ඇයි ඌට අත් දෙකක් – 9

0
4106

මට  ඇත්තටම මහා බයක් මගේ ජීවිතය ගැන  දැනුනා . ඒ වගේම  ඒ මොහොත ගැන අවිශ්වාසයක් තමයි  දැනුනේ.ටිකක් ඈතින් මට ට්‍රැක්ටරයක සද්දයක් ඇහුනා.සමහර වෙලාවට ඒ වත්තේ වැඩ ඇරෙන වෙලාව වෙන්න ඇති..මම අඩිය ඉක්මන් කරලා වේගයෙන් ඒ පැත්තට දුවන්න පටන් ගත්තා.ට්‍රැක්ටරේ සද්දේ ළඟ ළඟම ඇහෙනකොට පිටිපස්සෙන් ආපු අඩි සද්දය නැති උනා කියන එක මට තේරුණා. මම ආපු ට්‍රැක්ටරේට අත දාලා කොහොම හරි නවත්ත ගත්තා.ඒ මිනිස්සුන්ට සිංහල තේරෙන්නෙත් නැති ගානයි.දෙමළ මිනිස්සුනේ..මම අමාරුවෙන් ට්‍රැක්ටර් ඩයිවර් අතේ රුපියල් පන්සීයක්  තියලා  මාව ටවුමට ගිහින් දාන්න කියලා කිව්වා.

ටික දුරක් යනකොට මම ඒ ඩ්‍රයිවර් එක්ක කොයිතරම් කතා කරන්න උත්සාහ කළත් ඒ මනුස්සයාට සිංහල තේරුනේ නැහැ.
මම ටවුන් එකට ගිහිල්ලා තැපැල් කන්තෝරුවෙන් වසන්තිට  දුරකථන ඇමතුමක් අරගත්තා.. වෙච්ච දේවල් හැම දෙයක්ම කෙටියෙන් මම කිව්වා.මං හිතුවා ඒ විස්තර අහලා සමහරවිට වසන්ති ගොඩක් පුදුම වෙයි කියල.ඒ වුනාට ඒ තරම් ලොකු විශ්මයජනක බවක් මට එයාගේ කතාවෙන් තේරුනේ නැහැ.එක සැරයක් මේ හැම විස්තරයක්ම කියලා  සේනාදීර  තමන්ට ලියුමක් එවපු බව වසන්ති කිව්වා.ඉස්සර තිබුණු ආදර අන්දරය ජීවිතයේ එක එක හැල හැප්පීම් හින්දා සමහරවිට මේ වෙනකොට ගොඩක් වෙනස් වෙලා තියෙන්න ඇති කියලා මට හිතුනා. ඒ කාලයේ එහෙම  මෙහෙම දෙයක් වසන්තිට කිව්වනම් අද ලෝකෙ දෙදරන්න කෑ ගහලා කියලා මට හිතුනා.

“ලංකට ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් මහන්සි වුණාට.. මම ඉක්මනින්ම දිනයක් දාගෙන ලංකාවට එන්නම්.ඇවිල්ලා ඔය ප්‍රොපටීස් ටික  මොකක් හරි සෙට්ල්මන්ට් එකකට ගන්න උත්සාහ කරන්නම්… ලංකා ප්ලීස්  සේනාධිර වෙනුවෙන් මට තව පොඩි උදව්වක් කරන්න..මම සති දෙකක් ඇතුළත කොහොම හරි එනවා ..එතකං වත්තේ වැඩ ටික තනිකරල යන්නේ නැතුව සති දෙකකට නවතින්න පුළුවන්ද… “

ඇත්තටම කියනවනම් සේනාධිර මගේ ජීවිතයට කරල තිබිච්ච උදව් වල හැටියට ඒ සති දෙක ඉන්න බැහැ කියලා කියන්න මට හිතුනේ නැහැ.ඒ හින්දා මම වසන්තිට කිව්වා මට තව සති දෙකක් ඉවසන්න පුලුවන් කියලා.

ගෙදර ඇතිවෙලා තියෙන එක එක අද්භූත ජනක දේවල් ගැන මොකුත්ම මම වසන්තිට කියන්න ගියේ නැහැ.. ඒ වගේම සේනාධිර මැරිලා හිටපු අද්භූත ජනක විදිහ ගැනවත්වත් සේනාධිරගේ තාත්තගේ විස්තරවත් මම වසන්ති එක්ක කියන්න ගියේ නැහැ. සේනාධිර නැතිවුනේ බීමත්කමින්මයි කියලයි වසන්ති හිතාගෙන හිටියේ.මම උනත් මෙච්චර දවසක් හිතාගෙන හිටියේ මට කොහොම කිව්වත් සේනාධිර හොඳට බීලා ඉන්න ඇති කියලයි. ඒ උනාට සේනාධිර මැරිලා හිටපු විදිහ දැක්කහම ඒක සිරෝසීස් වලින් ඇති වෙච්ච මරණයක් නෙමෙයි කියන එක මට තේරුණා.
ගොඩක් වෙලාවට වසන්ති ලංකාවට ඇවිල්ලා මේ හැම දෙයක්ම මොකක් හරි ලොකු සමාගමකට විකුණලා ආපහු යන එක ස්ථිරයි කියලා මට හිතුනා.ඒ හින්ද නිකන් නිස්කාරණයනේ අත්බූත ජනක දේවල් කියල මේ හැම දෙයක්ම ඕනවට වඩා අවුල් කරන්න මට උවමනා වුණේ නැහැ..
මගේ දුරකථන ඇමතුම පැයකට වැඩිය කාලයක් තිබුණා.ඒ වෙනකොට තැපැල් කන්තෝරුව වහන වෙලාවත් පහුවෙලා තිබුණා. තැපැල් කන්තෝරුවේ තැපැල් ස්ථානාධිපතිතුමා බොහොම ඉවසීමෙන් මගේ දුරකථන සංවාදය ඉවර වෙනකන් තමන්ගේ වැඩක් කරගෙන හිටපු බව මම දැක්කා.මගේ දුරකථන ඇමතුම ඉවරවෙලා අදාළ ගාස්තුව ගෙවලා ඉවර උනාට පස්සේ මම තැපැල් ස්ථානාධිපතිතුමාට ස්තුතිවන්ත වුණා මගේ දුරකථන ඇමතුම ඉවර වෙනකන් මට බාධා නොකිරීම ගැන.

“මහත්තයා මේ ළඟද”

“මම නග්‍රැක්  බංගලාවේ.. ඒ වත්තේ මහත්තයා නැතිවුනා..”

“වත්තේ මහත්තයා කිව්වේ”

” සේනාදීර දෑලබංඩාර “

“මට අහල නම් පුරුදුයි..හැබැයි මම දැකලා නම් නැහැ..මේ පැත්තට එයාල එවෙන්නෙත් නෑනේ.. “

“ඔව්..  ඒක තමයි .. මේ වෙලාවට ඒ පැත්තට යන කිසිම වාහනයක් නෑ නේද..”

“ම්ම්ම්..නෑ මහත්තයා.. මට ඕන නම් මහත්තයාව ගිහින් දාලා එන්න පුළුවන්.. මම ආවෙත් වාහනේ.. “

“මහත්තයට ගොඩක් ස්තූතියි.. “

මට හිතුනා ලංකාවේ මිනිස්සු හරි හොඳයි කියලා.අපේ වගේ රටක මෙහෙම අසරණ වුණා නම් උදව් කරන්න ඉදිරිපත් වෙන අය හරි අඩුයි.ඒ උනාට ලංකාවේ මිනිස්සු ඒ අතින් කොයිතරම් සංවේදීද කියලා මට හිතුනා. ඕන වෙලාවක ඕන කෙනෙකුට උදව් කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු ලංකාව කියන රටේ පිරිලා කියලා මට හිතුනා.තැපැල් ස්ථානාධිපතිතුමා එයාගේ රාජකාරී වැඩ ටික ඉවර වෙනකන් මට පොඩි වෙලාවක් බලාගෙන ඉන්න සිද්ධ වුණා. තැපැල් ස්ථානාධිපතිතුමයි මමයි කතා කර කර ගමන යන්න පටන් ගත්තා.

“ඒ ගෙදර කවුද ඉන්නේ මහත්තයා..”

“ඉන්නෙ නම් මමයි..අප්පු කියලා වැඩට ඉන්න මනුස්සයයි විතරයි.මං හිතන්නේ ඒ මනුස්සයා දෙමළ.එයා තමයි කෑම බීම ටික හදලා දෙන්නේ.. “

ස්ථානාධිපති මහත්තයාට තිබුණේ
පරන සනියක්.. ට්‍රැක්ටරේ ආවට වඩා බොහොම ලස්සනට මට අවට පෙනුනේ කාර් එක බබා වගේ උඩට ඇදි ඇදී ගිය හින්දයි.

“ඔය බංගලාව ගැන මහා අමුතු කතා තියෙනවා මහත්තයා..මහත්තයා ඒ ගැන දැනුවත් නැද්ද..”

“ඒ කිව්වේ”

“නෑ ඔය  බංගලාවෙ කලින් හිටියා නේද අයිතිකාර මහත්තයෙක්..ඒ මහත්තයා මැරුණේ මහා අද්භූත විදිහට නේද..මං හිතන්නේ පොලිසිය එහෙමත් ආවනේ..”

“ඔව් මටත් ඒක ආරංචි වුණා.මං ඒ මැරිච්ච මහත්තයාගේ පුතාගෙ යාළුවෙක්. එයත් බොහොම තදබල විදිහට අසනීප වුණා.එයාගේ උදව්වට තමයි මම ආවේ..දැන් ඉතින් එයත් නැති වුණා. එයාගේ නෝනා ඉන්නෙ ඇමරිකාවනේ.මම මේ විස්තර එයාට කියන්න තමයි ආවේ.නග්‍රැක්  හරියට කිසිම සිග්නල් එකක් නැහැනේ.නෝනා ලබන සතියේ එනවා කියලා කිව්වා.එයාට මේවා ඔක්කොම බාර දීලා මම ආපහු යනවා..”

” කතාවෙන් තේරෙනවා මහත්තයා බොහොම වැදගත් අහිංසක මනුස්සයෙක් කියලා.මම ඕපදූප කතා කරන්න කැමති කෙනෙක් නෙමෙයි.හැබැයි මහත්තයා මට කෙනෙක් අමාරුවෙ වැටෙනවා බලාගෙන ඉන්න  බෑ… ඔය බංගලාවෙ ඉන්නවා කිව්ව නේද අප්පු කියලා මනුස්සයෙක්..මිනිහ ගැන  මහත්තයට විශ්වාසයිද.. “

” මෙහෙමයි..අප්පුව මම එච්චර කල් ඉදලා දන්නේ නැහැනේ.. මං හිතන්නේ ඔය සේනාධිරගේ තාත්තගේ කාලේ ඉඳලම හිටපු මනුස්සයෙක් තමයි..අවිශ්වාස කරන්න තරම් දෙයක් නම් තාම මට දැනුනේ නැහැ.මිනිහගෙ පොඩි පොඩි මෝඩකමුත් තියෙනවා…”

එකපාරටම ටැප් එක ඇරියා වගේ තැපැල් ස්ථානාධිපතිතුමාට ඇත්ත විස්තර කියන්න මට හිතුනේ නැහැ.සේනාධිරගේ විස්තර කොළවල තියෙන විස්තර වගේම මගේ හිතට දැනිච්ච යම් යම් සැක කටයුතු දේවල් ගැනවත් මට කියන්න හිතුනේ නැහැ.මම එහෙම කිව්වනම් සමහරවිට තැපැල් ස්ථානාධිපතිතුමා අතිනුත් තව තව විස්තර දාලා කියයි කියලා මට හිතුනා.හැබෑ උවමනාවක් මට ඇතිවෙලා තිබුණේ මේ ඇතිවෙලා තියෙන තත්වයේ ඇත්ත විස්තරය දැනගන්නයි.ඒ හින්දා තැපැල් ස්ථානාධිපතිතුමාගෙ කටින්ම විස්තරය දැනගන්න මට ඕනි වෙලා තිබුණා..

“අපි මෙච්චර දුරක් කතා කර කර ආවා මම මහත්තයට මගේ නම කිව්වේ නැහැනේ..මම ලංකා..ලංකා විජයපුර…”

“ඇත්තම තමයි..මටත් මගේ නම කියන්න අමතක උනා.මම
සමන් වාරියපොල…”

“ඉතින් කියන්නකෝ සමන් මහත්තයා එක පාරටම මගෙන් ඇහුවෙ ඇයි අප්පුව විශ්වාසද කියලා..”

මම එහෙම ඇහුවාම සමන් හයියෙන් හිනා වුණා.

“මම කියන්නද වැඩක්..මගේ ගෙදර ඉන්නේ මමයි අපේ නෝනයි විතරයි.ලංකා මහත්තයා කැමතියි නම් අද අපේ ගෙදර නවතින්න.දැන් හොඳටම හැන්දෑවෙලානේ.. මෙච්චර හැන්දෑ වෙලා නග්‍රැක්  යන්න ඕනෙ නෑ.. ඊටත් අපේ ගෙදර ආවහම මට මහත්තයාට පෙන්නන දේකුත් තියෙනවා.ඒක සමහරවිට මේ සිද්ධියට අදාළ වෙයිද නැද්ද කියන්න මම දන්නේ නෑ..හැබැයි කාලයක් තිස්සේ මං ඔය දේ දකිනවා…මට හිතෙනවා ඒක යම්කිසි දෙයක් ඇති කියලා..හෙට නිවාඩු දවසනේ..අද රෑ අපේ ගෙදර නැවතිලා ටිකක් කතා කර කර ඉඳලා හෙට උදේ යමු ඒ කියන තැන බලන්න…”

ඇත්තටම කතා බහෙන් සමන් මහත්තයා බොහොම හොඳ කෙනෙක් කියලා මට හිතුනා.ඒ වගේම බොහොම වැදගත් මනුස්සයෙක් කියලත් හිතුනා.මොන දේ උනත් තව සති දෙකක් මට වසන්ති එනකන් මෙහෙ ඉන්න වෙනවා.ඒ අතරෙදි මොන මොන කරදර ඇතිවෙයිද දන්නේ නැහැ.මේ වගේ මනුස්සයෙක් හරි දැන අඳුනගෙන ඉන්න එක හොඳයි කියල මට හිතුනා.මම අද රෑට එන්නේ නැහැ කියලා අප්පුට දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැහැයි කියලා මට හිතුණා. මට ඒ බංගලාව ඇතුලේ ආරක්ෂා කර ගන්න තිබුණේ සේනාධිර ලියපු කොළ ටික විතරයි. ඒ සම්පූර්ණ ෆයිල් එකම මම එනකොට බෑග් එකේ දාගෙන අරගෙන ආපු හින්දා මේ රෑ වෙලා බංගලාවට යෑමේ කිසිම අවශ්‍යතාවයක් මට දැනුනේ නෑ..

“මොකද කියන්නේ මහත්තයා එනවද..එනවා නම් මෙන්න මෙතනින් උඩට තමයි අපේ ගෙදර යන්නේ.ෆ්‍රිජ් එකේ කූල් වෙන්න දාපු පොඩි බඩුවකුත් තියෙනවා..”

සමන් මහත්තයා එහෙම කිව්වහම මම හයියෙන් හිනා වුණා.වම් අත පැත්තට වාහනේ හරවන්නේ නැතුව පාරේ කෙලින්ම සමන් මහත්තය වාහනය ගෙනියන්න පටන් ගත්තේ අද රෑට එහේ අමුත්තෙක් ඉන්නවා කියන හැඟීමත් එක්කයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here