“ලංකා මහත්තයා බර කල්පනාවක වගේ..කෝ… ඔය ඩෙවල් කෑල්ලක් කන්න කෝ…මොකෝ අපේ නෝනා මහත්තයාගේ බයිට් රස නැද්ද…”
මම හයියෙන් හිනා වුණා..
“පෝර්ක් ඩෙවල් කියන්නෙ පොද වැස්සයි මීදුමයි එක්ක නැගලා යන බයිට් එකක්.. මට අපේ ලැබ් එක ගැන කල්පනා වුණා.කොහොමත් මම තව සති දෙකකින් යන්න ඕනේ.භාරගත්තු වැඩ ගොඩක් තියෙනවා.නොහිතපු කරදරයක නෙ මාව පැටලුනේ..”
සමන් මහත්තයලගේ ගෙදර ආවට පස්සේ හැන්දෑවේ මද රස්නෙ වතුරෙන් ඇඟපත හෝදගෙන අලුත් ඇඳුමකට මාරු උනාට පස්සේ මට දැනුනේ හරියට නිකන් තරු පහේ හෝටලයකට ගියා වගේ.මෙච්චර දවසකට මගේ හිතේ තිබිච්ච මහා විශාල බරක් කව්රු හරි හොඳම යාළුවෙක් ඉස්සරහ අඩු වෙලා ගියා වගේ හැඟීමක් මට දැනෙන්න පටන් ගත්තා. ආදරය කරුණාව තරහව ඉරිසියාව වගේ සාම්ප්‍රදායික මානසීය හැඟීම්වලට අමතරව මෙන්න මේකයි කියලා නම් කරන්න බැරි මහ පුදුම සහගත හැඟීම් අපේ ශරීරය ඇතුලේ කොච්චර තියනවද කියලා මට හිතුනා…
“දැන් ලංකා මහත්තයා ආපහු සැරයක් ඔය බංගලාවට පදිංචියට යනවද”…
“ඇත්තම කියන්න සමන් මහත්තයා…මටත් ඔය බංගලාවේ පොඩි අවුලක් තේරුනා…ඒත් ඒක මෙන්න මේකයි කියලා හරියටම ඇඟිල්ල දික් කරලා කියන්න තේරෙන්නෙ නෑ..මගේ මැරිච්ච යාළුවා සේනාධිර…එයාගේ ජීවිත කතාවෙන් සෑහෙන ප්‍රමාණයක් ලියලා තිබුණා.තව ටිකක් මට ඒක කියවන්න තියෙනවා..ඒකෙ සමහර කොටස් කියවනකොට මට හිතෙනවා මිනිහා හොඳ සිහියෙන් ඒවා ලියල නැහැයි කියලා..”
” ඇයි ඒ මහත්තයා සරපයෝ ගැන එහෙම මොකුත් ලියලා තියෙනවද…”
සමන් මහත්තයා එකපාරටම මගෙන් එහෙම අහනකොට මට හිතාගන්න බැරුව ගියා..
“ඔව්… ඇත්තටම … ඔයා කොහොමද ඒක ගැන දන්නේ?…”
මං එහෙම ඇහුවාම සමන් මහත්තයා හයියෙන් හිනාවෙලා රෙඩ් ලේබල් ටිකක් ආපහු පුරව ගත්තා ..
“ඕකට දෙන්ඩ හරියටම උත්තරයක් නං මගේ ළඟ නැහැ.හැබැයි ඕකට ගැලපෙන උත්තර නම් එහෙන් මෙහෙන් මං ගාව තියෙනවා.මං මහත්තයට කිව්වනේ මම දන්න විස්තර ටික කියන්නම් කියලා..
ඉතින් මහත්තයා ගන්නකෝ…
“හරි හරි මම වැඩේ ගානට කරනවා..කෝ කතාව කියන්නකෝ..”
“අපේ ගෙට ටිකක් උඩහින් තියෙනවා මහා විශාල ගල් පොත්තක්.ඒක මේ.. ඔය… සිලෝගම කන්දේ එක කොටසක්…
අපේ ගෙට උඩින් තමයි ඔය සිලෝගම කන්ද ඉවර වෙන්නේ..
කෝ.. ඉතින් මහත්තයා ගන්නේ නෑනේ..”
මට සමන් කාරයා එක්ක ඇතිවුණේ තරහක්..මූ මොකක් හරි කාරණයක් දන්නව..පිස්සෙක් වගේ බිබී…කතාව මගඅරිනවා..
“හරි හරි මම වැඩේ ගානට කරනවා..සමන් මහත්තයා කතාව කියන්නකෝ..”
“අන්න හරි… අන්න හරි… කොතනින්ද මම නැවැත්තුවේ…ආ… සිලෝගම…
දැන් ඔය ගල්පොත්ත ඉහළ තියෙනවා කාලාන්තරයක් තිස්සේ කවුරුහරි පාවිච්චි කරන දේවාලයක්.ඉස්සර අපේ ආච්චිලා සීයලා නම් කියන්නේ ඕක ඔය රාජසිංහ රජ්ජුරුවෝ දකුණු ඉන්දියාවෙන් ගෙනාව නාග කුලය කුමාරිකාවක් වන්දනාමාන කරපු දේවාලයක් කියලා..රජ්ජුරුවන්ව අත්අඩංගුවට ගත්තට පස්සේ අන්තඃපුරේ හිටපු අවසේස කුමාරිකාවෝ සීසීකඩ දිව්වලුනේ..
හ්ම්… එතකොට ඔය එක කුමාරිකාවක් සිලෝගම කන්ද පහු කරගෙන මේ හරියට එනකන් ඇවිල්ලා තියෙනවා.ඒ හරියේ හිටපු වැද්දෙක් එක්ක තමයි ඊට පස්සේ ඒ කුමාරිකාව ජීවත් වෙලා තියෙන්නේ.වැද්දා තමයිලු ඔය දේවාලෙ හදලා දීලා තියෙන්නේ.ඒ කාලේ අපේ ආච්චිලා කියනවා ඔය කුමාරිකාවට පුළුවන්ලු ඕන වෙලාවට සර්පයෙක් වෙන්නයි ඕන වෙලාවට මනුස්ස වේසයක් මවාගන්නයි….
කෝ ඉතින් මහත්තයා තාම පලවෙනි ශොට් එකේමනේ…අයියෝ…..”
“හරි හරි … ඔන්න දාගත්තා … ආහ්.. දැන් හරි .. මහත්තයා කතාව කියන්න..”
“ඉතින්… මේ වැද්දත් මේක දන්නවලු… දැන් මේ… මේ කතාව මම දන්න දෙයක් නෙමෙයි… මේවා මේ පුරාණයේ ඉඳන් මිනිස්සු කියන ඒවා… ඕව ඉතින් යම් යම් පමණින් අඩු වැඩි වෙලා ඇති… මගේ කටින් යම්කිසි දෙයක් කියවෙනවා නම්…හරි ද… මං කියන්නේ යම්කිසි මුසාවක් කියවෙනවා නම්…
ආ..පෝ… මට මගේ හිත ඇතුලෙන් කියවුනා.මේ දහිරවාට්ටුවට වැඩිවෙලා වගේ…කතාව කියන්නෙම නෑනේ…ශික්..
“ඉතිං… ඉතින් දවසක් මේ වැද්දා දැක්කලු මහ පුදුම දෙයක්..වැද්දා දඩයමේ ගිහිල්ලා එනකොට මේ කුමාරිකාව සර්පයෙක් වෙලා වැද්දගෙ තාත්තව ඔතාගෙන හිටියලු.නිකනුත් නෙමෙයි..මේ කුමාරිකාවගේ පිටිපස්ස පැත්ත ඒ කියන්නේ දැන් මෙයා සර්පයෙක් වෙලානේ…මේ සර්පයාගේ පිටිපස්ස අර වයසක වැද්දගෙ කට ඇතුලෙලු තිබුණේ …කුමාරිකාවට සර්පයෙක් වෙන්න පුළුවන් බව මේ වැද්ද කලින් දන්නවලු..හැබැයි මේ අපප්‍රංසය මොකක්ද කියන එක ඌ දන්නෙ නෑලු.. ඌ කිව්වේ කවුද ….වැද්දා …වැද්දා…පටල ගන්නවා එහෙම නෙමෙයි ඕං ඈහ්…. හරි
මේක දැක්ක හැටියේ වැද්ද බය වෙලා… උගේ අතේ තිබුණ කෙටේරියෙන් පැනපු ගමන් මේ සර්පයාගේ බෙල්ල කපලා.අර නාකි වැද්දගේ කට ඇතුලේ තිබිච්ච සර්පයාගේ පස්ස පැත්ත කොටසත් දඹග් ගාලා බිමට වැටිලා… හා දැන් ඉතින් වැඩේ වුනා කියමුකෝ…දැන් ඉතින් වැද්දට ගෑනිත් නෑ…දේවාලෙත් අභාවයට ගිහිල්ලා… මෙහෙම ටික දවසක් යනකොට අර ඔන්න නාකි වැද්දාගේ බඩ කලගෙඩි දෙකක් විතර විශාල වුණාලු.. ඊට පස්සේ ටික දවසකින් අර නාකි වැද්දගේ කකුල් දෙක අස්සෙන් කහල මාර්ගය පුපුරලා සරප පැටවු රොත්තක් එළියට පැනලා කැළේට දිව්වලු.. හැබැයි මහත්තයෝ වැඩේ කියන්නේ ඔය පුරාණ ජන කතා වල කියනවා ඒ සරප පැටවුන්ට අත් දෙකක් තිබුණයි කියලා.. ඔය ගල මුදුනේ තියෙනවා පැතලි මටසිළුටු ගලක්.ඔය ගලේ කොටලා තියෙනවා අත් දෙකක් තියෙන සර්පයෙක්ගෙ රූපයක්.සමහරු නං කියන්නේ ඕකෙ නිධානයක් තියෙනවා කියලා.සමහරු නම් කියන්නේ අර ජනකතාව හින්දා තියෙන දෙයක් කියලා..
“අත් දෙකක් තියෙන සර්පයෙක්?…
මගේ ඇඟ සීතල වෙලා ගියා.මේ මොන කෙහෙල් මලක්ද මේ මනුස්සයා කියන්නේ?.දෙයි හාමුදුරුවනේ මේ කතාවේ අගමුල ගැලපෙන්නේ කොහොමද..සේනාධිරගේ තාත්තා වගේම සේනාදීර ත් මැරුනේ මේ විදිහට නේද.. එතකොට අර සේනාධිර හීනෙන් දැක්කයි කියපු දේ…සර්පයෙක් කට ඇතුලට රිංගන එක ..
දෙයි හාමුදුරුවනේ මගේ මුළු ඔලුවම කැරකෙනවා වගේ කියලා මට තේරුණා..
“දැන් හොඳම හරිය ඕක නෙමෙයිනෙ මහත්තයෝ… ඔය පැනලා යන සර්ප පැටව් අර කුමාරිගේ පරම්පරාවේ එවුංලු.. ඒ කියන්නේ උන්ට ඕන වෙලාවට මිනිස්සු වෙන්න පුළුවන් ඕන වෙලාවට සර්පයො වෙන්න පුළුවන්..
දැන් මහත්තයා හිතනවා ඇති මට මේ වැඩිවෙලා කියවනවා කියලා.. එහෙම නැත්නම් මිත්‍යාව වපුරනවා කියලා.. ඔන්න ඔය විස්තර ටික නම් මම දැනගත්තේ ඉස්සර අපේ පන්සලේ හිටපු නායක හාමුදුරුවන්ගෙන්..ඒ හාමුදුරුවෝ මාත් එක්ක බොහොම යාළුවෙන් උන්නා..
මහත්තයට කියන්න..දැන් ටික කාලෙක ඉඳලා..ටික කාලෙක කියලා කියන්නේ මං හිතන්නේ අවුරුදු දහයක දොළහක විතර ඉඳලා ඔය කන්ද බැහැගෙන කවුරුහරි මනුස්සයෙක් ඔය දේවාලෙට එනවා.හරියට පුරහඳ තියෙන පෝය දවසට තමයි ඔය මනුස්සයා දේවාලෙට එන්නේ..දැන් මහත්තයා හිතනවා ඇති මම කොහොමද ඕක දන්නේ කියලා..
මම විනෝදාංශය හැටියට කරන්නේ කැලේ සත්තුන්ව ෆොටෝ ගන්න එක.ඉස්සර ඉඳලා ඒක මගේ පුරුද්දක්..මං සෑහෙන්න තරග වලිනුත් දිනලා තියෙනවා..හඳ ඇති රෑට තමයි දිවියෝ ඉත්තෑවෝ කුළු හරක් ඔය දොළ පාරවල් ඇළ පාරවල් ගාවට පෙං කෙලින්න එන්නේ..ඒවා ඉතින් බලාගෙන ඉන්න ලස්සනයි..ඔය වැඩේට බොහොම ලොකු ඉවසීමක් ඕනේ..ආයේ ඉතින් කොළයක් පෑගෙන සද්දයක් ඇහුනත් වන සතෙක් ඉන්නේ නෑනේ..ඔන්න ඔය වැඩේට යන හුඟක් දවස් වලට මං ඔය දේවාලයට එන මනුස්සයව දැකල තියෙනව.එකම එක දවසක් මොකක් හරි ලියුමක් තැපැල් කරන්න ඔය මනුස්සයා තැපැල් කන්තෝරුවට ආවා..එදා තමයි මම දැනගත්තේ ඔය මනුස්සයා ඉන්නේ බංගලාවේ කියලා..හැබැයි ඔය මනුස්සයා දේවාලයට රිංගනවා මම දැක්කයි කියන එක නම් එයා දන්නේ නෑ..මම හිටියේ එවලෙත් වල්දෙල් ගහක් උඩ.මම ඉතින් කිසිම හැල හොල්මනක් නැති මනුස්සයා ෆොටෝ ගන්න ගියාම..ආයි හුළඟට වත් හොයනවා බොරු මාව…”
එහෙම කියපු සමන් මහත්තයා හයියෙන් හිනා වුණා..
“දැන් සෑහෙන්න රෑ වෙලා නේ… මේ මහත්තයට බඩගිනිත් ඇති… ඇවිල්ලා කාලා හිටියනම්…”
සමන් මහත්තයාගේ නෝනා එහෙම කියනකොට සමන් මහත්තයා පුටුවෙන් නැගිටලා මාවත් අතින් ඇදගෙන කෑම කන්න යන්න ගේ ඇතුලට ගියේ ආදරේ හිතෙන බලු කුක්කෙක් වගේ..
“කෝ ඉතින් මහත්තයා බෙදා ගන්නේ නෑනේ. අතගානවානේ…තව මාළු කෑල්ලක් දාන්නද..කෝ ඉතිං ඔය නිකං බත් නෙ කන්නේ… අනේ නෝනා ඔන්න ඔය මහත්තයට තව පරිප්පු ටිකක් එහෙම බෙදන්න..”
මට හිතුණා මේ තැපැල් ස්ථානාධිපති මහත්තයාගේ හිත හොඳ වැඩියි කියලා.. තමන්ගේ ළඟ ඉන්න යාළු මිත්‍රයන්ට සංග්‍රහ කරන්න උපතේ ඉඳන්ම සැදී පැහැදී ඉන්න කෙනෙක් කියලයි මට හිතුනෙ..
සමන් මහත්තයා හරහා මට සෑහෙන විස්තර තොගයක් හොයාගන්න පුළුවන් වෙයි කියලා මට හිතුනා.හිතුවෙවත් නැති විදිහට මේ මනුස්සයව මුණගැහිලා විශ්වාස කරන්නත් බැරි විස්තර ටිකක් අහගන්න හම්බවෙච්ච එක මගේ වෙලාව කියලා තේරුණා.මගේ නින්ද අහලකවත් නැහැ කියලා මට තේරුණා.මම මගේ බෑග් එක ඇරලා සේනාධිරගේ ඉතුරු කොළ ටික ඇදලා ගත්තේ කොහොම හරි ඉතුරු ටිකත් කියවනවා කියලා හිතාගෙන..