මස්පිඬු පෙරලෙන එක නවත්ත ගන්නෙ කොහොමද?

ජීවිතේ කවද හරි දවසක ඔබටත් මස්පිඬු පෙරලීමේ වේදනාව දැනිලා තියෙනවාද? සාමාන්‍යයෙන් ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් 95%කට ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් ජීවිතයේ එක් වරක් හෝ ඇති වෙන්නට ඉඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ.

ශරීරයේ කිනම් හෝ ස්ථානයක් අතපය හෝ ඉන් කොටසක් නවනවිට සංකෝචනය වෙනවා. එසේ සංකෝචනය වෙන අවයවය නැවත දිග අරිනවිට සාමාන්‍යයෙන් ලිහිල් විය යුතුයි. නමුත් එසේ නොවන අවස්ථාවල දී ඇතිවෙන තත්වය තමයි ක්‍රෑම්ප් (Cramp) එකක් කියල හඳුන්වන්නේ.

මස්‌ පිඩු අධික ලෙස ක්‍රියාත්මක වීමේදී එම මස්‌ පිඩුවල ලැක්‌ටික්‌ අම්ලය නිපදවෙන අතර එම අම්ලය රුධිරවාහිනි හරහා ඉවත් නොවීම නිසා තමයි මේ තත්වය ඇතිවෙන්නේ. මෙය ඉතා වේදනාකාරී තත්වයක්. වැඩිවශයෙන් ම මෙවැනි තත්වයන් මතුවන්නේ රාත්‍රී කාලයටයි. මේ රෝගී තත්වය ඉතා කෙටිකාලයකින් සුව වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රෑම්ප් එකක් ඇතිවූ විට එය තත්පර 10ක් 15ක් ඇතුළත සුව විය හැකියි. එහෙත් සමහර අවස්ථාවල දී මේ තත්වය විනාඩි 10ක් 15ක් පුරා එකාකාරීව තියෙන්නත් ඉඩ තියෙනවා. මස්පිඬු පෙරළීම ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකියි. සමහරවිට මේ තත්වය නිතර නිතර දිගින් දිගටම වුවත් ඇතිවිය හැකියි.

සාමාන්‍යයෙන් මස්පිඬු පෙරළීම අහිතකර රෝගී තත්වයක් නොවුණත් මෙහි ඇති වේදනාකාරීබව නිසා ම මේ තත්ත්වය ඇතිවෙනවාට බොහෝ දෙනා ඉතා ම අකමැතියි.

මෙය සෘජු රෝගී තත්ත්වයක්‌ හැටියට හැඳින්විය නොහැකි වුණත්, ඇතැම්විට එය රෝගයක පෙර ලක්‌ෂණයක්‌ වීමටත් ඉඩ තිබෙනවා.

කොයි වයසෙ අයට ද මෙහෙම වෙන්නේ ?

සාමාන්‍යයෙන් වයස අවුරුදු හය හතේ සිට ඉහළ වයස්‌ කාණ්‌ඩවල පසුවන අයට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරවම මස්‌ පිඬු පෙරලීමේ වේදනාකාරී තත්ත්වයට මුහුණ දීමට සිදුවිය හැකියි.

මොනවද බලපාන හේතු?

මස්‌ පිඩුපෙරලීමට ප්‍රධාන හේතු සාධකය තමයි මස්‌ පිඩුවල අධික්‍රියාකාරීත්ව විජලනය යි. ක්‍රීඩකයන්ගේ වගේ ම ඇඟපත වෙහෙසා වැඩ නොකරන අය වැඩක්‌ කිරීමට යාමේදීත් කෙණ්‌ඩ පෙරලීමේ තත්ත්වයන් ඇති විය හැකියි.  එළිමහනේ අධික වෙහෙසගෙන දෙන ආකාරයේ වැඩ කිරීමේදී දහඩිය පිටවීම හේතුවෙනුත් විජලනය හටගෙන මස්‌පිඩු පෙරලීම සිදුවිය හැකියි.

එමෙන් ම ගර්භනී අවස්‌ථාවේ කාන්තාවන්ට කැල්සියම් හා මැග්නීසියම් අඩුවීම නිසාත් කෙණ්‌ඩ පෙරලීම සිදුවිය හැකියි. සමහර රෝගවලට (හෘද අකර්මණ්‍යතාවයට) දෙන ඖෂධවමනයට දෙනු ලබන ඖෂධ නිසා සමහර පේශී (ඛෙල්ල අවට පේශි) පාලනය කරගත නොහැකි ලෙස සංකෝචනය විය හැකියි. එය මඳ වේලාවකින් සුව වෙනවා. එමෙන්ම සිරෝසිස්‌ තත්ත්වය නිසාද වකුගඩු, අක්‌මාවේ අකර්මණ්‍යතා නිසාද මස්පිඬු පෙරලීම සිදුවිය හැකියි.

 එමෙන්ම විටමින් ඌනතාවයන් නිසාත් කෙණ්‌ඩ පෙරළීම සිදුවිය හැකියි.

මස්පිඬු පෙරලෙන්නේ ශරීරයේ කොතැනකද?

බොහෝ දෙනාට පොදු අත්දැකීම තමයි පාදවල කෙණ්ඩා පෙරළීම. නමුත් ශරීරයේ ඕනෑම තැනක, ශරීරය අභ්‍යන්තරයේ පවා එනම් ආහාර මාර්ගයේ මුත්‍රා පද්ධතියේ, ගර්භාෂයේ ආදී ස්‌ථානවල පවා  මස්‌ පිඩු පෙරළීම සිදුවිය හැකියි.

කෙණ්‌ඩා පෙරලීම වළක්වා ගන්නේ කොහොම ද? 

දිනපතා ව්‍යායාම කිරීම හා පෝෂ්‍යදායි ආහාර ගත යුතුයි. එමෙන්ම නිසි ප්‍රමාණයට ජලය පානය කිරීමද අත්‍යවශ්‍යයි.

එමෙන් ම ක්‍රීඩා කිරීමට කලින් මාශ පේශින් ලිහිල් වන ව්‍යායාම කිරීමත් ක්‍රීඩා කිරීමෙන් අනතුරුවත් මාංශ පේශින් ලිහිල් කරන ව්‍යායාම කිරීමත් හොදින් ජලය පානය කිරීමත් සුදුසුයි.

මස්‌පිඩු පෙරලීම සුවබර නින්දකට ආබාධයක්. ඒ නිසා නින්දට යාමට පෙර මස්‌ පිඩු ලිහිල් කිරීමේ ව්‍යායාම කිරීම ද වැදගත්.

ඔබ යම් කිසි රෝගයකින් පෙළෙන්නේ නම් අදාළ වෛද්‍යවරයාගේ උපදෙස්‌ මත ඖෂධ ගන්නවා වගේ ම, ගැළපෙන ව්‍යායාම කළ යුත්තේත් ඔහුගේ උපදෙස්‌ මතයි.

විශේෂයෙන් ගර්භනී මව්වරු තමන්ට සායනයෙන් ලබා දෙන්නා වූ ඖෂධ පෙති විසි නොකර නිසි මාත්රායවට ගත යුතුයි. එසේ කිරීමෙන් මස්පිඬු පෙරලීම බොහෝ දුරට අවම කරගත හැකියි.

කෙණ්‌ඩ පෙරලෙන විට එම මස්‌ පිඬු සම්බාහනය කිරීමෙනුත්, මේස ලුණු ස්‌වල්පයක්‌ දිය කර පානය කිරීමෙනුත් මේ තත්වය පාලනය කරගන්න පුළුවනි.

-නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles