ජාදු ආසම වෙලාවක්… ආසම තාලයක්..
ඒ තාලයේ නැලවෙච්ච වෙලාවට මොලේ ඇතුලෙ තියෙන  හිර වෙලා තියෙන ප්ලෑන්  එකින් එක එළියට එනවා.ඔව් ඒක ඒ විදිහට තමයි වෙන්න ඕනේ..ඒක තමයි ක්‍රමය… ඩයනාගේ උනුහුමේ රිද්මායානුකූල චලන රටා එක්ක ජාදු ගේ එකින් එක ගැලපීම් පඩි පෙළක් වගේ එතීගෙන එතීගෙන එන විදිහ අත්දකින්න ජාදු ආසම විදිහ උනා..
මෙහෙමයි ලොකු සර් වෙන්න ඕන..ඒකට අපි මුලින්ම අල්ලගන්න ඕනේ ගැටබේ කාරයගෙ ඩ්‍රයිවර්ව…

තවත් මාරාන්තික ගේම් එකක් ටික දවසකට කලින් දීපු හැටි හදිසියේම ජාදු ට මතක් වුණා…

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles