ආකාස මෝස්තර – 38

ඒ රාත්‍රිය, සිහිනයක කෙළවරක තිබූ මනරම් වර්ණ අහුරකි. චන්දුල ගේ ගීතය නිමා වීමෙන් පස්සේ ගඟුල් එය නැවත ද මුලට ගෙන පිරිසට බලන්නට සලස්වා දුන්නේ ය. ඊට පස්සේ ඔවුන්ට එය යළි යළිත් නැරඹීමට අවැසි විය. වෙනත් ගීතයක් බලන්නට උවමනාවක් වූයේ ම නැත. උමා හා පාරුල් තේ සූදානම් කොට පිළිගැන්වූහ.

“හරි හරි දැං උඹල පලයල්ල..නගරාධිපතිතුමාට තෝසෙ එකක්වත් කන්න දීල යවන්නෝනෙ”

කියා ජුලී පාරට බැස නො කියන්නට ඔවුන් රැය පහන් වන තුරාවට චන්දුල ගේ ගීතය යළි යළිත් නරඹනු ඇත. ගඟුල් සිනහ වෙවී රූපවාහිනිය ඇතුළට කළේ ය. පාරුල් උමා සමගින් චන්දුල ගෙනා තෝසේ, වඩේ සමගින් උමා තැනූ පූරි ද මේසයට තබා ගඟුල් ට රෑ කෑම සූදානම් කළා ය.

“නගරාධිපති තුමාට අපි කොහොම ස්තූති කරන්නද මන්ද…නේද පාරෝ”

පිරිස පිට වී ගිය ද තවමත් පාරුල් ගේ ගේ ළඟ කැරකෙමින් සිටි ශාරුක්, පවුලේ අය වෙනුවෙන් නගරාධිපති තුමාට ස්තූති කරන්නට සූදානම් වූයේ ය. පාරුල් උමා දෙස බලා සිනහව ගිලගත්තා ය.

“කෝ ඉතිං උඹට යන්න කියල වෙනම බුලත් දෙන්න ඕනෙද ශාරුකෝ… රෑ වුණානෙ. ඉතිං පලයංකො”

අවසන එසේ කියන්නට ජුලී ට සිදු විය. ශාරුක් බයිසිකලයට නැගගත්තේ හිතේ කොස්සක් තියාගෙනයි.

“යකෝ මුං දැංම උඩ ගිහිංනෙ. මිණිපිරී දොස්තර නෝනෙක් වෙන්නයි මුණුපුරා ගායකයෙක් වෙන්නයි යන නිසා උන්දගෙ තියන ගණකම”

ඔහු පාපැදිය පැද ගියේ තනිව එසේ මුමුණමිනි.

ගඟුල් ට රෑ කෑම පිළිගැන්වුණේ දේව දානයක් තරම් භක්තියෙනි. ජුලී ද රිදී ද ප්‍රධාන දේව දාසියෝ වූහ. ඔහු ගේ පිඟාන හිස් වෙන්නට ජුලී ඉඩ දුන්නේ ම නැත. තෝසයක්, වඩේ එකක්, පූරි එකක් යළි යළිත් පිඟානට දැමිණි.

“හම්මෝ ඇති ආත්තම්මෙ. තවත්නං කන්න බෑ”

ඔහු බඩ දිගහරිමින් කීවත් ජුලී ඉඩ දෙන්නේ නැත.

“අනේ මොන පිස්සුද… කොල්ලෙක්ගෙ බඩ කියන්නෙ සුවල්ප ඉඩක් තියන තැනක්ද… මේ කෝසෙ එකක් වඩයක් හරියට… කැලණි ගඟ මැද්දෙං පොල් මුඩ්ඩක් ගියා වගේ ඇති”

ඒ කතාවට ගඟුල් හඬ නගා සිනහ වූයේ ය. ඒ වගේ පිරිමි සිනහවක් ගෙදරක් ජවයෙන් පුරවාලයි. පාරුල් සන්තෝෂයෙන් පිම්බී සිටියා ය. ආත්තම්මා ඔහු ළගට වී සංග්‍රහ කරත්දී ආදරයෙන් බලා සිටියා ය. රූපවාහිනිය ඔස්සේ ඇහුණු චන්දුල ගේ ගීතයේ කොටස් තැන් තැන්වලින් ඇගේ මනසේ පිළිරැව් දෙයි.

“උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි…ඇස රැඳුණ රැඳුණ තැන් වල මුව මඬල හිනැහුණා… ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා…”

“චන්දුලට ස්පොන්සර් කෙනෙක් විදිහට මං ඉන්නව කියල අමතක කරන්නෙපා. ඕන වෙලාවක ඕනම දේකට මට කතාකරන්න ඕන හරිද… දැනට උවමනා දේවල් වලට මේ චෙක් එක කෑශ් කරගන්න. දැනට කොළඹ ෆස්ට් පර්සන් විදිහට චන්දුල මට ආඩම්බරයක්. අපි දිනමු”

ගඟුල් සමු ගන්නට සූදානමින් චන්දුල ගේ උරහිසට තට්ටු කළේ ය. නමුත් ඔහු පානා ලියුම් කවරය අතට ගන්නට චන්දුල පසුබෑවේ ය. ගඟුල් එය ඔහු ගේ අතේ තැබුවේ බලයෙන් මෙනි.

“චන්දුලව දිනවන්න කරන්න ඕන දේවල් කරන එක මගෙ වගකීමක් කියලයි මං හිතන්නෙ. ඔයා අපේ කෙනෙක්. අපේ වගකීමක්. ඔයා දිනුවොත් ඒකෙ සතුටත් අපිටයි. හරිද…”

“තැන්කියු සර්”

එවර ඔහු ලියුම් කවරය අතට ගත්තේ ය.

ගඟුල් නික්ම යාමට සූදානම් වෙත්දී ගෙදර කාගේත් හදවත් වල යම් සංකා හැඟීමක් විය. ඔහු තමන්ගේ ම කෙනෙකු වාගේ දැනෙමින් තිබේ!

ගඟුල් රියට ගොඩ වූයේ නිහඬව ය. පාරුල් වෙනුවෙන් යමක් කියන්නේ නැතිව ම ය. නමුත් ඔහු ගේ ඇස් අඳුරේ වුව දොඩමළුව තිබිණ. පාරුල් ගේ හදවතට ආගන්තුක බරක් දැනිණි. රිය නික්ම ගියාට පසු පාළුවක් මීදුමක් සේ හිත පුරා පැතිර ගියේ ය.

“උඩු හිතට වැඩිය ඔබ ගැන විමසන්නෙ යටි හිතයි”

මගදී ඔහු ස්ටියරින් වීලයට ඇඟිල්ලකින් තට්ටු කරමින් මිමිණුවේ ය.

සිසිර ඇල්ලගේ කිහිප විටක් පපුව පිරිමැද ගත්තේ ය. චන්දුල ඇල්ලගේ… ඒ සිය පුත්‍රයාගේ නම බව ඔහු ට විශ්වාස ය. නමට යටින් නගරය ලෙස කොළඹ දහය ලෙස තිරය මත සනිටුහන් ව තිබුණා මතක ය. ඒ පුදුම හඬකි. හදවත් පටක ඉරාගෙන ඇතුළට කිඳා බසිනා හඬකි. රූපය ඊටත් වැඩියෙන් හදවත් පැහැර ගනී. ඔහු ට තිබෙන්නේ රන් රුවකි. අඩි හතකට ආසන්න උසකි. ඒ උසට සරිලන මහත් නොවූ දේහ ධාරියෙකි. චන්දුල ගේ මුහුණේ තිබෙන්නේ ආඩම්බරයක් ද තිගැස්මක් ද කියා වෙන් කොට හැඳින ගන්නට සිසිර සමත් වූවා නොවේ. මේ චන්දුලත් ඔහු ගේ චන්දුලත් එක් අයෙකු  ද? නැත්නම් දෙදෙනෙකු ද? මේ ඔහු ගේ පුත්‍රයා නම් ඔහු මේ සා කඩවසම් තුරුණුවෙකු වී ඇතැයි සිතා ගන්නටවත් සිසිර ට හැකි නොවිණ. රිදී මේ තරම් ලස්සනට, මේ තරම් නිරෝගීව, මේ තරම් පෞරුෂයකින් අනූනව, මේ තරම් සාඩම්බරයකින් යුතුව පුතෙකු තැනුවා ද? ඇය ඔහුව මෙවන් තැනකට ගෙන යන්නට තරම් සවිමත් හිතැත්තියක වූවා ද? ඔහු ලොන්ඩරි වත්තෙන් පිටමං වූ දා ඇය හැඬූ හැඬුම් සිසිර ට මේ දැන් මෙන් සිහි වේ. ඔහු හිත දැඩි කොටගෙන සිටියේ ය. ගලක් කොටගෙන සිටියේ ය. ඒ ඔහු ට අකැප තැනක් බව පමා වී හෝ තේරුම් ගැනීම ගැන තුටින් හිටියේ ය. පහු වී දරුවන් සිහි වූ වෙලාවක වුව ඔවුන් දැන් අම්මා සමග එක් වී රෙදි අපුල්ලනු ඇතැයි සිතිවිල්ලක් පමණක් ශේෂ විය. චන්දුල මේ තරම් පෞරුෂවත් හා සුන්දර තරුණයෙකු වී ඇති බව කොහොම විශ්වාස කරන්න ද? ඒ සිය චන්දුල නොවේ කියා සිතාගන්නා එක වඩා පහසු වූයේ ය. නමුත් සිසිර ට එදා රෑ නින්ද ගියේ නැත. හදවත උමතු වී තිබිණ. ඔහු වෙනදාටත් වඩා දුම්වැටි ගණනාවක් දැල්වූයේ ය.

රිදී ද කොට්ටයට කඳුළක් හැළුවා ය. ඒ කඳුළු අතරින් ඇයට සිසිර සිහි වන එක වැළකිය හැකි වූයේ නැත. කොහොමටත් කවදටත් ඇයට ඔහු සිහි නොවූවා නොවේ. දරුවන් දකිනා හැම මොහොතක ම, පපුවේ හිඳිනා ඔහු පිටතට ආවේ ය. චන්දුල ගීයක් ගයනා හැම වෙලාවක ම ඔහු සමගින් අතීතයට විසි වූවා ය. නමුත් අද වැඩියෙන් ඔහු සිහි වේ. මෙතුවක් කල් ඉවසා දරාන උන් කඳුළු පාලනය කරගත නො හැකිව වැගිරේ.

කොට්ටය ළඟ තිබූ පාරුල් ගේ දුරකතනය ට වට්සැප් පණිවිඩයක් ආවේ ය. ඇය කලබලයකින් තොර ව එය විවර කළා ය. ඉවට දැනුණා සේ ම ඒ ගඟුල් ගෙනි. “මං ගෙදර ආවා” කියා ඔහු ලියා තිබිණ. පාරුල් ගුඩ් නයිට් ස්ටිකරයක් යැව්වා ය. ඔහු “දොයියන්න” කියා ලීවේ ය. පාරුල් ගේ පපුවට බරැති හිරවීමක් දැනිණ. නමුත් මුව මඳහසක් විය. ඇය ඇස් තදින් වසාගත්තා ය.

ඉනික්බිති වත්ත ඇතුළේ චන්දුල ට හිමි තැන වඩාත් ඉහළට එසැවිණ. වත්තේ මිනිසුන් ට ඔහු ගාමිණී ෆොන්සේකා හෝ විජය කුමාරණතුංග හෝ අමිතාබ් භච්චන් සේ විය. පුහුණුවීම් සේ ම රූගත කිරීම් සඳහා ද කාලය වෙන් කළ යුතු වූයෙන් රෙදි අපුල්ලන්නට ඔහු ට වෙලාව අඩු විය.

“ඒක මං කරගන්නං. රාජාගෙ හිමිකම රෙදි ඇපිල්ලිල්ල නෙවෙයි කියල දැංවත් තේරුං ගන්න”

රිදී තදින් සිටියා ය. නමුත් රිදී ට බර නොදී හැකි අයුරින් බෙදාගෙන ඇගේ රෙදි ටික අපුල්ලා දීමට ඇතැමෙක් ඉදිරිපත් වූහ.

සිසිරට ඔහු පාලනය කරගෙන සිටීම පහසු වූයේ නැත. එබැවින් දින දෙකකට පසු කාටවත් නො කියා ත්‍රිරෝද රියට නැගී ඔහු ලොන්ඩරි වත්තට ආවේ ය. ත්‍රීරෝද රිය නැවතුණේ රෙදි කාමර ආසන්නයේ ය. අතීතය නැවතත් සිදු වන්නේ යි කතාවක් තිබේ. මුලින් ම ජයතිස්ස සමගින් මෙහි පැමිණි කාලයේත් ඔහු ත්‍රීරෝද රිය නැවැත්වූයේ මේ ඉසව්වේයි. නමුත් එදා ඔහු ගේ මුවග වූ සැහැල්ලු සිනහව හෝ සිංදු කෑල්ල මෙදා වූයේ නැත. එදාට වැඩිය ඔහු වයස්ගත වී තිබේ. රැළි කොණ්ඩයේ තැන් තැන් වල සුදු කෙස් ය. උඩු රැවුල ඩයි කොට තිබේ. නමුත් ඒ ප්‍රියංකර පිරිමි රුව එහෙම ම ය.

රෙදි වැල් අස රෙදි වේලෙන්නට දමමින් සිටි රිදී සිසිර දැක තිගැස්සුණා ය. මේ දින දෙකෙහි වැඩිපුර ඔහු සිහිවීම නිසා, අව්වට කර වූ මේ යාමයේ එහෙම මනස් රූපයක් ඇඳෙන්නට ඇතැයි සිතාගන්නට ඇයට ඕනා විය. නමුත් සිසිර අඩියක් දෙකක් ඇය වෙතට තැබුවේ ය. ඔහු ට විශ්වාස කරගත නො හැකි තරමින් ඇය කෘෂ වී ගොස් තිබේ. ඒ කාලේ ඔහු පෙම් කළ රූමත් ගැහැනිය දිය වී ගිහින් තිබේ!

“රිදී”

සිසිර කතා කළේ ය. නමුත් පිළිතුරක් දී ගන්නට ඇය සමත් වූයේ නැත. රිදී ගේ දෙතොල් වෙව්ලා ගියේ ය. ගිළුණු කොපුලක මස් පිඬක් ගැස්සිණි.

“ඒ අපේ චන්දුලද රිදී…”

ඔහු පාරෙන් රෙදි වේලන තෘණ පිටියට එළඹ ඈ ඉදිරියේ වඩාත් සමීප ව සිටගත්තේ ය. රිදී ඔව් යි කියන්නට හිස සැළුවා ය. එතකොට ඇයට අවනත නැති කඳුළක් විසි වී ගියේ ය.

“ඒ කියන්නෙ කොල්ල මං වගේ සිංදු කියනව නේද…”

රිදී ඒත් කළේ හිස සලනා එකයි. ඇයට මේ මොහොත උහුලා ගත නො හැකි ය. ඇගේ වියපත් හදවත පැලී යාමට ආසන්න වී ඇතිවා මෙනි. ඕ තොමෝ සිය ජීවිත කාලයෙහි ලං වූ එක ම එක මිනිසා ගේ කේෂාන්තයෙහි සිට පාදාන්තය තෙක් ම බැලුවා ය. හදවත වාවා ගත නොහී වෙව්ලනවා සේ ඇයට දැනේ. ඔහු තවමත් තරුණ ය. ඇය ඔහු ට වඩා බෙහෙවින් වියපත් වී තිබේ.

වතුර ටැංකියේ සිටි චන්දුල රෙදි වැල් පැත්තේ සිටිනා රිදී දෙස බැලුවේ නිකමට ය. ඇය සමගින් සිටිනා පිරිමියා හැඳිනගන්නට බැරි කමක් ඔහු ට වූයේ නැත. හිත පුරා පැතිර ගියේ විදුලියක් වාගේ කෝප ධාරාවකි. චන්දුල වතුර ටැංකියෙන් පැන දිගු අඩි තබා රිදී වෙතට පැමිණියේ ය.

“රාජා… අඳුරන්න පුළුවන්ද…”

රිදී ගොත ගැසුවා ය. චන්දුල සිසිර දෙසට තියුණු බැල්මක් හෙළුවේ ය. ඔහු ගේ නළල රැලි නැංවී තිබේ. තාත්තා හැඳින්න ද ඔහු නුරුස්නා බැල්මෙන් යුතුව ‘නැහැ’ යි කියන්නට හිස සැළුවේ ය.

“තාත්ත පුතේ”

රිදී කොඳුරාගත්තා ය.

“ගෙදර ඇවිත් මට බත් ටිකක් බෙදන්න අම්මෙ”

චන්දුල ගේ ස්වරයේ ආවේගයක් විය. ඔහු මුළුමනින් තාත්තා ප්‍රතික්ශේප කොට තිබේ. එතැනදී රිදී අසරණ ය. තාත්තා කියා කීවාට පස්සේත් සිසිර සමග වචනයක් දොඩනා කැමැත්තක් චන්දුල නො පෙන්වී ය. ඉතින් රිදී සිසිර ට ගෙදරට ගොඩ වන්නයි ඇරයුම් කරන්නේ කෙසේ ද?

“පරක්කු වෙනව අම්මෙ”

චන්දුල පිටුපස හැරී එසේ කීවේ තරමක නො රිස්සුමකිනි. රිදී කලබල වූවා ය.

“මං රාජාට කන්න දෙන්න යනව”

රිදීටත් වැඩි අසරණකමක් දැනුණේ සිසිරටයි. ඔහු එය සුසුමක් කොට පපුවෙන් පිට කොට හැරියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles