ආකාස මෝස්තර – 44

සුරත් විජයවීර රියෙන් බැස්සේ පාරුල් විනිවිද බලමිනි. ඔහු ගේ දෑස් තරමක් ලොකු වී තිබුණේ ඇය කවුරුන් ද මෙහි කුමක් කරනවා දැයි නිශ්චිත වශයෙන් දැනගන්නට මෙනි. ඔහු ගේ බැල්මට ක්ෂණික සිනහවක් පෙරලා පුද කරමින් පාරුල් ඉක්මනින් බිම බලාගත්තා ය. කෙසේ වතුදු ඒ බැල්මෙහි අතරමගක දී සුරත් ට ඇය හමු විය. ඒ ලොන්ඩරි වත්තේ ගෙවල් පේළියේ කෙළවර ගෙදර පඩිය මතට වී ඔහු ට දේශනාවක් දුන් කෙල්ලයි!

“මේ ළමය මොකද මෙහේ…”

සුරත් ගේ හඬේ කිසිදු ළෙංගතු බවක් වූයේ නැත. පාරුල් වහා නිර්ධා දෙස බැලුවා ය. ඒ බැල්ම හැඳිනගන්නට බැරි කමක් නිර්ධා ට නො විණ.

“මං එක්කං ආවෙ. ෆැකල්ටි එකට උවමනාවකට ගිය වෙලේ මට දෙව්රූ හම්බුණා. තේ එකක් බිබී ටිකක් කතා කර කර ඉන්න මං එක්කං ආව”

නිර්ධා දෙව්රූ ගේ අතකින් අල්වා ගත්තා ය. ඒ අත වඩාත් සීතල වී තිබිණ. නමුත් නිර්ධා ගේ ග්‍රහණය තුළ පාරුල් ට යම් සුරක්ෂිත හැඟීමක් දැනිණ.

“දැං එයා යන්න හදන්නෙ. මං පුතාට කිව්ව ඩ්‍රොප් කරල එන්න කියල”

සුරත් ගේ ඇස් මකරෙකු සේ ගිනි පිම්බේ ය. නමුත් නිර්ධා ඒ මායිම් කළේවත් නැත.

“පරිස්සමට බස්සන්න පුතා. අනේ ආයිත් එන්න ඕන කෙල්ල හොඳේ. ඔයා ඉන්නකොට මට පාළු නෑ”

ඇය යුවතිය ගේ දෙකොපුල් මත උණුහුම් හා සිනිඳු වූ හාදු දෙකක් තැබුවා ය. දන්නා කාලයේ දී රිදී කවදාවත් පාරුල් ව සිපගෙන නැත. දුප්පත් මිනිසුන් ආදරය පෙන්වන්නේ පොහොසත් මිනිසුන් එය පෙන්වන ආකාරයට නොවේ. කෙසේ වෙතත් එ් නුහුරු ආලිංගනය පාරුල් ගේ හදවත තවදුරටත් නිර්ධා වෙත බැඳගනු ලැබිණ. ගඟුල් ගේ රියෙහි ඉදිරි දොර හැරියේ නිර්ධා ම ය. ඊට ගොඩවීමට පෙර පාරුල් නැවී නිර්ධා ගේ පාදයක් ස්පර්ශ කොට වන්දනා කළා ය.

“මං ඒ නමට හරි ආදරෙයි”

 යන්තම් කොඳුරාගන්නට යුවතිය සමත් වූවා ය. හදවත බර වී තිබිණ. දෙව්රූ කියනා නම තැබූ වෛද්‍යවරිය ගැන රිදී සිහිපත් කරනා හැම වතාවක ම දැනුණු බර එයයි. ඒ තරම් මෘදු හිතක් තිබූ කරුණාවන්ත වෛද්‍යවරිය දැකගන්නට පුංචි කාලේ පටන් හිතේ වූ ආශාව මේ විදිහට තෘප්ත වේ යයි ඕ කවදාකවත් නොසිතන්නට ඇත.

දැවැන්ත පිවිසුම් දොරටුවෙන් රිය නික්මෙන විට ගඟුල් සිටියේ ගීයක් උරුහම්බාමිනි. නමුත් ඒ ගීතයේ පද මොනවා දැයි ඔහු දන්නේ නැත. පාරුල් කෙළින් ම ඉදිරිය බලාගෙන සිටියා ය. අයිස් බවට ඝණ වෙමින් ද යළිත් ද්‍රව තත්වයට දිය වෙමින් ද සිටියා ය.

“බය වෙලාද දැං ඔය ඉන්නෙ…”

මඳ වෙලාවකට පසු ගඟුල් විචාලේ දෙතුන් වරක් ඇදෙස බැලීමෙන් පසුවයි. පාරුල් මැති ඇමතිලාට බියක් හෝ ගෞරවයක් දැක්වූ ගෑනු ළමයෙකු නොවේ. නමුත් මේ වෙලාවේ ගැස්මක් නැතිවාත් නොවේ. හෝරාවක් දෙකක් තුළ එක පිට සිදු වූ සිදුවීම් ටික අනපේක්ෂිත මොහොතක හදවතකට දරාගැනීම පහසු නැත.

“ටිකක්… මන්දා… මගෙ අත් සීතල වෙලා වගේ”

ඈ එසේ කීවේ මඳහසකින් සැරසී, සිය දෑත් දෙස බලමින්, යථාවත් වීමේ අවශ්‍යතාවය ඇතිවයි. සුරතින් ස්ටියරින් වීලය අල්වාගත් වන, පාරුල් දෙස බලන්නේ නැතිව ඉදිරිය බලාගෙන ම ගඟුල් සිය වමතින්  ඇගේ අතක් අල්වා ගත්තේ ය. ඇය අලුතෙන් ම තිගැස්සී ගියා ය. පාරුල් ගේ දෑස් ගගුල් වෙතට දැල්වී ගත්තේ වඩාත් මහත්ව යි. නමුත් ඔහු නො බලා සිටියේ ය. නො බැලුවත් ඔහු ට ඇය නො පෙනෙනවා ද නොවේ. ඒ මුව මත දඩබ්බර මන්දහාසයකි. සුරත දිගේ උණුහුමක් කාන්දු වෙන හැටි පාරුල් බලා සිටියා ය. දරා සිටියා ය. එය හරියට මහ වැහි වැටෙනා වෙලාවක කෝපි කෝප්පයකින් ලද හැකි උණුහුම වාගේ එකකි.

“බය වෙන්නෙපා. මං ඉන්නවනෙ”

පිරිමියෙකු එහෙව් සරකින් එහෙම කියත්දී ගැහැනු ආත්මයක් මත්තෙහි සිදු විය හැකි දෙදරීම මීට පෙර පාරුල් අත්විඳ නැත. ඇගේ කම්මුල් පුපුරු ගැසුවේ ය. දෙතොල් වෙව්ලා ගියේ ය. කන් වලින් දුම් දමන්නා සේ දැනිණ. නමුත් අයියා ළඟදී පමණක් දැනී ඇති සුරක්ෂිත හැඟීම එලෙස ම ඇයට දැනුණු බව විශ්වාස ය. ගඟුල් පාරුල් ගේ අත අත්හැරියේ මඳ වෙලාවකට පසුයි. එතකොට ඇයට මොකක්දෝ පාළුවක් දැනිණ. කල්ප කාලයක් අල්වාගෙන උන් අතක් අත්හැරී ගියා වන් ලෝභකමක් දැනිණ. තද සීතලක් දැනී ඕ දෑත් පපුව මතින් පොරවාගත්තා ය.

“අද හරි අමුතු දේවල් සිද්ද වෙච්ච දවසක්”

අවසන ඇය මුමුණා ගත්තේ එකී සීතලෙන් කටහඬ පවා වෙව්ලා යත්දී ය.

“පාරූ..”

“අපේ අම්ම මාව හම්බෙන්න ඉන්නකොට පාරුල් කියන නම දාන්න හිතාගෙනමයි ඉඳල තියෙන්නෙ. හැබැයි වෝඩ් එකේ හිටපු ඩොක්ටර් කෙනෙක් ඒ නමත් එක්කම දෙව්රූ කියන නම ලියල දීල. අම්මට කිව්වලු දේවතා රූපයක් වගේ දුවෙක් නිසා ඒ නම දාමු කියල”

ගඟුල් රියෙහි වේගය අඩු කරනා ගමන් ඇගේ මුහුණට එබෙනා උත්සාහයක් ගත්තේ ය. පාරුල් ට සිනහ නැඟිණ.

“නෑ නෑ මං දන්නව එහෙම නෑ කියල. ඒ වුණාට ඉතිං ඉපදෙනකොට පොඩි එහෙම ගතියක් තියෙන්න ඇතිනෙ”

එවර සිනහ වූයේ ගඟුල් ය. ඔහු ගේ පිරිමි පපුවට ඉතා තද ආදරයක් දැනිණ. ඔහු ඒ ආදරය පිට කළේ පාරුල් ගේ හිස් මුදූනේ කෙහෙ රැල් අවුල් කොටයි.

“අපේ අම්ම කී වතාවක් ඔය ඩොක්ටර් ගැන කියල තියෙනවද කියල මට හිතාගන්නවත් බෑ ගඟුල්. ඒ කියන හැම වතාවකම මගෙ ඇස් කඳුළු පටලෙකින් බොඳ වෙලා ගියෙ ඇයි කියල අදත් මං දන්නෑ. ඒ දොස්තර නෝනව මං කවදාවත් දැකල නැති වුණාට චූටි ගෑනු ළමයෙක්ගෙ හිතේ ලොකූ ගෞරවයක් ඇති කරපු මහ විසාල හදවතක් තියන කෙනෙක් එයා. සමහර විට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන කියන හිතිවිල්ල මගෙ හිතේ ඇති කළේ එයා ගැන හැම වෙලේම හිතේ කෙවි කෙවි තිබුණ ගෞරවේ වෙන්නත් ඇති. ඔය ඔක්කොම හරි සාමාන්‍යයි. ඒත් අසාමාන්‍ය දේ… ඒ ඩොක්ටර්ම මාව අඳුරගත්ත එක. සමහර වෙලාවට සොබාදහම ප්‍රාතිහාර්ය පානව අප්ප”

කුරුඳුවත්තේ සිට ලොන්ඩරිවත්තට වන්නේ විනාඩි කිහිපයක දුරකි. ඒ තරම් ඉක්මනට ඒ දුර තරණය කොටගෙන ගොස් පාරුල් එහි අතැර පැමිණිය නො හැකි යයි ලෝභී සිතිවිල්ලක් ගඟුල් ට දැනෙන්නට ගත්තේ ය. කුරුඳුවත්තත් ලොන්ඩරිවත්තත් අතර දුර සැතපුම් ගණනාවක් වන්නේ නම් හෙමි හෙමිහිට එදුර තරණය කරන්නටවත් තිබිණ. දැන් දැන් වැඩි වැඩියෙන් ඔහු ට ඇය උවමනා සේ දැනේ. නිරන්තර ඇය හිත සමීපයෙහි රැඳී සිටිනා බැව් සැබවි. නිතර කතා කොට ගිරවියක සේ තෙපළන බවත් සැබවි. නමුත් ඊටත් වැඩි අයිතියක්, ඊට වැඩි ලංවීමක් ඉල්ලා පිරිමි හිත කෑගසනු ඇසේ. ගඟුල් සිටිනුයේ නො ඇසෙනා සෙයිනි.

“අහන්නැද්ද ඒ ඩොක්ටර් කව්ද කියල… ඔයාගෙ අම්ම. මං ඉපදුණ වෙලාවෙ එයා නිකමට මාව ඉල්ලුවලු අපේ අම්මගෙන්… ගෙදර ගෙනියන්න. අනේ අම්ම නිතරම ඒ දොස්තර නෝන ගැන කියෙව්ව තමයි. ඒත් එයාට එදා ක්ලිනික් එක දවසෙ මතක් වෙලා නෑ. දැං මං ඔයාලගෙ ගෙදර ඉන්නකොට හදිස්සියෙම මතක් වෙලා කිව්ව…”

“ඒ කියන්නෙ ඔයාව අපි දන්නෙ ඉපදුණ දවසෙ ඉඳලමයි..”

“සමහර දේවල් හරි පුදුමයි. ඒත් මං එහෙම ආසයි”

එක වතාවක් හමු වෙන්නට ගිහින් මගහැරී ගිය ඇයව යළිත් වසර විසි ගණනකට පසු හමු වී තිබියදීත් අහිමි වී ගියේ ය. ඒ වෙලාවේ හිත හදා ගත්තාට යළිත් එහෙම වුණොත් තමන්ට ම සමාව දීගන්නට ඔහු ට නො හැකි වනු ඇතැයි ගඟුල් දැන සිටියේ ය.

“හදිස්සිද…”

කලබලයක් පැටළුණ ඒ කෙටි ප්‍රශ්නය පාරුල් ට වැටහුණේ නැති තරමි. ඇය දෑස් හකුළුවා ඔහු දෙස බැලුවා ය

“ගෙදර යන්න… පාඩං කරන්න එහෙම තියනවද…”

නැතැයි හඟවන්නට ඈ හිස සැළුවේ ඉතා හෙමිහිට ය. අවිනිශ්චිතව ය. දෙගිඩියාවේ ය. මඳකින් රිය නතර වූයේ අහස සිඹිණ ගොඩනැගිල්ලක රථගාලේයි. සීතල විදුලි සෝපානය දෙව්ලොවට යන පාර සිහිගන්වන්නකි. කොළඹ නගරය නිදන්නට අකමැතියෙන් අඳුර ට බිය ය. අඳුර ඈතින් එබිකම් කරත්දී විදුලි පහන් දැල්වෙන්නට පටන් ගනී. විදුලි සෝපානය ඉහළට ඇදී යත්දී පාරුල් කොළඹ නගරය දෙස බලා සිටියේ චමත්කාරයට පත් දැරියක සේ ය. මුළු කොළඹ කණාමැදිරි තිත් ගොඩකි. ඇය ඔහු විතරක් ඉන්නා ශීත කලාපයක හුදෙකලා ව සිටියා ය.

ගඟුල් හෙමිහිට ඈ පිටුපසින් පාරුල් ගේ බඳ වටා දෑත් යවා ඈ සිය සිරුරට ලං කොට ගත්තේ ය. පාරුල් ගේ මුහුණේ එතෙක් වූ සැහැල්ලු සිනහව මැකී යන්නට ගති. නමුත් ඇය එය පවත්වා ගැනීමේ උත්සාහයක් දැරුවා ය. උත්තරාර්ධ ගෝල සිසිලසක් පවත්නා විදුලි සෝපානය තුළ ඔහු ගේ උණුහුම වූ කලී තව තවත් තුරුලු වී විඳගන්නට හිතෙනා යමකි. නමුත් ඒ ගමනේ කෙළවර කෙසේ සනිටුහන් වනු ඇති ද?

විනාඩි කිහිපයක ඒ ගමන ආත්ම කිහිපයකටවත් අමතක කළ හැකි එකක් නොවේ. පාරුල් ගේ හද ගැස්ම උත්සන්න වී තිබිණ. ඔහු විදුලි සෝපානයෙන් පිට වී සුඛෝපභෝගී බොජුන්හලට ගොඩ වූයේ පාරුල් ගේ අතකින් අල්වාගෙන ය. ඒ ග්‍රහණය ඇයට පහසුවක් වූයේ ය. මුළු හදවත පුරා වචන කෝටි ගණනකින් කිව නො හැකි බන්ධනයක් ඇති වෙමින් තිබෙනවා ඇයට දැනිණ. ඇනවුම් සිදු කරන්නට ගත වූයේ සුළු වෙලාවකි. ගඟුල් පාරුල් කැටිව අවන්හලේ වීදුරු බිත්තිය සමීපයට වූයේ ය. කොළඹ කියන්නේ මේ සා මනස්කාන්ත ඉසව්වක් ද කියා පාරුල් ට නම් සිතා ගත නො හැකිව තිබිණ. ඈ හිඳිනා ලොන්ඩරිවත්ත පිහිටන්නේ කොයි හරියේ ද කියා සොයාගන්නට මෙන් ඕ නෙතු කුඩා කොට බැලුවා ය.

“දැං ඇති කියල හිතෙන්නැද්ද…”

ගඟුල් ගේ ඉන්ද්‍රජාලික ස්වරය කොතැනකින් හෝ ඇසිණ. ඒ හඬ සමග මුහු වෙත්දී ඈ සිටින්නේ කොතැනක ද කියා පාරුල් ට නිගමනය කළ හැකි වූයේ ම නැති තරමි. මේ මොහොත කොළොම් පුරයට හෝ මිහි මතට අයත් එකක් නොව වෙනත් චක්‍රාවාටයකට අයත් එකක් වැනි පාවීමක් තුළ ඇය සිටියා ය.

“මං හිතන්නෙ මං කිව්වෙ නැති වුණාට ඔයා දන්නව. ඔයාට දැනෙනව…මං ඔයා වෙනුවෙං බලං ඉන්නව කියල”

පාරුල් ගේ ආත්මය සීතල වී  ය. හදවත ඇතුළේ නිධානයක් සේ සුරැකි යමක් තිබුණා නම් ඒ පිටතට එන්නට තරම් සවියක් නොමැතිව වෙව්ලා ගියේ ය. ගඟුල් තවත් පියවරකින් ඇයට ලං විය. ඔහු ගේ සුසුවඳත් උණුහුමත් යන දෙක ම ඇගේ සියොළඟ විනිවිද ගියේ ය. පාරුල් ඒ සියල්ලෙන් පපුව පිරෙන්නට හැරියා ය.

“ඔයාට තවත් කාලෙ ඕනෙද… එහෙම ඕනෙනං ඒත් බලං ඉන්න බැරි කමක් නෑ. හැබැයි ආයිත් සැරයක් ඔයාව නැති කරගන්න බෑ පාරු… එහෙම වෙන්න යනව කියල දැනුණොත් මේ ඔක්කොම හොඳ අමතක කරල මි ණී ම රුවෙක් නහයට අහන්නැති චණ්ඩියෙක් වෙන්න වුණත් මට පුළුවන් වෙයි”

ගඟුල් ගේ අතක් පාරුල් ගේ බඳ වටා ගියේත් ඈ ඔහු ගේ උරයත් පපුවත් අතරේ පතිත වන ලෙස හිස ඇල කළේත් එකට ම ය. එහෙව් සුවපහසු කලාපයක මෙතෙක් ඈ හුදෙකලා වී ඇත්තේ ම නැත. ඒ සුවයට ඇස් පියවී යත්දී පාරුල් යළි නෙතු හැරියා ය.

“එහෙම කරල දිනාගන්න තරං මං වටින කෙනෙක් නෙවේ ගඟුල්. රෙදි හෝදන පවුලක තනි වෙච්ච ගෑනියෙක්ගෙ දුවෙක්. ඔයාට කවදාවත් එහෙම තැනකට නෑකං කියන්න බැරි වෙයි. ඔයාගෙ අය ඉඩ දෙන එකකුත් නෑ. ඒත් මං මේක කියල තියන්නං. ටික කාලෙක ඉඳං පපුව පැලිල යන්න තරං එන හැඟීමක් තියනව. මං දැනං හිටිය ඒ ඔයා වෙනුවෙන් කියල. ඒත් නොතේරුණා වගේ ඉන්න මට ඕන වුණා. අහිමි වෙලා යන්නෙ අයිති වෙලා හිටියොත්නෙ ගඟුල්. අයිති නැතුව හිටියොත් කවදාවත් අපිට අපිව නැති වෙන එකක් නෑනෙ. අම්ම වින්ද දුක…තාමත් විඳින දුක… එච්චර දෙයක් විඳගන්න තරං මං හයිය නැතුවැති. හැමදාමත් මගෙ හිත ඇතුළෙ සුවඳක් වගේ ඔයා ඉඳියි. මං මැරෙනකල්ම. එතනට වෙන කාටවත් එන්න බැරි වෙයි. එහෙම පුළුවන් වෙයි කියල හිතාගෙනයි මං පසන්ට එන්න ඇරියෙත්. ඒත් බැරි වුණා. ඉස්සරහට වෙන කාටවත් පුළුවන් වෙන එකකුත් නෑ. ඒත් ඔයා මට අහිමි නොවී ඉන්න. මට පේන්න හිනා වෙවී ඉන්න. මට කතා කරන්න පුළුවන් විදිහට… ඕන දේකදි අනේ ගඟුල් කියාගෙන එන්න පුළුවන් විදිහට ඉන්න. ඔයාට ගැලපෙන තැනක නතර වෙලා ඉන්න”

පාරුල් බලාපොරොත්තු නොවූ පරිදි පපුව උණු වී තිබිණ. ඇස් දිය වී යන්නට ගති. ගඟුල් සිය දෑතින් ම ඈ වැළඳගෙන සිටියේ ය. ඉක්මනින් ම ඇගේ කඳුළක ගිනියම් සිසිල කමිසය විනිවිද ඔහු ගේ පිරිමි හදවත මත පතිත විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles