කේරළයේ සල්ලි තියෙන පවුලට ආපු අලුත් ලේලිය
සාමාන්‍යයෙන් සීරියල් කිලර් කෙනෙක් කිව්වම අපිට මතක් වෙන්නේ නාඳුනන මිනිස්සුන්ව ගොදුරු කරගන්න කෙනෙක්නෙ.
හැබැයි මේ කතාවේ සීරියල් කිලර් ඊට හාත්පසින්ම වෙනස්. මෙයා තමන්ගේම පවුලේ අයව ඉලක්ක කරගත් ගෑනු කෙනෙක්.
හිතන්නකො සීරියල් කිලර් කෙනෙක් තමන්ගෙ පවුලෙ අයවම මරලා දානව කිව්වම නේද?
මේ කතාව පටන් ගන්නේ 1997දී ඉන්දියාවේ කේරළයේ කූඩතයි කියන ප්‍රදේශයෙන්. එහේ ජීවත් වුණා ගමේ ලොකු ගෞරවයක් දිනාගත්ත ධනවත් පවුලක් වුණ පොන්නමට්ටම් පවුල.
මේ පවුලේ වැඩිමල් පුතා රොයිට කසාදයක් කරලා දෙන්න හොයන කාලෙදි තමයි ජොලී ජෝසෙප් කියන ගෑනු ළමයව මුණගැහෙන්නේ.
ජොලී සාමාන්‍ය පවුලකින් ආපු කෙනෙක්. හැබැයි එයාට තිබුණ ලොකු හීනයක්. ඒ තමයි කොහොමහරි හොඳ සල්ලි තියෙන පවුලකට ඇතුළු වෙලා සැපවත් ජීවිතයක් ගත කරන එක. රොයි එක්ක සම්බන්ධයක් ඇති කරගන්න ජොලී තමන්ගේ අධ්‍යාපනය ගැනත් ලොකු බොරුවක් කියනවා. එයා කියන්නේ තමන් පශ්චාත් උපාධියක් දක්වා ඉගෙනගෙන තියෙනවා කියලා. මොකද සල්ලි නැති තමන්ට සල්ලි තියෙන රොයි වගෙ කෙනෙක්ගෙ පවුලට එක්කහුවෙන්න පුළුවන් එකම විදිය ඒක බව ජොලී හිතනවා. ජොලීගෙ එකම බලාපොරොත්තුව මොන බොරුව කියලා හරි සල්ලි තියෙන පවුලකට සේන්දු වෙන එක.
අධ්‍යාපනයට ලොකු තැනක් දුන්න පොන්නමට්ටම් පවුල මේ ගැන පැහැදිලා, අවසානයේ 1997දී රොයි සහ ජොලී කසාද බඳිනවා.
ජොලීගේ හීනයේ පළමු පියවර සාර්ථකයි. සල්ලි තියෙන පවුලකට එයා කොහොමහ්රි සෙට් වෙනවා.
හැබැයි ඒ පවුලේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ මේ අලුත් ලේලි තමන්ගේ පවුලට අරගෙන එන්න හදන්නෙ මොන තරම් භයානක ඉරණමක්ද කියලා.
උපාධියෙ බොරුව වහන්න කරපු පළවෙනි ඝාතනය
කසාදෙන් පස්සේ ජොලී හැමෝගෙම හිත දිනාගෙන හොඳ ලේලියක් වගේ ජීවත් වෙනවා.
හැබැයි එක ප්‍රශ්නයක් තිබුණා.
රෝයිගේ අම්මා නිතරම ජොලීට රස්සාවකට යන්න කියලා බල කරනවා. ඒත් ජොලී කියපු උපාධිය ඇත්තක් නෙවෙයි. රස්සාවකට ගියොත් තමන්ගේ බොරුව අහුවෙන බව ජොලී දැනගෙන හිටියා.
ඒත් මේ නැන්දම්මා මල වදයක් දෙන්නෙ තිස්සෙම “රස්සාවකට යන්න රස්සාවකට යන්න” කියලා. ජොලීට මේ නිසාම එපා වෙලා හිටියෙ ගෙදර ජීවිතෙ.
ඒ නිසා 2002දී ජොලී තීරණයක් ගන්නවා. කෑම මේසයට එන්න ලෑස්ති වෙලා හිටපු නැන්දම්මාට එයා විශේෂ සුප් එකක් දෙනවා. පුදුම ආදරෙන් තමයි සුප් එක හදලා දෙන්නෙ. සුප් එක බීලා ටික වෙලාවකින් නැන්දම්මා අසනීප වෙලා මිය යනවා. හැමෝම හිතන්නේ ඒක හදිසි මරණයක් කියලා.
ඒත් ඇත්ත දැනගෙන හිටියේ ජොලී විතරයි. දැන් ඉතින් නැන්දම්මගෙ වදේ ඉවරයි කියලා හිතාගෙන ජොලී හරිම ජොලියෙන් ඉන්නවා.
ඊළඟ ඉලක්කය තමන්ගේම මාමණ්ඩිය
නැන්දම්මාගේ මරණයෙන් පස්සේ ජොලී ගෙදර තීරණ ගන්න තැනට එනවා. කොහොමත් නැන්දම්මගෙන් පස්සෙ ඒ තැන ජොලීට නිකන්ම වගේ ලැනෙනවා. ඒ අතරේ තමන්ට රැකියාවක් ලැබුණා කියලත් තවත් බොරුවක් කියනවා. උදේම ගෙදරින් පිටවෙලා කැම්පස් එකට ලෙක්චර්ස් දෙන්න කියලා යනවා. හැබයි මාමණ්ඩි වෙන තෝමස්ට ජොලී ගැන සැකයක් ඇති වෙනවා. එයා වෙනත් පිරිමියෙක් එක්ක නිතර කතා කරන බවත් මාමණ්ඩි දකිනවා.
තෝමස් ජොලීට මේ ගැන අවවාද කරනවා. ඒත් ජොලීට මාමණ්ඩි තමන්ගේ නිදහසට බාධාවක් කියලා තේරෙන්න ගන්නෙ ඔන්න ඔය අතරවාරෙ. ඒ නිසා තමයි නැන්දම්මට දුන්න ටොපියම මාමණ්ඩිට දෙන්නත් ජොලී තීරණයක් ගන්නෙ. 2008දී තෝමස් හදිසියේම මිය යනවා. පවුලේ අය ඒ මරණයත් සාමාන්‍ය අසනීපයක් නිසා සිදු වෙච්ච එකක් කියලා හිතලා පශ්චාත් මරණ පරීක්ෂණයකින් තොරවම අවසන් කටයුතු කරනවා.
දැන් ජොලීගේ ඉස්සරහා තියෙන්නෙ ඊටත් වඩා විශාල සැලැස්මක්. ඒ තමයි තමන්ගෙ කසාද මනුස්සයා වෙච්ච රෝයිව මේ සීන් එකෙන් අයින් කරලා දාන එක.
රෝයිට මොකද වෙන්නෙ?
නැන්දම්මාත් මාමණ්ඩියත් නැති වුණාට පස්සේ ජොලීට ඕන වෙන්නේ ගෙදර දේපළ තමන්ගේ අතට ගන්න. ඒ අතරේ රෝයිගේ ව්‍යාපාරයත් කඩා වැටෙනවා. රෝයිට ජොලීගේ වෙනත් සම්බන්ධතා ගැනත් සැක ඇති වෙලා දෙන්නා අතර නිතරම රණ්ඩු ඇති වෙනවා.
අවසානයේ ජොලී තීරණය කරනවා තමන්ගේ මනුස්සයවත් තමන්ගේ ජීවිතයෙන් ඉවත් කරන්න. 2011දී රෝයිට කෑම හදලා කරලා දෙන ජොලී ඒ කෑමට වස එකතු කරනවා. කෑම කාලා ටික වෙලාවකින් රෝයි අසනීප වෙලා බිම ඇදගෙන වැටෙනවා.
මුලින් හැමෝම හිතන්නේ ඒකත් හදිසි මරණයක් කියලා. හැබැයි මේ පාර ජොලීගේ සැලැස්මට පොඩි බාධාවක් එනවා. මොකද එකම ගෙදර මිනිස්සු කීප දෙනෙක්ම මෙහෙම හදිසි මරණවලින් මැරෙන්න බෑනෙ කියන ප්‍රශ්නෙ එක්ක රෝයිගේ ඥාතියෙක් වන මැතිව්ට මේ මරණය ගැන සැකයක් ඇති වෙනවා. එයා පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න බල කරනවා.
ඒ පරීක්ෂණයෙන් හෙළි වෙන්නේ රෝයිගේ ශරීරයේ සයනයිඩ් තියෙනවා කියලා. ජොලී තමන්ගේ සුපුරුදු බොරුව කියමින් රෝයි ණය බර නිසා එහෙම දෙයක් කරගන්න ඇති කියලා පොලිසියට කියනවා.
සැකේ නිසා මැතිව්ට වෙන්නෙත් පරලොව යන්න
රෝයිගේ මරණය ගැන සැක කරපු මැතිව් ජොලී ගැන දිගටම හොයන්න පටන් ගන්නෙ මෙන්න මේකෙන් පස්සෙ. මේක ජොලීට ලොකු තර්ජනයක් වෙනවා. ඒ නිසා එයා මැතිව්ව බය කරන්න ගෙදර තියෙන ළිඳ ගැන අමුතු කතාවක් කියනවා. ඒත් මැතිව් ඒකට බය වෙන්නේ නැතුව තමන්ගේ පරීක්ෂණ දිගටම කරගෙන යනවා.
අවසානයේ එයා ජොලීට වෙන මනුස්සයෙක් එක්ක, එයාගෙ නම ශාජු, අනියම් සම්බන්ධයක් තියෙන බවත් හොයාගන්නවා. මේ රහස එළියට එන්න කලින් 2014දී මැතිව් මාමාත් හදිසියේම මිය යනවා.
දන්නවනෙ ඉතින් ඔය “හදිසි මරණ” පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එක නේද?
ඊළඟ ඉලක්කය පුංචි දරුවෙක්
දැන් ජොලීගේ අලුත් ඉලක්කය වෙන්නේ ධනවත් ඥාතියෙක් වන ශාජු. ශාජු එක්ක තියෙන සම්බන්ධෙ ඊලඟ ලෙවල් එකට අරගෙන ගන්න ජොලීට ඕන. හැබැයි ශාජුට බිරිඳක් වගේම දරුවොත් දෙන්නෙක් ඉන්නවා. ජොලීට ශාජුව තමන්ගේ කරගන්න නම් මේ පවුලෙන් බාධා වෙන අය නැති කරන්න සිද්ධ වෙනවා.
2014දී ශාජුගේ පුංචි පුතා හදිසියේම මිය යනවා. ඒ මරණය පිටුපසත් ජොලීගේ හිටියා කියලා පස්සෙ එළි වෙනවා.
ඊට පස්සේ ජොලී ශාජුගේ බිරිඳ සෙලීගේ දුක තමන්ගේ වාසියට හරවා ගන්නවා. එයාගේ විශ්වාසය දිනාගෙන, අවසානයේ සෙලීවත් ජොලීගේ ඊළඟ ගොදුර බවට පත්කරගන්නවා.
අවසානයේ ජොලීගේ බොරුව එළියට එනවා
මේ සිදුවීම් දිහා බලාගෙන හිටපු රෝයිගේ සහෝදරයා රෙන්ජිට නම් ජොලී ගැන ලොකු සැකයක් ඇතිවෙනවා. රෝයිගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ආයෙත් බලද්දී ජොලී කියපු කතාවත් වාර්තාවේ තිබුණු තොරතුරුත් අතර ලොකු පරස්පරතාවයක් එයාට හමුවෙනවා.
ඒ නිසා රෙන්ජි කෙලින්ම පොලිසියට යනවා. පොලිසිය ජොලී රැකියාව කළා කියපු ආයතනය පරීක්ෂා කළාම තවත් පුදුම සහගත දෙයක් හෙළි වෙනවා.
ඒ තමයි ජොලී කියපු අධ්‍යාපන සුදුසුකම් ඔක්කොම බොරුවක් කියන එක. ජොලී මෙලෝ දෙයක් ඉගෙන ගත්ත මනුස්සයෙක්වත් එහෙම රස්සාවක් කරපු මනුස්සයෙක්වත් නෙවෙයි. කැම්පස් එකට යනවා කියලා දිගටම උදේට ගෙදරින් ගිහින් කරලා තියෙන්නෙ කැම්පස් එකේ කැන්ටින් එකට වෙලා ඉඳපු එක.
අවුරුදු ගාණත් තඩි බොරුවක් තමයි පවුලෙ මිනිස්සුන්ට කරලා තියෙන්නෙ කියන එක මෙතනදි අහු වෙනවා.
අවුරුදු 14කට පස්සේ රහස එළියට
අවුරුදු 14ක් තිස්සේ එකම පවුලේ මරණ හයක් සිද්ධ වෙලා තිබුණත්, ඒ හැම මරණයක්ම එකිනෙකට සම්බන්ධයි කියලා කවුරුත් හිතුවේ නැහැ.
හැබැයි රෙන්ජිගේ සැකයෙන් පස්සේ පොලිසිය එකින් එක හැම සිදුවීමක්ම ආයෙත් පරීක්ෂා කරන්න පටන් ගත්තා.
2019දී ජොලී ජෝසෙප් අත්අඩංගුවට පත්වෙනවා. ඊට පස්සේ මියගිය හයදෙනාගේම සිරුරු නැවත ගොඩගෙන පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණවලින් සිදුවීම් අතර තිබුණු සම්බන්ධය තවත් පැහැදිලි වෙනවා.
පොලිස් ප්‍රශ්න කිරීම්වලදී ජොලීගේ ගොඩක් රහස් එළියට එනවා. එයාට වස ලබාදී තිබුණේ එයා සමඟ සම්බන්ධයක් තිබූණ මනුස්සයා කියන එකත් පස්සෙ එළි වෙනවා. ඒ වගේම ජොලීගේ නිවස පරීක්ෂා කරද්දී සැකයට තුඩු දෙන ද්‍රව්‍යත් හමුවෙනවා.
අවසානයේ ජොලීට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම වෙනවා.
අවුරුදු ගණනාවක් තිස්සේ හොඳ ලේලියක් වගේ පෙනී සිටි කාන්තාවක් පිටුපස තිබුණේ, තමන්ගේම පවුලේ මරණ හයක් සම්බන්ධ කරපු අඳුරු රහසක් කියන එක ඔන්න ඔය විදියට තමයි ඔප්පු වෙන්නෙ.
ඉතින් එහෙම බැලුවම සමහර වෙලාවට ළඟම ඉන්න මිනිස්සුන්ව තමයි විශ්වාස කරන්නම අමාරු කියලා මිනිස්සු කියන කතාව බොරුවක් නෙවෙයි කියලා අපිටත් හිතෙනවා නේද?











