නිසි ප්‍රමිතියකින් සැකසූ යෝගට් වල ප්‍රෝටීන්, කැල්සියම්, විටමින් සහ ප්‍රෝබයෝටික් වගේ අපේ ශරීරයේ නීරෝගී පැවැත්මට අතිශය වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් අන්තර්ගත වෙනව.
අස්ථි සහ දත් වල නීරෝගී බවට, ආහාර ජීර්ණය ආශ්රිත ගැටළු ඇතිවීමේ අවදානම අඩු කරන්න යෝගට් වල අඩංගු මේ පෝෂක ඔබට උපකාරී වෙනව වගේම ආහාර පාලනය කරන ඔබේ ආහාර වේලටත් යෝගට් කියන්නෙ ඉතාම හොඳ විසඳුමක්.
අද වෙළඳපොලේ තියෙන අනිත් ආහාර වගේම යෝගට් වල මිල ටිකක් වැඩි නිසා අපි බොහෝදෙනෙක්ගෙ ගෙවල් වලට ඉස්සර වගේ නිතරම යෝගට් ගෙන්නේ නෑ නේද කියල ටිකක් කල්පනා කරොත් ඔබට මතක් වෙයි ?
ඉතිං ඒ තරම් වියදමක් නැතුව හරිම ලේසියෙන් පොඩ්ඩන්ට වගේම ඔබටත් රසවිඳින්න පුළුවන් යෝගට් ගෙදරදිම හදාගන්න විදිහ ඔබට කියල දෙන්න smart lady අපි අද තීරණය කරා.
එහෙනම් මුලින්ම බලමු, අපිට අවශ්‍ය දේවල් මොනවද කියල?
අවශ්‍ය ද්‍රව්‍ය
කිරි 1 L ක් (එළකිරි වගේ ඔබ කැමති කිරි වර්ගයක් භාවිතා කරන්න පුළුවන්)
සාමාන්‍ය යෝගට් 75 g ක්
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් ගැඹුරු භාජනයක් ලිප තබා එයට කිරි ටික එකතු කරගන්න.
දැන් මධ්‍යම ප්‍රමාණයට ගින්දර දමා කිරි ටික නටන තුරු සෙමෙන් රත්කර ගන්න.
කිරි ටික කුඩා බුබුළු මතුවන තෙක් නටවා ගැනීම ප්‍රමාණවත්. අනවශ්‍ය පරිදි නටවා ගැනීම අවශ්‍ය නෑ.
කිරි ටික නටන විට ලිප නිවා කිරි නිමෙන තුරු තබා ගන්න.
ලිප නිවා ටික වේලාවකින් කිරි තට්ටුවක් උඩින් කැටි ගැසී ඇති බව ඔබට දැකගන්න ලැබේවි.
ඒ යොදය සෙමෙන් හැන්දකින් ඉවත් කරගන්න ඔබට පුළුවන්.
කිරි සාමාන්‍ය උෂ්ණත්වයට (අතේ පිට පැත්තට දැමූ විට රස්නය දරාගත හැකි උෂ්ණත්වයට) නිවාගත යුතුයි.
අධික උෂ්ණත්වයේ පවතින කිරි, යෝගට් වල අඩංගු බැක්ටීරියා අක්‍රීය කරන නිසා මේ පියවර ඉතාම වැදගත්.
දැන් පියන වැසිය හැකි වෙනම භාජනයක් ගෙන එයට යෝගට් ටික දමා නිවාගත් කිරි ටිකත් එම භාජනයටම දමා හොඳින් මිශ්‍රකර ගන්න.
මේ භාජනයේ පියන හොඳින් වසා අවන් එකට දමා අවන් එකේ පියන වසා පැය 08 ක් තබාගන්න ඕන.
(අවන් එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නෑ. අපිට අවශ්‍ය වෙන්නෙ රස්නය ආරක්ෂා වෙන සේ හොඳින් වැසී තැබීමයි.)
පැය 08 කට පසු සාමාන්‍ය යෝගට් සැකසී අවසන්.
ඔබ කැමති නම්, මේ විදිහට ආහාරයට ගන්නත් පුළුවන්. නමුත් ග්‍රීක් යෝගට් වල ඇති වියළි බව ලබාගන්න පහත පියවර අනුගමනය කරන්න ඔබට පුළුවන්.
තරමක් ගැඹුරු භාජනයක් මත විශාල ප්ලාස්ටික් හෝ ඇළුමිණියම් පෙරනයක් තබා පෙරනය උඩට පිරිසිදු රෙදි කැබැල්ලක් දමා ගන්න.
එයට සකසා අවසන් වූ යෝගට් ටික දමා හොඳින් වතුර පෙරෙන තෙක් ශීතකරණයේ තබා පැය 04 ක් පමණ තබන්න.
පැය 04 කට පසු වතුර හොඳින් පෙරී ඉවත් වුන පසු සෑදුණු ග්‍රීක් යෝගට් ප්ලාස්ටික් භාජනයකට දමා ගෙන ශීතකරණයේ තබා ආහාරයට ගන්න පුළුවන්.
ඉතිං වැඩි වියදමක් නැතුව පිරිසිදුව සැකසූ ග්‍රීක් යෝගට් මේ විදිහට හදල බලමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා