හතලිස් හය වැනි නෙත් සැරිය
අවිශ්කගේ හිස පුපුරා යන්නට ආසන්නව වෙමින් තිබුනි. මිතුරා නිසා නොවෙන්නට ඔහුට මෙතරම් ඉවසීමෙන් සිටින්නට ඉඩක් ලැබෙන්නේද නැත. ඔහුගේ මනස පුරා දෝංකාර දුන්නේම සහන්ගේ වචනය. ඒවා වියරුවෙන් මෙන් ඔහුට සමච්චල් කරමින් නැඟුණේය.
” ඔව්… මම තමයි ඒ සීන් එක ලීක් කලේ… තිබුනා නම් ඊට වඩා දෙයක් වුනත් මම ලීක් කරනවා.. මොකද, අර චත්‍ර කියන තිරිසනා නිසා මගේ අක්කගේ ඇස් වලින් වැටුණ කඳුලු වලට සමාන වෙන්න උගේ වටේ දැන් ඉන්න අනෙක් ගෑණුන්ගේ ඇසුත් රතු වෙන්න ඕනි නිසා….
ඒ වෙන මොකවත් නිසා නෙවෙයි, චත්‍රයාටත් ඒ වේදනාව දැනෙන්න ඕනි නිසා.. මගේ අක්කා ඌට ආදරේ කලේ පිස්සුවෙන් … අවුලක් නෑ..ඒකි ආදරේ කලාට ඌ ආදරේ නොකලා නම්, ඌට තිබුනා ඒක පැහැදිලිව කියලා මගේ අක්කගෙන් ඈතට වෙලා ඉන්න… ඒත් මොකද කලේ, මගේ අක්කව ලිවින් ටුගෙදර් ඉන්න ගෙදර ගෙන්නගත්තා….
ඊට පස්සේ ඒකි ලවා සේරම දාස කම් කරවගත්තා… මගේ රෙදි ටිකවත් හෝදලා නැති අක්කා ඔය මිනිහාගේ කුණු අතගෑවා…. අසනීප වුනාම බලාගත්තා… බීලා වමනේ කරලා තමුසේගේ නංගිගේ නම කිය කියා අඬන වෙලාවටත් ඒකි උගේ ඔලුව අත ගගා හිටියා…..
එහෙව් ගෑණිට අන්තිමේදී කිව්වේ මොකද්ද ඒ බ ල් ලා… අපි එකට ඉන්න එකෙන් වැඩක් වෙන්නේ නැති වෙයි කිව්වා…. අක්කා වටේ උන්න යාලුවෝ දෙන්නෙක් නිසා අක්කා යන්තම් පී ච් ඩී එක ගොඩ දාගෙන ලංකාවට ආවා…… ඒත් ඒකිට තිබුනේ කුඩුපට්ටම් වෙලා ගිය හිතක්…
මගේ අක්කා සෑහෙන්න ඇඬුවා.. සෑහෙන්න විඳෙව්වා…. අකිල අයියා මුන ගැහිලා අක්කාට බලෙන් බලෙන් හරි ආදරේ නොකලා නම්, මේ වෙද්දී මගේ අක්කා මැරිලා …. අකිල අයියාගේ ආදරේ ඇතුලට මගේ අක්කා ඇදිලා යන්නේ නැතුව තමුසෙගේ ඔය නල්ලමලේ මන්ත්‍රී මස්සිනා ගැනම හිත හිතා උන්නා නම් මගේ අක්කා මෙලෙහකට පිස්සු වැටිලා…
අහගන්න මහත්තයෝ .. දැණ් මේකේ තරාදි තැටි දෙකම යන්තමින් සමාන වීගෙන එන්නේ…. සිහිනි මට ආදරේ කරන්න ඇති …. මට කරන්න දෙයක් නෑ.. ඒකි ගෙව්වේ අයියාගේ පව් ….
අයත්මාත් වරදක් නොකරපු කෙල්ලෙක් වෙන්න ඇති … ඒත් ඒකි ගෙව්වේත් ඒකි තෝරගත්ත මිනිහාගේ පව්…. මට මේ තරාදි තැටි දෙක සමානයි කියලා හිතුනොත් මම මේ සෙල්ලම නවත්තනවා.. මොකද මගේ අක්කා මේ වෙද්දී සෑහෙන්න සතුටින් ජීවත් වෙනවා….
ඒත්, මට යන්තම් හිතෙනවා තව ටිකක් සෙල්ලම් කරන්නෝනි කියලා.. ඒත් බය වෙන්න එපා අයත්මාට මේ සෙල්ලමේ ඉස්සරහට එන සෙෂන් වල කිසිම බලපෑමක් නෑ… ඒ අයියයි නංගියි සෙල්ලම් කරාවි ඒ ගේම් එක… සිහිනි අර බ ල් ලා ගැන සෑහෙන්න ලොකුවට හිතාගෙන උන්නේ … ඒ හින්දා ඒකිට අයියා ගැන පොඩි වෛරයක් හැදෙන්න පොඩිවට සෙල්ලමක් කරන්නම් .. අවුලක් නෑනේ?….”
අවිශ්ක සහන්ගේ කමිස කොලරයෙන් අල්ලා ගනිද්දීම මිතුරා වහා අවිශ්කව පසෙකට ඇද ගත් බව අවිශ්කට මතකය.
සිහිනිට වුවද වරදක් වන්නට දිය නොහැකි බව දැන් මෙතරම් තදින් තම සිතට දැනෙන්නේ මන්දැයි අවිශ්කට වෙන් කර කියවා ගත හැකි හැඟීමක් ලෙසින් දැනෙන්නේ නැත.
එලෙසින්ම චත්‍ර පිළිබඳවද දැනෙන්නේ අසීමාන්තික කෝපයකි. මේ සියල්ල ඔහුගේ ඉවසීමක් නැති, අරමුනක් නැති, තාවකාලික කියුම් කෙරුම් නිසාය. එහෙත් ඒ ඒ කාලය තුළ තැනෙන චිත්ත වේගයන්ට අනුව කල කී දෑ වෙනුවෙන් වර්තමානයේ ඇණ කොටා ගැනීම පලක් නොමැති වගද අවිශ්ක දනී.
තම බිරිඳ මිය යෑමෙන් පසු තමා සියදිවි නසාගන්නටද, ඉන් අනතුරුව ජීවිතය ඔහේ ඉබාගාතේ විසිවී යන්නටද ඉඩ දුන් කාලයක් තිබූ බව අවිශ්කටද මතකය. ඈ ගෙවා තිබූ රැවටිලිකාර ජීවිතය නිසා තමා තමාගෙන්ම පලිගනිමින් උන් බව මතකය. ඒවා අතීතයය.
එනිසා අතීතයට සාප කිරීමෙන් පලක් නැත. එලෙසින්ම සහන්ට සාප කිරීමෙන්දා පලක් නැත. ඔහු තම සොයුරියගේ කඳුලු සහ ඇගේ අපිළිවෙල අතීතය වෙනුවෙන් තමාට තමා සාධාරණයක් කර පෙන්වන්නට උත්සාහ කරන කොල්ලෙක් පමණය. අයත්මා වෙනුවෙන් තමාට කල නොහැක්කේ මොනවාදැයි අවිශ්ක කල්පනා කලේය. මේ සියල්ල එකම වාගේය.
මිතුරා සමඟ කත බහ ඇරඹුවේ එකී ලෙසින් තනිව සිතා හිඳ අවසානයේය.
” ඒක නෙවෙයි … උඹ ඔක්කෝම අහගෙන ඉඳලා අර සිහිනි කියන කෙල්ලට තව කේස් වෙයි කියද්දී මොකද එච්චර නැටුවේ?…”
වසර විස්සක පමණ කාලයක සිට දන්නා මිතුරා අවිශ්කව අන්තිම ගැට්ටටම සිට කලේය. ඔහුගේ ස්වර වල පවා වූයේ ඔහු යමක් වටහා ගත් බවය. අවිශ්ක ඔහු දෙස බැලුවේ පුදුමයෙන් මෙන්‍ය. ඔහුගේ හදවතද අසාමාන්‍ය වේගයකින් ස්පන්දනය වෙන්නට පටන් ගෙන තිබුණි.
” මොකද්ද උඹ අහන්නේ ?..”
” සිහිනි කියන්නේ කවුද කියලා ඇහුවේ ?…”
මිතුරා සරදම් සහගත බව උපරිමයෙන් දවටා ගත් ස්වරයකින් විමසුවේය. අවිශ්ක සිනාසෙමින් මිතුරා ගනනකට නොගන්නා බව පෙන්වන්නට උත්සාහ කලද, එය සාර්තක වූයේ නැත.
” සිහිනි .. කියන්නේ අරූගේ නංගී .. අපේ අයත්මාගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් ඒකි ….”
” ආහ් …අරූගේ නංගි.. අයත්මාගේ ඉස්කෝලෙ ටීචර් … ඕකේ… එතකොට උබේ කවුද??…”
“පිස්සුද බං උඹට …”
” ඇයි මේ තරහ ගිහින් … ඒකි උබේ නංගිගේ නෑනා උඹට … ඉස්කෝලේ කාලේ පවුල් ගස් කියලා ඔව්වා කියලා දුන්නානේ බං… මතක නෑ?….”
මිතුරා අවස්තාවේ වාසිය උපරිමයෙන් පාලනය කර ගනිමින් අවිශ්කව කිසිදා නොවූ ඉමක සිර කරමින් උන්නේය. ලෙහෙසියෙන් අන් අයගේ ගැට වල සිර නොවන තමා මිතුරාගේ ගැටය මැදට පැන එය පටලවා ගනිමින් සිටින වග අවිශ්කටද වැටහුනේය.
” මචං .. දෙයක් වේ නම් යම්, පිළි ගන්නටද හැකි, ඒක පිළිගනින් ….”
” පිස්සුද බං උඹට ?… සිහිනි කියන්නේ අපේ නංගීටත් බාල කෙල්ලෙක් … මං හිතන්නේ ඒකි මට අවුරුදු අටක්වත් බාල ඇති ….”
අවිශ්කට නොතේරීම මිතුරා ඔහු ලවා යමක් එලියට අදිමින් උන්නේය.
” ඇයි බං උබ ඕවා කියන්නේ?.. මං දැන් ඔය වයස් සම්බන්ධතා ඇදෙන්න නියමිත යමක් පැවසුවේ නෑනේ මිතුර …”
” පලයං බං.. කට වහගෙන ඩ්‍රයිව් කරපං…”
” උඹ ඔය පපුවට තට්ටු කරලා අහපං උඹට ඕනෑ දේ.. කෙල්ල තාම පොඩියි බං.. කෙල්ලට පුලුවන් ඕනි කෙනෙක්ට ඇජෙස් වෙලා ඒකිගේ අම්මා කියලා පිලිගන්න ….”
” පිස්සුද හු&* උබට … උඹ දැන් කියන්නේ මම සිහිනිට ආදරේ කරනවා කියලාද?….”
මිතුරා දෑස් විසල් කරගෙන බලා උන්නේය. ඒ අතරේ ඉදිරිය බලමින් වාහනයද පාලනය කලේය.
” කවුද බං එහෙම මඟුලක් කිව්වේ?.. මං කිව්වේ උඹ ආයේ බැඳපං කියලා.. එහෙම නැතුව සිහිනි ගැන මුකුත් නෙවෙයිනේ බං … ඈ බං ..උඹ සිරාවටම ඒකිට ලව්ද ..”
අවිශ්ක කෝපයෙන් කෑ ගසමින් වාහනයෙන් ඉවත බැලුවේය.
|අපේක්ෂා ගුණරත්න |