ෆේස්බුක් ඇබ්බැහියට තිත තියන්නේ මෙහෙමයි…

අපේ ජීවිතේට අවශ්‍යම දේවල් අතරට ෆේස්බුක් එකතු වෙලා කියලා ඔබට තේරුම් ගිහින් තියෙනවද..

දවස පුරාම ඔන්ලයින් ඉන්න බොහෝ දෙනෙකුගේ ෆේස්බුක් අධික ඇබ්බැහියට හේතු වෙලා තියෙන්නේ හුදකලාව. ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ෆේස්බුක් භාවිතා කරන අය සීමිත ප්‍රමාණයක් සිටියත් අනිත් බොහෝ දෙනා ෆේස්බුක් ඇබ්බැහියට අසු වූවන්.

සාමාන්‍ය ලෝකයෙන් මිදිලා සයිබර් ලෝකයේ කරක් ගැහීම නිසා අපෙන් ගිලිහී යන දේවල් බොහොමයි.

මුලින්ම ගිලිහෙන්නේ අපේ නිදහස. ඊළඟට අපේ සමීපතම අය.

අපි ෆේස්බුක් එක්කම රෑ නින්දට ගිහින් ෆේස්බුක් එක්කම උදේ නැගිටින උදවිය. ඉතින් කන බොන, නාන, ගමන් යන, ට්‍රිප් යන හැම දේම අපි බෙදා ගන්නේ ෆේස්බුක් යාලුවෝ එක්ක.

ෆේස්බුක් අඩවිය නිර්මාණය වෙලා තියෙන්නෙම අපිව ඒ සඳහා ඇබ්බැහි කරවන සුළු වෙන්න.
නිව්‍ යෝර්ක්හි වෙසෙන මාධ්‍යවේදිනියක් වන අර්වා මාධවී The guardian වෙබ් අඩවියේ ෆේස් බුක් ඇබ්බැහිය ගැන බොහෝ දේවල් ලියනවා.

“ෆේස්බුක් ගිණුම අක්‍රීය කරන්න යන ඕනෑම මොහොතක එයට හේතු විමසන අයුරු සහ ඔබේ මිතුරන්ට ඔබ නොමැතිව හුදකලාවක් දැනේවි යැයි ඔබට හැඟෙන්නට ඉඩ හරින අයුරු ඔබට මතක ඇති. මේ සියල්ලෙන් සිදු වන්නේ ඔබව ෆේස්බුක් අත් හැර නොයන ලෙස මනස සකස් කිරීම.මාක් සකර්බර්ග් හට පරිගණක විද්‍යාවට වගේම මනෝ විද්‍යාවටද උපාධියක් ඇති බව අපි අමතක කරන්න හොඳ නෑ.

ෆේස්බුක් නිසා අපි නිතරම අනිකා සමඟ අපිව සසඳන්න පටන් ගන්නවා. අපිට අහිමි දේවල් ගැන දුක් වෙනවා. එක්තරා අධ්‍යයනයකින් හෙළි කරගෙන තියෙනවා ෆේස්බුක් ගිණුම අක්‍රීය කළත් අපේ දුරකථනයේ ෆේස්බුක් ඇප් එක දැකීම පවා යළිත් ඔබට ෆේස්බුක් යන්නට මනසට බල කරන බවට.

ෆේස්බුක් අධික ඇබ්බැහිය විෂාදයට පවා හේතුවක්. ෆේස්බුක් ඉවත් කළාට පස්සේ මහා ලොකු දියුණුවක් නොලැබුවත් මම සතුටින් ජීවිතේ විඳින බව මට හිතෙනවා”

ඇය ලියන්නේ එහෙමයි..

ෆේස්බුක් සම්බන්ධයෙන් කළ සමීක්ෂණ ප්‍රතිඵල කිහිපයක් Phycology Today වෙබ් අඩවියේ මෙසේ සඳහන්.

* ෆේස්බුක් භාවිතා කරන්නන්ගේ 33% කට වැඩි පිරිසක් ෆේස්බුක් සැරිසරන්නේ කනස්සලෙන්

* ෆේස්බුක් තුළ රහසිගතව සැරිසරන පුද්ගලයින් (fake accounts) විශේෂයෙන්ම අසතුටුදායක තත්ත්වයට පත්විය හැකි කොටසයි

* ෆේස්බුක් තුළ කාලය වැඩිපුර ගතකරන අය අනෙක් අය තමන්ට වඩා සතුටින් සිනා බව විශ්වාස කරනවා.

* බොහෝ විට මේ තත්වයට ලක් වන්නේ කාන්තාවන් . එයට හේතුව තමාව අනිත් අයත් සමඟ සැසඳීමයි.

# අධික ෆේස්බුක් ඇබ්බැහිය අඩු කරගන්නේ මෙහෙමයි.

1. වෙලාව පාලනය කරන්න – හැමතිස්සෙම ෆේස්බුක් ඉන්න උත්සාහ නොකර ෆේස්බුක් යන්න වෙලාවක් තියා ගන්න. පැයක් හෝ ඊට අඩු කාලයක් හොඳටම ඇති.
2. ඔබව කනස්සල්ලට පත් කරන අයව ඔබේ මිතුරු ලැයිස්තුවෙන් ඉවත් කරන්න.
3. හැම කෙනෙකුම ෆේස්බුක් මත දිග හරින්නේ ජීවිතයේ සතුට පමණක් බවත් සැබෑ ලෝකය එයට බොහෝ වෙනස් බවත් තේරුම් ගන්න
4. ඇබ්බැහි වීම ඔබට වදයක් නම් ෆේස්බුක් ගිණුම අක්‍රීය කරන්න
5. ඒ වෙනුවට වෙනත් විනෝදාංශ තෝරා ගන්න. (මල් වැවීම, අලුත් කෑම වර්ග සකස් කිරීම, පොත් කියවීම, ෆිල්ම් බැලීම)

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැති බව නිතරම සිහියේ තබා ගන්න. මේ ඇබ්බැහිය අඩු කරගන්න එය හොඳ උත්තේජනයක් වේවි.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles