බිම්මල් – 32 කොටස

බොහෝ සුබ සිහින දකිමින් කලකට පසු සුවදායී නින්දක් ලැබූ මම උදෑසනම පිබිදුනෙමි. මා දුටු සිහිනයන් සියල්ලෙහිම හේෂාන් ද සිටි බව මතකයෙහි රැඳී තිබිණ. මම යහනෙන් බැස ජනේලය අසළට ගමන් කළෙමි. ජනෙල් තිර විවර කරද්දී දුටු දසුන බෙහෙවින් මනස්කාන්ත දසුනක් විය. ඒවනවිට වැව් දිය මත යන්තමින් පතිත වන හිරු රැස් මනස්කාන්ත දසුනක් මවා පෙන්වීය. මම එම දසුන දෙස වශීකෘතව බලා සිටියෙමි.

මා තුළ කිසිත් රෝගී තත්වයක් නැතැයි ප්‍රථම වතාවට මට සිතිණ. ගතට දැනෙන සනීපවත් බව සිත සතුටින් පිරී තිබීම නිසාම ඇති වුවක් විය යුතුය. නොපුරුදු පරිසරයකදී, නොපුරුදු මිනිසුන් අතරේදී දැනෙන කාන්සිය මෙහි පැමිණි මොහොතේ සිටම මට නොදැනුනේ වෛද්‍ය කුෂ්වාන්ත් සිං, වෛද්‍ය පීහු සහ අනෙක් සියලු දෙනාගේ කාරුණිකත්වය නිසා විය යුතුය. මා සතුටින් සිටින බව අම්මාට මෙන්ම හේෂාන්ට ද පැවසිය යුතු යයි මම සිතුවෙමි. මා මෙහි නතර කර නික්ම ගිය හේෂාන්ගෙන් දුරකතන ඇමතුමක් ලැබෙනු ඇතැයි රාත්‍රිය වනතුරුම මා අපේක්ෂාවෙන් සිටියද, ඔහුගෙන් දුරකතන ඇමතුමක් නොලැබිණ. ඇතැම් විට ඊයේ දිනයේ ද හේෂාන් සහ ඔහුගේ මව අතර ගැටුමක් ඇති වන්නට ඇත.  කිහිප වරක්ම ඔහු ඇමතීමට සිත් වුව ද, මා එම අදහස අත්හැර දැමුවේ ඉන් ඔහුට සිදුවන අනර්ථය සළකාගෙනය.

තෙවරක් දොරට තට්ටු කරන හඬ ඇසීමත් සමගම දොර විවර විය. මට රාත්‍රී ආහාර ගෙනා කාන්තාව කාමරයට පිවිසියේ සිනාමුසු මුහුණින් යුතුවය.

“ගුඩ් මෝනින් මැඩම්.”

ට්‍රොලියේ තබාගෙන පැමිණි තේ ඇතුළත් බන්දේසිය මේසය මත තැන්පත් කළ ඇය මට හිස නැමුවාය.

“මම ජ්‍යෝති. අද ඉඳලා මැඩම්ව බලාගන්නෙ මං තමයි.”

“ස්තුතියි.”

මම පැවසුවෙමි.

“මැඩම්ව දැක්කම මට මතක් වෙන්නෙම ජාන්සි මැඩම්වයි.”

උස් වීදුරුවකට කිරි වත්කොට එය මතින් තද කහට ස්වල්පයක් දැමූ ජ්‍යෝතිකා පැවසුවාය.

“කවුද ජාන්සි කියන්නෙ?”

ජ්‍යෝති කලබල වූවාය. තමා අතින් වැරදි යමක් කියවුනාක් බඳු පසුතැවිල්ලක් ඇගේ මුහුණෙන් මම දුටිමි.

“මෙහේ ටික දවසක් ඉන්නකොට මැඩම්ට දැනගන්න ලැබේවි. රස්නෙ යන්න කලින් කිරි බීලා ඉන්න මැඩම්.”

“මම බොන්නම්.”

“ඕන දේකට මට කතා කරන්න. මැඩම්ව හොඳින් බලාගන්න කියලා ඩොක්ට පීහු මට කියලා තියෙන්නෙ. මම බ්‍රෙක්ෆස්ට් අරගෙන පස්සෙ එන්නම්.”

ජ්‍යෝති මගෙන් සමුගෙන කාමරයෙන් පිටව ගියාය. වයස අවුරුදු හතළිහක් පමණ වයසෙහි පසුවන ඇයගේ කාරුණිකත්වය මට සිහියට නංවන්නේ අම්මා ය. මේවනවිට අම්මාත්, සුදු නංගීත්, වජිරාත් මා පිළිබඳව සිහි කරමින් උදෑසන තේ පානය කරමින් ඇතැයි මට සිතිණ.

මම කිරි වීදුරුවද රැගෙන ජනේලය අසළට ගියෙමි. ඈතින් එළදෙනෙකු දක්කාගෙන යන කෙසඟ ගැහැනියක සහ දැරියක මම දුටුවෙමි. රෝහලෙන් පිටව ගොස් මෙම මනස්කාන්ත පරිසරය අත් විඳීමට මා තුළ වූයේ දැඩි ආශාවකි.

වැව දෙස සිට රෝහල දක්වා ඇති පටු මාවත ඔස්සේ දිව එන කෙනෙකු මට දක්නට ලැබුනේ අහම්බෙනි. සුදු පැහැති ඇඳුමින් සැරසී ඔහු දිව එන්නේ රෝහල දෙසටය. ඒ අන් කිසිවෙක් නොව වෛද්‍ය කුෂ්වාන්ත් සිං බව හඳුනා ගැනීමට මට මඳ වේලාවක් ගත විය. උදෑසන දිවීමට යාම ඔහු පුරුද්දක් වශයෙන් කරනු ඇතැයි මට සිතිණ. මගේ සිත මෘදු හැඟීමෙන් පිරිණ. වෛද්‍ය කුෂ්වාන්ත් සිං, වෛද්‍ය පීහු, පූනම්, ජ්‍යෝති… මේ සියලු දෙනාම හදවත නිවා සනහාලන ඔසු පැන් වැනිය. මෙහි ගෞරවය නිතැතින්ම හිමි විය යුත්තේ  හේෂාන්ට නොවේද?

හේෂාන්ට දුරකතන ඇමතුමක් ගෙන මෙහි පැමිණි මොහොතේ සිටම සිදු වූ සියලු දෑ ඔහුට පැවසීමේ ආශාව මට යටපත් කරගත නොහැකි වූයෙන් මම ඔහුට දුරකතන ඇමතුමක් ගැනීමට උත්සාහ කළෙමි. එහෙත් ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබිණ.

“ඊයේ අනිවාර්යයෙන්ම ආන්ටි එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්න ඇති. ඉඩක් ලැබුනම හේෂාන් මට කතා කරාවි.”

මම සිත හදාගන්නට උත්සාහ කළෙමි. අද දින සිට මට ප්‍රතිකාර ආරම්භ කරන බව පසුගිය දිනයේ වෛද්‍ය පීහු ෂර්මා පැවසූ බව මට සිහිපත් විය

“ඇත්තටම මට බෙහෙත් ඕනද? දැනටමත් මට සනීපයි වගේ දැනෙන්නෙ.”

මගේ සිතිවිල්ලට මටම සිනා පහළ වූයේ නිතැතිනි. නිසැකවම මට ඉක්මනින් සනීප වනු නොඅනුමානය. ඊළඟ වාරයේ හේෂාන්, සහ අම්මාත්, සුදු නංගීත් පැමිණෙද්දී මා සුවය ලබා සිටින අයුරු මම මනසින් දුටුවෙමි.

සියල්ලටම පෙර නාන කාමරයට වැදී සිත් සේ දිය නා ගත් පසුව මට දැනුනේ පවසා ගත නොහැකි තරමේ සනීපවත් බවකි. ඇඳුමක් තෝරා ගැනීමේදී ලා කහ පැහැයෙන් යුත් ඇඳුමක් තෝරා ගැනීමට මා සිත පොළඹවන ලද්දේ මෙම රෝහලේ වර්ණය වු කහ සහ කොළ පැහැයන් සිහියට නැගුණ බැවිනි.

ජ්‍යෝති උදෑසන ආහාර ගෙනැවිත් මේසය මත තබා ගොස් තිබුණෙන් මම කුස පුරා ආහාර ගතිමි. සියල්ල අවසාන වූ පසු ජනේලය අසළින් පුටුව තබා ගත් මම ජනේලයෙන් දකින පරිසරය දෙස නෙත් හෙලාගෙන සිටියේ ආශාවෙනි. ඒවනවිට හිරු රුස් හොඳින් පතිතව තිබිණ. අපූරු චමත්කාරයකින් වැව සහ අවට පරිසරය දර්ශනය විය.

“මම ඇවිත් තියෙන්නෙ ට්‍රීට්මන්ට්ස් ගන්නද? එහෙමත් නැත්නම් නිවාඩුවක් ගත කරන්නද?”

එම සිතිවිල්ල පවා මගේ මුවග සිනාවක් නංවන සුළු විය. අදම අම්මාට දුරකතන ඇමතුමක් ලබා දී මට කියවීම සඳහා පොත් ද, චිත්‍රපට කීපයක් ද රැගෙන එන ලෙස පැවසිය යුතුය.

දොරට තට්ටු කරන හඬත් සමගම කාමරයේ දොර විවර විය. පළමුව වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද, ඔහු පසුපසින් වෛද්‍ය පීහු ද පැමිණියේ මගේ සිතට සතුටක් රැගෙන එමිනි.

“ගුඩ් මෝනින් ඩිනාලි.”

පළමුව වෛද්‍ය කුෂ්වාන්ත් සිං මට සුබ පැතුවේය. 

“ගුඩ් මෝනින් ඩොක්ට.”

මා ඔහුගේ මුවග සිනාවක් දුටුවේ ප්‍රථම වරටය. වෛද්‍ය පීහු ද මට සුබ පැතුවාය.

“කුෂ්ට කියන්න මේ තුම්සේ ප්‍යාර් කර්තී හූ කියලා.”

සුදු නංගී පැවසූ වදන් සිහියට නැගුණෙන් මගේ මුවග සිනාවක් නැගුණේ නිතැතිනි.

“ඩිනාලි ඉන්නෙ සතුටෙන්. මේ හොස්පිටල් එකට එන අයගෙන් බොහොමයක් දෙනා ඉන්නෙ සතුටෙන් නෙමෙයි. අපි උත්සාහ කරන්නෙ හැමකෙනෙක් තුළම සතුට, විශ්වාසය ඇති කරන්න.”

වෛද්‍ය පීහු පැවසුවාය. වෛද්‍ය කුෂ්වාන්ත් සිං හිස සැලුවේ ඇගේ කීම අනුමත කරන ලෙසිනි.

“අපි අද ඔයාගෙ  ට්‍රීට්මන්ට්ස් පටන් ගන්නවා ඩිනාලි. කීමො පටන් ගන්නකොට සමහර පේෂන්ට්ලට යම් යම් අපහසුතා ඇති වෙන්න පුලුවන්. සමහර විට ඇති නොවෙන්න පුලුවන්. විශ්වාසය ඇති කර ගන්න.”

පිටත්ව යාමට පෙර වෛද්‍ය කුෂ්වාන්ත් සිං පැවසූ වදන් ඔහු පිටව ගොස් සෑහෙන වෙලාවක් ගත වනතුරුම මගේ දෙසවන් පුරා දෝංකාර දෙන්නාක් මෙන් මට දැනිණ.

දිය නෑමත්, කුස පුරා ආහාර ගැනීමත් නිසා මට තද නිදිමතක් දැනෙන්නට වූයෙන් මම යහන මත වැතිර ගතිමි. මගේ දෙනෙත් කරා නින්ද ළං වන්නට ඇත්තේ නිරායාසයෙනි.

                    *

මා පිබිදුණේ දොරට තෙවරක් තට්ටු කරන හඬත් සමගය. අසීරුවෙන් දෑස් විවර කරද්දී පූනම් හෙදිය සමග වෛද්‍ය කුෂ්වාන්ත් සිං ද,වෛද්‍ය පීහු ෂර්මා ද කාමරයට පිවිසුණහ. පූනම් හෙදිය කතා බහකින් තොරව මගේ අතෙහි කැනියුලාවක් සවි කරන ආකාරය වෛද්‍ය කුෂ්වාන්ත් සිං බලා සිටියේ වේදනා පිරුණු දෑසින් යුතුව යයි මට සිතිණ. හෙදිය අතින් එන්නත ලබා ගත් කුෂ්වාන්ත් සිං එය කැනියුලාව තුළින් මට ලබා දුන්නේය. ඔහුගේ දෙනෙත් වල වූයේ වේදනාවකැයි යන හැඟීමෙන් මිදීමට මට නොහැකි විය.

වෛද්‍ය පීහු ෂර්මා ඔහුගෙන් විමසු කිසිවක් මට නොවැටහුනේ එය ඔවුන්ගේ බසින් ඇසූ බැවිනි. වෛද්‍ය කුෂ්වාන්ත් සිං එම බසින්ම පිළිතුරු සැපයුයේ සෙමෙනි. ඔහු පැවසූ වදන් වලින් මට වැටහුණු එකම වදන වූයේ ජ්‍යෝති යන්න පමණකි. මම කුතුහලයෙන් ඔවුන් දෙස බලා සිටියෙමි.

“ඔක්කොම හරි ඩිනාලි.”

වෛද්‍ය පීහු මගේ උරහිසට තට්ටු කළාය.

“ඩොක්ට කුෂ් කියනවා ජ්‍යෝතිව ඔයාව බලාගන්න තියන්න කියලා.”

“තෑන්ක් යු ඩොක්ට.”

මම පැවසුවෙමි.

“මොන විදියෙ හරි අපහසුවක් දැනුනොත් කියන්න. කිසිම බෙහෙත් වේලක් මිස් කරන්න එපා.”

වෛද්‍ය කුෂ්වාන්ත් සිං කතා බහක් නොමැතිව ඈතින් පෙනෙන වැව දෙසට නෙත් හෙලාගෙන සිටියේද නොමැති නම් ගැඹුරු කල්පනාවකට වැටී සිටියේද යන්න මම නොදැන සිටියෙමි. වෛද්‍ය පීහු, පූනම් හෙදිය අමතා යම් යම් උපදෙස් ලබා දුන්නේද ඔවුන්ගේ භාෂාවෙනි.

මගේ ප්‍රතිකාර කටයුතු අවසන් කළ පසු වෛද්‍ය පීහු මගෙන් සමුගෙන ගිය ද,වෛද්‍ය කුෂ්වාන්ත් සිං නිහඬවම කාමරයෙන් පිට වුයේ මන්දැයි මම කල්පනා කළෙමි.

“ඩොක්ට කුෂ් ඉන්නෙ දුකෙන්.”

වෛද්‍යවරුන් නික්ම ගිය පසු පූනම් හෙදිය පැවසුවාය.

“ඇයි?”

මම ඇසුවෙමි.

“ඩොක්ටර්ස්ලට විතරක් නෙමෙයි. අපටත් දුකයි. මොන විදියෙ පේෂන්ට් කෙනෙක් ආවත් අපි ඉන්නෙ දුකෙන්. හැබැයි ඉතින් හොඳටම හොඳ වෙලා හොස්පිටල් එකෙන් පිට වෙලා යද්දි දැනෙන සතුට නම් කියලා නිම කරන්න බෑ.”

හෙදිය මා කෙරෙන් කිසිවක් වසන් කරන්නට උත්සාහ කරන බව දැනුන ද, මම සිටියේ එය නොවැටහුන ලෙසිනි.

“මේ හොස්පිටල් එකේ පේෂන්ට්ස්ලා කී දෙනෙක් විතර ඉන්නවද?”

මම ඇසුවෙමි.

“ගොඩක්ම නෑ. විසි පහක් විතර. ප්‍රතිකාර කරන්න අමාරු පේෂන්ට්ස්ලා අපේ ඩොක්ට භාර ගන්නෙ නෑ.”

“අමාරු පේෂන්ට්ස්ලා කිව්වෙ?”

“කැන්සර් එක ස්ප්‍රෙඩ් වෙලා ඉන්න අයව භාර ගන්නෙ නෑ. අපි මෙතනදි විකිරණ ප්‍රතිකාර කරන්නෙ ගොඩක් අඩුවෙන්. මෙහේ වැඩිහරියක්ම ඉන්නෙ කීමොතෙරපි ලබන අය. මාසෙකට විතර කලින් මේ රූම් එකේම හිටිය අම්මා සනීප වෙලා ගෙදර ගියා.”

“ඒ අම්මගෙ කැන්සර් එක කොහෙද තිබුනෙ?”

“එයාට තිබුනෙ බ්‍රෙස්ට් කැන්සර් එකක්. ඒ පේෂන්ට්ට හිතේ ලොකු විශ්වාසයක් තිබුනා මුල ඉඳන්ම. මාස තුනක් යද්දි සම්පූර්ණයෙන්ම හොඳ වුනා. ඩොක්ට කුෂ් ප්‍රතිකාර වලට අමතරව මනසින් වැඩ ගන්න හැටිත් පුහුණු කරනවා.”

“ඒ කොහොමද?”

මා ඇසුවේ කුතුහලයෙනි.

“පොසිටිව් තින්කින් ගැන අහලා තියෙනවද? කලබල වෙන්න එපා. ඉක්මනින්ම ඔයාට ඒ ගැන දැනගන්න පුලුවන් වේවි. දැන් ටිකක් විවේක ගන්න ඩිනාලි. හැමදේම හොඳින් සිද්ද වේවි කියලා හිතන්න.”

“ස්තුතියි.”

මම පැවසුවෙමි.

“ජීවිතේ කඩා වැටිච්ච හැමවෙලාවෙම මං එහෙම හිතන්න උත්සාහ කරා. සමහර අවස්ථා වල දි මගේ හිත පරාද වුනා.”

“හිත කියන දේ එහෙම තමයි. ඔයා ළඟ ඉන්න ජ්‍යෝතිව එවන්න කියලා ඩොක්ට කුෂ් කිව්වා. එයා ඒවි.”

“හැම පේෂන්ට් කෙනෙක් ළඟම තනියට කෙනෙක් ඉන්නවද?”

මා ඇසුවේ කුතුහලයෙනි.

“හැම පේෂන්ට් කෙනෙක් ළඟම කෙනෙක්ව තියන්න තරම් ලොකු ස්ටාෆ් එකක් තවම අපට නෑ.”

“එහෙනම් ඇයි….”

“ඔයා තරුණ ළමයෙක් නිසා ඩොක්ට කුෂ්ට වගේම ඩොක්ට පීහුටත් දුක හිතෙන්න ඇති. මම යන්නම්. සතුටින් ඉන්න.”

පූනම් හෙදිය කාමරයෙන් නික්ම ගියාය. මම හිඳගත්වනම ඈතින් දිස් වන වැව දෙස බලා සිටියෙමි. කාමරය තුළ වූ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් ජනප්‍රිය හින්දි ගීතයක් විකාශය වන්නට වූයෙන් මගේ සිතට සතුටක් දැනිණ. ඇසෙන නෑසෙන හඬින් විකාශය වන ගීතය සැබවින්ම මසිත නළවන්නාක් මෙන් මට දැනිණ. මගේ දෙනෙත් කෙමෙන් කෙමෙන් පියවන්නට විය. ආයාසයෙන් දෙනෙත් හැරගෙන සිටින්නට උත්සාහ කළ ද මගේ දෙනෙත් අඩවන් වන්නට වූයේ මට ද රහසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles