chicken stroganoff recipe

Smart lady අපි අපේ සාම්ප්‍රදායික රස වගේම ලෝකය පුරා වෙනත් ආහාර සංස්කෘතීන්ට අනුව සකස් කරන රසවත් කෑම බීම හදන විදිහත් හැකි හැමවෙලාවකම ඔබත් එක්ක බෙදාගන්න උත්සහ කරනව කියල අපිත් එක්ක නිතරම රැඳිල ඉන්න ඔබ දන්න කාරණාවක්නෙ. 

අන්න ඒ වගේ රසවත් chicken stroganoff හදන විදිහ ඔබත් එක්ක බෙදාගන්න තමයි smart lady අපි අද මේ සූදානම් වෙන්නෙ. 

කුකුළු මස් / chicken භාවිතා කරල හැදුවත් මුල් stroganoff නම් සැකසුවේ හරක් මස් එහෙමත් නැත්නම් beef භාවිතා කරලයි. අබ සහ ක්‍රීම් භාවිතා කරල මුලින්ම 19 වෙනි සියවසේ රුසියානු රාජකීයන්ට උණුසුම්ව පිළිගන්වපු මේ රසවත් ආහාරය විවිධ වෙනස් ක්‍රම වලින් අද වෙද්දී ලෝකෙ පුරා ජනප්‍රිය වෙලා තියෙනව. 

ඉතිං අන්න ඒ විදිහට හරක් මස් වෙනුවට අපිට පුරුදු කුකුළු මස් භාවිත කරල chicken stroganoff හදාගන්න විදිහ බලන්න කලින්, අපිට අවශ්‍ය වෙන්නෙ මොනවද කියල මුලින්ම බලල ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

කුඩා කැබලි වලට කපාගත් කටු රහිත කුකුළු මස් 700 g ක් 

පෙති කපාගත් බට්න් බිම්මල් හෝ සාමාන්‍ය බිම්මල් 400g ක්  

සිහින්ව ලියාගත් ලොකු ලූණු 200g ක් 

අඹරාගත් සුදුලූණු බික් 02 ක් 03 ක් 

පාන් පිටි තේ හැඳි 01 ක් 

20% sour cream කෝප්ප 01 ක් (240g ක්)

උණු වතුර හෝ චිකන් ස්ටොක් 240 ml ක් 

තෙල් 

බටර් 

අඹරාගත් අබ තේ හැඳි 01 ½ ක් 02 ක් පමණ

කැබලි කරගත් ගම්මිරිස්  

ලුණු කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කරගන්න. 

තෙල් රත්වූ පසු කුකුළු මස් කැබලි ටික තෙලට දමා රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර කුකුළු මස් කැබලි, දෙපැත්ත රන්වන් පාට වනතුරු විනාඩි 04 ක් 05 ක් පමණ බැදගන්න. 

බැදගත් කුකුළු මස් කැබලි ටික භාජනයෙන් ඉවත්කර නැවත තෙල් ස්වල්පයක් එකතු කරගන්න. 

ඒ තෙල් රත්වූ පසු පෙති කපාගත් බිම්මල් ටික එකතු කර දෙපැත්ත පෙරලමින් විනාඩි 04 ක් 05 ක් පමණ බැදගන්න. 

බැදගත් බිම්මල් ටිකත් භාජනයෙන් ඉවත් කර පසෙකින් තබා ගන්න. 

දැන් එම භාජනයටම බටර් 30 g ක් පමණ එක්කර බටර් දියවන විට ලියාගත් ලූණු එකතු කරගන්න.

ලූණු බැදී රන්වන් පාට වන විට අඹරාගත් සුදුලූණු, අබ, පිටි එකතු කර හොඳින් කලවම් කරගන්න. 

ඉන්පසු එයට බැදගත් මස්, බිම්මල් සහ චිකන් ස්ටොක් එකතු කර හොඳින් කලවම් කරගෙන වතුර රත්වන විට sour cream එකතු කරගන්න. 

සියල්ල හොඳින් කලවම් කර විනාඩි 03 ක් 04 ක් තබා භාජනය ලිපෙන් ඉවත් කරගන්න. 

ඔන්න විශේෂ අවස්ථාවකදී වගේම ආහාර පාලනය කරන ඔබේ කෑම වේලට වුනත් එකතු කරගන්න පුළුවන් රසවත් chicken stroganoff සකසාගෙන අවසන්. 

මේ විදිහට හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles