චන්දුල ගේ හිතේ කටුවක් සේ යමක් ඇනී තිබිණ. විටින් විට ඒ කටුව පැටළෙන බව ද රිදෙන බව ද ඔහු ට ඔහු ට දැනිණ. ඔහු සිටියේ ඒ බව අමතක කොටයි. හරියට අසනීපයක් ඇති මිනිසෙකු ප්‍රතිකාරයකට යොමු නොවී, අසනීපය අමතක කොට, ස්වභාවිකව ම සුව වෙතැයි සිතා සිටින්නා මෙනි. කටුව ගලවා ඉවත් කිරීමේ සිතිවිල්ලක්වත් චන්දුල විසින් ඇති කර නො ගන්නා ලදී.
තාත්තා! ඔහු හිතේ හොල්මන් කරමින් සිටියේ ය. එදා රෙදි වැල් ඉදිරියේ දී චන්දුල විසින් රිදී ගේ අතින් ඇදගෙන පැමිණි වෙලාවේ සිසිර ගේ මුහුණින් වාං දැමූ හැඟීම් සමුදාය කියවාගන්නට චන්දුල ට කිසි දා නුපුළුවන් වනු ඇත. ඒ වෙලාවේ චන්දුල තුළ වූයේ කේන්තියක් පමණකි. රිදී ඔහු කෙරේ වෙනසක් පෙන්වූයේ ද නැත. නමුත් රාත්‍රියේ පාරුල් ට දුක කියමින් අම්මා ඉකිලූ හඬ චන්දුලගේ පපු කුහරය අතැර යන්නේ ම නැත. ඊට පස්සේ සියල්ල සිදු වූයේ, පුහුණුවීම් වලට ගියේ, තරග වැදුණේ, සියල්ල වූයේ ඒ ඇනුණු කටුවත් සමගම ය.
“එක අතකට එයා අපේ තාත්තනෙ අයියෙ. කොච්චර අපිව දාල ගියා වුණත් ඒ අයිතිය එයාට නැති වෙන්නෙ නෑනෙ. ඒක ශුද්ධ අයිතියක්. වෙන කාටවත් දෙන්නවත් වෙන කාටවත් ගන්නවත් බැරි අයිතියක්”
එක රාත්‍රියක අඹ ගස් සෙවනේ බංකුව මත හිඳ පාරුල් කීවා ය.
“අනික අම්ම තාත්තට තියන බැඳීම ඒ දාල ගිහිං හිටපු අවුරුදු විසි ගණනටම මැරිල ගියේ නැත්තං… අපි බලෙං ඒක කරන්නෙ කොහොමද… ආයෙ තාත්ත ආවොත්… ඔන්න ඔහෙ එයාට අම්ම එක්ක කතා කරල යන්න අරිමු. ඊට පස්සෙ අම්ම සතුටෙන් ඉඳීනෙ”
පාරුල් අත තැබුවේ හිතේ කටුව ඇනුණ තැනට ම බව චන්දුල දැන සිටියේ ය. ඔහු නංගී සමගින් එකට එක කියන්නට නො ගියේ ම හෘද සාක්ෂියේ සමාවක් ඔහු ට අවැසිව තිබූ බැවිනි. නමුත් ඉනික්බිති සිසිර ඇල්ලගේ වත්තට නාවේ ය. ඔහු නො එනා එක ම හොඳ යයි රිදී සිතාගත්තා ය. එතකොට ඇයට තාත්තා හා පුතා අතර තැලෙන්නට සිදු වන්නේ නැත. මෙතෙක් කලක් සිටියා සේ පාඩුවේ ජීවත් වූ විට සිසිර ට ද අලුත් හිත් රිදුම් ඇති වෙන්නට විදිහක් නැත.
“අපි හැම මනුස්සයෙක්ටම කතාවක් තියනව පාරු. තාත්ක කෙනෙක් විදිහට ඔයාගෙ තාත්ත අන්තිම වැරදියි තමයි. ඒත් ඒ මනුස්සයටත් කතාවක් ඇති. මොනා වුණත් ඔය ආපහු ආවෙ වුණත් මොකක්හරි හේතුවක් මතු වෙච්ච නිසානෙ. මිනිස්සු විදිහට අපි කවුරුත් එක තැනකදි පව්. අර පසන් වුණත්. මිනිහත් එයාගෙ ජීවිතේට එක හදාගන්න බැරි වරදක් කරගත්තු නිසා වෙන්නැතිනෙ මෙහෙම තැනකට වැටුණෙ”
ගඟුල් කියන්නේ එහෙම ය. එතකොට පාරුල් ට සිතෙන්නේ තාත්තාට ඔවුන්ගෙන් බලවත් වරදක් සිදු වූවා මෙනි. නමුත් මේ ගැන යළිත් චන්දුල සමගින් කතා කොට ඔහු ගේ හිත රිදවන්නට ද ඇය නො කැමති වූවා ය.
“වෙන්න තියන දෙයක් වෙයි. අපි බලං ඉමු”
උමා කීවා ය. පාරුල් සමග මිත්‍රත්වය එසේ ම පැවතී ද දැන් ඇය වැඩිපුර චන්දුලට වදයක් නො වන්නී ය. එතකොට ඔහු ම ඇවිත් කතා කරන්නට මාතෘකාවක් සොයාගනී.
“මොකද්ද දැං ශිවම්ට කියන්න ඉන්නෙ…”
තරු තරගයේ එස්එම්එස් වටය ඇරඹෙන්නට නියමිත සතියේ, රූපවාහිනියේ වැඩසටහන විකාශය වන්නට නියමිත දින උදයේ චන්දුල හදිසියේ ම උමා විමසුවේ ය. ඒ වෙලාවේ ගෙතුළ බත් බෙදන්නට සූදානම් වූ ජුලී, “අනේ කෙල්ලෙ රාජාට මේ බත් එක බෙදල දීපං” කියා ගෙයින් පිට වූයේ ඉස්සරහා ගෙදර කුඩා දරුවා ට වලිප්පුව වැළඳී වත්තේ ගෑනු කලබල වූ වෙලාවේ ය. උමා ඒ වෙලාවේ එහි පැමිණියේ පාරුල් පුස්තකාලයෙන් ගෙනා නවකතා පොතක් රැගෙනයි. දවල් කෑමට ගෙදර එන චන්දුල දැකීම, ඒ වෙලාවේ එහි යාමේ අරමුණ විය. ඈ බත් බෙදත්දී කුස්සියට පැමිණි චන්දුල, හොඳට ම සේදී ඇති දෑත් බොරුවට හේදුවේ ය. ඔහු ගේ අනපේක්ෂිත ප්‍රශ්නයෙන් උමා තිගැස්සී ගිහින් සිටියා ය.
ඇගේ අතින් බත් පිඟාන ගත්දී උමා ගේ ඇස් ලොකු වී ඇති බව චන්දුල දුටුවේ ය.
“එ… ඒ කිව්වෙ…”
චන්දුල බත් පතට අත තබමින් ඇඳ මතින් හිඳගත්තේ ය. උමා බිත්තියට හේත්තු වූවා ය.
“ශිවා ඔයාව බඳින්න කැමැත්තෙන් ඉන්නවනෙ. ඔයාගෙ අම්මල තාත්තල එහෙම දෙයක් කතා කරල තියනවනෙ”
“හ්ම්”
“ඔයාට සැප සම්පත් දීල බලාගන්න මට වැඩිය ශිවාට පුළුවන් කියල දන්න නිසයි මං පාඩුවෙ හිටියෙ. ඒත් දැන් මට පුළුවන්”
උමා ගේ කම්මුල් පුපුරු ගැසුවේ ය. ඇස් වලට තෙතමනයක් පවා නො දැනුණා නොවේ.
“ඒත්… දැං මට හිතෙනව… දැං ඉන්න රාජයියට මං මදි කියල… දවසක රාජයිය මං නිසා පසුතැවෙයිද කියල. මගෙ තරහක් නෑ. ඔයා මට අනුකම්පා කරන්නත් එපා. මට වැඩිය ලස්සන අනාගතයක් ඔයාට අයිතියි”
ඇය කතා කළේ ඈ දන්නා සිංහල වචන අතරින් තෝරා බේරා ගත් ශුද්ධ වූ වචන ය. දහස් වරක් පෙරා ගත් පිරිත් පැන් තරමට පැහැදිළි වූ ද පවිත්‍ර වූ ද වචන ය. චන්දුල බත් පත අතැතිව ම නැගිටගත්තේ ය.
“ඒක අනුකම්පාවක් කියලද හිතන්නෙ…”
උමා ගේ පිච්ච මල් ඇස් පියන් බිමට හැරවිණ.
“ගෙදරට කියන්න ශිවාට වෙන අතක් බලාගන්න කියන්න කියල..ඕන්නං මං කියන්නං”
“රාජයිය”
“ඒ වචනෙ වෙනස් වෙන්නෑ”
උමා දෙතොල් තෙරපාගෙන සිනහ වූවා ය. ඇගේ දෑස් කුඩා තිත් දෙකක් ව සිනහ රැලි අතරේ ගිලී ගියේ ය. චන්දුල යළි ඇඳ මතින් හිඳ ගත්තේ සැහැල්ලු සිනහවකි. වසර ගණනාවක් තිස්සේ හිර කරගෙන සිටි බරකින් නිදහස් වූ සැහැල්ලුව සැබැවින් ඔහු ට දැනිණ.
එස් එම් එස් තරග වට වෙනුවෙන් කොළඹ මහ නගර සභා සීමාව තුළත් ඉන් පිටතත් සැලකිය යුතු ප්‍රචාරණයක් චන්දුල ට ලබා දෙන්නට ගඟුල් කටයුතු සූදානම් කරමින් සිටියේ ය. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ සිය පෞද්ගලික ධනයයි.
“මස්සිනාව ගොඩ දාල දෙන්න ඕනනෙ”
පාරුල් ට එහෙම කියන විට ඇගේ මුව මත ලස්සන සිනහවක් ඇඳේ. හැම දේම හොඳින් සිදු වෙමින් තිබුණත් ඇගේ හිතේ එක ම එක අඩුවක් වෙයි. ඒ තාත්තා ආයේ වත්තට නො පැමිණීම ගැන ය. අඩු තරමින් ඔහු දැකීමේ අවස්ථාවවත්, ඒ නිසා සිනහවක් පැළඳ ගැනීමේ අවස්ථාවවත් අම්මා ට ලබාදිය නො හැකි වීම ගැන ය.
“අඩුගානෙ එයා ඉන්න තැනක්වත් දන්නවනං අපිට ගිහින් එන්න කියන්න හරි තිබුණ”
ගඟුල් කීවේ ය.
“දැංවත් ඔයාට හිතෙන්නැද්ද… මේ පවුල ඔයාට බර වැඩියි කියල…”
“ජීවත් වෙනව කියල දැනෙන්න ජීවත් වෙන්න කවදත් මං කැමතියි පාරු. ඔයාගෙ පවුලට මං හරි ආදරෙයි. ඔයාලගෙ බැඳීම් වලට ඒ හැඟීම් වලට… ඇත්තටම මුල් දවස් වල ඉඳලම මං බැඳිලයි හිටියෙ. ඔයාගෙ අම්මට ආත්තම්මට වුණත් මං හරි ආදරෙයි. ඔයාල ඔක්කොමලව බලාගන්න එක තමයි දැන් මගෙ සතුට”
ඒ සතුට පවතින්නට සුරත් විජයවීර කොයි තරම් කාලයක් ඉඩ තබාවිදැයි ඔවුන් දැන සිටියේ නැත. ඒ ගැන වදනකුදු ඔවුන් කතා කළේ ද නැත.
එස් එම් එස් වටය ඇරඹෙන දා වත්තේ අය විගස තම තමන් ගේ වැඩ නිමා කරමින් සිටියහ. ඇඳිරි වැටුණු හෝරාවේ පටන් චන්දුල ගේ නිවස ඉදිරියේ දැවැන්ත රූපවාහිනිය පේන මානයේ සිටිමින් ජයග්‍රාහකයන් ගැන අනාවැකි කීම ඔවුන් ගේ දැන් පුරුද්ද වී තිබේ. එදා සිසිර වත්තට ආවේත් මෙසේ ම චන්දුල ගයනා වැඩසටහනක් පැවති දාකයි.
“රෑට වත්තම ජමරෙට ටීවී බලන්න එහෙට සෙට් වෙනව. සිසිරටත් තියෙන්නෙ එන්න”
චන්දුල රිදී ව ඇදගෙන ගියාට පස්සේ, සිසිරව දන්නා පරණ මිනිසෙකු ඔහු ට කීවේ ය. නමුත් එදා සිසිර ගියේ හොඳට ම හිත බිඳගෙනයි. ඊට පස්සේ දින කිහිපයක් ම ඔහු ගිලන් මිනිසෙකු සේ ගෙට වැදීගෙන සිටියේ ය. ත්‍රීරෝද රියෙහි හයර් එකක් යන්නට හෝ ඔහු ට සිතක් වූයේ නැත. වෙනදාට ඇහෙනා සින්දු කෑලි සිසිර ගේ ගෙදර පැත්තෙන් ඇහුණේ ම නැත. ඔහු ගේ වියපත් මවත් බිරිඳත් සිසිර ට අසනීපයක්වත්දැයි සැක පහළ කළ ද ඔහුගෙන් වචනයක් ලබා ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ලබනවා සරි විය.
චන්දුල ඒ තරම් ඔහු ව ප්‍රතික්ෂේප කිරීම සිසිර රිදවා තිබිණ. නමුත් දුරට දිගට කල්පනා කරගෙන යන විට එවන් ප්‍රතික්ෂේප කිරීමකට චන්දුලට අයිතිය තිබේ. එහෙම ප්‍රතික්ෂේප වීමට සිසිර ට සුදුසුකම් තිබේ! ටික දවසක් ඔහේ වැටී සිටීමෙන් පස්සේ ඔහු පණ ගසා නැගී සිටියේ චන්දුල නැවතත් ගයන දා ය. එස් එම් එස් වටය ඇරඹෙන දා ය. දන්නා හඳුනන හැම කෙනෙකුට ම ඔහු චන්දුල ට මනාපය දෙන ලෙස සිහිපත් කළේ ය. ඒ ඔහු ගේ මුල් විවාහයේ පුතු බව කීවේ ය. හැන්දෑ වන විට ඉවසාගෙන ඉන්නට ම බැරිව ත්‍රීරෝද රියෙහි නැගී ලොන්ඩරි වත්තට ගියේ ය.
ලොන්ඩරි වත්ත මංගල්ලයකට සේ ලකලැහැස්ති වෙමින් තිබිණ. සාමාන්‍ය දිනකදීටත් වැඩිය ගෙවල් වලින් පිටත සෙනග ය. රිදී ගේ නිවස පිහිටන ගෙවල් පේළියට හැරෙනා තැන ත්‍රීරෝද රිය නතර කළ සිසිර හිතට දිරි ගෙන ගෙවල් පේළිය දෙසට ගියේ ය. චන්දුල ඔහුව පන්නාගත්ත ද මේ ගමන නෑවිත් ඉන්නට ඔහු ට හැකි වූයේ නැත. ගේ ඉදිරිපිට පාරේ පිරිමි බිම ඇනතියා හිඳ සිටිති. සිසිර ද ඔවුන්ට ලංව එසේ හිඳගත්තේ ය. රිදී ඔහු ව දැක තැතිගත්තා ය. චන්දුල දුටුවොත් ලොකු බහින්බස් වීමක් විය හැකි යයි බිය වූවා ය. එපා කියත්දී එන එක ගැන සිසිර සමගින් තරහක් ද ඇති නොවුණා ම නොවේ. බියට හද ගැස්ම වැඩි වී ඇය කුඩා කුස්සියට රිංගාගෙන ම සිටියා ය.
“තේ එකක් ගිහින් දෙනව”
චන්දුල පාරුල් ට කීවේ ය. ඔහු නිකටින් පෙන්වූ දෙස ඈ බැලුවා ය. මීට ටික වෙලාවකට පෙර අවට සිටි අයට තේ ඇල්ලූ බැවින් අයියා කියන තේ එක කවුරුන් වෙනුවෙන්දැයි දැනගන්නට ඇයට ඕනෑ විය. නමුත් ඒ වත්තෙහි ඇය දැක තිබි කෙනෙකු නොවේ. මීට පෙර දැක පුරුදු කෙනෙකු නොවේ. නමුත් හදිසි අකුණක් හදවතෙහි පුපුරා ගියේ ය.
“තාත්ත”
චන්දුල ඇහෙන නෑහෙන ගානට මිමිණුවේ ය. පාරුල් තේ කෝප්පයක් සහිත බන්දේසිය ගෙන ගියා ය. සිසිර තේ කෝප්පය අතට ගත්තේ දෙගිඩියාවෙනි. “තාත්තේ” කියා කියාගන්නට පාරුල් ට ඕනෑ වී තිබිණ. නමුත් එසේ කරන්නට ඇයට හැකි වූයේ නැත. හදිසියේ මුළු ශ්වසන පද්ධතිය ම අවහිර වූයේ කෙසේද කියාවත් ඇයට සිතාගත හැකි නොවිණ.