අමයුරු ගෙදර ආවේ සුළි කුණාටුවක් මෙන් කලබලයෙනි. ඒ කලබලය දුකත් තරහත් එකට මිශ්‍ර වෙච්ච කලබලයකි. එහෙත් ඒ කලබලය වචන කරන්නට පෙරාතුව තමන් මේ වෙච්ච සියල්ල ගැන හොඳින් සිතා බලා කටයුතු කල යුතු බවටත්, මේ සියල්ල මල්ලීගෙනුත් අම්මාගෙනුත් වසං කර තබන්න උවමනා බවත් අමයුරු තේරුම් ගත්තේය. මල්ලීට මේ සියල්ල හෝ නදී ඉන්නා තැන කීම ප්‍රශ්න වඩා බැරෑරුම් කරන්නට හේතුවක් වන බව අමයුරු දනී.
“ඔයාගෙ අම්මා කියනවනම් ඔයා අපේ තාත්තගෙ නෙවෙයි ඇත්තටම ඔයාගෙ තාත්තගෙ කියල අපිට ප්‍රශ්නයක් නෑ නේද?” අමයුරු ඇහුවේ චන්ද්‍රකාන්ති විසින් වසන්තා විසින් කියන්නට යෙදුන කතාව කියා අහවර කරායින් පස්සේය.
“ඒක එහෙමම වෙයි කියල අයියා හිතනවද? ක්ලීටස් සර් ඒ වගේ දෙයක් මට ඇවිල්ලා කිව්වෙ සර්ට ඒක විශ්වාස නිසා නේද?”
“ඔයාගෙ අම්මා අරහෙම කතාවක් කිව්වෙ එයාට ඒක විශ්වාස නිසා නේද? අපි හොයාගන්න ඕන ඇත්ත නංගි. ඒ ඇත්ත ගොඩක් ප්‍රශ්න විසඳයි කියල මං හිතනවා”
“මං දෙයක් අයියගෙන් අහන්නද?” කියා නදී ඇහුවේ අමයුරුගේ දෙනෙත දෙස එක එල්ලේ බලාගෙනය.
“ඔව්, අහන්න”
“හදිසියේ හරි මගේ තාත්තාත් අයියලගෙ තාත්තමයි කියල අයිය ඔය කියන විදියෙ ඩී එන් ඒ ටෙස්ට් එකකින් ඔප්පු උනොත් මට ආපහු මගේ සුපුරුදු ජීවිතේට යන්න පුලුවන්ද අයියෙ? බෑ නේද? අනික එහෙම දෙයක් උනොත් මට සදාකාලිකවම ඉන්න වෙන්නෙ හැංගිලා නේද? මියුරුට ඇත්ත කියන්න අයියලට පුලුවන්ද? ඇත්ත කියන එකෙන් වෙන්නෙ අයියලගෙ මුලු පවුලම විනාස වෙලා යන එක. එහෙම දේකට ඉඩ දෙන්න අයියට බෑනෙ නේද?” කියා නදී අහපු කතාව ඇත්ත බව අමයුරු හිතෙන් පිළිගත්තේය. තමන් මේ හැමදේම කරන්නේ තමන්ගේ අයව බේරගන්න මිසක් නදීවත් ඇගේ පවුලේ අයවත් වෙනුවෙන් නොවන බව අමයුරුට පිළිගන්නට සිදුවිය. එහෙත් තමන්ගේ තාත්තාගෙත් නදීගේ අම්මාගෙත් වරදින් අවසානයේ ඇත්තටම අසරණ වී තිබෙන්නේ නදී නොවේද?
කුඩා කාලයේ සිටම අම්මාගෙත් තාත්තාගෙත් ආදරය අහිමිව, අනතුරුව පෙම්වතාවත් අහිමි කරගෙන තමන් ජීවත්වුණ සුපුරුදු වටපිටාවෙන් වෙන් වී මෙහෙම හැංගිච්ච ජීවිතයක් ගෙවන්න වුණ නදී අප සියල්ලන්ටම වඩා අසරණ නොවේද කියා නොහිත ඉන්න හැටියක් අමයුරුට වත් ඔහුගේ සංවේදී හිතටවත් පුලුවන්කමක් තිබ්බේ නැත.
මේ කිසිවක් අම්මා හෝ මල්ලී එක්ක කතාකරන්න බැරි බව දන්න නමුත් නදී එක්ක කතාකල තාත්තා එක්ක කතාකරන්න බැරිකමක් අමයුරුට තිබ්බේ නැත. අමයුරු කොහොම උනත් ඉස්සර ඉඳලම ඕනම ප්‍රශ්නයකට අදාල පුද්ගලයා සමග කෙලින්ම කතාකල කොල්ලෙකි. මේ ප්‍රශ්නයත් වටේ යන්නේ නැතුව කෙලින්ම තාත්තා එක්කම කතා කරන එක ප්‍රශ්නය ලෙහාගන්න එක වඩා සරල කරන්නට හේතුවන බව දන්න හන්දාම අමයුරු ඒ විදියටම ක්‍රියා කරන්න හිතුවේය.
ක්ලීටස් උන්නේ පුස්තකාල කාමරයට වී තමන්ගේ සුපුරුදු මත්පැන් වීදුරුව අත දරාගෙන පුස්තකාල කාමරයේ විසල් වීදුරු ජනේලයෙන් එලියෙ පෙනෙන අන්ධකාරය දිහා බලාගෙන කල්පනා කරමිනි. ක්ලීටස් උන්නෙ කල්පනා කරන්නට අනන්ත අප්‍රමාණ තරම් සිතුවිලි වලින් හදවත පුරවාගෙනය. ඒ සිතුවිලි දහරාව පටන් ගත්තේ වසන්තාගෙන් උනත් අවසානයෙ ඉවර වුණේ ධම්මිකාගෙන් ය.
වසන්තාට තමා ආදරය කල බව ඇත්තක් නමුත් ඒ ආදරයම ධම්මිකාව ආදරයක් නොලද ගැහැණියක් කරන්නට හේතුවන්නට ඇති බව නොහිත ඉන්නට හැටියක් ක්ලීටස්ට තිබුණේ නැත. ජීවිතයේ අවසාන අදියරේ මිනිසෙකුට විඳවන්නට හැකි දරුණුතම විදිය නම් තමන් තරුණ කාලයේ කල වැරදි ගැන පසුතැවීම බව ක්ලීටස් පවා තේරුම් ගත්තේ ජීවිතයේ කල කී දේවල් ගැන පසුතැවෙන්න වුණයින් පසුවය. ඒ පසුතැවිල්ලට හේතු වූ වැරදි නිවැරදි කරන්නට බැරි බව දන්නා නමුත් පසුතැවෙන අතරවාරයේම ක්ලීටස් ඒ වැරදි කරන්නට හේතු වූ හේතු කාරණා ගැන හිතමින් තමන්ව සාධාරණීකරනය කරන්නට කටයුතු කලේය.
“තාත්තා ෆ්‍රීද මට කතා කරන්න ඕන” කියා අමයුරු පැමිණ කතා කලේ ක්ලීටස් ඒ ආකාරයෙන් තමාව සාධාරණීකරණය කරමින් උන් මොහොතකය. ලොක්කා කොහොමත් ඕනම දෙයක් ගැන කෙලින් කතා කරන මිනිහෙක් බව දන්න නිසා ක්ලීටස් ඔහු දෙස බැලුවේ විමසුම් සහගත බැල්මකිනි.
“කියන්න පුතා, වාඩිවෙන්න” කියා ක්ලීටස් අත දිගුකර පෙන් වූ අසල තිබූ පුටුවක වාඩි වූ අමයුරු තවත් බයිලා ගහන්නෙ නැතුව කෙලින්ම කතාවට බහින්න හිතුවේ මේ ප්‍රශ්නය කොහොමත් ඕනවට වඩා දුර ගිහින් බව දන්න හන්දාය.
“මං ආවෙ මල්ලිගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් ගැන තාත්තා එක්ක කතාකරන්න” කියා අමයුරු කතාව පටන් ගනිද්දී ඒ වචන පේළිය ක්ලීටස්ගෙ හිත කීරිගස්සන්නට හේතු වුනත් “අමයුරු මේව දැනගන්න විදියක් නෑනෙ” කියා හිත සනසමින් ක්ලීටස් හිත අස්සෙ වූ කැළඹීම එලියට පෙන්වන්න උත්සහ කලේ නැත.
“අම්මත් මට කිව්වා ඒ ගර්ල් එකපාරම කොහෙද ගිහින් කියල, මල්ලි අවුලෙන් ඉන්නෙ කියල” ක්ලීටස් එහෙම කිව්වේ තමන් හිතපු දේවල් අනුව උනත් අමයුරු කට කොනකින් නැගූ සිනාව වෙන කතාවක් කියන්නක් බව ක්ලීටස්ට නොතේරුනා නොවේ.
“තාත්තා නොදන්නවා නෙවෙයිනෙ නේද නදී කොහෙද ඉන්නෙ සහ ඇයි ඒ ළමයා එහෙම ඩිසිශන් එකක් ගත්තෙ කියල” අමයුරු ඇහුවේ ප්‍රශ්නයක් නොවේ. අමයුරු තමන් හොඳින්ම දන්නා දෙයක් කිව්වා මිසක තමන්ගේ ප්‍රශ්නයක් නොඇසූ බව තේරිච්ච හන්දාම ක්ලීටස් ඒ කතාවට උත්තර දෙන්න ගියේ නැත.
“දරුවො කරන වැරදි හන්දා අම්මලා තාත්තලට බැණුම් අහන්න වෙනව කියල අහල තිබුනට අම්මල තාත්තල එක්කහු වෙලා කරන වැරදි හන්දා දරුවන්ට විඳවන්න වෙනවා කියල මම ඇත්තටම දැනං ඉඳියෙ නෑ තාත්තා.
මම ඇත්තටම තාත්තට සෑහෙන ගරු කලා. තාත්තා හරිම ස්ටෑන්ඩඩ් එකක් තියාගෙන ජීවත් වෙච්ච මනුස්සයෙක් විදියට මම හිතුවෙ. එහෙම හිතන් උන්නු මට මෙහෙම දෙයක් අහන්න ලැබුනම කොච්චර ඒක දරාගන්න අමාරුද කියල මම තාත්තට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.
තාත්තා අම්මව ඩිවෝස් කරල ඒ ලේඩිව මැරි කරානම් ඇත්තටම මම මුකුත් කියන්නෙ නෑ තාත්තා. හැබැයි අම්මවත් රවට්ටල ඒ ලේඩිගෙ හස්බන්ඩ්වත් රවට්ටල, ඒ මදිවට ළමේකුත් හදාගෙන අපි හැමෝවම රවට්ටන්න තාත්තා හිතපු එකට ඇත්තටම මට තාත්තට සමාව දෙන්න බෑ තාත්තෙ අයෑම් සොරි,
හැබැයි මං ආවෙ තාත්තා එහෙම කලේ ඇයි කියල අහන්න නෙවෙයි. නදීගේ අම්මායි තාත්තයි කියන්නෙ එකම කෙනෙක් ගැන කතා දෙකක් හන්දා ඇත්ත කතාව මොකක්ද කියල හොයාගන්න.
මං වෙනුවෙන් නෙවෙයි, මල්ලි වෙනුවෙනුත් නෙවෙයි, නදී වෙනුවෙන් තාත්තෙ. ඒ ළමය අම්මයි තාත්තයි දෙන්නම නැතුව දුක් වින්ද ජීවිතේට මොකක් හරිම සාධාරණයක් වෙන්න ඕන හන්දා.
මොකද අන්තිමේ ඔයාලගෙ වැරදි හන්දා දුක් විඳින්න, තමන්ට ලැබෙන්න ඕන තැන, දේවල් අයිති උනේ නෑ මදිවට තමන්ට මෙච්චර කල් තිබ්බ දේවලුත් නැති කරගෙන තමන් දන්න මිනිස්සුන්ගෙන් පවා හැංගෙන්න වෙච්ච නදීට සිද්ද වෙච්ච නිසා. කරපු වැරදි හදාගන්න නෙවෙයි, අඩුම ගාණෙ මේවයි ඇත්ත නැත්ත මොකද්ද කියල දැනගන්න වත් තාත්තා මේ වැඩේට කැමති වෙයි කියල මම හිතනවා”
“වසන්තා කියල තියෙන කතාව මොකද්ද?” ක්ලීටස්ට අමයුරු කිව්ව මේ වචන හැම එකක් අස්සේම ඇහුනේ ඒ වචන පේළියම පමණකි. ක්ලීටස්ට දැනුනේ ඒ වචන පේළිය තමන්ගේ කන් අස්සේ දෝංකාර දෙනවාක් මෙනි.
“තාත්තා නදීව හම්බෙන්න ගිහින් “ඔයත් මගේ දරුවෙක්, ඒක හන්දා මියුරුව අතාරින්න” කියල පිස්සු නැටුවට නදීගෙ අම්මා කියල තියෙනවා ඒ මනුස්සයව නදීව ආච්චි ලඟ දාලා රට ගිහින් තියෙන්නෙ ඒ ළමය විල්සන් අංකල්ගෙ නිසා කියලා. තාත්තගෙ ළමේක් උනානම් අරගෙනයි යන්නෙ කියලා”