ආකාස මෝස්තර – 32

පසන් විජයවීර ට දහඩිය දමා තිබිණ. යහන මත හිඳගත් හෙතෙම සුරතින් නිකටත් කොපුලුත් පිරිමැද ගනිමින් සිටියේ ය. හුළං ගිය බැලුමක් සේ ඔහු හැකිළී ගොස් තිබේ.

මදූෂ් දෑතින් තේ කෝප්ප දෙකක් ගෙනෙමින් එකක් පසන් වෙතට දිගු කළේ ය. ඔහු තේ එක ගත්තේ මදූෂ් දෙස බලන්නේ හෝ නැතිවයි. නමුත් මදූෂ් ගේ මුහුණේ ප්‍රීති සිනහවකි. ඔහු පසන් ට යාබද ව යහනේ හිඳගෙන තේ උගුරක් බීවේ ය.

“අත්ඇරල දාන්න අනේ ඔය කෙල්ලංව. ඒකනෙ මං ඔයාට කිව්වෙ ඕකුංව විශ්වාස කරන්නෙපා කියල. කොහෙද ඉතිං… මේ මදූට වැඩිය ඒකිව ලොකු කරගත්තනෙ. හොඳ වැඩේ ඔයාට. දැක්කනෙ ඒකි ගස්සගෙන ගිය හැටි. විකා…ර..”

“කට වහගන්නවද දැං…”

පසන් තරමක් දැඩි හඬින් කියමින් මදූෂ් දෙස රවා බැලුවේ ය. ඔහු හොස්ස ගස්සා ඉවත බලාගත්තේ ය.

“මට තමයි ඔක්කොම සැර”

පසන් ට මදූෂ් ගේ විකාර ගැන කේන්තියක් නො දැනුණා ම නොවේ. නමුත් කේන්තිය ඔහු පිටින් යැවීමෙන් නරකක් මිස හොඳක් නොවනා බව හෙතෙම දනී. මදූෂ් සමගින් පසන් ගේ ලිංගික ඇසුර ඇරඹෙන්නේ ඔවුන් පිරිමි විද්‍යාලයේ එක ම නේවාසිකාරයේ නතර වී සිටි සමයේ ය. ඔවුන් අතරේ ආකර්ෂණයක් ඇති වූයේ කෙසේ ද කියා දැන් මතක් කරගන්නටවත් මතක නැති තරම ය. ඇතැම් විට ඒ ලිංගික කුතුහලයෙන් යුත් නව යොවුන් දරුවන් වශයෙන් එක සෙවණක කාලයක් තිස්සේ එකට ජීවත් වීම නිසා ඇති වන තත්වයක් විය හැක. නමුත් ඒ ඇසුර නතර කළ නො හැකි ලෙස ඔවුන් වැඩිහිටියන් වූ පසු ද එය ඉදිරියට ගියේ ය. පසන් සේ ම මදූෂ් ද අධ්‍යාපනයට දක්ෂතා පෙන්වූහ. පසන් විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු ද මදූෂ් කලා අංශයෙන් උසස් පෙළ හදාරා ගෘහ නිර්මාණ ශිල්පියෙකු ද වූයේ ය.

මදූෂ් සමගින් ඇසුරක් පැවැත්වූවා වී ද ගෑනු ළමයෙකු සමගින් විවාහ වී පවුල් ජීවිතයක් ගෙවන්නට පසන් තුළ බලාපොරොත්තුවක් නො වූවා නොවේ. විශේෂයෙන් ම සිය සම ලිංගික චර්යාවන් පවුල් ජීවිතයකට හෝ අනාගතයට බාධාවක් කරගන්නට ඔහු ට අවැසි වූයේ නැත.

මදූෂ් කුඩා කල පටන් ම සියුමැලි ය. කතාව ගෑනු ළමයෙකු වාගේ ඇද පැද ය. ඒ ලක්ෂණ නිසා ඔහු ට නේවාසිකාගාරයේ කොල්ලන් “ගෑනි” කියා සරදම් කළහ.  ඒ සියුමැලි ගති නිසා නේවාසිකාගාරයේ ඇතැම් වැඩිමහල් පිරිමි ළමයෙක් ඔහුව ලිංගිකව පාවිච්චි කිරීමට පෙළඹුණහ. මදූෂ් සමලිංගික සේවනයට ඇබ්බැහි වූයේ එසේ ය. යම් යම් හීන පුරුෂ පෞරුෂ ලක්ෂණ සහිත වූ ඔහු ගේ ලිංගික රුචිය ස්ත්‍රී ලිංගිකයන් කෙරෙහි යොමු වූයේ ම නැත. විශ්ව විද්‍යාල සිසුන් වූ පසුව ද පසන් හා මදූෂ් ගේ ඇසුර දිගට ම පැවතිණ. පසන් ගෑනු ළමයින් කිහිප දෙනෙකු සමගින් සම්බන්ධතා පවත්වාගෙන යන්නට උත්සාහ කළ ද පසන්ගෙන් මිදෙන්නට හැකි වූයේ නැත. සැබවින් ඔහු ඊට ඉඩ නො දුන්නේ ය. එය එක්තරා විදිහක තර්ජනයකි. ඔහු ව අතැර ගෑනු ළමයෙකු සමග ඇසුරක් ඇති කර ගත හොත්, පසන් ඔහු සමගින් පවත්වන සම්න්ධය ප්‍රසිද්ධ කරනා බවටත් තමන්ට සිදු වන අසාධාරණයට එරෙහිව ඕනෑ ම දෙයක් කරනා බවටත් දිව්රා කීවේ ය. පසන් ව අකර්මණ්‍ය කරගත හැකි එක ම තැන එය විය. විශේෂයෙන් ම ඔහු ට නම්බුකාර වංශවත් පවුලක් තිබේ. පවුලේ අය ඔහු සමලිංගිකයෙකු ලෙස දැනගන්නවාට ඔහු බිය වූයේ ය. ලැජ්ජා වූයේ ය. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වූ පසු ඔහු බලාපොරොත්තු වූයේ වෛද්‍යවරියක හා විවාහ වී ලෝකයට පේන්නට යහපත් පවුල් ජීවිතයක් ගත කරන්නට ය. දරුවෙකු දෙදෙනෙකු තනා ගන්නට ය. ඒ අතරේ මදූෂ් ව අමතක නොකරන බවට ද ඔහු වරින් වර දිව්රුවේ ය.

විවාහ වීම සඳහා ඔහු විසින් ම ගෑනු ළමයෙකු තෝරා ගන්නට පසන් උත්සාහ කළේ ඇය ඔහු ට අවශ්‍ය පරිදි පාලනය කළ හැකි කෙනෙකු වීම පිණිසයි. දෙව්රූ වෙතින් අවිහිංසක බවක් කෙසේ වී ද බලවත් බවක් දිස්වූයේ නැත. ඇය අතිශය සාමාන්‍ය පවුලක ගෑනු ළමයෙකු බව ඔහු ට කතා බහෙන් ද තීරණය කළ හැකි විය. වෙනත් පිරිමින් ආශ්‍රය නො කරන ලෙස ඔහු ඇයට තර්ජනය කළේ දෙව්රූ සමාජ ආශ්‍රයෙන් ඈත් කොට හුදෙකලා කොට තබන්නටයි. එතකොට ඔහු ගැන කට කතාවක් වුව ඈ වෙත ළඟා වන එක වළකිනු ඇත. මදූෂ් ගෙන් ගැලවෙන්නට ම බැරි වුණොත් දෙව්රූ සමග රටින් බැහැර වෙන්නට පවා ඔහු සිතාගෙන සිටියේ ය.

මදූෂ් ගේ බලපෑම පසන් ට මානසික වශයෙන් පීඩනයක් වූ බව ඔහු දනී. ඒ පීඩනය නිසා ඔහු නිතර ම කෝපත් වූයේ ය. සිය රහසිගත ජීවිතය මත දෙව්රූ දෙස සැකයෙන් බලන්නට තමන් පෙළඹෙන බව ද ඔහු දැන සිටියේ ය. ඒ තත්වය තමන් විසින් පාලනය කරගන්නට පසන් ඕනෑ තරම් උත්සාහ කොට තිබේ. නමුත් බොහෝ විට සිදු වූයේ ඔහු සිය මානසික පීඩනයෙහි යටත් වැසියෙකු වීමයි.

දෙව්රූ ව ඔහු විසින් සාදනු ලැබූ ඉතා කුඩා සීමිත ලෝකයක සිරගත කොට ඇගෙන් රහසක් කරගන්නට හැදූ සියල්ල අවසන ඇගේ ඇස් වලින් ම දැකගන්නට ලැබිණි. ඒ ගැන සිතත්දී පසන් ට දැනෙන්නේ මුළු ලෝකය ම විනාශ වී ගියා බඳුව ය. ඉටි පන්දමක් සේ ඔහු ද දැවෙමින් ක්ෂය වෙමින් යන්නා සේ ය. ඊළඟට කුමක් සිදු වනු ඇතිද කියා සිතන්නටවත් ඔහු ට ඕනෑ නැත. ඒ ගැන සිතත්දී මෙතෙක් කිසි දා දැනී නො තිබූ භීතියකින් ඔහු වෙව්ලා යයි. ඒ භීතිය දෙව්රූ අහිමි වීමට ම අදාල වන්නක් නො විය හැක. මතු යම් දිනයක ඔහු ගේ සමස්ථ අනාගතයට අදාල වන්නකි. සදාකාලිකව සමලිංගිකයෙකු සේ ජීවත් වී මිය යන්නට ඔහු ට සිදු වනු ඇත්ද? නො එසේ නම් මදූෂ් ව සිය ජීවිතයෙන් අතු ගා දමනු වස් ඔහු ට යමක් සිදු කළ යුතු වන්නේ ද?

පාරුල් දැන් හඬන්නේ නැත. කඳුළු වියළී ගිහින් තිබේ. නමුත් ඇගේ මුහුණ මත වන භීතිය තවමත් එලෙස ම ය. වෛද්‍ය ශිෂ්‍යාවක වශයෙන්, ඇතැම් මිනිසුන් ගේ සමලිංගික ඇබ්බැහිය පිළිබඳව ඇය තුළ සාධනීය අවබෝධයක් නැතිවා නොවේ. නමුත් ඒ ඇය කවදාකවත් පියවි ඇසින් සජීවී ලෙස දකින්නට බලාපොරොත්තු වූ දෙයක් නොවේ. ඊටත් වඩා එය සිය අනාගත සහකරු ලෙස තෝරාගත් පුරුෂයා සම්බන්ධයෙන් දකින්නට සිදු වීම දෛවයෙහි කෙතරම් බරපතල සරදමක් ද? ඇයට පසන්ගෙන් මිදෙන්නට අවැසි වී තිබි බැව් සැබැවි. නමුත් ඒ සිදුවීම දෑසින් දුටු මොහොතේ පටන් මේ දක්වා ම, එහෙම වුණ එක හොඳයි කියා ඇයට සිතෙන්නේ නැත. තවමත් ඇය ගැස්සීගෙන ය. තිගැස්සීගෙන ය. කම්පනය වීගෙන ය. හොල්මනක් අවතාරයක් නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයකට අයත් ජීවියෙකු දකින්නට ලැබුණා සේ භීතියෙන් භීත වී ය.

“මොකද්ද පාරුල් වුණේ… ඔයාගෙ අකමැත්තක් නැත්තං මට කියන්න. කරන්න පුළුවන් දෙයක් නෙවෙයි බැරි දෙයක් වුණත් මං ඔයා වෙනුවෙන් කරනව. ඒ ගැන සැකයක් තියාගන්න එපා”

බෝ වෙලාවකට පස්සේ ගඟුල් මුණිවත බින්දේ ය. එතෙක් ඔහු කළේ ඇයට සන්සුන් වන්නට ඉඩ දී පසෙකින් සිටිමින් මෝටර් රථය ධාවනය කරනා එකයි.

පාරුල් යටි තොල සපාගෙන ගඟුල් දෙස බැලුවා ය. ඔහු සමගින් මේ වාගේ දෙයක් කියාගන්නේ කොහොමද කියා ඇයට වැටහෙන්නේ නැත.

“ඔයාගෙ හිතට සැනසිල්ලක් වෙයි කියල හිතෙනවනං කියන්න. මට දැනෙන විදිහට පසන් මොකක් හරි ප්‍රශ්නයක් දාල ඇති. හැබැයි ඒ ප්‍රශ්නෙ මොකක් වුණත් කොන්දේසි නැතුව මං ඔයා වෙනුවෙන් පෙනී ඉන්න ලෑස්තියි. ඔයාව ආරක්ෂා කරගන්න ලෑස්තියි. හැබැයි සිද්ද වුණ දෙයක් දන්නැති තාක් මං අසරණයි පාරු”

හිස මත පැටවී තිබෙන්නේ අසාමාන්‍ය බරක් බව පාරුල් දනී. ඊළඟට උදා වීමට නියමිත අවස්ථාව ගැන ඇයට සිතාගත නො හැකි තරම ය. පසන් කවරාකාර ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද? ඔහු ගැන සිහි වෙත්දීත් හිතට දැනෙන්නේ බරපතල පිළිකුළකි. එය ඔහු ගේ පෞද්ගලිකත්වයට අදාල ලිංගික රුචිකත්වය හා බැඳුනක් නොවේ. ඔහු ගේ අසාමාන්‍ය ලෝකය තුළ ඇය ද හිර කොට ගන්නට තැත් කිරීම පිළිබඳ අප්‍රසන්නතාවයකි. මෙවන් තත්වයක් යටතේදීත් ඔහු වෙතින් වෙන් නොවී සිටිත යුතු යයි පසන් තර්ජනය කරනු ඇත්ද? පාරුල් බියෙන් වෙව්ලා ගියා ය.

“ප…සන්…”

පාරුල් වහා ගඟුල් වෙතට හැරී යමක් කියන්නට උත්සාහ කළා ය.

“කියන්න පාරු”

ගඟුල් රියෙහි වේගය මන්දගාමී කරගත්තේ ය.

“එයාට… වෙන පාට්නර් කෙනෙක් ඉන්නව…”

තමන් තුළ ඇති වූ ක්ෂණික සැනසිල්ල කුමක් දැයි විශ්ලේෂණය කිරීමට ගඟුල් උත්සාහයක් නො ගත්තේ ය. නමුත් නිවී සැනසිල්ලේ පාරුල් ට සවන්දෙනු වස් මග අයිනේ සෙවනකට කොට රිය නතර කළේ ය. ඒ මද්දහන් යාමයේ පේන මානයක මිනිස් පුළුටක් වූයේ නැත.

“හ්ම්…”

“මං දැං ටිකකට කලින් මගෙ ඇස් දෙකටම දැක්ක. නුගේගොඩට ගිය ගමන් කෑම එකකුත් අරං එයාගෙ ඇනෙක්ස් එකට ගියේ අසනීපයි කියපු නිසා බලල එන්න. නැත්තං ඒකටත් මාව මරාගෙන කන්න හදයි කියල හිතුණ නිසා…”

“මට හිතාගන්න පුළුවන්. ඔයා යනකොට ඇනෙක්ස් එකේ පසන්ගෙ තව කෙල්ලෙක්”

“ඒ කෙල්ලෙක් වුණානං මේක මට මෙච්චර අමාරු වෙන එකක් නෑ… ඒ කොල්ලෙක්”

“මොකද්ද…”

පාරුල් දෑතින් දෑස් තද කොට ගත්තා ය. ගඟුල් කැළඹීමක් තුළ හිඳ ඇගේ මූණ දෙස බලා සිටින්නට වූයේ ය.

“අනේ මං එයා ළඟ හිටියෙ හරි අමාරුවෙන් ගඟුල්. බැරි ම තැන මං කිව්ව ඒ අෆෙයා එක නතර කරමු කියල. අපි ගැලපෙන්නෑ කියල. එයා මට හරියට බණිනව. කුණුහරපෙන් පවා බණිනව. එක පාරක් රිං වෙද්දි ෆෝන් එක ආන්සර් කළේ නැතත් බණිනව. එයා වැඩක හිටියොත් කතා කළත් බණිනව. එහෙම රිලේශන්ශිප් එකක් හරි අමාරුයි. මට එයාගෙන් අයින් වෙන්න ඕන කරල තිබුණ තමයි. ඒකට ඉඩ නොදී එයා ත්‍රෙට් කරල බලෙන්වගේ මාව ඒ රිලේශන්ශිප් එක ඇතුළෙ තියාගන්න හැදුව තමයි. ඒක මට මාර ප්‍රෙශර් එකක් වුණත් තමයි. ඒත් මේ දේ දැක්කට පස්සෙ මං හරිම ශොක් ගඟුල්. දැං මට ඒ අෆෙයා එකෙන් ඈත් වෙන්න පුළුවන්නෙ කියල සතුටක් දැනෙන්නෑ. මට හරි අමාරුයි. මේක දරාගන්න ලේසි නෑ. මට පුදුම ලැජ්ජාවක් දැනෙනව. ඇයි එයා මෙහෙම තත්වයක් තියෙද්දිත් මට ගැලවෙන්න නොදුන්නෙ කියල හිතද්දි… ඔළුව පැලෙන්න එනව වගේ රිදෙනව. මට තේරෙන්නෑ මොනාද වෙන්නෙ…මොනාද කරන්න ඕනෙ… ඉස්සරහට මොනා වෙයිද කියල. හැතැප්ම ගාණක් මහපොළොව යට හුස්ම ගන්න බැරි තැනක මං හිරවෙලා වගේ දැනෙනව. දෙයියනේ මේ මොකද්ද වෙන්නෙ…”

පාරුල් අසුනට හිස බර කොට ගත්තා ය. ගඟුල් ට දැනෙමින් තිබුණේ ඉවසාගන්නට බැරි කේන්තියකි. පසන් කියන්නේ කෙබඳු මිනිසෙකු ද? ලිංගිකත්වය ගැන ඔහු ගේ රුචිකත්වය ප්‍රශ්න කරන්නට කිසිවෙකුට අයිතියක් නැති වන්නට පිළිවන. නමුත් ඔහු එවන් නරකාදියක පාරුල්ව බලයෙන් සිරගත කොටගෙන ඉන්නට උත්සාහ කළේ ඇයි?

“ආයෙ තව දුරටත් පසන් ඔයාට බලපෑමක් කරන්න ආවොත්… මිනිහ ගැන මං බලාගන්නං. මොකෙද්ද ඌ… පාර පනින හෝතම්බුවෙක් තරංවත් මං කෙයා කරන්නෑ. එදත් මං ඌට කිව්ව ගැරඬි මරල පව් පුරෝගන්න කැමති නැති නිසා පාඩුවෙ යන්න අරිනව කියල”

ඒ රහස හෙළි වූ බව ගඟුල් දැනගත්තේ පාරුල් තිගැස්සීගෙන වාගේ බැලූ බැල්මට ය. ඔහු ගේ මුව කොනක අඩ සිනහවක් නැඟිණි. නමුත් ඇස් වල වූ බැල්ම දඟකාර හැඩයක් දැරුවේ ය.

“මං ඒක ඔයාට කියන්නෑ කියල හිටියෙ පසන් කියනකල්. මෑන් මාව මීට් වෙන්න ඇවිත් මට සද්දයක් දාල ගියා”

“කව… ද… ද…”

“දැන් ඕව වැඩක් නෑ. ඔයාව ආශ්‍රය කරන්නෙපා කියල. මං හිතුවෙ ඔයා කැමැත්තෙන් තෝරගත්ත කෙනානෙ කියල. හැබැයි දැන්නං ඉවසන්නෑ පාරුල්. ආයෙ මොකක්ම හරි සිද්ධියක් වුණොත් උස්සල පොළොවෙ ගහනව මං ඕකව කුඩු වෙලා යන්න”

පාරුල් ගේ ඇස් දියවෙන්නට පටන් ගනිමින් තිබිණ. ඈ ගඟුල් දෙස බලා සිටියේ බොඳ කඳුළු දෑසිනි. හෙමිහිට දෑතින් ඇගේ දෙඋරහිස් අල්වා ගත් හෙතෙම පාරුල් ව ඔහු වෙතට ලං කර ගත්තේ ය. ඇය නටුවෙන් ගිලිහුණ දුහුල් මලක් සේ ගඟුල් ගේ පපුව මත පතිත වූවා ය. ඒ ඔවුන් දෙදෙනාට ම අනපේක්ෂිත අහඹු මොහොතකි. ගඟුල් ගේ දෑත් යුවතිය වැළඳගෙන තිබිණ. පාරුල් මොහොතකට ඇස් පියාගෙන අමුතු සුවයකින් ආගන්තුක ලොවකට පිවිසෙමින් සිටියා ය. නමුත් එසැනෙන් ඒ ඇයට අයිති ලෝකයක් නොවන බව සිහිපත් වූයෙන් හෙමිහිට ඒ උණුහුමෙන් මිදුණා ය. ගඟුල් ගේ දෑස් හිරු මඬලක් සේ උණුහුමට පායා තිබිණ. පාරුල් ට ඕනෑ වූයේ ඒ ඇස් වලින් වහන් වී කොහේ හෝ සැඟවී ගන්නට යි. ගඟුල් යළිත් රිය පණ ගන්වා ගත්තේ ය. ඔහු ගේ දෙඅදර මත මඳහසක් සරැලි නගමින් තිබිණ.

💙කතාව ගැන ඔබේ අදහස්, යෝජනා හෝ චෝදනා වෙතොත් ලියා තබා යන්න!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles