හසරැලි වැස්සේ -43

සචිර අයියා පැමිණියේ මා දෙනෙත් ගැන තාත්තාට කියන්නට සැරසෙද්දී ම ය.මා කුමක් හෝ පළහිලව්වක පැටලී ඇතැයි සැකකරන තාත්තා එය සචිර අයියාගේ පිට දැමූ බව මට දැනුණේ තාත්තාගේ දෙනෙත් වලිනි.නමුත් ඔහු මා සමග කෝප්පයකින් ද නොවීය.තාත්තා සචිර අයියා සමඟ සංවාදයක් ඇරඹුවේ මා එතන ඇති බව ගණනකටවත් නොගනිමිනි.

“සූකිරියා..උඩ බලන් පාරේ යන්නෙ මොකද?”

මා සමග බොහෝ වේලාවක් කතාව නොකළ බව සිහිපත් වී සචිර අයියා ඇසූයේ ය.එයට හිනැහුණේ තාත්තා ය.

“එක වයසක් එනවනේ පුතා සිහිකල්පනාව අඩු වෙන..”

මම ලැජ්ජාවෙන් මුහුණ රතු කර ගතිමි.දැනට බොහෝ අබල දුබල වී සිටින ඔහුගේ අත්තම්මාට පවා හොඳ කල්පනාව ඇති බව කියමින් සචිර අයියා ද ඒ සරදමට හවුල් වූයේ ය.

“ගෑනු ළමයි එක වයසකදී තමන්ගෙ කල්පනාව වෙන මනුස්සයෙක්ට බාර දෙනව.හැබැයි සමහරුන්ට නම් කවදාවත් ඒ කල්පනාව ආපහු ඉල්ල ගන්නත් අමතක වෙනවා ..”

තාත්තා එසේ කීවේ මටද අම්මාට ද යන්න මට අපැහැදිලි ය.නමුත් ඔහු තමන් ගැන නොසලකන බිරිඳක් නිසා ජීවිතයේ අර්ධයක් ම විකමින් පීඩා විඳ ඇතැයි මට සිතුණේ සචිර අයියා නික්ම ගිය පසු ය.එතැන් පටන් තාත්තා මා සමඟ කළ සංවාදය නිසා ය.

“සචිර එන්නැත්තෙ මම නෑ කියලා හිතාගෙන නේද?”

සචිර අයියා එන්නට මොහොතකට පෙර කර සරදම සිහිකරමින් තාත්තා ඇසී ය.තාත්තා පැමිණි බව අපේ අයියා ඔහුට කියන්නට ඇතැයි පැවසූ මම තාත්තගේ සැකය දුරු කරන්නට සිතුවෙමි.

“අනේ තාත්තේ සචිර අයියත් මට අපේ අයියා වගේම තමයි. ඔය ජෝක් එක එයාට ගැලපෙන්නෙ නෑ.”

අයියාගේ හොඳම මිතුරන් දෙදෙනා ම තාත්තා හොඳින් හඳුනයි.තාත්තා අතීතයේ පටන්ම අයියට අවශ්‍ය දේ එක් වර්ගයකින් තුන බැගින් එවන්නට අමතක නොකළේ ය.පිරිමි ළමයින් වඩාත් ප්‍රිය කරන බොහෝ දෑ තාත්තා එවූයේ අයියාට පමණක් නොවේ.දෙනෙත් ටද සචිර අයියාට ද ඒ තිළිණ ඒ ආකාරයෙන්ම ගෙවන්නට ඔහු වග බලා ගත්තේ ය.

මා හිඳින්නේ සචිර අයියා සමඟ ප්‍රේමයකින් නම් එය තාත්තාට ගැටලුවක් නොවන බව ඔහුගේ වචන වලින් මට වැටහිණි. නමුත් මා ප්‍රේමයේ හදිසි ආවේග හන්දා විකාර වැඩ කරන්නට යාම ගැන දේශනයක් දෙන්නට තාත්තා සූදානමින් හිඳියි.ඒ දේශනය ලබාගන්නට මට ද අවශ්‍ය නමුත් චූදිතයා සචිර අයියා නොවේ.ඔහු මේ ප්‍රශ්නය නිසා මගේ අයියා විඳින මානසික වේදනා ද තුරන් කරන්නට සමත් අපේ හොඳම මිතුරා ය.

“අයියට තව යාලුවෙක් ඉන්නව නේද?කෝ ඒ ළමය මලුත් අරගෙන ආවෙ නෑනෙ..”

දියණියකට තාත්තාව රැවටීම අතිශය අපහසු බව හඟවන හඬකින් තාත්තා කියයි.ඒ ළමයා මල් රැගෙන නොපැමිණීම ගැටලූවට මුල බව කියන්නට මම ධෛර්යය ගතිමි.තාත්තා තවදුරටත් සචිර අයියාව චූදිතයා කළ යුතු නොවේ.

“ඒ ළමයා මල් අරගෙන ආවා නම් මොකුත් මොකුත් ප්‍රශ්නයක් නෑ තමයි තාත්තේ.”

මා පැවසුවේ තාත්තා දෙස නොබලමිනි.තාත්තා දෙස සෘජුව බලාගෙන මේ කතාව කියන්නට මට කොහෙත්ම දිරියක් ඉතිරිව නැත.

“මං ආදරේ කරන්නේ සචිර අයියට නෙමෙයි දෙනෙත්ට.අයියගෙ අනිත් යාලුවට.”

තාත්තා මගේ අතින් අල්ලා ගත්තේ ය.දෙනෙත් ගේ නොගැලපීම ගැන ඔහු මට දේශනයක් දෙන්නට සූදානම් බව සිතමින් මම දෑස් පියා ගතිමි.නමුත් තාත්තා අම්මා තරම් ඉක්මන්කාරයෙකු නොවේ.

“දෙනෙත්ට අම්මා කැමති නැද්ද? අයියා ඒ ගැන මොකද කියන්නේ?”

තාත්තා මගෙන් ඇසූයේ ප්‍රශ්න දෙකකි.ඒ ප්‍රශ්න දෙකටම පිළිතුරු දීම අනවශ්‍ය ය.නමුත් කියන්නට මහත් වේදනාවක් ඇති බවත් එය කියන්නට සුදුසුම පුද්ගලයා තාත්තා බවත් මම තීරණය කළෙමි.

“එහෙම නෙමෙයි,දෙනෙත් මට කැමති නෑ..”

හතරේ පන්තියේ දී ප්‍රාථමික අංශයේ තූර්යවාදක කණ්ඩායමේ නායිකාව වන්නට මට මහත් ආශාවක් තිබිණ.එය මට ලැබෙන බවට මගේ පන්ති භාර ගුරුතුමියට පවා සහතිකයක් තිබිණ.නමුත් සංගීත ගුරුතුමිය ඇයට වඩාත් සමීප පවුලක දැරියට එය ලබා දුන්නා ය.මට ලැබුණේ කණ්ඩායමේ පසුපස පේළියකි.”ජීවිතයේ අපිට ආසයි කියල හිතෙන හැමදේම ලැබෙන්නේ නෑ හසරැලි.මොකක්ම හරි හේතුවකට ආස හිතුණු දේවල් නොලැබුණාම අපි හිත හදාගන්න ඕන.හසරැලි කොහොමත් ශිෂ්‍යත්වේ පාස් වෙනවා.ලොකු ඉස්කෝලෙකට ගියාම පුතාට මීට වඩා ගොඩක් හොඳ දේවල් ලැබේවි..” පන්ති භාර ගුරුතුමිය මා සැනසූවා ය.එහෙත් මගේ ළපටි සිත බිඳී ගියේ ය.මා සනසන්නට මෙන් එකල තාත්තා නිවාඩු ලබා නිවසට පැමිණ සිටියේ ය.පන්ති භාර ගුරුතුමිය තරමට ඔහු බොහෝ දේ නොපැවසී ය.”සූකිරිට අඬන්න ඕනම නම් අඬන්න.ලැබුණු තැනත් හොඳයි කියලා ඔයාට පස්සේ හිතෙයි.” ඔහු කිව්වේ එපමණකි.

මට ඒ ඉපැරණි සිදුවීම සිහිව ආයේ ය.එදා වගේම තාත්තා මා තුරුලේ සිර කරගෙන සිටියේ ය.

“අකමැති දේවල් වලින් ඈත් වෙන්න හදන මිනිස්සුන්ට ඈත් වෙන්න දෙන්න සූකිරි.ළං කර ගත්තම වේදනාව තමන්ටමයි..”

තාත්තා මගේ හිස අතගාමින් පැවසුවේ ය.මහා බරක් බිමින් තැබූ සැහැල්ලුවක් ඒ වචන දෙපේලිය මට රැගෙන ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles